ආයතනික සම්පත් විකිණීම හා ණය ගැනීම


-නිශාන්ත කමලදාස

මේ දිනවල බොහෝ දෙනාගේ කතාවට මාතෘකා වී ඇති එකක් ලෙස සැලකිය හැක්කේ නුවරඑලිය තැපැල් කන්තෝරුව හෝටලයක් සඳහා විකිණීමට යන පුවත ය. සමහරු එය සලකන්නේ ජාතික සම්පතක් විකිණීම ලෙස ය. නොකටයුත්තක් ලෙස ය. තවත් සමහරු එය අර්ථ දක්වන්නේ නිසි ප්‍රයෝජනයට ගෙන නොමැති සම්පතක් ආදායම් නිපදවිය හැකි උල්පතක් කර ගැනීමක් ලෙස ය. ඉතා සාධනීය පියවරක් ලෙස ය. ඇත්තට ම එය කවර ගණයේ ලා සැලකිය යුතු ද?

ණය ගැනීම සම්බන්ධයෙන් ද මීට සමාන සංවාදයක් පවතින්නේ ය. සමහරු ණය ගැනීමට එක‌ හෙලා විරුද්ධ ය. ඔවුන් කියන්නේ රට මේ තත්වය ඇද වැටුණේ ද ණය ගැනීම නිසා බව ය. ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ ණය ගැනීමෙන් තොර ව නිසි සංවර්ධනයක් කළ නොහැකි බව ය. රට පමණක් නොව ආයතනයකට පවා දියුණු විය නොහැකි බව ය. ඔවුන්ට අනුව වැරැද්ද ඇත්තේ ණය ගැනීමේ නොව ඒ ණය වලින් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති වෙනුවට සුදු අලියන් නිර්මාණය කිරීමේ බව ය.

මේ ක්ෂේත්‍ර දෙක ම වැටෙන්නේ මූල්‍ය පරිපාලනයට ය. රටකට පමණක් නොව ආයතනයකට ද ඊටත් අමතර ව පුද්ගලයින්ට ද නිසි මූල්‍ය පරිපාලනයක්, කළමනාකරණයක්, අවශ්‍ය ය. සම්පත් විකිණීම හා ණය ගැනීම යන ඉහත ක්ෂේත්‍ර දෙකෙන් ම කරන්නේ ආයතනයේ හෝ පුද්ගලයෙකුගේ පැවැත්මට අත්‍යවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සරි කර ගැනීම ය. ඇතැම් තැනක මෙහි අදහස වඩාත් ලාබ ලැබෙන ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට මුදල් සෙවීම ය. සමහර අවස්ථාවල මේ මුල්‍ය ප්‍රතිපාදන ආයතනයේ යහපැවැත්මට හා දියුණුවට නැති ව ම බැරි ය. ඒ මුදල් වියදම් නොකර මුදල් ඉපැයිය නොහැකි නිසා ය.

නුවරඑලිය යනු සංචාරක ආකර්ෂණය දිනා ගත් පුරවරයකි. එහි තැපැල් කන්තෝරුව පිහිටියේ ඒ නගරයේ මර්මස්ථානයක ය. එය විශාල සුන්දර භූමි භාගයක පැතිර ඇති පෞරාණික වටිනාකමක් ඇති ගොඩනැගිල්ලකි.  එසේ වුව ද ආරංචි වල හැටියට ඒ ගොඩනැගිල්ල නඩත්තු කිරීමට අවශ්‍ය තරමේ වත් මුදලක් උපායා ගැනීමට එය සමත් ව නැත. ඒ නිසා එය දිනෙන් දින අභාවයට යන ලකුණු ද පහළ කොට තිබේ. මේ තත්වය යටතේ මෙය තැපැල්හලක් ලෙස පමණක් නඩත්තු කිරීමේ අර්ථයක් තිබේ ද? එහි සුරක්ෂිතතාවත් පෞරාණික බවත් ආරක්ෂා කරන අතරතුර එය රටට වඩාත් වැඩි ආදායමක් උපයන දෙයක් බවට පත් කර ගැනීම වැදගත් නැද්ද?

