HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මෙවර ලෝක කුසලානෙදි අපේ පිලට මොකද වුණේ?

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ‍මොකද වුණේ? පසුගිය දා සිරස නාලිකාවේ වසන්ත ප්‍රදීප් මාසිංහගේ ‘ප්‍රශ්න 10’ (10 Questions) නම් වැඩ සටහනට සහභාගිවුණු අරවින්ද ද සිල්වා අපූරු කතාවක් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කීවේය. ‘මට පේන විදියට නම් ලෝක කුසලානට ගිය අපේ පිලේ සංයුතිය ඒක දිනපු ඕස්ට්‍රේලියාවේ පිලේ සංයුතියට වඩා හොඳයි. පිට ඉඳලා ඒ ගැන කියන්න අමාරුයි. පිටිය මැදට ගිහින් සෙල්ලම් කරපු ඒ ළමයින්ගෙන් ම තමයි අහලා දැන ගන්න ඕනෑ මොකද වු‍ණේ කියලා.’ අරවින්ද එහෙම කතාවක් කිව්වෙ විහිළුවට නෙමෙයි. හැබෑවටමයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

ඒ වගේම අපේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තරගය අවසානයේ දී විදේශ වාර්තාවන්ට කියලා මෙහෙම කතාවක්. ‘තරගාවලියේ දී අපෙන් ගිලිහී ගිය උඩ පන්දු රැක ගත්තා නම් තත්වය වෙනස් වෙන්න තිබුණා.’ ඒ කතාවත් ක්‍රිස් කිව්වෙ විහිළුවට නෙමෙයි. හැබෑවටමයි. 

ඊළඟට ‘හතරැස් කාසිය’ කියන ‍වෙබ් අඩවියේ අපේ පිලේ කෙරුවාව ගැන අපූරු සටහනක් පළ කරලා තිබුණා, ‘ලැජ්ජයි! ලංකා ක්‍රිකට්’ කියලා.  

හතරැස් කාසිය- Hatharas Kasiya පළ කළ සටහන: 

වාර්තා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්තා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ! 

මුළු තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමයි; යැවූ වයිඩ් පන්දු ගණන 123කි. මේකට අනික් එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය. 

තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත. 

වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි. 

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තෝබර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණු ගණනක් ලබාගෙන නැත. 

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය. 

තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය; තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකතුව 87කි. 

තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය; ලකුණු 55කට සියලු දෙනාම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය. 

මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය; පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් කඩුල්ල වෙත වාර්තා කිරීම පමා වූ නිසා බංගලාදේශ නායකයා ඔහු දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කළේය. ඒ අනුව මැතිව්ස් එසේ දැවී යමින් ලෝක වාර්තා අතරට එක් විය. 

තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බින්දු ප්‍රමාණය 29කි. 

තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය; ලබා දුන් අමතර ලකුණු ගණන 36කි. 

තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය; නිපන්දු 33කි. 

වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ කණ්ඩායමේ ය. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ. 

ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පිරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි; නිලධාරීන් ගණන 103කි. 

වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට ගියේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි. (උපුටා ගැනීම අවසන්!) 

අපේ අදහස: තරගාවලියේදී මොකද වුණේ කියා පුහුණුකරුවන්ගෙන් ඇසුවොත් නරකද?

Post a Comment

1 Comments

  1. ඉතා හොද කරුණු දැක්වීමක්...ෆීල්ඩ්ං හොද නෑ කියන්නේ කෝච් ලා සහ ක්‍රීඩ්කයන් දෙසට කෙලින්ම ඇගිල්ල දික් වෙනවා - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete