Saturday, October 28, 2023

බ්ලැක් හෝක්

 


මේකට සැක කවුරුවත් ඉන්නවද මිස්ට අනුරාධ. 


සී  අයි ජයන්ත මාදිවල මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ බිත්තියේ පෝලිමට ගහලා තියෙන ෆොටෝ වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම


ඒ ෆොටෝ ගත්තම වම්පැත්තෙ උඩ පේලියම වර්ල්ඩ්  නයිෆ් ත්‍රෝවිං ලීග් එකේ මම ක්‍රීඩා කරපු අවස්තා සහ තුන්වෙනි ස්තානය ගත්ත වෙලාවෙ ෆොටෝ.


ඊලඟ පේලිට අවසන් හතරදෙනා අතරට ආපු ඇමරිකාවෙ වර්ජීනියා  නයිෆ් ඇන්ඩ් ඇක්ස් ත්‍රෝවිං චැම්පියන්ශිප් එකේ ෆොටෝ.


තව චෙක් රිපබ්ලික් නයිෆ් ත්‍රෝවර්ස් චැම්පියන්ෂිප්, සමර් ඇක්ස් ඇන්ඩ් නයිෆ් ත්‍රෝවිං ලීග් වගේ ලෝකෙ පුරාම පිහිය විසිකිරීමෙව් තරඟවල ජයග්‍රහණ. සහභාවිවුන අවස්තා වල ෆොටෝ


ආ ... මිස්ට අනුරාධ .. ඇහුනද.. 


එහෙම කිව්ව ගමන් මට නටාෂාගෙ මූණ දිහා බැලුණා.... නටාෂා බිම බලාගත්තා..


එහෙම සැක කරන්ට කියලා කෙනෙක් මට එකපාරටම හිතාගන්ට බෑ ඉන්ස්පෙක්ටර්..


ම්ම්... CCTV වැඩ කරන්නෙ නැතුව කොච්චර කල්ද


ඒකනං ඉන්ස්පෙක්ටර් සෑහෙන කල්... හදන්ට කියලා එහෙමට උවමනාවක් ආවෙත් නෑ. ..ඒක මතක් වුනෙත් නෑ...


ඒවා එහෙම අත අරින්න හොඳ දේවල් නෙවේ මිස්ට අනුරාධ ..දැං පේනවනෙ.


************


මැරිලා තිබුණේ .... ඇත්තටම කිව්වොත් මරලා තිබුණේ මගේ එකම පුතාව... හරියටම මගේ කාමරේ දොර ඉස්සරහම... මගේ පිහි එකතුවෙන්ම ගත්ත පිහියකින් මගේ පුතාවයි ගෙදර සර්වන්ට්වයි  දෙන්නම මරලා දාලා.


අවුරුදු 9ක පොඩි දරුවා... හවසට හරි දවල්ට හරි ඉස්කෝලෙන් පන්තියෙන් ක්‍රිකට් ප්‍රැක්ටිස් වලින් මොකෙන් හරි ඉවර වෙලා ආවම දුවගෙන එන්නෙ අපේ කාමරේට..


එදා ඒ කාමරේ ඇතුලෙ එයාගෙ මාරයා හැංගිලා ඉන්න බව අහිංසක දරුවා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති.


************


මම අනුරාධ,  අනුරාධ ඇල්ලෙපොල .... මහනුවර නගරයම හොඳමට දන්න ව්‍යාපාරිකයෙක්. මධ්‍යම පලාතටම වාහන අමතර කොටස් විකිණෙන්නෙ මගේ ෂෝරූම් සහ ස්ටෝර්ස් හරහා. 


මගෙ තාත්තා කාලයක් මහනුවර දළදා මාලිගාවෙ දියවඩන නිලමේ.


මේ හැම එකටම වඩා මාව හැමෝම දැනගත්තේ.. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් world knife and axe throwing championship එකේ දෙවනි ස්ථානය දිනාගත්ත ක්‍රීඩකයා විදිහට. අපේ සීයා එකාලෙ සුද්දෙක්ගෙන් ඉගෙනගත්ත ශිල්පය අපේ තාත්තගෙන් මටත් ආසම ක්‍රීඩාවක් වුනා.


මුලදී මට ආස හිතුනෙ ඒ ලස්සන පිහි වලට...පස්සෙ පස්සෙ ඒවා ඉලක්කෙට විසි කරන්න පුරුදු වුනා. 


