Sunday, November 26, 2023

225. ජීප්පුවක් සොයා යෑම . . . . ! (ශනිදා දහයට VIII)


ඊයේ රෑ; සිරිල් හෙවත් විජිත ටිපියට පැමිණෙන විට බුශ්මන් ධම්මිකද පැමිණ සිටියේය.

එදින දහවල පොඩිත්තක් නිදාගත්තේ හිසේ ඇම්ම නිසාය. දහවල නින්ද කැඩුනේ පාරේ ගමන් ගත් ප්‍රාචාරක රථයක කර්ණ රසායන හඬිනි.

"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . .  අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "

"අම්මට සිරි කොත්තුවක් කාපු කාලයක් මතක නෑ! කමුත?" මම මගෙන්ම අසාගත්තෙමි.

නැගිට බලන කොට එය ඉගිල ගොසිනි!

ට්‍රක් රථයට පැන හඹා යැම පටන් ගතිමි.

කිලෝ මීටර  දෙකකට ආසන්න දුරක  . . . . .

"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . .  අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "

මම එය පසුකොට ගොස් නවතා ගතිමි.

ඒද තවත් කුඩා හෝටල් පලුවක් ඉදිරිපිටය. මහත්වූ වැර වෑයමෙන් යුතුව කොත්තුව නවතා ගත්තෙමි.

කොත්තුව මිළදී ගැනීමෙන් පසු එතැනම වූ හෝටලයට වැද එය ඇඹරීමට පටන් ගතිමි. මදි පාඩුවට එතැනින්ම සම ද්වීපාද, ත්‍රිකෝණාකාර, පිටි වලින් සකසා මතු පිට, ගෙවල් බිත්ති කැපීමට ප්‍රයෝජනයට ගන්නා සුදු වැලි කඩදාසියක් සේ රළුව සැකසූ වස්තුවක්ද ගෙන්වා ගත්තෙමි!

අනේ සුපින්වතුනි දෂ්ඨ කරණ්නට  ලැබුනේ කටවල් දෙකකට පමණි. එතෙනට කඩා පාත්  උනේකලු පැහැති Landcruiser V8 රථයකි. එයින් මහ පොලොවට සම්ප්‍රාප්ත වූයේ 6X4 ඩයල් එකකි.

එතුමා මම ආහාර ගන්නා තැනට පැමින මිහිඳු  - දෙවනපෑතිස් පැණ පොඩි තරගය පවත්වන්නට යෙදුනි.

මේ වාහනය ඔයාගේද?

කොපමන කලක්ද?

විකුණන්නේ නැද්ද?

ඔයා ඉන්නේ මේ පලාතේද?

මේ පලාතේ කුමක් කරණවද?

 . . . . . . . . . . . . . . . . . . .  ?

 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ?

ප්‍රශ්ණ එලෝකෝටියකි.

ඒ දවල් ය!

රැයේ මා සමග අලාප සල්ලාපයේ යෙදීමට පැමිණි ධම්මික හා විජිත (සිරිල්) හට මේ දවල් වුනු කයි කතන්දරේ මම පන පිහිටුවා කිව්වෙමි.

මාගේ පම්පෝරිය අසා සිටි විජිත මා හට ලබා දුන්නේ සුපිරි ඔත්තුවකි.

"ඔයාගේ වාගේම, ඔය පාටම ජීප් එකක් තියෙනවා ලක්ෂපාන පාරේ! හැබැයි පිටිපස්ස මෙහෙම නෙවෙයි තියෙන්නේ ලොකු වින්ච් එකක්! පැත්තක දාලා තියෙන්නේ. අඩු ගානකට ගන්න පුළුවන් වෙයි. ඇයි පැත්තක දාලානේ තියෙන්නේ? අපිටනං වැඩක් නෑ! ඔයාට ගත්තොත්නං හදා ගන්න පුළුවන් වෙයි!"

"අම්මට සිරි! නියමයිනේ. අපේ සෙනෙවියාත් කිව්වා උංගෙ ගෙවල් පැත්තේ මේ වගේ එකක් තියෙනවා කියලා. මං හිතන්නේ ඔය ඒක වෙන්නෝන! කොහොමද යන්නේ?"

"හරි යනවනං මං එන්නං!" විජිත (සිරිල්) එකෙන්ම පැවසීය.

"කවදද?"

"මට අවුලක් නෑ! මට හෙට උනත් පුළුවං . . !"

"හෙට කීයට්ද . .? හැබැයි මගේ වාහනේ එතැනටම යන්න බෑ! මොකද එතකොට උං ගනං කියයි. අපි; කිට්ටුව;  පාරේ නවත්තලා පයිං යමු!"

"නෑ! එහෙම ඔන්නෑ! අපි මගේ වීල් එකේ යමු!" විජිත පරීත්‍යාගශීලීව පැවසීය.

"හෙට කීයටද . . ?"

"මං එන්නං උදේ හතාමාර වෙන කොට!"

"සුපිරි!"

තවත් බොහෝ වං හුං කතා කරමින් සිටි අප විසිරුනේ රාත්‍රී 9.30 ට පමණය! රාත්‍රිය පුරාවට මහ වැස්සක් ය! "හෙට යන්න බැරිවෙයි වත්ද?"

උදේ පාන්දරම අවදිව සුපුරුදු කෝපි කෝප්පය සප්පායං වුනු මම 7.30 වන විට සූදානමින් පාරේ විය. නිවැරදි තත්පරයට විජිත පැමිණියේය.

එතැන් පටන් විජිතත් මමත් ත්‍රී වීලරයේ ලක්ෂපාන බලා ගමන් ඇරඹූවෙමු.හක්බෙල්ලාවක පසු කරත්ම හමුවන්නේ තණකොලවත්ත ග්‍රාමයයි. මාගේ සැම්සන් සහ විල්සන් කථාවට පාදකවූ සැම්සන් මහත්තයා පදිංචිව සිටියේ මේ ග්‍රාමයේය. සැම්සන් සහ විල්සන්  කෙටි කතාවේ සැම්සන් යනු කිත්සිරිගේ පියාය. 

තනකොළ වත්ත පසු කර හැටන් පාරේම ඉදිරියට යද්දී මීටර 500ක - කිලෝමීටරයක පමණ දුරක් ඉද්ද ගැසුවාක් වැනි සෘජු දුරක් ඇත. මේ එතැනයි:- 



මෙම වම් පස ඇති කඳු මුදුනේ එකල ඕකිඩ් හෙවත් උඩවැඩියා වර්ගයක් පැවතුනි. දකුණු පසින් දිවෙන්නේ කැළණි නදියයි. කැළණි ගඟේ මේතරම් දරුණු හා භයංකර ස්ථානයක් තව නැති තරම් ය. මේ ගැන මීට කලකට පෙර මගේ මිත්‍රයෙකු වන තනකොළවත්තේ කිත්සිරි පැවසුවේය.

