Saturday, December 9, 2023

228. කරූ ගැන මතක!



මා ලඟින් ඇසුරු කරණ අසල් වැසියන් දෙදෙනෙකි.

එක් අයෙක් කරූ වන අතර අනෙකා තිලක් අයියාය.

තිලක් අයියා ගැන වෙනමම කථා කරණ්න ඕනෑ චරිතයකි. මා ලියා ඇති කෙටිකථා අටක් අතර; ඔහු හා ඔහුගේ ජීවිතයේ සිදුවූ සිදුවීමක් ගුරු කොට ගෙන  වෙනමම අතින් ලියා ෆයිල් එකක් අස්සේ දමා ඇති කථාවක් ඇත! ඒක වෙනමම  ලියා මෙතැනම දමන්නම්!

මේ කරූ ගැන!

කරූ යනු හිම ක්‍රීඩා සඳහාද ඩිප්ලෝමාවක් තියෙනා බුවෙකි. (අතිශයෝක්තියක් නොව සත්තේ සත්තය!)  ඒ ඩිප්ලෝමාව ගැනත් යටින් ලියන්නම් මතක් උනොත්!

ඔව් ඔහු ඒ තරම්ම ඇකඩමික් පොරක්. 

කරූගේ උපන් ගම වැලිමඩ. දරුවන් දුසිමකට ආසන්න ගනනක් හිටිය පවුලක මැද්දට වෙන්න තමයි කරූ ඉපදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සෙ ඒ කාලේ තිබ්බ SSC පාස් උනාම  කරූ ගේ ප්‍රථිඵල බලලා ඉස්කෝලෙන් කිව්වාලු "ඔයාට වානිජ කරණ්න පුළුවන්!" කියලා. කරූත් "හා!" කියලා ගෙදර ඇවිත්. 

කරූලගෙ ගමේ තව කොලුවෙක් ඉන්නවාලු HSC කොරන. ඒ යකා කලෙත් "වානිජ" මලු!

මේ කොලුවා හැමදාම හවහට හවහට ගෙදර තිබුනු ඩොල්කියකට "දබ! දබ!!" ගාලා පහර දෙනවලු. (ඌ හිතාගෙන හිටියේ ඌ "ඩොල්කිය වාදනය!" කරණවා කියලාලු!!) කරූ හිතා ගත්තලු ඉස්කෝලෙ ඉඳන් ගෙදර එන ගමන් "අම්මට සිරි මටත් මේ වගේ බෙරයක් අරන් පුරුදු වෙන්න වෙනවානේ!" කියලා.

කරූ හිතාගෙන ඉඳලා තියෙන්නේ "වානිජ" කියන්නේ "බෙර ගැහිල්ලක්" කියලාලු!

ඉතින් කරූ වැලිමඩ ඉස්කෝලෙම වානිජ කරණ්න HSC පංතියට ගිහින් වැඩ පටන් අරගෙන.

ඒ කාලේ; කරූ ඇතුළු මේ දුසිමට කන්න බොන්න දෙන එකත් කරූලගෙ අප්පොච්චිට ලේසි පාසු වැඩක් වෙලා නෑ. ඒ හින්දම කරුයි එයාගේ අයියයි (අයියද අමල්ලිද කියලා ශුවර් නෑ; සහෝදරයා කියලා හිතා ගන්නකෝ!) සෙට් වෙලා එයාලගෙ වත්තෙම; මට මතක විදියට (ගේ ඉස්සරහම තිබුනු ) කිතුල මදින්න පටං අරං!

ඒවා කොහෙන් ඉගෙන ගත්තද කියලා කියන්න මට මතක නෑ! සමහර විට මොකෙක් හරි අල්ලගෙන ඇවිත් ඌ කරණ විදිහ බලාගෙන හිටියා වෙන්නත් ඇති! කොහොමත් කරූ ඉගෙන ගන්න සූරයා නෙවැ?

උඹලට කියන්න ඇස් වහක් කටවහක් නෑ කරූලගෙ කිතුල "අම්මට සිරි" වෙන්නම හරි ගිහිං!

තෙලිජ්ජ ටික ගහෙං බාන්නෙත් අමාරුවෙන්ලු.

කරූ ලගෙ අම්මලා තාත්තලා හරිම ගුණ ගරුක මිනිස්සු! ඒකට කවුරු නැතත් මම සාක්කි! ඒ අය රා විකුණලා නෑ මයේ හිතේ! කරූගෙ අම්මා  උත්සාහවන්ත ගෑනියක්! අම්මා ගෙදර පැණි උනු කරණ්ණයි හකුරු වක්කරන්නයි පටං අරං! දෙයියනේ කියලා ඒ කිතුල; කරූලට සිරිමහ බෝධිය වෙලා තියෙන්නේ, පිහිටවෙලා තියෙන්නේ ජීවිතේ ගොඩ දා ගන්න!

කරූ මෙහෙම කිතුලට පිහිට වෙන්න ඉස්කෝලේ කටයුතු කරගෙන ඉන්න කාලේ හරි ආතල් වැඩ වෙලා තියෙන්නේ! 

මේ ඉන් මතක එක කථාවක්. 

