HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මිත පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි.

විවිධ ප්‍රමාණවලින් යුත් අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිකිරීමේ දී මෙන් ප්‍රචණ්ඩ හැලහැප්පීම් නැතිව, අවුල් ජාලයක් නොවී, බිහිවූ ‘අපූරු සෞරග්‍රහ මණ්ඩලයක්’ සොයා ගැනීමට විද්‍යා පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටා ඇති මෙය ‘පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්’ ලෙසයිථ ඔවුන් විසින් හඳුන්වා දි ඇත්තේ. මෙයට එකම ප්‍රමාණයේ ග්‍රහලෝක හයක් අයත් වෙනවා. වසර බිලියන 12කට පෙර එය බිහි වූ අවස්ථාවේ තිබූ ආකාරයට ම නොවෙනස්ව පවතින බවත් ඔවුන් විසින් නිරීක්ෂණය කර තියෙනවා. කිසිම අයුරකින් බාධාවක් නොවී එය නිර්මාණ වී තිබීම මෙවැනි ග්‍රහලෝක තැනී ඇතිආකාරය හා ඒවායේ ජීවය තිබේද යන්න ගැන සොයා ගැනීමට ලොකු රුකුළක් වනු ඇති. පර්යේෂකයන් මේ පිළිබඳව විස්තරයක් ‘නේචර්’ (Nature) විද්‍යා සඟරාවේ පළ කර තියෙනවා. 

ග්‍රහලෝක නිර්මාණය බොහෝ විට සිදු වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් ඔස්සේයි. (චිත්‍ර)

අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූයේ දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියක් තුළිනුයි. ඇතැම් ග්‍රහයන් නිර්මාණය වී ඇත්තේ එකිනෙකාගේ ගැටීම්වලින් පසුවයි. ඒ නිසා ඒවායේ කක්ෂයන් පවා වෙනස් වුණා. ඒ නිසයි, අපේ වැනි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක සමග බෘහස්පතී, සෙනසුරු වැනි යෝධ ග්‍රහයන් ආසන්න කක්ෂවල ගමන් කරන්නේ. 

අලුතින් සොයා ගෙන ඇති සෞරග්‍රහ මණ්ඩලය පර්යේෂකයන් විසින් වැඩිදුර කල්පනා නොකර හඳුන්වා ඇත්තේ HD110067 කියලයි. සමහර විට මෙයින් මතු වන අලුත් තත්වයන් යටතේ එහි නම අනාගතයේ දී වෙනස් වන්නට ඉඩ තියෙනවා. 

මේ පර්යේෂණයට නායකත්වය දුන් ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෆායෙල් ලුකේ (Rafael Luque) කියන්නේ, "the perfect solar system" (“මෙය පරිපූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්”) එකක් බවයි. 

“මෙය ග්‍රහලෝක ඇති වුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක්. මොකද අපේ සෞරග්‍රහ මණ්ඩලය හැදෙන වෙලාවේ වගේ ප්‍රචණ්ඩකාරී තත්වයක් මේ ග්‍රහ ලෝක නිර්මාණය වුණු වේලාවේ දී සිදුවෙලා නැහැ. ඒවා බිහි වූ දා සිට මේ දක්වා කිසිම හානියක් හෝ වෙනස් වීමක් හෝ සිදුවී නැහැ.” ඔහු තවදුරටත් කියනවා. 

සංගීතය යොදා නිර්මාණය කළ නව ග්‍රහයන්ගේ චලනය දැක්වෙන වීඩියෝවක් පහතින් 


එංගලන්තයේ වර්වික් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මරිනා ලෆාගා මාග්‍රෝ බීබීසී සේවයට කියා ඇත්තේ, “මෙය ඇත්තෙන්ම සිත්ගන්නාසුලු, සුවිශේෂී දෙයක්” බවයි. “අපි මවිතයට පත් වුණා. මේ වගේ දෙයක් මීට පෙර තාරකා විද්‍යාඥයන් කිසිවකු දැකලා නැහැ” ඇය වැඩිදුරටත් කියනවා. 