මෙම කෙටි කථාවේ පරිදි සැම්සන්ගේ පියා එනම් කිත්සිරිගේ සීයා නන්දියෙස් මුදලාළි තනකොළවත්තේ විශාල වෙළඳ සැලක් කල අයෙක් විය. ඊට අමතරව රෑ කඩයක්ද එහිම විය. එකල හැටන් හා ඒ අවට නගර සඳහා භාණ්ඩ වැඩි වශයෙන් ගෙන ගොස් ඇත්තේ බර කරත්ත මගිනි.

එක් සන්ධ්‍යාවක නන්දියෙස් මුදලාලිගේ කඩයට ලඟා වී ඇත්තේ බර කරත්ත හතකින් සමන්විත කණ්ඩායමකි. රාත්‍රී ආහාර ලබා ගත් පසු කරත්ත කණ්ඩායම පිටත් ව ගොස් ඇත. එය පිටත්වී විනාඩි ගනනකින් මහා විශාඅ හඬක් ඇසී ඇත. අවට සිටි අය හුළු එළි පන්දම් ආදිය රැගෙන ඉදිරියට ගොස් බැලූවිට ඉහත ස්ථානයේ  විසල් පස් කන්දක් කඩා වැටී කරත්ත කිසිවකගේ සුන් බුන් වත් නොපෙනෙන සේ වැළලී හෝ ගඟටම තල්ලුවී අතුරුදහන්ව තිබුනේලු.

එවක් පටන් එම ස්ථානයේ කිසිවෙකුගේ හෝ දිවි තොර වීම වාර්ෂිකව සිදුවෙන බව කිත්සිරි ඇතුළු පලාත් වාසීන් පවසති.



කුඩා පඩි පෙළ

නපුරැල්ල

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ මේ වසරේ; අදින් මාස ගනනකට පෙර කුඩා මෝටර් රථයක් ඒ අසල නවතා; එහි පැමිණි කුඩා දරුවා මව හා පියා; ආහාර ගැනීමට ගඟ අසලට ගොස් ඇත. ඒ එම ස්ථානයේ ගඟ දෙසට බැසීමට කුඩා පඩි පෙළක් ඇති බැවින් විය යුතුය. එම පඩි පෙළ ඔරු තොටුපොළක් ඇති බැවිනි.

ගඟ ආසන්නයට ගිය මව; ආහාර ගැනීමට පෙර අත සෝදා ගැනීමට ගඟ අසලට ගොස් ඇති අතර ගල මත ලිස්සා ගොස් ගඟට වැටී ඇත. 

එතැන ගැඹුර මෙතැකැයි කීමට නොහැකි වන අතර ඇය දියේ ගිලී ඇති අතර ඒ දුටු ඇයගේ සැමියාද ගඟට පැන ඇත. පසුව ඒ අසල තොටුපොලේ පැදවුනු ඔරුවකින් කාන්තාව බේරාගෙන ඇති අතර ඇයගේ සැමියාගේ මළ සිරුර හමුවී ඇත්තේ ඊට දින දෙකකට පසුවය!

එසේම එම ස්ථානයේම මීට වසර ගනනාවකට පෙර 18 දෙනෙකු සහිත වෑන් රියක් පෙරළී ගොස් ඇති අතර කිසිවෙකු හට ජීවිතය බේරා ගැණීමට නොහැකිවී ඇත! එම පලාතේ මෙවන් කතා නම් බොහොමයකි!

මෙම  ස්ථානය "නපුරැල්ල" ලෙස හඳුන්වයි. මීට වසර ගනනාවකට එනම් දශක තුනකට පමණ පෙර මමත් මාගේ මිත්‍රයෙකු වන අඟුරුවැල්ලේ අජන්තත් කිතුල්ගල සිට ටියුබ් දෙකක් ආධාරයෙන් හක්බෙල්ලවක දක්වා කිලෝමීටර 10ක් පැමිනි අවස්ථාවේ මෙම නපුරැල්ල තරණය කලෙමු!

අප කිතුල්ගල, යටිබේරිය පහුකරමින්  කලුගලින්  ලක්ෂපාණට හැරෙන ස්ථානයට පැමිණියෙමු. 


එතැනින් දකුණට හැරී මද දුරක් ගිය පසු නැවත වමට හැරුනෙමු . 


එතැන සිට ඇත්තේ තරමක දුෂ්කර මාර්ගයකි. දුෂ්කර යැයි කීවේ පාරේ ඇති දුර්වල නිමාව. අධික ලෙසින් වංගු ඇති බව හා කඳු හා පල්ලම් වලින් ගහන වීම කරණ කොට ගෙනය!

එම මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගමන් ගත් විට පාර හරහා; පාරට ඉහලින් ගමන් ගන්නා විශාල නල කිහිපයක් දක්නට ලැබුනි. එම නල පද්ධතිය ලක්ෂ පාන සිට සමනල විදුලි බලාගාරය තෙක් ජලය ගමන් ගන්නා මාර්ගය බව විජිත මා හා පැවසීය!

එතැන් ඉට ගමන් මග ගෙවී ගියේ දකුණත දෙසින්; වළාකුළු වෙලාගත් කඳු දිස්වෙමින් ය. 
"මේ කඳු පන්තියේ මුල තමයි අර DC 8 ගුවන් යානය වැදුනේ. . . . !"  විජිත මතක් කලේය. 
මෙම DC 8 මාර්ටිනෙයාර් ගුවන් යානය මස්කෙළිය සප්ත කන්‍යා කඳුවැටියේ ගැටුනේ 1974 දෙසැම්බර් 4 වනදාය.
එම ගුවන් අනතුරින් කිසිවෙකුත් දිවි ගලවා නොගත් අතර එය ලොකයේ දෙවන මහා ගුවන් අනතුර ලෙස නම් කරතිබුනි.
ගමන ඉතා සතුටු දනවන සුළු විය!
වැස්සෙන් තොර වූ හෙයින් ගමනට වෙනත් බාධාවක් නොවීය.





ලක්ෂපාන ආසන්නයේ බැවින් මා ග්‍රහණය කල බොහෝ ඡායාරූප මත විදුලි රැහැන්  වැටී තිබුනි.
"අර තියෙන්නේ හම්බන්තොටට කරන්ට් එක ගෙනියන ලයින් එක!" විජිත පසෙකින් වාහනය නවතා පෙන්වීය. ඈතින් විදුලි රැහැන් පද්ධතියක් කන්දේ ඉහලට ඇදී ගොසින් නොපෙනී වහං වෙලාය.