කරූලගේ ඉස්කෝලේ ආසන්නයෙන් ගලනවාලු ඇල පාරක්. ඒක තරමක් විශාලයි කියලයි කිව්වේ. දවසක් ඔය ඇලේ නාන්න යාලු මිත්තරයෝ කට්ටියත් එකතු භූත කරාන කරූ ගිහිං. මේ කතාවට සරමක් හරි සාළුවක් හෙවත් තුවායක් හරි පැටළුනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා! කොහොම හරි කරූ ඇඳන් නාලා තියෙන්නේ සරමක්, තුවායක් හරි වෙනත් රෙද්දක් හරි! කරූ මෙහෙම එහේ මෙහේ පැන පැන නාන කොට දන්නෙම නෑ ගැඹුරු වලකට ඇදිලා ගිහිං. ඒ වගේම හැඩ පාරලු. පස්සේ මුන්නැහැව ගහගෙන ගිහිං. මෙහෙම ගිහිං යානතම් කකුල බිම ගහලා තියෙන්නේ නාන මණ්ඩියකින්. එතැන ගෑනු, ලමයි, ළමා ලපටි, හැත්ත බුරුත්ත නානවාලු. "යන්තං ඇති ජීවිතේ බේර ගත්තා!" කියලා කරූ ගොඩට යන්න හදන කොටලු කරූට දැනිලා තියෙන්නේ කරූ ඉන්නේ "යකඩ ඇඳුමෙන්" හෙවත් හෙළුකොට්ටෙං කියලා.  "අම්මට සිරි මීට වඩා හොඳයි; දියේ ගිලිලා මලා නං!" කියලා කරූ ඒ මේ අත බලන කොට මෙන්න යකෝ අර සාළුවද මොකද්ද බඩ කඩුත්තුවත් කරූ පස්සෙංම ගහගෙන එනවාලු; සංසාරේ පුරුද්දට වාගේ!

ඉතිං නාන තොටේ එවුංට බලි තොවිල් කරගන්න තිබුනු චාන්ස් එකෙන් කරූ උංව බේරාගෙන ගොඩට ආවා කියලයි කරූ කියන්නේ.

මේ වාගේ අල කලංචි මැද්දේ කොහොමිං කොහොමිං හරි  HSC විභාගේ කරලා ඒක ගොඩ දාගෙන කැළණිය විශ්ව විද්‍යාලෙට පට්ටල් වෙලා. එතැනින් උපාධිය ගොඩ දාගෙන.

ඔය විශ්ව විද්‍යාල ජීවිතෙත් කරූගේ රස කතා ගොඩයි. මේවායිං මට මතක සුපිරි කථාවක් තියෙනවා ස්පෝර්ට් මීට් එකක් ගැන. මට මේ තරඟය අන්තර් විශ්ව විද්‍යාලද එහෙම නැත්නම් අන්තර් නිවාසද කියන්න මට මතක නෑ. කොහොම හරි ඔය වගේ ක්‍රීඩා උළෙලකදී එයාගේ කණ්ඩායමෙන් මීටර් 5000 ඉසව්වට ඉදිරිපත් වෙන්න කෙනෙක් ඇත්තේම නැතිලු. පස්සෙ කරූගේ කස්ටිය කරූට කිව්වලු "අපි උඹේ නම දානවා. උඹ පටං අරං එක වටයක් දුවලා ශේප් එකේ නැවතියං!" කියලා! අකමැති උනත් කරණ්නම දෙයක් නැති හිංදා කරූ බිල්ල වෙලා බෙල්ල දීලා.

දැං වැඩේ පටං ගත්තලු. යකඩ කටිං කරූගේ නම "එම්.එම් බී කරුණාරත්න" කියලා කෑ මොර දෙන කොට හෙන ගැම්මක් දැනෙන්න ඇතිනේ කරූට. ඉතිං අපේ කරූ අනිත් ක්‍රීඩක බුවාල එක්ක වැඩේ පටං ගත්තලු. මෙතන තියෙන සුපිරිම කෙළිය කියන්නේ ඒ කාලේ විශ්ව විද්‍යාල වල මේ ඉසව්වට කප් ගහපු පොරත් එතන වීමලු. ඉතිං කරූ වටේට අනිත් සෙට් එකත් එක්ක දුවං එද්දී යාළු මිත්තරයෝ "දැං ඇති නැවතියං!" කියනවාලු. කරූට එහෙම ගානක් නැතිලු. ගමේ කොස් දෙල කාලා උදේ හවා කිතුලට නැග්ග මනුස්සයා නොවැ? කරූ පළමු වටය අවසං කරලා දෙවැන්න පටං ගත්තලු. ඔහොම දුවන කොට කරූට දැනුනාලු "ඕනෙනම් මීටර 5000ම ඒ කියන්නේ කිලෝමීටර 5ම ඕනනං දුවන්න ඇහැකි!" කියලා දැං කරූ දුවනවාලු ගැම්මේ. කස්ටිය වටේට ඉඳන් චියර් එකලු. මෙහෙම දුවගෙන දුවගෙන යන කොට අන්තිම වට කීපයකට කලින් බලන කොට කරූට අඩි ගානක් ඉස්සරහිං; නම්බුව බේරගන්න අම්මට සිරි වෙන්න පන එපා කියලා; "අරූ" දුවනවලු. කරූ බැලුවලු "මූ මෙච්චර කෙළි කාරයෙක් කිව්වට ඒ තරං හයියෙං දුවන්නෙත් නෑ! ඔන්නොහේ එක්කෝ ඌටත් ඇරලම දානවා අනිත් එවුංට ඇරියා වගේම!" කියලා. මෙහෙම හිතලා කරූ ටිකිං ටික අර නම් දරාපු බුවාට කිට්ටු කරණ කොට මුළු පිට්ටැන්නම එකම චියර් එකලු! ඒ ගැම්මෙංම කරූ; "අරූටත්" ඇරලා වටයක් විතර ලීඩ් එකක් තියලා ගේම ෆිනිශ් කලාලු!