අපේ අවධානය යොමු කළ යුත්තේ මෙය විකුණනවා ද නැද්ද යන ගැන නොව විකුණන්නේ කෙසේ ද, කුමන අගයකට , ඒ ක්‍රියාවලිය තුළ විනිවිද භාවයක් තිබේ ද, ඒ විකිණීමේ දී කෞතුක වටිනාකම ආරක්ෂා කිරීමට අවශ්‍ය කොන්දේසි තිබේ ද යන කාරණ සම්බන්ධයෙනි. අප ප්‍රවේසම් විය යුත්තේ මිලට ගන්නා තැනැත්තා මේ පෞරාණික ගොඩනැගිල්ල කඩා බිඳ දමා එහි ඇති කෞතුක භාණ්ඩ විකුණා ගෙන හිස් ඉඩම කාට හෝ වැඩි මිලකට විකිණීමේ අභිප්‍රායෙන් මෙය මිල දී ගන්නේ ද යන්න ගැන සොයා බැලීමට ය. එවැන්නක් වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ හුවමාරුව තුළ තිබේ දැයි සොයා බැලීමට ය.

නුවරඑලියේ තැපැල් කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකි. අපේ පෞද්ගලික වත්කමක් ගෙන මේ කරුණ විමසමු. අප සතු විශාල නිවසක් ඇතැයි මොහොතකට හිතමු. දැනට ඒ නිවසේ වාසය කරන්නේ වියපත් දෙමාපිය යුවලකි. දරුවන් තමන්ගේ ම නිවෙස් හදා ගෙන පදිංචියට ගොස් ඇත. මේ නිවස නඩත්තු කිරීමට පමණක් නොව පවත්වා ගෙන යෑමට ද වියදමක් පමණක් නොව ශ්‍රමයක් ද කාලයක් ද වැය කළ යුතු ය. එය කිරීමට අවශ්‍ය ජවයවත් ප්‍රමාණවත් අරමුදල් වත් මේ දෙපොළට නැත. වසරකට වරක් දරුවන් එක් වෙන තැනක් හැටියට එයට වටිනාකමක් ඇතත් ඒ වෙනුවෙන් මේසා මුදලක් ශ්‍රමයක් කාලයක් වෙන් කිරීම ගැන නැවතත් ඔවුන් විසින් හිතා බැලීම පාපයක් ද?  ඊටත් අමතරව ඉදිරි කාලය හොඳින් ගත කිරීමට මේ යුවලට ප්‍රමාණවත් මුදලක් ද නැත. ඉතින් මේ වත්කම විකුණා කුඩා ගෙදරක පදිංචියට යෑම වැරදි විකල්පයක් ද? 

විකිණීම පාපයක් වන අවස්ථා තිබේ. ඒ දරුවන් හා තරහට කුණු කොල්ලයට මේ නිවස විකුණා දැමුවොත් ය. ඒ සූදුව සඳහා මුදල් යෙදවීම පිණිස කවරෙකුට හෝ හදිසියේ විකුණා දැමුනොත් ය. ඒ විකුණා ගත් මුදල වැඩි ආදායමක් ලබන්නට සිතා අවදානම් සහගත ෆිනෑන්ස් ආයතනයක තැන්පත් කොට අවසානයේ සියල්ල අහිමි කර ගත්තොත් ය.

එහෙත් වඩා යහපත් ආයෝජනයකට තමන්ට බරක් වී ඇති වත්කමක් විකිණීම පාපයක් වන්නේ නැත. නිසි මුල්‍ය කළමනාකරණයේ දී තිබෙන සම්පත් සුරක්ෂිත ව පවත්වා ගැනීම පමණක් නොව අනවශ්‍ය බරක් වී ඇති එතරම් ආදායමක් නූපදවන වත්කම් විකුණා නිදහස් වීම ද කළ යුතු ය. ඇතැම් විට ඒවා විකුණනවා වෙනුවට වෙනත් ආදායම් ලබා ගත හැකි ව්‍යාපාරයකට පරිවර්තනය කිරීමට ද හැකි ය.