තවත් කිලෝමීටර ගනනාවක ඇවෑමෙන්  ඈතින් කහ පැහැති වස්තුවක් පෙනෙන මණ්ඩියකට අප සේන්දු උනෙමු."අර තියෙන්නේ! ඕක තමයි මම කිව්වේ . . . . !"
"ඕක නිසාන් පැට්රෝල් එකක්! ඕක තිබුනේ මාගම්මන!" මම ඈතදීම වාහනය ඇඳින ගත්තෙමි.









මේක නිසාන් පැට් රෝල් 60 සීරීස් එකක්.!

අප ඒ අසල ත්‍රීවීලරය නවතා බිමට බසිනවාත් සමගම බරණි විකෘථියට පත්වූ පංචස්කන්දයක් ඒ දෙසට රෝල් වී ආවේය!
"මේක මරු බඩුවක්!" ඈත සිටම ඔහු මාර්කර්ටින් පාර දමාගෙනම අප වෙතට ලං කලේය.

"මොකක්ද මේකෙ ජාතිය . . ?" මම "බබා' උනෙමි.
"මේක නිසාන් පැට් රෝල් කියන එක!"
"අනේ මේක පැට් රෝල් ද?" මම තවත් තොදොල් වුනෙමි.
" නෑ නෑ මේක ඩීසල්!" ඔහු එන්ජිම ඇර පෙන්වූවේය! එහි සමන්විත වූවේ; ඊට පසු මොඩලය වන 160 යට නිෂ්පාදකයා විසින් සවි කොට එවන  Sඪ්33 එන්ජිමකි.  
"මේකෙ තියෙන්නේ සුපිරි වින්ච් එකක්! නැවක් උනත් අදියි!" ඔහු වාහනය පිළිබඳව තවත් විස්තර කලේය.
එම  නිසාන් පැට් රෝල් රථයේ පිටුපස සවිකොට තිබුනේ දැවැන්ත වින්ච් එකකි. එය ගියර් පෙට්ටියෙන් දිවුනු PTO (Power Take Off) වින්ච් එකකි. 

"මේක විකුණන්නද තියෙන්නේ?"
"ඔව් ගානකට ආවොත් දෙනවා!"
"කීයක්ද කියන්නේ . . .?"
"තිස් පා කට ආවොත් දෙනවා!"
"තිස් පාක් කිව්වේ . . . ?"
"ලක්ස තිස් පාකට ආවොත් දෙනවා!"
මෙම වාහනය පාවිච්චි කෙරෙණ්නේ; කනු අතර  විදුලි බල කේබල ඇදීම සඳහාය. එවන් ව්‍යාපාරයක් තබා අවුරුද්දට කඹ ඇදීමේ ක්‍රීඩාවට වත් මාගේ උනන්දුවක් ඇත්තේ නැත!

"මේකෙ නොම්මරේ මොකක්ද?"
"නොම්මරයක් නෑ! නොම්මරයක් ව්වැඩක් නෑනේ! මට බූම් ට්‍රක් එකක් තියෙනව! උස්සලා දාගන්නවා! ඒකෙන්  හැම තැනම ගෙනියනවා!"

මම හැරෙණ තැපෑලෙන් විජිත දෙසට හැරුණි!
"යමුද විජිත!?" විජිතද මොහොතකින් ත්‍රී වීලරයට ගොඩවුනි. 
"මෙච්චර දුර ආව එකේ අපි පොල් රොටියක් වත් කාලා ප්ලේන්ටියක ගහලාම යං ද?"
"මට අවුලක් නෑ! ඔයාට පරක්කු වෙන්නැත්නං!"
අප යලිත් ගමනට පිටත් වූවෙමු. තව විනාඩි ගනනකින් අප කුඩා මං සංධියකය. 
එතන කුඩා එහෙත් සැර පරුෂ කුඩා දිය දහරාවක් හරහා දිවෙන පාලමකි. ඒ අසලම එක්ටැම් ගෙයක හෝටලය පිහිටා තිබුනි. 






එතැනින් උණු උණු පොල් රොටී කට කැපී යන ලුනු පිරිසක් සමග ගිල දැමූ අපට බොන්නට ලැබුනේ ඉස්තරම්ම කිතුල් හකුරු සමග කහට කෝප්පයකි. ඒ අතර එහි ළන්නගා වුනු මනු කියවන්නා ලබා දුන් විදුලි බිල් පත සමග එතෙක් එහි පැවති ප්‍රසන්න ස්ව්භාවය අතුරුදහන් විය.ලැබී තිබුනේ රතු බිලකි.

"මේ කඩෙත් අපි ඉන්නේ කුළියට! කඩ කුළීත් ගෙවාගෙන ලයිට් බිලුත් ගෙවාගෙන ඉන්න තරං දෙයක් විකිණෙන්නේ නෑ මහත්තයා!" ඔව්හු ස්වකීය දුක අප සමග බෙදා හදා ගත්තෝය.

එතැනින් දුම් දමන පොල් රොටී හා කහට සප්පායම් වීමෙන් පසු මා ත්‍රී වීලරයට නැග්ගේම "මෙතැනිං හරෝමු නේද?" යි කියාගෙනමය.

"නෑ තව චුට්ටක් යං! ඔයාට පරක්කු වෙන්නෑනේ!?" 

"මට මොන පරක්කුවක්ද?"

පාර තව තවත් අබලන්ව ගොසිනි. අප වලවල් බේරමින් තවත් ඉදිරියට එනම් ලක්ෂපාන දෙසට ඇදෙමින් ය. 

මොරහේනගම තැපැල් කන්තෝරුව
"මම ඔයාව ගෙනියන්නේ ආන්න අතනට!" විජිත ඈතින් පෙනෙන කුඩා දිය ඇල්ලක් පෙන්වමින් පැවසීය.

තවත් ටික වේලාවකින් අපි එම කුඩා දිය ඇල්ල අභියස විය.




විසල් ගල් කුළ මතින් සිහින් දිය දහරාවක් අවකාශයට ගලා හැලේ. ඒ අවට තුෂාරයෙන් පිරී ඇති සේයාවකි.

"ආන්න අරක මොකක්ද දන්නවාද?"

මෙම ගල් කුල එසේත් නැතිනම් කන්ද පාමුල මාර්ගය ආසන්නයේ සිට මද දුරකින්- මීටර 20ක් පමණ දුරින් ඉබි යතුරු ලෑ යකඩ දොරකි.