ඉතිං කරූ උපාධිය අහවර වෙන කොටම JEDB එකේ රස්සාවට ගිහිං. ඒ වතු වල. පස්සෙං පහු කරූ ආණ්ඩුවේ රස්සාව විදියට කලේ නැව් සංස්ථාවේ! 

එයා ඒ ඉන්නකොට රැකියාවේ කාරණා කාරණා වලට ලෝකෙ රටවල් 22ක සංචාරය කරලා තිබුනා. අර මං කලිං කිව්ව "හිම මත ලිස්සායාමේ ඩිප්ලෝමාව" අරං තියෙන්නෙත් ඔය ගිය ගමනකදී වැඩ පෙන්නලා!

කරූව මට අඳුනාගන්න ලැබෙන කොට එයා නැව් සංස්ථාවෙන් අස්වෙන්න ඔන්න මෙන්න වගේ. ඒ කාලේ එයා M Com එකක් පටං ගෙන හිටියා. පස්සේ ඊට වඩා හොඳයි කියලා MBA කරලා ඉවර කලා. 

ඔය කාලේ කරූ හිටියේ අපේ ගෙවල් කිට්ටුව ඉඩම අරං. ඒකට පාර කැපුවේ මම! ඒකට ලැබුනු ලාභය තමයි මගේ දරුවන්ට හොඳ මිතුරියන් දෙදෙනෙකු ලැබීම. කරූගේ දියණියන් දෙදෙනා ලක්ෂිකා සහ මධුෂිකා! අපට හොඳ අසල් වැසියන් ලැබීම. කරූ සහ රම්‍යා!

කරූ අපේ යාබද ඉඩම මිළ්දී ගත්තේ ඉන්න තිබුනු ගේ දොර විකුණලා! ඒක තිබුනේ අපේ ගෙවල් වලට තරමක් ඈතිං.

ඒ ඉඩම විකුණලා අලුත් ගේ හදන කල් එයාලා හිටියේ අපේ ගෙදර! අපි අපේ ගේ දෙකට බෙදලා කොටසක් එයාලට ඉන්න නොමිලේම ලබා දුන්නා!

ඔය කාලේ කරූට තිබ්බේ පරණ ෆෝක්ස්වැගන් එකක්!

මට තිබ්බේ 6ශ්‍රී2416 රතු පාට ඔස්ටින් මිනී වැගන් එක. මෙන්න මෙතැනින් ඒ වාහනේ ඒ කියන්නේ මගේ වාහනේ ගැන ගොහිං දැක බලා ගන්නත් පුළුවං!

කරූට තිබ්බා තව සුසූකි බර්ඩි පොඩි මෝටර් සයිකලයක්. එයා ජපානෙට ගිය වෙලාවක ගෙදරක තිබිලා "මේක විකුණනවද?' කියලා ඇහුවාම නිකං ඒක දීලා තිබ්බේ!

දවසක් කරූ දවල් ට විතර බර්ඩිය පැදං එනවා පිටිපස්සේ මොකක්දී රවුමක් ගැට ගහං! 

බලන කොට අඩු ගානකට ෆෝක්ස්වැගන් ඉබ්බාට සුක්කානමක් හෙවත් ස්ටියරිං එකක් ලැබිලා ඒක අරං ඇවිත්!

කාලෙකට පස්සේ මම මිනිය විකුණලා සුදු පාට ලෑන්ඩ් කෲසර් BJ40 ය / 31ශ්‍රී5460 ගෙනාවා. කරූ ගේ හදන කාලේ වෙන කොට ඉබ්බාව විකුණුවා. ඊට පස්සේ කරූට ඩයිහට්සු ජීප් එකේ ඔත්තුව දුන්නෙත් මමයි. අපි ඒක ගෙනාවේ 160 කට! ඔව් එක්ලක්ෂ හැටදාහකට!

මම ඊට පස්සේ වාහන ගනනාවක් පාවිච්චි කලා. ඔය කාලේ ඒ කියන්නේ කරූගේ දෙවැනි දුව ඉපදුනේ එයාලා අපේ ගෙදර ඉන්න කාලේ!

මට මතකයි කරූ ඒකාලේ රැකියාවට නොයා ගෙදර ඉන්නවා. එයා ඒ ඉන්න ගමන් කන්ටේනර් පරීක්ෂාව පිළිබඳව විභාගයකට ලෑස්ති උනා. 

දවසක් මම ගෙදර අනෙක් පැත්තට යනකොට කරූ බිම වාඩිවෙලා කකුලේ කොට්ටයක් දගෙන දුව පොඩි දුව නලවනවා. දුව කරූගේ කකුල් දෙක උඩම දොයි! කරු කකුල් දෙක දෙපැත්තට වන වනා පැත්තට හැරිලා; බිම තියෙන මොන මොනවාදෝ ඉංග්‍රීසියෙන් ලියනවා නැවතිල්ලක් නැතිව !

"මොනාද කරූ ලියන්නේ?" කියලා මම ඇහුවාම වැඩේ කිව්වා!