මේ නව සොයා ගත් ග්‍රහයන් මෙහි දැක්වෙන නෙප්චූන් ග්‍රහයාටත් 
පෘථිවියටත් අතර ප්‍රමාණයේ ඒවාය. (චිත්‍ර)

පසුගිය වසර 30 තිස්සේ තාරකා විද්‍යාඥයන් විසින් තාරුකා පද්ධතීන් දහස් ගණනක් සොයා ගෙන තියෙනවා. ඒ කිසිවක් මේ තරම් හොඳට ග්‍රහලෝක හැදුණු හැටි හොයන්න මේ තරම් සුදුසු නැහැ. මේ ග්‍රහලෝක සියල්ල ම එකම ප්‍රමාණයේ වගේ ඒවායි. මෙය තාරකා විද්‍යාඥයන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි, ඔවුන් සලකන්නේ. ඊට හේතුව ඒවායේ ඇති වෙනස්කම් විමසා බලා සංසන්දනය කිරීමේ පහසුවයි. මේ නිසා ඒවා මුලින් ම ඇති වූ ආකාරය හා පසුව පරිණාමය වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අනාගතයේ දී ලබා ගත හැකි වේවි. 

ජීවය ඇතැයි පසුගිය සැප්තැම්බරයේ ඉඟි පළ කළ k2-18b නම් 
අනු-නෙප්චූන් ග්‍රහයා (චිත්‍ර)

අපේ සූර්යයා වෙනුවට මේ පද්ධතියට දීප්තිමත් තරුවක් තියෙනවා. ‍ඒ නිසා ඒ ග්‍රහයන්ගේ වායුගෝලවල ජීවය අත්දැයි පිරික්සීම පහසු වේවි. 

තාරකා විද්‍යාඥයන් මේ අලුත් ග්‍රහයන් නම් කර ඇත්තේ ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් ලෙසයි. ඒවා අපේ පෘතුවියට වඩා ප්‍රමාණයෙන් විශාලයි; ඒත් නෙප්චූන් ග්‍රහයාට වඩා ප්‍රමාණයෙන් කුඩායි. (අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් සැබෑ නෙප්චූන්ගේ මහත පොළොවට වඩා සිව් ගුණයක්) මේ අලුතින් සොයා ගෙන ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් පෘථිවිය මෙන් දෙතුන් ගුණයක් ලොකුයි. 


මේ අලුත් ග්‍රහයන් සොයා ගනු ලැබුවේ නාසා ආයතනය උඩු ගුවනට යැවූ 
‘ටෙස්’ අභ්‍යවකාශ දුරේක්ෂක චන්ද්‍රිකාව.

පසුගිය සැප්තැම්බර මාසයේ දී වෙනත් තරු පද්ධතියක පිහිටි මෙවැනි ‘අනු-නෙප්චූන්’ ග්‍රහයකු වෙත පෘථිවි වායුගෝලයේ ඇති ජීවයට මග පෑදූ වායු වර්ගයක් ඇති බව සොයා ගැනීමත් සමඟ මේ නව සොයා ගැනීම් ගැන විශාල අවධානයක් යොමු වුණා. තාරකා විද්‍යාඥයන් විසින් කියා හඳුන්වා ඇති ඒ ග්‍රහයාගේ වායු ගෝලයේ ඇති මේ වායු වර්ගය ඔවුන් හඳුන්වන්නේ ‘ජීවලකුණු’ (biosignature) කියා යි. 

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මෙවැනි ‘අනු-නෙප්චූන්’ ග්‍රහයන් කිසිවකු නැතත්, ඒ ග්‍රහයන් තමා මේ මන්දාකිණිය තුළ වැඩියෙන් හමු විය හැකි ග්‍රහයන් වන්නේ. ඒත් පුදුමය නම් ලෝක තාරකා විද්‍යාඥයන්ට ඒ ග්‍රහයන් ගැන ඇත්තේ ඉතාමත් අල්ප දැනුමක් වීමයි. 

අඩු තරමින් ඔවුන් දන්නේ නැහැ, ඒවා නිර්මාණය වී ඇත්තේ පාෂාණවලින්ද ඒත් නැත්නම් වායුව හෝ ජලය ආදියෙන් ද කියන්න. ජීවය ඇති විය තත්වයන් ඒ වායු ගෝලවල තියෙනවාද නැද්ද කියා කියන්න ඔවුන් දන්නේ නැහැ. මේ විස්තර හෙළිදරවු කර ගැනීම මේ ක්ෂේත්‍රයේ ඇති වඩාත් අවධානයට ලක් වූ මාතෘකාවක්. ආචාර්ය රෆායෙල් ලුකේ කියන විධියට ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් කළ මේ HD110067 සොයා ගැනීම, ‍ජීවය පහළ වීම පිළිබඳ තතු ඉක්මනින් හෙළිදරවු කර ගැනීමට මග පාදා දේවි. 