මෙවන්ම අස්ථානයක පිහිටි කුඩා දොරන් ඉඟිනියාගල සේනානායක සමූද්‍රයේ වේල්ල ආසන්නයේ මා දැක ඇත.

"අම්මට සිරි මේ මොකක්ද?"

ඕකට කියන්නේ ඇඩික්ට් කියලා! මෙතනයි අර අපි එන කොට දැක්ක පයිප්පයි එකට සම්බන්ධයි!" 

ඒවන විටම එතැනට කැලෑ රොද අතරින් කිසිවෙකු පැමිණියේය."අපේ ගෙදරට යන වතුර බටේ කැඩිලා ඒක හදන්න ගියා. බිම වැටිලා තිබ්බ ඉත්තෑ කූරක් සෙරෙප්පුවත් විදගෙන ඇවිත් ඇනුනානේ කකුලේ!" ඔහු; අඟල් හතරක පමණ  ඉත්තෑ කූරු කෑල්ලක් පෙන්වමින් පැවසීය.

"ඕක ඇනුනාම මොනවත් 'විතක්' වගේ එකක් ඇතුලේ රැඳෙන්නේ නෑනේ?" 

"නෑ නෑ එහෙම එකක්නම් නෑ. ඇනිච්ච වේදනාව තමයි!"

ඔහු ඉතා කුළුපග කථාවකට එකතුවිය.

"මල්ලි අර ප්ලේන් එක වැදුනු සප්තක්න්‍යා කන්ද කොයි එකද?"

"දැන් පේන්නේ නෑ! ආන්න අතන. . . " ඔහු වළාකුළු පදාසයක් පෙන්වා පෑය.

"මල්ලි ඔයා දන්නවාද මේක ගැන . . . . ?" මම පසෙකවූ යකඩ දොර පෙන්වා ඇසීය.

"ඔව්! මම ඕකෙ වැඩ කරලත් තියෙනවා! ගිය මාසෙත් ඇතුලට ගියා. ඔතනින් ගියාම අර සමනළ පවර් හවුස් එකට වතුර ගෙනියන පයිප්පේ හම්බෙනවා. ඒක තියෙන්නේ ගල මැද්දේ! ලොකු යකඩ පියනකින් වහලා තියෙන්නේ වටේට ඇන දාලා. උඩහින් වතුර වැහුවාම ඒක අරින්න පුළුවන්. උඩහින් මේ බටේ ඇතුලට ආව වැලි, මඩ ඔක්කොම ඔතන තියෙනවා රැඳිලා. ඒවා එතනින් ගන්න පුළුවන්. අපි ඒවා ටිපර් එකකට දාලා එවලා අන්තිමට පියන වහලා දාලා එනවා! මේක ......1 මේ වගේ තව දෙකක් තියෙනවා!

අප නැවතත් ලක්ෂපාන හා හඟරාපිටිය හැරෙන හංදියට පැමිනුනෙමු.

"පොඩ්ඩක් මේ පැත්තටත් ගිහිංම යං!" විජිතගේ ඇරයුමක් ය.

"එළ!"

එතැනින් පහලට විහිදුනු මාර්ගය  පාලමක් දෙසට හැරී ඈතට ගමන් ගත්තේය. පාලම යටින් කැළණි ගඟ ඉතා දුප්පත් ලෙසකින් ගලා ගොස් කුඩා ජලාශයක් නිමවීය.

පාලමට ඉහලින්



ලක්ෂපාන සිට යකඩ වානේ නල (පෙන්ස්ටොක් පයිප්ප  Penstock) ඔස්සේ සමනළ විදුළි බලාගාරයට එන ජලය වම්පසින් විත් ප්‍රධාන ගංගාව එකතුවේ. 




ඈත කන්දේ සිට ඇදී එන පෙන්ස්ටොක් පයිප්ප ගස් අතරින් පෙනේ!

පාලමට පහලින්

මෙම ඡායාරූපයේ වම්පසින් දැලක් සේ පෙනෙන්නේ මෙතැන් සිට කිතුල්ගල බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය වෙත ජලය ගෙනයන මාර්ගයේ ආරම්භක මුවදොරයි.
මෙතැනින් ඇතුළුවන ජලය එතැන් සිට කිතුල්ගල දක්වා ගලායන්නේ  භූගත උමං මාර්ගයකිනි.

මට අවශ්‍යතරම් වේලාවක් එහි රැඳෙන්නට කල්මරණ්නට විජිත අවකාශය සකසා දුන්නේ නිර්ලෝභිවය. විනාඩි ගනනාවක් රැඳී සිටි අප එන්නට හැරුනි. 
එතැන මීට වඩා කරුණු කාරණා දැන ගන්නට කිසිවෙක් දැක ගැනීමට නොසිටි අතර සතියේ දිනයක් වුවත් කාර්‍යාල ගේට්ටු වසා දමා තිබුනි. 
තිබුනු එකම බෝඩ් ලෑල්ල පැවසුවේ වීඩියෝ කරණ්නට පොටෝ අල්ලන්නට ඉඩ නොදෙන බව පමණක්මය. මීට ඈත අප පසුකල බෝඩ් ලෑල්ලකින් කිව්වේ "අනං මනං නෑ! තියෙනවා වෙඩි!!" කියාලාය. මෙවන් ස්ථානවල; මේ වතුර එන්නේ කොහෙන්ද/, යන්නේ කොහාටද? ඇති විශේෂත්වය කුමක්ද?, ඉඳිකල වසර කුමක්ද?, ධාඅරිතාව කවරේද? " වැනි විස්තර ඇති පුවරුවක් නො එසේනම් තොරතුරු මධ්‍යස්ථානයක් ඇත්නම් නරඹන්නන්හට විශෙෂ වටිනාකමක් ලැබෙනු ඇත!
අප නැවතත් හක්බෙල්ලාවක බලා එන ගමනේදී කිතුල්ගල ආසන්නයේදී නැවත විජිත තවත් යෝජනාවක් කලේය!
"මොකද කියන්නේ බ්‍රෝඩ්ලන්ඩ් එකත් බලලාම යමුද?"
ඉබ්බා දියේදාද්දී "ඇන්නෑවේ" කියූ ලෙසින් මමද එක පයින් නොව දෙපයින්ම වැඩේට සෙට මෝල් විය.
අපේ රා සපයන සිරිල් සිටියේද ඒ අසලම වීමද එයට එක් හේතුවක් විය යුතුය!
White water rafting කරණ රබර් ඩිංගියක් ඈතින් එනු පෙනේ.