"කන්ටේනර් පරීක්ෂාව පිළිබඳ මොකක්දෝ ජාත්‍යන්තර ආයතනයකින් තියපු; කන්ටේනර් පරීක්ෂාවේ වැදගත් කම පිළිබඳ රචනා තරගයකට  මේ රචනාවක් ලියන්නේ!"

මාසයක් යන්නැති ඕනම නං!

ඔව්! ඔයාලා හිතන එකම තමයි! 

මුළු ලෝකෙන්ම කරූගේ රචනාව ෆර්ස්ට් ප්ලේස් ගහලා! මුළු විභාගෙම; ෆ්‍රී කරලා! ඊට අවශ්‍ය පොත් සැට් එක DHL කරලා අපේ ගෙදරටම ආවා! 

කාලය ගෙවෙද්දී අපි ගමේ පොදු වැඩ කටයුතු එකට කලා! ඒවා ගැන ලියන්න ගියාම ඒක එකම "මං පොර ජාතකයක්!" වෙයි කියලා ලියන්නෝන නෑ කියලත් හිතෙනවා. පස්සෙන් පහු බලමු! පාර්වල් හැදුවා, මගුල් අවමගුල් පැවැත්වුවා, දහම් පාසල් කලා, හාමුදුරුවරු එළෙව්වා, පංසල් හැදුවා, භක්ති ගීත කිව්වා නොකල මළ දානයක් නෑ!

වාහන වික්කා වාහන ගත්තා. ලමයි හැදුනා වැඩුනා! 

කරූගේ ලොකුදුව ඊළඟට වසික ඊළඟට කරූගේ පොඩි දුව අන්තිමට අපේ කල්මි! අවුරුදු හතරක් අතර ඒ හතර දෙනා.

ඒ අය අදටත් හොඳ යාළුවන් යෙහෙළියන්!

වසික-කල්මලී-ලක්ෂිකා-මධුෂිකා

වසිකලා කල්මිලා මට තාත්තා කියන කොට කරූට කිව්වේ අප්පච්චි කියලයි!

ඒ ලක්ෂිකායි මධුෂිකායි එයාලගෙ තාත්තා වුනු කරූට අප්පච්චි කියපු නිසා! අපි කවදාවත් ඒක වෙනස් කරණ්න ගියේ නෑ! වසික කැංගරු දේසේ ඉංජිනේරුවෙක්! කල්මි එන අවුරුද්ද වනවිට පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ උපාධිධාරිණියක් වේවි එරටම!

එතකොට එයාලගේ යාළුවෝ; ලක්ෂිකායි මධුෂිකායි දෙන්නා?

මධුෂිකා ලබන වසරේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙනවා වෛද්‍ය වරියක් ලෙස!

ලොක්කී - ලක්ෂිකා?

මේ ලිපිය ලිව්වේ එයා වෙනුවෙන්!

එයා මීට වසර කීපයකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවූවා විදුලි ඉංජිනේරුවරියක් ලෙස!

තව සති දෙක තුනකින් ඒ දරුවා මෙරටින් පිටවෙනවා ඇමරිකාව බලා!

ඒ PHD එකකට!

අපේම දරුවෙකු වැඩෙනා දෙස බලා ලැබෙන සතුට අපි ඔයා දිහා බලා විඳිමින්! මේ සියළු ජයග්‍රහණ පිටුපස කරූත් රම්‍යාත් එකට සිට කර ගැසූ හැටි මගේ මතකයේ ඇත!

තවත් කාලෙකදී පොඩිදුව මධුෂිකාත් යයි කොහේ හරි! වසිකලා කල්මිලා කැන්ගරුවොම වේවි! 

මේ දවස් වල අසල් වාසීන් උනත් අපි දකින්නේ ඉඳ හිටලා! ඒක අද ඊයේ උනු දෙයක් නම් නොවෙයි! වසර ගානක සිට! දුවා දරුවන් කැදළිවලින් ගිය කාලෙක යලිත් අපි මුණ ගැහේවි පරණ කථා කියන්නට! 

එතෙක් ආයුබෝවන් කරූ!

49 comments:

  1. සොඳුරු අතීතාවර්ජනයක් තුළින් අනාගතයට ආ ලස්සන සටහනක් අයියේ.
    වැස්ස වැටීම, සිග්නල් නොමැති වීම, විදුලිය නොමැතිවීම නිසා පමා වීමි.

    ජයවේවා !!!

    ReplyDelete
  2. හ්ම්... ලස්සන වගේම, හීනියට හිත පෑරෙන ගතියකුත් තිබ්බ. නියමයි 👍

    ReplyDelete
  3. අපූරු සටහනක්. පුන්චි පැටව් ටික ටික උස් මහත් වෙලා ලෝකයක් දිනන කොට තාත්තලාට අප්පච්චිලාට දැනෙන සතුට අප්‍රමාණයි. මේ මුලු කතා පුරාවටම මම ඒ සතුට දැක්කා. සුබ පැතුම් හැමෝටම.

    ReplyDelete
    Replies
    1. ඔව්! පුංචි ඇටයක් පැලකරලා මහා ගහක් දකිනවා වාගේ, ඒ ගහේ මලක් ඵලක් දකිනවා වාගේ දෙයක් තමයි දරුවන් හදලා ඔවුන් ලොකු මහත් වෙනවා දැකීම! ස්තූතියි ලියෝනි!