සීයයි තාත්තයි ජීවත් වුන අපේ ගෙදර කෑම කාමරේ, මාස්ටර් බෙඩ් රූම් එකේ දොර පිටිපස්සෙ  සහ සාලෙ ලොකුම බිත්තියේ... ත්‍රෝවිං  ටාගට් බෝඩ්ස් හයි කරලා තිබ්බෙ ඒ කාලෙ ඉඳලම...


ඊට අමතරව.. වෙනම ට්‍රේනිං ඒරියා එකක් ගරාජ් එක එක්කම හදලා තිබ්බා.


මම දෙසැරයක්ම ඇමරිකාවෙ තියෙන WKTL USA Pro Championship කියන knife throwing championship  එකට සුදුසුකම් ලැබුවා.. දෙවනි වතාවෙ මම තුන්වෙනියා වුනා..එහෙම ක්‍රීඩාවක් ලෝකෙ තියෙනවා කියලා ගොඩක් අය දැනගත්තෙත් ඊට පස්සෙ.


මේ හැම එකම මම කියන්නෙ.. මගෙ පුතාවයි සර්වන්ට්වයි මරලා තිබ්බේ ..මගේ ඒ පිහි එකතුවට අලුතෙන්ම මම ඇමරිකාවෙන් ගෙනාව බ්ලැක් හෝක් වර්ගයේ පිහියකින්..


තව භාර්පි, මර්ලින්, ෆීනික්ස්, රැප්ටර්, ස්පැරෝ හෝක්, ටෝබි වගේ පිහිවර්ග දෙසීයකට වඩා වැඩි ප්‍රමාණයක් පිහි එකතුවේ තිබ්බා.


ඒ එකකටවත් අත තියලා තිබ්බෙ නෑ. ඒ වගේම ගෙදරින් අතුරුදහන්  වෙලා තිබ්බෙ , අපේ පරම්පරාවෙන්ම ලැබිලා තිබ්බ ගජමුතු ටිකයි, දියමන්ති දාලා තිබ්බ පොඩි ඩයමන්ඩ් බොක්ස් එකයි විතරයි. 


ඒක තියෙන තැන දැනගෙන හිටියෙ මමයි, අප්පච්චියි, නටාෂයි විතරයි.


************


පොලිසියට තාම හොයාගන්ට බැරිවුනා අඩුගානෙ ඒ හොරා මිනීමරුවා මොකටද මේ ගේ ඇතුලට ආවෙ කියලා... 


අප්පච්චිගෙ සද්දෙ... ගේ පුරාම දෙදරුම් කෑවා..


නටාෂගෙ කොණ්ඩෙන් අල්ලගත්ත තාත්තා 


"මම අරු ගැන බලාගන්නං... ඌ මේකට ගෑවිලා තිබ්බොත් උංගෙ හැතිකරෙයි උඹලගෙ හැතිකරෙයි කෑලි කෑලි  කපලා හන්දිවල එල්ලනවා කපුටොන්ට කන්ට.."


බෙරිහන් දීපු අප්පච්චි ක්ලිෆර්ඩ් ඇල්ලෙපොල ගෙයින් පිටවෙලා ගියා..


************


නටාෂා මට හම්බවුනේ ප්‍රපෝසල් එකකින්.. ඒ වෙනකොට නුවර ස්පෙයා පාර්ට්ස්  බිස්නස් එකේ අපේ ප්‍රධානම ප්‍රතිවාදියා වුනේ..විජේරත්න මෝටර්ස් ..ප්‍රියන්ජන  විජේරත්න ඒ කියන්නෙ නටාෂගෙ තාත්තා බැඳලා හිටියේ මොරීන් ආන්ටි කැතලික්. ඒ නිසා පලුදු වෙලා තිබ්බ අභිමානය ආපහු ගොඩගන්න  අපේ කසාදෙට අපිටත් වඩා උනන්දුවක් පෙන්නුවෙ විජේරත්න අංකල්. 