සිරිල් අයියාගේ රා කැන්ටිම!
"කැළණි ගඟෙන් විදුලිය හැදෙන අවසාන තැන!" විජිත පැවසීය. නැවතත් මෙවන් ජල යෝජනා ක්‍රමයක් සකස් කිරීමට භූගෝලීය සාධක ගඟේ නොමැති බව ඔහුගේ අදහසය. එතැනින් පිටත් වී පැමිණ කළුකොහුතැන්න අසල කම්බි පාලම ඔස්සේ ගඟ මැදට පැමිණියෙමු. ගඟට ඉහලින් එල්ලෙන කම්බි පාලම අවසාන වතාවට ප්‍රථිසංස්කරණය කොට ඇත්තේ මීට වසර ගනනාවකට පෙර බව ඔහු පැවසීය. මේ වන විට පතුල දරා සිටිනා කේබල් කම්බි මත අතුරා ඇති ඇලුමීනියම් තහඩු තැනින් තැන කැඩී බිඳී ඉරී ගිසින් ය.
මීට කලකට පෙර හැමූ දැඩි සුළඟකින් මෙම පාලම කණපිට හැරුණු බවක්ද දැනගන්නට ලැබුනි. එය අන් පිට පෙරලා ප්‍රථිසංස්කරණය කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි. මෙම කම්බි පාලම මෙම ස්ථානයේ පිහිටුවීමට මූලිකවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වින්සන් පෙරේරා මංත්‍රී වරයා බව එතැන සිටි ත්‍රීවීල් රියැදුරෙකු පැවසීය.
"කොහොමත් ඒ අය කරණ වැඩ කණ පිට හැරුනාම අපි තමයි හරි පිට ගහන්න ඕන!" මම මටම කියා ගත්තෙමි.
ඒ කෙසේ වෙතත් මේවන විට පාලම ඉහලින් එල්ලා ඇති කම්බි දිරායාමට පටන් ගෙන ඇත! ඒවා ඔස්සේ අත තබාගෙන යන විට කැඩුනු කම්බි අතේ ඇනේ!
මේවා ප්‍රථිසංස්කරණය කිරීමටවත් කෙනෙක් නැති හැටි!? 



මෙම ස්ථානයේ සවිකොට ඇති කැළනි ගඟේ ජල මට්ටම් මාපාංකය.
එතැනින් පිටත් වීමට පෙර විජිතගෙන් "දැං බලලා ඉවරද විජිත?" කියාඇසුවෙමි.
"නෑ තව තැණ් දෙකක් තියෙනවා ඔයාට පෙන්වන්න! එකක් රෙස්ට් හවුස් එකේ තොටුපොළ! අනෙක එතැනට ගිහිංම පෙන්වන්නම්කෝ!"
කිතුල් ගලට එන ගමනේදී කුඩා හෝටලයක වීදුරුවෙන් එහා පැත්තේ සිට එළවළු රොටී පේලියක් "මේ මෙහේ එන්න! මම මෙහේ!" යනුවෙන් අත්වැල් ගායනයක යෙදුනි. කඩය ඇතුලට යන විට එහි සුපිරි දැන්වීමක් දකින්නට ලැබුනි. එම දැන්වීමේ සහ එළවළු රොටී මාළු රොටී පේලියේ සාඩම්බර නිර්මාපකයා පහලම රූපයේ.
කියලා වැඩක් නෑ මාළු රොටී නම් පට්ට පට පට!


කිතුල්ගල නගරයේ පහල මායිමෙන් හැරෙන්නට තියෙන තානායමේ ගේට්ටුව අසලින් වමට තියෙන කුඩා පාරේ ගියවිට මේ මනස්කාන්ත තොටුපොළ හමුවේ.


එතැන හරි අපූරු පුවරුවක් වේ.
"ඔන්න ඕකෙත් ෆොටෝ එකක් ගහ ගන්න!" විජිත කීවේය.







කිතුල්ගලට Whitewater rafting හඳුන්වාදුන් චන්න පෙරේරාගේ නිවස. චන්න පෙරේරා යනු කිතුල්ගල සිටි ධනවතකුවූ ඇම් ජී පෙරේරාගේ  පුත්‍රයෙකි. මාළනී ෆොන්සේකා කලකට පෙර විවාහවී සිටියේද එම පවුලෙන් මය. එසේම අක්ෂි විශේෂඥ දොස්තර ඇන්තනීස් මහතාද මෙම පවුල් ගහේ තවත් එක් අත්තකි.
ඇම්. ජී. පෙරේරාගේ සොහොන-තනිවට වැස්සියක සිටී!

අපගේ අවසාන නැවතුම්පොළ වූයේ මෙම පාලමයි!
බිබිළිඔය - නාවෙල පාලම




ගඟ දරුණුවූ විට මෙම පාලම මතින් ගලා යයි. මෙම මාර්ගය ඔස්සේ දැරණියගල දෙසට පවා ගමන් කල හැක.

ගිය ගමනකුත් නැති, නොගිය තැනකුත් නැති, ගත්ත ජීප්පුවකුත් නැති, නොකල දේකුත් නැති සුපිරි චාරිකාවක් නිම වුනේ එලෙසින්. මේ ගමන සම්බන්ධව සියළුම ගෞරවය හිමිවිය යුතු විජිතට මේ පිළිබඳව ස්තූතිකල විට ඊට ප්‍රථිචාර දැක්වූයේ සුපුරුදු ලෙසටමයි!

අයියෝ ඕක මොකක්ද!?

46 comments:

  1. නිතර නිතර ගිය පළාත්.
    නැවත මේ පාරවල් වල ගියා වගේ. සුන්දර මතකයන්.
    සන්තෝසයි මතක් කළාට මේ තැන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මේක අන්තිම හදිස්සියේ ලියපු එකක්. කොටින්ම උඩුන් පල්ලෙන් ලිව්ව කෙටි සටහනක්!!

      Delete
  2. ඇර මාටින්! යකඩෝ මේක සප්ත මහ සාගරේ වගේ නෙව? ඒත් ලුණු රස නෙමෙයි, මී පැණි වගේ. ඔබ හොඳ උපන් කතන්දර කාරයෙක්. මේ ලියන රටාව, අදාල පිංතූර නියමයි. කොටින්ම, වෙන අය ලියන්න අකමැති( ඒත් මම වැඩියම කැමති) කාපු කෑම, බීපු බීම ගැන පවා ලියන තියනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනේ බස්සා ඊයේ රෑ පටන් ගෙන දැන් ලියලා ඉවර කලේ! කොටින්ම ලිව්වා නෙවේ වැනුවා! ඒත් රසාලිප්තනම් ශේප්! ස්තූතියි බොහොමත්ම!