      Delete
  4. උදේ සිටන් හවස් වන තුරු තණ කොළ බුදින වැස්සිට පවා හවසට ගමනක් ගිහින් එන කරු මග කොටදි රථය නවතා වැට මාර ගස් වල අතු හනි හනිකට කඩා වාහනයේ ඩිකියෙ ඔබා ගන්නේ හරියට අපි කන්නට මාරම කැමති කෑමක් කඩෙන් අරගෙන එහි රහ බලන්නට ගෙදර දුවගෙන යන සේය..!
    “අනේ ඌ බලාගෙන ඉන්නව මම මොනව හරි ගෙනෙයි කියලා” ඒ කරුගෙ සුන්දර වදන්ය!!
    ළමයි විතරක් නෙමෙයි කතා කරන්න පුළුවන් නම් සතා සිව්පාවත් කරුට “අප්පච්චි” කියනව නොවනු මානය!!❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. ඔව් කරූගේ "සත්ත කරුණාව" තමයි නොම්මර එකේම සත්ව කරුණාව වන්නේ!

      Delete
  5. සොඳුරු මිනිස්සුන් ගැන කියවෙන විටෙක
    පඳුරු ගහයි මිනිසත්කම හැම හදක!

    ReplyDelete
    Replies
    1. ඔව් නිමල් අයියේ ! ඒ ඇසුරත් වාසනාවක්!

      Delete
  6. සොඳුරු මතක ...හරිම අපූරු සටහනක්...
    බලන් යනකොට ඊයේකරන්ට් නැතුව ෆෝන් එකත් මැරිල පෝස්ට් එක දා ගන්න බැරුව ඉදල තියෙන්නෙ මං විතරයිද මංදා..සැලුනෙ නෑ අපි ශනිදා දහයට ඉරිදා උදේ දැම්ම ඕං

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම සොඳුරු මතක තමයි!
      මම හිටියේ රෝහලක නේවාසිකව! ඒ නිසාම එහේට ජෙනියකින් විදුලිය තිබුනා! මට අවුලක් උනේ නෑ! අවුලක් නෑ ඉරිදා දැම්මත් "ශනිදා දහයට" නොවැ!?

      Delete
  7. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන කතාවක්.කොච්චර ලස්සනද කියනව නම් comment එක දාන්න කලින් තුන් හතර වතාවක් කියෙව්ව.මේ කතාවෙ කිතුල් ගහත් උප ප්‍රඩාන චරිතයක් වගෙයි නේද.ඔබේ මිත්‍ර කරූටත් එයාගෙ දරුවන්ටත් මගේ හර්දයන්ගම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කිතුල් ගහ; මම ශ්‍රී මහා බෝධියට උපමා කලේ ඒකමයි. බොහොමත්ම ස්තූතියි සරත් මහත්තයා!

      Delete
  8. අතීත මතක සුවඳ දැනෙන හරිම ලස්සන සටහනක්. කාලෙ ඉගිල්ලිලා දරුවො ලොකු වෙලා. සතුටක් වගේම පුංචි දුකකුත් හිතට දැනුනා කියවද්දි.

    ReplyDelete
    Replies
    1. ඔව් සේපාලිකා! ඒකනේ කියන්නේ "දුකම කොයි තරම් සතුටක් දෝ!?" කියලා.
      ස්තූතියි ඔබට මෙහි ගොඩ වැදුනාට!

      Delete
  9. මතක්කරන්න ඔය විදියේ අත්දැකීම් තියෙන්නත් වාසනාව ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කරණවා කොහොමද මේකටපිළිතුරු දෙන්නේ කියලා!?
      ස්තූතියි.

      Delete
  10. සුපුරුදු පරිදිම අපූරුවට ලියලා. 👌

    ReplyDelete
  11. වසික , කලමි, ලක්ෂිකා , මධුශිකා ට සුභ පැතුම්. මෙයා හිටි ගමන් ඔසී පැත්තේ යන්නේ ඇයි කියල දැන් තමා තේරුනේ.

    ReplyDelete
  12. ලක්ෂිකාDecember 10, 2023 at 10:54 PM

    බොහොම ස්තූතියි අංකල්. රසවත් මෙන්ම සංවේදී දිගහැරුමක්. අම්මයි, අප්පච්චියි වගේම අපට උපදෙස් දෙමින්, අප සමඟ සිටිමින්, මෙතෙක්ක ආ ගමනට අංකල් සහ ආණ්ටි ගෙන් ලැබුණු සහය අපමණය.

    පුංචි කාලේ අපි ඔක්කොටම, පෝලිමට, වයස පිළිවෙලට අංකල් බත් කවපු හැටි අද වාගෙ මතකයි.
    මමයි, නංගියි, කල්මලියි, වසිකයි ගතකරපු ඒ සුන්දර ළමා කාලයට අංකල්ගේ වචන ඔස්සේ නැවතත් යන්නට පුළුවන් වුණා. නැවත දිනක අපි ඔක්කොටම එකට හමුවී කාලය ගත කිරීමට ලැබීම මගේ එකම ප්‍රාර්ථනය යි.

    ReplyDelete
  13. මම තමයි මංජුල ගේ පලමු කථාන්තරයේ සදහන් එම් එම් පී පී කරුනාරත්න.මගේ පරිගනකහේ දෝෂයක් නිසා මේ සටහන තබන්නට ප්‍රමාද වුනා. මංජුල මහතාට ලියා ඇති කතන්තර කීපයේ අමතකවුනු තැන් කීපයක් මෙහි ලියා තබමි

    පලමු කථාව.