උඹලට මතකද.. බීලා බෝපත් ඇල්ලෙ නාන්න  ගිහිං ගිලිලා මැරුණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් .. ඒක වුනේ අපේ වෙඩින් එකට මාස එකහමාරකට පස්සෙ. අන්න එයා තමා ප්‍රියන්ජන විජේරත්න, නටාෂගෙ තාත්තා. ඒ ගිලෙන හැටි වීඩියෝ කරලා තිබ්බේ අපේ තාත්තා . එයා එවෙලෙ බීලා ඉඳලා නෑ... එයාට පීනන්න බැරි නිසා බේරගන්න වුනේ නෑ කියලා එයා කිව්ව එකට කාලකණ්නියො කතා හදන්න ගත්තෙ වෙන කවුරුවත් නොහිටිය ඒ පවුලෙ බිස්නස් වැටෙන්න නොදී අපි අපේ යටතට අරගෙන බලාගන්න පටං ගත්තම.


*********


නටාෂා යාලුවෙලා හිටියෙ සුරෙෂ්ගෙ තාත්තා දෙමළ. ඒ නිසා තමා විජේරත්න අංකල්ට මේ කසාදෙ ඉක්මන් කරන්න ඕනවෙලා තිබ්බෙ. මට ඕන්නං ඕකව ඒ දවස්වලම ඉවරයක් කරන්න තිබ්බා. ඒත්  බූරුවෙක් වගේ අහුවෙන්න වැඩ කරන්න එපා කීයලා තාත්තා බැන්න නිසා මම ඉවසුවෙ.


නටාෂා කාලෙක ඉඳලා සුරේෂ්ව ආපහු ගෙදර ගෙන්නගන්නවා කියලා වටිං පිටිං ආපු ආරංචියට හයි කරපු CCTV එක නිතරම කැඩෙන්න ගත්තා. කීප සැරයක් හදලා හදලා.. අන්තිමට මම තීරණය කලේ ඕක අහුකරගන්න ඕන අතටම කියලා.


*********


පුතා ඉස්කෝලෙ ගියාම සර්වන්ට් එයා එක්කම ගිහිං හවස ක්ලාස් ප්‍රැක්ටිස් වගේ ඒවා ඉවරවෙනකං ඉඳලා එයා එක්කම එන නිසා දවල් දවසේ කවුරුවත් ගෙදර නෑ..


ඒත් වෙලාවට එදා ප්‍රැක්ටිස් කැන්සල් වෙලා පුතා කලිං ඇවිලල. කවුරුවත් නෑ කියලා හිතාගෙන  ගෙදරට ආපු සුරේෂ් එක්ක නටාෂා ඉන්නවා දැකපු නිසා සර්වන්ට්වයි පුතාවයි සුරේෂ් හරි නටාෂා හරි දෙන්නම හරි එකතුවෙලා මරන්න ඇති කියලා තමා නටාෂව පොලීසියෙන් සැකපිට  අතඩංගුවට ගත්තෙ.


මොකද අතුරුදන් වෙලා තිබ්බ ගජමුතු ගැන අප්පච්චි ඇරෙන්ට වෙන දැනගෙන හිටියෙ මායි නටාෂයි විතරයි.


ඒ සිද්දියෙන් පස්සෙ සුරේෂ් ඒ වෙනකොටත් අතුරුදන් වෙලා තිබ්බ නිසා නටාෂට පොලීසියෙන් බුරුලක් ලැබුනෙම නෑ.


**********


එදා  බදාදා දවසක්.... උදේම පුතා ඉස්කෝලෙ ගියේ සර්වන්ට් එක්ක . 


"ඔයා අද යන්නෙ නැද්ද... "

නටාෂා ඉන්නෙ හරිම නොඉවසිල්ලෙන් කියලා මට තේරෙන්න එයාගෙ කටහඬේ වෙව්ලන ගතියෙ හොඳම සාක්කියක්.. 


"යනවා යනවා.. අද කෑගල්ලෙ යන්ට ඕන . ඒ නිසා ෂ්ප් එකට නොගිහින්  කෙලින්ම යනවා"

 කියලා මම කිව්වෙ මමම හදපු ලයිම් ජූස් එක නටාෂට දෙන ගමන්.


නටාෂා මේ ලෑස්තිවෙන්නෙ මොකාටද කියලා මට සහසුද්දෙන්ම පැහැදිලි වෙලා ඉවරයි...


මම දීපු ලයිම් ජූස් එක බීපු නටාෂා පැය කාලක් යනකොටම නින්දට වැටුනෙ.. මට එයාව අනික් කාමරේට දාලා ලොක් කරන්න කිසිම බාධාවක් නොකර.