      Delete
  3. පෑමුල්ලේ විජිතNovember 26, 2023 at 9:47 AM

    ඔය වාහනේ බොර්ඩ් එකට ගෙනාපු එකක්ද? ප්‍රොජෙක්ට් එකට?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම! මේකට නොම්මරයකුත් නෑ! ලංකාවටම හතරයිලු තියෙන්නේ! තවම එකක් බෝඩ් එකේ තියෙන බවක් කිව්වා!
      සමහර විට බෝඩ් එකට ගෙනල්ලා ඒවා වෙන්දේසි කලා වෙන්නැති.
      වෙන්දේසියෙන් පිට මිනිස්සු අරං බෝඩ් එකේම කොන්ත්‍රාත් වැඩ කරණවා වෙන්නත් පුළුවන්!

      Delete
  4. නිමා නොවන රස ගඟුලක් එක් කරමින් තිබෙනා
    පමා වෙලා පෝස්ටුවක් හර බර වී රැඳෙනා
    මෙමා ඇවිත් එක හුස්මට කියවා නිම කෙරුණා
    නමා සිරස තුති දෙමි නුඹ හා විජිතට බැතිනා...

    අයියේ. ගොඩක් ම වටිනා තොරතුරු ටික ලස්සනකට ගළපලා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී!
      ඔව් විජිත කියන්නේ හරිම අවංක මිත්‍රයෙක්!

      Delete
  5. අපුරු කතාව සහ පින්තුර ටික, වතුර දැක්කම පිස්සු හැදෙනවා. අතීතයේ උඩරට වතුකරේ කරක් ගහපු ඒවා මතක් උනා. මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ලංකාවට පය ගහපුවාම කියන්න! ටිපියේ දිනක් දෙකක් ගත කරමු! ස්තූතියි හැමදාම වාගේම ලියන මොන දේ හරි බලන්න ආවාට!

      Delete
    2. ඔව් ඔව්, ලිස්ට් එකේ උඩම එක. මට 4wd එකක් හොයලා දෙනවා නේද ආවම.

      Delete
  6. ඕ මමත් මේ පාරේ කීප පාරක් ගිහිල්ලා තියෙනවා. ඉස්සෙලම ගියේ මගේ අක්කා බැදපු මහත්තයා ලක්ශපානේ වැඩ කරපු කාලෙ.ඒ දවස් වල මට හොද වැඩක් උනා..පණ්ඩිත කමට කිතුල්ගල ශෙඩ් එකෙන් පැට්‍රල් ගහ ගන්නෙ නැතිව ඉස්සරහෙන් ගහනවා කියලා හිතාගෙන දිගටම ගියා. වැඩි දුරක් යන්න කලින් ලක්ශ්පානට හැරෙන පාර හම්බ උන නිසා වාහනෙ හරවලා ගියා. පස්සෙ තමයි දැන ගත්තේ ආයේ ශෙඩ් එකක් හම්බ වෙන්නේ නෑ. යනවනං ආයේ කිතුල් ගලටම යන්න ඕනේ කියලා. ආයේ හරවං යන්න තෙල් නෑ.ඕනා මගුලක් කියලා ඉස්සරාට ගියා. මේ පාරේ කඩවල පෙට්‍රල් බෝතල්වලට විකුණන්න තියෙනවා. අදුනන්නෙ නැති අයට දෙන්නෙ නෑ. කොහොම හරි අසරණ වෙච්චි මට මේ කඩවල කට්ටිය පිහිට උනා.

    එදාට පස්සෙ නම් ඔය ලයින් එකේ යන කොට අනිවර්යෙන් වාහනේ තෙල් වල කටු දෙක තුනක් බැහැලා තිබ්බත්, යටියන්තොට් ශෙඩ් එකෙන් තෙල් ගහනවමයි...

    මෑතකදිම ඔය හරියේ ගියේ බ්‍රොඩ්ලනඩ් ප්‍රොජෙක්ට් එකට.....ඒකේ තත්වය දැන් කොහොමද....මට මතකයි බ්‍රොඩ්ලන්ඩ් ප්‍රොජෙක්ට් එක හින්දා රාෆ්ටින් කර්මානත්යට ලොකු හානියක් වෙනවයි කියලා ලොකු විරෝධයක් තියෙනවා.බ්‍රොඩ්ලන්ඩ් පටන ගත්ත කාලේ රාෆ්ටින් කියන එක ඉතා සුලුවට පටන් ගත්ත දෙයක්..ඒ හින්දා ඒ ගැන වැඩ සැලකීමක් නැතිව තමයි ප්රොජෙක්ට් එකෙ පටන් ගත්තේ. ඒත් වැඩේ යන කාලය තුල රාෆ්ටින් ගොඩක් දියුණු උනා. එච්චර ප්‍රාමානයකට කේටර් කරන්න බ්‍රෝඩ්ලනඩ් ප්රොජෙක්ට් එක මුල්දි ප්ලෑන කරලා තිබ්බෙ නෑ...දැන් මේ ප්රශ්න වලට විසදුම් දීලා ඇතියි කියලා හිතනව. -Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නම් වැඩි ප්‍රශනයක් නෑ!
      අනික මේ දවස් වල නම් ඒ පැත්තට එකසිය ගානට වැහැලා වතුර කිසිම ප්‍රශ්නයක් නෑ.
      බ්‍රෝඩ්ලන්ඩ් එක වැඩ කරණවා. සමහර විට එකල පැන නැගුණු ගැටළු දැන් තුනී වෙලා යන්න ඇති.
      කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ සති දෙකෙන් අමතක වෙනවා නේ!
      ස්තූතියි බොහොමත්ම මෙහි ආවාට!
      ආ! තව එකක්; යටියන්තොට ෂෙඩ් එක ගැන විශ්වාසයක් තියන්නත් හොම්ඳ නැති තැනක්. මොකද එතනත් අද තිබුනොත් හෙට නෑ! හෙට තිබුනොත් අනිද්දා නෑ!

      Delete
  7. කතාව වාහනයක් හොයන්න යන ගමනකින් පටන් ගත්තට අවසන් වෙන්නෙ නොයෙක් විශයයන් ගැන දැනුම් සම්භාරයක් එක්කයි. ඒ මදිවට ILLUSTRATIONS සහිතවම.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! මේවා අපේ ජීවිතය වගේ තමයි. හිතන්නේ එකක්! කරණ්නේ තව එකක්!! වෙන්නේ තව එකක්!!! ජයවේවා.