    ඇත්තෙන්ම මා වැලිමඩ අපේ ගමේ හිටි දරිද්‍රතාවයෙන් පෙලුනු 11 දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නායි. සමහර කාලවලට උදේට මොනවා හරි කෑවාම දවල්ට රෑට මොනවාකන්න ද යන ප්‍රශ්නය අප පවුලට බෝවිට තිබුනු අභියෝගයකි. කොස්, දෙල් මං‍ඥාක්කා,බතල කාගෙන් හරි නයට ඉල්ලාගත් හාල් ටිකක් ඒ දවස් වල අපිට පිහිට වුනා. අපේ ගමේ පවුල් වලින් 25% පමන අපිවගේ දුප්පත් අය.
    අපේ වත්තේ කුඩා සහ ලෙකු කිතුල් ගස් බොහෝ එකල තිබුනා. ගමේ හිටි පුංචිරාල, ඩිංගිරිබංඩේ සහ ආරි යන අය තමයි පීදුනු කිතුල් මැද්දෙ. කිතුලු මල් මදින්න අවශ්‍ය බෙහෙත් වලට අවශ්‍ය දෙවල් හොයාගෙන ඇවිත් අපේ ගෙදරදීම තමයි වංගෙඩියේ ඒ බෙහෙත් කෙටුවේ. ඉතින් බෙහෙත්ගැන මනා දැනුමක් අපිට තිබුනා. අපේ ගම විශාල ගමක්, එත් අයියටයි මටයි මුලු ගමේම නගින්න බැරි ගස් දෙකයි තිබුනේ. රිලවුන් වගේ එකල අපිට ගස් නගින්න පුලුවන්. එකල අපේ කිතුල් මැද්ද අය හරියට අපේ පංගුව දුන්නේ නෑ.

    ඉතින් අයියයි මායි තීරනය කලා ගේ ඉස්සරහ තිබුනු උස විශල කිතුල අපිම මදින්න. අයියගේ වයස අවු 15,මට 14යි. මේ කිතුලේ එකවර මල් දෙකක් ආවා. අයියා මල් බෙහෙත් තිබ්බත් අයියගේ කකුලක තුවාලයක් හැදුන් නිසා දවස් තුනෙන් මල්දෙකේ කැරලි කප්න්න අයියට බැරිවුන නිසා ඒ කර්තවිය මට කරන්න වුනා. ඉතින් ඒ මල් දෙකෙන් ගගවගේ තෙිලිජ්ජ අවා. අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න කාලකට එයින් විදුනා. දෙසැ මාසයේ එහෙම එහෙට හරි සීතලයි.සමහරදාට වැස්ස. ඒත් උදේ 5.30 නැගිටින මං ඒ මලුත් කපල සැ 05 ක් පමන දුවනවා වැලිමඩ ඉස්කොලයට. අපේ අම්මා අපි ඉගෙන ගන්න හරියට උනන්දුකලා. එදින සිට (වයස 14 සිට 22) මම 1978 කැලනිය විශ්ව විද්‍යාලයට එන තුරු මං ගමේ කිතුල් මැද්දා. හැමදේකට ආදර සම්බන්ධතාත් තියෙන නිසා කෙටියෙන් ඒකත් මෙතනම ලියන්නම්. මට හා හා පුරා කියා වීශ්වවිද්‍යාලයේ දී අපි රැග් කරන කොට ගැලපෙන ගෑනුලමයෙක් හමුවුනා. පස්සෙ බලනකො ඇයත් අපේ පැත්තෙම වැලිමඩම. ඉතින් මාසයක් පමන මේ තිබිලා දවසක් බලනකො මේ ලමයා පේන්න නෑ. හොයලා බැලුවම ගමේ ගිහිල්ල. ඊලගට ආපු දවසෙ බැලුවම මූන හරි නෑ. පස්සෙ මගේ යාලුවෙක් අතේ පනිවුයක් එවුවා ඒක කෙරෙන්නෑ කියලා. මට තේරුනා කොයි ගෑනුලමයද කිතුල් මදින්නෙකු කැමති කියලා. ඒකම වුනා මං වැඩකරපු පලමු කාර්යාලයේ දීත්. මා විදි දහසත් දුක්කම්කටොලු මට යෝද ශක්තියක්වුනා ඒවා දරාන්න. ඒත් පලමු සිද්ධියට පස්සේ මං ජීවිතේ පලමු වතාවට වැටෙන්නම බීවා,පහුවදා උදේ බලනකොට බිම දාගෙනහිටි සීට්එක පුරා වමනෙ දාලා ඒකත් තුරුල්කරගෙන මම නිදි.

    ඊලග කථාව.
    අපේ ගමේ වැවක් තිබුනා දිබ්බැදේ වැව කියලා. අපි වයස අවු 10 දි සිට සරමේ හුලං ගැටයක් ගහගෙන මේ වැවේ පීනුවා. පස්සෙ අපිට හොදට පීනන්න පුලුවන්වුනා.