නිවාස ණයක් ගෙන තමන්ගේ ම නිවසක් සාදා ගැනීම අතිවිශාල ලෙස ගෙවල් කුලී ගෙවමින් කොයි වෙලේ ඉවත් වන්නට සිදු වේ දැයි නොදැන කල් අරිනවාට වඩා යහපත් ය. ණයක් ගෙන එය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාරයක ආයෝජනය කිරීම නරක නැත. ඒ ණය හා පොලිය ගෙවීමට සමත් තරමේ ප්‍රතිලාභයක් උපයනවා නම් ය. ලබා ගත් ණයක් ගෙවීමට නොහැකි වීම නිසා වටිනා සම්පතක් සින්න වීමට නියමිත නම් තවත් ණයක් ගෙවා එය බේරා ගෙන ඉන් පසු එය සාධාරණ මිලකට විකුණා දෙවැනි ණය ගෙවා දමා ඉතිරි මුදල් වෙනත් ප්‍රයෝජනවත් යමකට යොදා ගැනීමේ වරදක් නැත. ණය සමග එන කොන්දේසි අප ව අකර්මණ්‍ය නොකරනවා ද යන්න ද අපේ සැලකිල්ලට යොමු විය යුතු ය. ණය අර ගන්නේ බොරු සෝබනයට නම් ඒ ණය අප ව අමාරුවේ දමන බව ඇත්ත ය. මේ අනුව බලන විට ද අපට පෙනෙන්නේ ප්‍රශ්නය ඇත්තේ ණය ගැනීමේ නොව ණය ගන්නේ කුමකට ද ඒ ණය ගන්නේ කුමන කොන්දේසි යටතේ ද ඒ ණය පියවීමේ ලා අප සතු ව යම් වැඩ පිළිවෙළක් තිබේ ද යන කාරණා තුළ බව ය.

ණය ගන්නේ නැති, තිබෙන සම්පත් කිසිවක් විකුණන්නේ නැතැයි සපථ කරමින්, සියල්ල ගල් කර ගෙන, බිත්තර රකිනවාක් මෙන් ඒවා රැක ගැනීමට පමණක් සූදානමින් සිටිනා ව්‍යාපාරිකයන් ඉදිරියට යන්නේ නැත. ඔවුන් කරන්නේ තමන්ට ඉදිරියට යාමට හැකි මාවත් දෙකක් වසා දැමීම ය. ඒ ඉදිරියට යන්නට අවශ්‍ය ආයෝජන කිරීමට ඔවුන් සතු ව මුදල් නොමැති නිසා ය. ඒවා උත්පාදනයේ ලා ඔවුන් අසමත් නිසා ය. ඒ නිසා ම ණය ගැනීම හා සම්පත් විකිණීම මූල්‍ය කළමනාකරණයේ මූලධර්ම මත පිහිටා මිසක අපේ භාවමය හැඟීම් මත පිහිටා නිෂ්චය නොකළ යුතු ය.

One thought on “ආයතනික සම්පත් විකිණීම හා ණය ගැනීම

  1. තියෙන දෙයක් විකුණන එකෙ හෝ බදු දෙන එක විතරක් නෙමෙයි, අළුතින් දෙයක් ගන්න කොට උනත් කමලදාස මහත්මයා මතුකරන මේ විනිවිද සුලු පෙනෙන, තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය ඉතා වැදගත්.

    ලංකාවේ පොදු දේපල දීර්ඝ කාලින 99 අවුරුදු බද්ධට හෝ සින්නක්කර දීමට මෙතරම් විරෝධයක් එන්නත්, ඒ ඒ කාල වලට හිටපු රජයන් තමන්ගෙ දේශපාලන ගජ මිතුරනට කුණු කොල්ලෙට රජයේ දේපල විකුණපු නිසා. මිනිස්සුන්ගේ විශ්වාසය බිද වැටිලා. මේ වැරදි නිසා පෞද්ගලිකරණයට විරුද්ධ වාමාංශිකයන්ට මීට විරුද්ධව තියෙන්නේ රීසී ටාගට්

Leave a comment