      Delete
  8. "ශනිදා දහයට" කිව්වට, දැන් වැඩේ ඉරිදටම සෙට් වෙලා වගෙයි..... ඔබතුමාගේ කොත්තු දොලදුක හරහා මගේ හිත නැවතුන තැනක් අහුවුනා. අර කිතුල්ගල තානායම ලඟ තියෙන නිල් පාට බෝඩ් එක..... 2019/5/7 වෙනිදා ගත්ත ඔය බෝඩ් එකේ ⁣photo එකක් මගේ ලඟ තියෙනවා. අපේ ආයතනයෙන් සංවිධානය කරපු නායකත්ව පුහුණු වැඩමුළුවකදී තමයි මම මුලින්ම මේක දැක්කේ. ඔය පාරේ දිගටම ගියහම තොටුපොළක් තියෙනවා. ඒ තොටුපොලේ ගාස්තු කියලා තමයි දැන ගන්න ලැබුනේ. ඒත් මේක කොයි කාලේ සිද්ධ වුනු දෙයක්ද කියලා සඳහනක් නැහැ. හක්බෙල්ලාවකට ඔතන ඉදන් ඒ හැටි දුරක් නැති නිසා තට්ටයා මහත්තයාට මේ ගැන තව තොරතුරු ටිකක් හොයලා දෙන්න පුලුවන් වෙයි.
    ගුවන් යානා අනතුර සම්බන්ධ ස්මාරකයක් තියෙනවලු ඔය කිට්ටුව. යන්න ආසාවෙන් හිටියත් තවම යන්න බැරි වුනා. මේවා ගැන කථා කරන කොට බයෙන් බයෙන් කිතුල්ගල white water rafting කරපු හැටි මතක් වෙනවා. ඉස්සර වෙලා බය හිතුනට, පස්සේ හරිම සතුටක් ලැබුවා.
    මදැයි, කොත්තුතුවක්ග ගිය දුරක්.....
    ස්‍තුතියි , මතකය අවුස්සනවාට......

    ReplyDelete
  9. මම වීරසිරි බන්ඩාර

    ReplyDelete
    Replies
    1. ඔව්! මම ඒ බෝඩ් එකට පල්ලෙහායින් දාලා තියෙන්නේ ඒ තොටුපොලේ පිංතූර තමයි.
      ඒ බෝඩ් එක කොයිකාලේ එකක්ද කියලා දැනගත්තු වහාම ලියන්නම්.
      රාෆ්ටින් වැඩේ ටිකක් වෙන්න භයානකයි කිව්වොත් ඒක බොරුවක් නොවෙයි! බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ආවාට!

      Delete
  10. හරිම ලස්සනට කතාව ලියලා..... බාගෙට කියෙව්වේ. නිවාඩුව ඇවිල්ලා ඉතිරිය කියවන්නම්. ඔයාල හැමෝම ලියන කතා කියවන්න ආස විදිහට ලියනවා. වෙලාව තමා ටිකක් මදි මේ පැත්තේ සැරිසරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සතියක්ම තියෙනවානේ කියවන්න!

      Delete
  11. ලිපිය ටිකක් දිග වුනත් කියෙව්වා. වාහන හොයන්න යන ගමන් රටත් බලලානේ. අපි කිතුල්ගල ගියා සිරිපාදේ ගියාට පස්සේ. එතකොට 2004 වගේ whitewater වැඩේ තිබ්බේ නැත්ද කොහෙද.//මෙම DC8 මාර්ටිනෙයාර් ගුවන් යානය මස්කෙළිය සප්ත කන්‍යා කඳුවැටියේ ගැටුනේ 1974 දෙසැම්බර් 4 වනදාය.// අපි හිටියේ ලුණුගල. මේ පට්ට ඇත්තක් කියන්නේ හොඳද. ඒ පැත්තෙන් ගුවන් යානා යන්නේ එක පැත්තකට විතරයි. ජපානය ඉන්දුනීසියාව පැත්තෙන් එන ඒවනේ.ඔය යානය ගොඩක් පහලින් ගියා දවල්. හවස 4.00 හෝ 5.00 වෙන්න ඕනේ. පහුවදා උදේ අවට හැම පොලිසියක ම අය ගියා. සෙනග ඒ කාලේ වැඩිය නැති නිසා. බදුල්ලේ ඉඳන් පැය හතරක පහක ගමනක්. මගේ පියා කිව්ව විධිහට කන්දේ වැදිලා හෙළ පහලට වැටිලා තියෙන්නේ. හමුදාවේ කට්ටිය සහ ලනු වලින් බැහැල තියනව පහලට. මීදුම නිසා පේන්නේ නැතිව ගියා කීවත් පහලින් ගිය ගුවන් යානය උඩට නග්ගලා නැහැ. අපි දැක්කේ ඒකමද කියන්න මම දන්නේ නැහැ. නමුත් අපේ මිදුලේ හිටි වැඩිහිටි කිහිප දෙනෙක් කීව යානය පහලින්නේ යන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. අපේ අජිත් ධර්මකීර්ති මහත්මයා එතුමාගේ අත්දැකීම් වලින් සීයට එකක් වත් ලියන්නේ නැහැ. සමහර ඒවා නම් රාජ්‍ය රහස්. ලෝක ආරක්ෂාව පිලිබඳ කාරණා.

      නැත්තම් අපට දැන ගන්න තිබ්බා මේ සිල්ලර කාරනා වෙනුවට චර්නිබෝල් බලාගාරයහි න්‍යෂ්ටික පුපුරා යෑම, සෝවියට් සංගමයේ බිඳ වැටීම, සෝවියට් න්‍යෂ්ටික තාක්ෂනය බටහිර ට රැගෙන යෑම, න්‍යෂ්ටික සබ්මැරීන යක මාස ගණන් එක දිගට වැඩ කරපු විදිය, නිරව් යුධ සමයේ විදේශ ධුත මෙහෙයුම්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ගේ රහසිගත ඇෆ්ගනිස්ථානය සංචාරයේ යුධ මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කල ඇන්දම වගේ නොයෙක් කාරනා.

      Delete
    2. බොහෝ අය ඔය ගුවන් යානය අනවශ්‍ය තරම් පහලින් පියාසර කරණවා දැකලා තිබුනා!
      2004 කාලයේ White water rafting පටන් අරන් තිබුනේ. මම හිතන්නේ ඒකාලේ ඒක කලේ සීමිත පිරිසක්! අද වගේ නෙවෙයි! අද නිකං හෙට්ටි වීදිය වගේනේ!

      Delete
  12. විදුලි බලගාරේ විස්තර කදිමයි
    මේවා හැදුවේ එජාපයයි
    ජනපති රනිලුත් මතු බුදු වෙයි
    යුඑන්පිය රටේ අනාගතේයි

    ReplyDelete
  13. ගමන් යන්න කැමතියි. ඒත් දන්නවනෙ... මට වාහන හොයන්න යන එක නම් වෙහෙසකාරී දෙයක්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අන් අයට වාහන හොයන එක නම් ටිකක් වෙහෙස කාඊ එකක් තමයි. ඒත් තමන්ට ගන්න තමන්ම යන එකේ පොඩි ලල් එකකුත් නැත්තේම නෑ!