    මංජුලගේ කථාවෙ සදහන් පරිදිම ඔය කියන දවසේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ 10 වානිජ පංතියේ අපි වැලිමඩ බදුල්ල පාරේ පුහුල්පල ටවුම පටන් ගන්න තැන එ් හරහා ගලන උමාඔයේ අඩි 110 ගැඔුර ලියා ඇති විශාල ගලට උඩින් පීනන්න ගගට පැන්නා. අනෙක් සියල්ලම මේ ගග ගැන හොදට දන්නවා,ඒත් මම දන්නෑ. අනෙක් අය ඒ අය දන්න තැනින් ගොඩ වුනත් මම නොදැනීම නිසා ඊට පහලින් වුන දිය ඇලලෙන් පහලට වැටුනා. ටික වෙලාවක් යන තුරු මට මොනාවුනාද කියලා මට තේරුනේ නෑ.
    අන්තිමට මං ගගේ පාවෙලා යනවා හිටගන්න පනත් නෑ. කොහොම හරි අවසානයේ ගග අයිනේ තිබුනු බට ගහක් අල්ල ගත්තත් නැගිටින්න විදිහක් නෑ.මොකද ඇදගෙන හිටිය ටවල් එක නෑ. ඉස්සරහ පුහුල්පොල ටවුම. ඔහොම ඉදං පස්ස බලනකොට මෙන්න ටවල්එක මං පස්සෙම ගහගෙන එනවා. ඒක ඇදගෙන ගොඩට ආවා, කෙලින්ම ගෙදර ගියා.


    ඊ ලග කතාව.
    මං වි.විද්‍යලයට එනකොටත් මට එක ක්‍රීඩා සහතියක්වත් නෑ. මොකද ඉස්කොලෙදි ඔවට යන්න අපට අවශ්‍ය පහසුකම් (ඇදුම් ,කෑම බීම ආදිය) නෑ. ඉති මං වි. විද්‍යලයට එනකොට හිතා ගත්ත කොහොම හරි වි. විද්‍යාලයේ දී ක්‍රීඩා සහතියක් ගන්න. එදා 1978 ඔක්. 25. මං හිතුවා මී 5000 දුර දිවීමේ තරගයට වැඩිය කවුරුවවත් එන එකක් නෑ කියලා 2.3 ක් වගේ ගනනක් එයි කියලා. ඉතින් 3 ක් ආවත් මං කොහොම හරි රවුම් 25 ම දුවලා තුන්වෙනියා වෙලා හරි සහතිකයන් ගන්නවා කියලා. හැබැයි අන්තිමේ දී 7 දෙනෙක් ආවා. බලාපොරොත්තු සුන් කරගෙන දිවුවා, ඊලට මංජුල කියා ඇති පරිදිම 1 වෙනිය වුනා. එහි 3 න් වෙනියා මෑතක විශාම ගිය බදුල්ල මහා දිසාපති ,නිමල් අබේසිරි මහතායි. ඒ සහතිනයේ පිටපත් අමුනා ඇත.




    ReplyDelete
    Replies
    1. මේක මාර කතාවක් මචං. දැන් ඔයාල හුඟක් හොඳින් ඉන්නේ ඒ දුෂ්කර ගමන නිසානේ. එක කිතුලක් මැදලා එහෙම සල්ලි හොයන්න පුළුවන් කියල මම දැනන් හිටියේ නැහැ. මුට්ටියක් තියල ඒකට එන තෙලිජ්ජ රා කිරීම හෝ ඊට කලින් හකුරු ටිකක් හැදීම කියල තමා හිතාගෙන හිටියේ. අර වගේ ගැහැණු ළමයෙක් හම්බ වුනේ නැති එකම හොඳයි. ඒක වාසනාවක්.

      Delete
    2. මේක ලස්සන වගේම සංවේදී කතාවක්. තට්ටයා මහතාටත්, කතාව සම්පූර්ණ කල ඔබටත් ස්තූතියි. ජයවේවා!🙏👌

      Delete
    3. අජිත් ධම්මට:
      ස්තූතියි අජිත් අයියා! ඔව් වොව්!! ඔසී යන්නේ උංව බලන්න තමයි. ලක්ෂිකාවත් ඔසී යවන්න තමයි මටනං ඕන උනේ! ඒත් මේ කෙල්ල ඇමරිකාවට පැන්නානේ!

      ලක්ෂිකාට:
      ඔව් දුවේ ඔයාලා සියල්ල අපිට අපේම දරුවන් විදියට තමයි දැනුනේ හැඟුනේ! ඔයා කවදත් අපේ ලොක්කීම තමයි!

      කරූට:
      බොහෝම ස්තූතියි කරූ මේ ලිපියට අටුවා ටීකා ටිප්පණී සැපයූවාට. ඔබගේ කමෙන්ටුව මාගේ පෝස්ටුවටත් මටත් කල ගෞරවයක්සේ මා දකිමි.
      මිනිසුන් අගය කල යුත්තේ ඔවුන් මියගිය පසු දෙන ඉදිරියේ තබාගෙන කරණු ලබන කයිවාරු වල නොව; ඔවුන් ජීවත්ව සිටියදීමය! ඔබ අපේ කාලයේ වීරයෙකි!

      බස්සාට:
      බොහොමත්ම ස්තූතියි හැමදාම වාගේම අදත් මේ අත්තේ වසා "හූම්! හූම්!!" ගෑවාට. ඔබට සුභ කළුවරක්ම වේවා බස්සෝ!

      Delete
  14. හොද ආදර්ශමත් කතාවක්. දිරියෙන් ජීවිතය ජයගත්ත අය ගැන දැනගන්න වැඩිදුර යන්න ඕනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! ඔව් ඔහු අපේ කාල්යේ වීරයෙක්!