“මා හිතන්නේ, ඒකට තව වසර දහයකට වඩා ගත වෙන එකක් නැහැ.” ඔහු පසුගියදා බීබීසියට කීවා. 

“අප ඒ ග්‍රහයන් ඉන්නා බව දන්නවා; ඉන්නා තැන දන්නවා. අපට ඒ ගැන අවශ්‍ය පිරික්සුම් කරන්නට තව කෙටි කාලයක් විතරයි. එය සිදු වේවි.” ඔහු තවදුරටත් කියනවා. 

මේ කණ්ඩායමේ ඊළඟ නිරීක්ෂණ වටය වෙන් කර ඇත්තේ ‘අනු-නෙප්චූන්’ ග්‍රහ ලෝකවල ජීවය පහළ විය ලක්ෂණ ඇත්දැයි සොයන්නයි. මේ ග්‍රහයන්ගේ සොයා ගැනීමත් සමග ජීවය පැවතිය හැකි ග්‍රහයන්ගේ ගණන වැඩි වුණා. ඒ වගේම වෙන ග්‍රහ වස්තූන්වල ජීවයට පැවතිය හැකි තත්වයන් අත්දැයි සෙවීමේ උනන්දුවත් තරකා විද්‍යාඥයන් අතර වැඩි වුණා. මේ නිසා වෙනත් ලෝකවල ඇති එවැනි පරිසරයක් සොයා ගැනීම ඉක්මනින් ම සොයා ගනීවි. 

මේ අලුතින් සොය‍ා ගත් ‘නව නෙප්චූන්’ ග්‍රහයන් වෙත ජීවලකුණු ඇත්දැයි තහවුරු කර ගන්න වෙනත් තාරකා විද්‍යාඥයන් පවා තරගයට වැටිලා. වෙනත් විද්‍යාඥ පිරිස් විසින් සොයා ගන්නා ලද දුසිම් ගණනක් වන ග්‍රහලෝකද මේ අතින් අවධානයට ලක් වෙලා තියෙන්නෙ. 

අලුතින් එක්වී ඇති මෙවැනි නිරීක්ෂණ කිරීමට පහසුකම් ඇති අති ප්‍රබල දුරේක්ෂ රාශියක් මේ සඳහා විද්‍යාඥයන් විසින් එක්කර ගෙන තියෙනවා. අනිත් අය ‘ඔන් ලයින්’ ඔස්සේ ද මේ පර්යේෂණ සඳහා එක්වී තියෙනවා. බොහෝ තාරකා විද්‍යාඥ කණ්ඩායම් විශ්වාස කරන්නේ අපට ඒ විස්මිත ආරංචිය ළඟදී ම ලැබෙන බවයි. 

ලෝක තාරකා විද්‍යාඥයන් මේ නව ග්‍රහයන් සොයා ගැනීමට ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ නාසා ආයතනය විසින් උඩුගුවනට යවා ඇති ‘ටෙස්’ (TESS - Transiting Exoplanet Survey Satellite) නමින් හැඳින්වෙන සංක්‍රාන්තික ග්‍රහලෝක නිරීක්ෂණය සඳහා යැවූ චන්ද්‍රිකා අභ්‍යවකාශ දුරේක්ෂකය සහ යුරෝපා සංගම‍ය ‍හෙවත් ‘එසා’ (ESA) විසින් යවා ඇති ‘චෙයොප්ස්’ නම් වූ (Cheops - CHaracterising ExOPlanet Satellite) බහිර් ග්‍රහයන්ගේ ගතිලක්ෂණ නිරීක්ෂණය පිණිස යැවූ චන්ද්‍රිකා අභ්‍යවකාශ දුරේක්ෂකයයි. මේවා උඩුගුවනට යවා ඇත්තේ විශේෂයෙන් ම සක්වළ ඇති බහිර් ග්‍රහයන් (Exoplanet) ගැන සොයා බැලීමටයි. 

 - පර්සි ජයමාන්න 

චිත්‍ර රූප සටහන් අනුග්‍රහය නාසා (NASA) ආයතනයෙනි. බීබීසී පුවතක් ඇසුරෙනි.

Post a Comment

0 Comments