ඒ අතරේ සුරේෂ්කාරයා මේක නොදැන නටාෂාව හොයාගෙන ගෙදරට එන බව මම දැනගෙන හිටියා , මොකද මේ වෙලාවට ගෙදර කවුරුවත් නැෑ කියන එකයි. පෙර පුරුද්දයි නිසා සුරේෂ් කාරයා කෙලින්ම එන්නෙ කාමරේටම කියන එක ඒ වෙනකොට මම සහාසුද්දෙන්ම දැනගෙන හිටියා.


නටාෂව සප්‍රයිස් කරන්න සුරේෂ් එනකොට. ඌව සප්‍රයිස් කරන්න මම බලාගෙන හිටියේ මාස්ටර් බෙඩ් රූම් එකේ ඇඳට වෙලා. දොර පිටිපස්සෙ තිබ්බ ටාගට් බෝඩ් එකට පිහිය විසි කර කර.


ඒ මූසල තප්පරේ මම පිහිය විසිකරනකොටම දොර ඇරගෙන පුතා එයි කියලා මම හීනෙකින්වත් හිතුවෙම නෑ දෙයියනේ...

22 comments:

  1. මේකෙ හරියට කමෙන්ට් එකක් දාගන්නෙ කොහොමද කියල හොයල දෙන්න එකෙක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. හැබෑට... ඉවෝන් උබ මොකද්ද මේකට කරල තියෙන්නෙ?

      Delete
    2. කවුද ඉවෝන් කියන්නෙ. බොටත් රැප්ටර් පිහියකින් කන්න ඕන වෙලා තමයි ඉතිං.

      Delete
    3. ඉවෝන් කියන නම දැම්මෙ මං නෙමෙයි, සයිලන්ට් සහන්

      Delete
    4. ඩ්‍රැකී,

      ඒ බං සහනට වෙච්චි දෙයක් නෑනෙ නේද?

      Delete
    5. නම වැටෙන්නෙ නෑ..සහනා ගැන කමෙන්ට් එක දැම්මෙ මම - රවි

      Delete
  2. කියවන්නැතුව ම කමෙන්ට් එකක් දානව. කියවලා දාන්න හෙට එන්නං

    ReplyDelete
  3. හෙට එන්නං කිව්වට, එක හුස්මට කතාව කියෙව්වා. එඩ්ගා ඇලන් පෝ ගෙ කතාවක් වගේ ගතියක් තියෙනව මේකෙ...

    ReplyDelete
  4. ටිකක් මේකත් වගේ...
    https://youtu.be/IfZiVFZEJes?si=JI7Ue_vMIWaZmxym

    ReplyDelete
  5. මට මේකෙ කමෙන්ට් වලට රිප්ලයි දාන්න බෑ. ඒවා ඉබේම නැතිවෙනවා. හදාගන්න විදිහක් කියපල්ලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් බ්ලොග් වල ඒ ප්‍රශ්නෙ තියෙනවා.කමෙන්ට්ස් ගොඩක් වෙලාවට ස්පෑම් එකේ තියෙනවා.

      Delete
  6. ඒක මරු කතාව.
    උගත් පාඩම, තිබ්බ පලියට පිහි හැමවෙලේම ඕව විසි කරකර ඉන්න එපා.

    ReplyDelete
  7. පුලුවන්නං අර ඩ්‍රැකිය කියන එකා ඉගිලෙන වෙලාවට ඔහොම පිහියක් විසිකරහංකො.

    ReplyDelete
    Replies
    1. ඔව් මලවදේ , හැම වෙලාවෙම ශනිදා දහයට ගානකොට දෙන්න හිතෙනවා මෝල් ගහෙන්ං

      Delete
  8. ආ මේන් යාන්තං මට ඇනෝ නොවී නමින්ම එන්න පුලුවන් වෙලා.මේ බ්ලොග් එක හොයාගන්න විඳින්න ඕන දුකක් අප්පා.ඇයි ඔයා අපිට මෙහෙම සලකන්නෙ ආ පව්ලූශා 🤗

    ReplyDelete
    Replies
    1. අයියෝ මට එපා වෙලා. මේක අප්ඩේට් වෙන්නෙත් නෑ. රිප්ලයි කරන්නත් නෑ කාටවත්

      Delete
  9. මෙහෙම කතා ලියන්න ඉගෙන ගන්න අමතර පන්ති එහෙම යනවද උඹ

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]