      Delete
  15. "මිතුරැතුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතුසිතුවම් රෑ මෙන් පිටුනොපාවිති"
    සුන්දර අතීත සටහනක්. ඒ ලමයින්ටත්, ඒ මිතුදමටත්... සුබ පතනව. ජය වේවා !

    ReplyDelete
  16. මැරතන් කරු (කරුණාරත්න), ජපානේ දුවපු කරුණානන්ද, බොහෝ කරූලා මැරතන් කරූලා වගෙයි. ඒ අයත් කමෙන්ට් කරලා තියෙන එක බොහොම වටිනවා. වැලිමඩ වතුර පාරක් කිව්ව ම මට හිතුණා උමාඔය වෙන්න ඇති කියලා. අපේ අම්මාගේ නංගිත් වැලිමඩ සෙන්ට්‍රල් ගිහින් තියෙනවා. මේ අංකල් 1956 වගේ මට හිතෙන්නේ. මම්මා 1957. සමහරවිට දන්නවාත් ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දිල්! මේ එහේ මෙහේ දුවන ගමන් පිළිතුරු ලියන්නේ! මම කරූගෙන් අහලා බලන්නම්!

      Delete
  17. කරූ - හිම ක්‍රීඩා? බුදු අම්මේ .. මොනවා වුනත් ඒත් ඉතින් බදුල්ලේ කොල්ලෙක්නේ

    ReplyDelete
    Replies
    1. බදුල්ලේ! අර නැවියත් එහේ නේද?

      Delete
  18. ශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ! තම තමන්; තමාගේ බ්ලොග් අඩවිය තුල වාත වෙන්නට නොදී හැකි ඉක්මණින් එවැනි කමෙන්ට් මකා දැමීම කරණවා නම් ඒ අයට කල හැක්කක් නෑ. ඔය බ්ලොග් ලෝකයෙන් හැලී ගිහිං වත් පොතේ එල්ලුනු එකෙක්ගේ හිඟන වැඩක්!

      Delete
  19. කියෙවුව. ඒ මදැයි නෙහ්...

    ReplyDelete
  20. මට නම් පෝස්ට් 10 ක් විතර ලියන්න් පුලුවන් කථා ගොඩක් මංජුල අයියා එකකින්ම ලියලා...කතන්දර ගොඩක්...හරිම සංතෝසයි...මම ලංකාවට ඇවිල්ලා ඉන්නේ,,කථා කරන්නම් - Mayya

    ReplyDelete
    Replies
    1. ටැංකිව් මයියා! මේ දවස් වල අම්බානක බිසී! මේසන් බාස්ලාට අත්වැඩ දෙනවා!!

      Delete
  21. කරු ටිකක් දැකලා පුරුදුයි වගේ, මම කාලයක් බදුල්ලේ හිටියනේ.

    කිතුලක් මදින්න එසේ මෙසේ පුතෙකුට බෑ, අපේ ගම්වල කිතුල් මැද්දේ හැඩිදැඩි මිනිස්සු

    දුක් විඳලා ඉහලට ආපු එක ගැන සතුටුයි, වටිනාකම වැඩියි.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේ බාහු මහත්තයා! ඔහු අපේ කාල්යේ වීරයෙක්!

      Delete
  22. මා සහ තට්ටයාගේ කොලම අතර කිසිදු ප්‍රශ්නයක් නැත. ඔහු මගේ හොඳම යහළුවෙකු ගේ යහළුවෙකි. හිත හොඳ කොල්ලෙකි. මෙවර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේද තමන්ගේ විවාහ සංවත්සරය අතරේ බිරිඳද මස්සිනාද සමග අප සිටි රෙස්ටුරන්ට් එකට පැමිණ කතා කර සින්දුවක් කියා පිටව ගිය එළ කොල්ලෙකි. සමහර වෙලාවට මම අකැමති වාක්‍යයක් දුටුවොත් ඒකට එල්ලීගෙන ගොස් කමෙන්ට් දැමීම මගේ පුරුද්දකි. ඒ ඇරෙන්න අපි වාද කරනවාට වඩා කලේ සාකච්චාවකි.

    ReplyDelete
    Replies
    1. දහසක් මල් පිපේවා! දහසක් මත ගැටේවා!! කියලයි මාවෝ කිව්වේ!
      අජිත් අයියාත් මමත් අතර එහෙම ගැටුමක් නම් කොහෙත්ම නෑ! අපි පෙරමුණු දෙකක සටන් කරණ සොහොයුරන්! ජයවේවා!

      Delete
  23. කථාවට සම්බන්ධ ඔක්කොම එකතු වෙලා. හරිම අපූරුයි. ඔබතුමාගේ කථා වල පොදු සාධකය "වයිං ඉස්ටෝරු සහ කිතුල්" වගේ. කථා නායකයාගේ එකතු වීම මීට පෙර අත්දකින්නට නොලැබුණු දෙයක් නේද. දරුවන් කුඩා කල මතක හරිම මිහිරියි. වචන වලට පෙරලන්න බැරි තරමේ සුන්දරකමක් ඒවාගේ එතිලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි තට්ටයා මහත්තයාගේ මතකාවර්ජනයටත්, ඔබතුමාගේ හිතේ වස්තුබීජයක් පැල කරපු කරූටත්.......

    ReplyDelete
    Replies
    1. මම වීරසිරි බන්ඩාර .....

      Delete
    2. ස්තූතියි වීරසිරි බණ්ඩාර මහත්තයා! පිළිතුරු පමා වූවාට සමාවෙන්න!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...