      Delete
  14. අපිත් මේ සුන්දර සැඟවුනු දියපහරකින් නාලා කරලා යහතින් ගෙදර ආවා විතරයි.අම්මො නපුරු ඇල්ලක් ගැන කියවන්න උනානේ.අවංකවම කිව්වොත් පෝස්ට් එකේ බාගයයි කියව්වෙ මට හති.ආයේන්නම් ඉතුරු ටිකට.ආ ට්‍රිප් ගිය නිසා මේ පාර ශනිදාවත් මිස් උනා නොවැ මට

    ReplyDelete
    Replies
    1. එන සතියේ සෙනසුරාදාට වැඩ දාගන්න එපා! අනිවා ලියමු!

      Delete
  15. හීනටිගල ප්‍රේමදාසNovember 27, 2023 at 8:10 PM

    පැනයක් ඇත තට්ට මහතැන් විමසන්න
    ජිප්පුව ගැනයි එම විමසිල්ල
    වින්චේක කෙසෙයි බල සැපයුම ගන්න
    එන්ජිමද මෝටරයද එය ඉටු කරන?

    මා හට පවසන්න මෙම වාහනයේ වින්ච් එකට බලය ලබා දෙන්නේ කෙසේද කියා ? එන්ජිම ක්‍රියාත්මක කිරීම මගින් සෘජුව බල ගන්නවද? නැතිනම් බැටරිය මගින් මෝටරයක් ක්‍රියාත්මක කොට බලය ලබා ගන්නවද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මම ඒ ගැන ලියලා තියෙනවා. ඒක PTO (Power Take Off) වින්ච් එකක්. සාමාන්‍යයෙන් PTO වින්ච් එකක් කියන්නේ ගියර් පෙට්ටියෙන් එලියට ගන්නා බලයකින් ක්‍රියා කරණ ඒවාට.
      එතකොට ගියර් පෙට්ටියට බලය සැපයෙන්නේ එන්ජිමෙන්.
      වෙලා තියෙන වෙලාවක වින්චි ගැන ලියන්නම්!
      ස්තූතියි මේ පැත්තේ ආවාට. මේ නම නම් හුරුයි කලාක්ෂේත්‍රයේ!?

      Delete
  16. තිලින ප්‍රියසාද්November 27, 2023 at 10:18 PM

    "අනේ මේක පැට් රෝල්ද" 😀😀😀😀
    මට නිකං මැවිලා පේනවා වගේ ඒ දෙබස් ටික....

    ඒ උනාට ඒ ජීප්පුව 35ට අත උඩින් වටිනවා..... අනි⁣ක පත වින්ච් එකකුත් එක්ක....

    පෙට්‍රෝල් 1st gen වාහන ලංකාවෙ තියනවද අයියෙ?

    ආ තව ප්‍රස්නයක්.. බරණ විකෘත්තිය කියන වචනෙ මං කොහේ කොහේ හරි අහලා තිබුනට තේරුම දන්නෑ.... පොඩ්ඩක් සමාවෙලා ඒ ගැන ඩිංගක් පැහැදිලි කරන්ඩකො අයියෙ...

    ReplyDelete
  17. ඌව පොඩ්ඩක් විතර කරකවන්න මම එහෙම ඇහුවා බං!😂😂😂😂
    1st Gen නම් නෑ මම හිතන්නේ. ඕක නම් තියෙනවා. ඒත් අඩුයි.
    ඇයි බං අර උත්තල කාච අවතල කාච වලින් බැලුවාම පේන සීන් එකක් තියෙන්නේ බරණි විකෘථිය දඹල විකෘතිය කියලා! - තට්ටයා (ෆෝන් එකෙන්)

    ReplyDelete
  18. කොළොම්පුරයාටත් ඩබොල් කැබ් එකක් ගන්න තට්ට මහතාව කන්සල්ටන් වැඩේට අරගෙන ගිය හැටිත්.ඇදන් ආපූ හොද ඇදුම් පිටින්ම කැබ් එකේ යට රිංගලා තට්ටේ කුනු ගාගෙන ආපු හැටිත් මතකයට ආවා..
    කැබ් එකේ අයිතිකාරයා පස්සේ බැනලාත් තිබ්බා ආපු එකා සුපිරියටම කන්ඩෙම් කරන්න දන්න අංකූරෙක් කියලා.🤣🤣
    ජීප්පුව නොගත්තාට ගමන නම් සුපිරි..

    ReplyDelete
    Replies
    1. මතක් කරණ්න එපා! ඔච්චර කියලත් උඹ ගත්තේ නෑනේ ඒක!?
      ඔව් අප්පා සුපිරි ගමන!

      Delete
  19. යකෝ මේක පට්ට ඉස්ටෝරියක්නෙ. ජීප්එක වගේද අරං තියෙන ආතල් එක.
    අර බට දාල තියෙන කන්ද ඇතුලට යන්න අරහෙම උමගක් තියෙනවයි කියල ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නයා! මාත් ඒ හ්ණ ඇහුවාම මයි!
      එතන අඩු ගානේ සුද්ධ පවිත්‍ර කරලාවත් නෑ. නිකං තූතන් කාමන් සොහොනට යන දොර වාගේ! අනෙක ඒ යෝධ දොරට දාලා තියෙන්නේ සූට් කේස් ඉබ්බෙක්!
      මොකෙක් හරිඇතුලට රිංගලා ඇන ටික බුරුල් කරොත් වතුර එළියේ. හැබැයි දොර ගැලෙව්වොත් ගලවපු එකාට දෙයියන්ගේම පිහිටයි!

      Delete
  20. අපරාදෙ අර අටමගලෙ ගත්තනං අපිට ඔය නුවරඑලියෙ අලවත්තකිං කෑල්ලක් හක්බෙල්ලාවක පැත්තට ඇදල දාගන්න තිබ්බ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා බලන්න කලින් මේ පෝස්ටුව මකා දාන්න ඕනෑ!

      Delete
  21. පොටෝ ගොඩයි.
    නෙතට ප්‍රිය කොළ පැහැය ❤
    වාසියක් නැ කියන්නත් බෑ නෙව. මරැ ගමන!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මරු ගමනක්!

      Delete
  22. ආ... උඹැහෙත් එක්ක ගොහිං මාත් වාහනයක් ගත්ත නෙව 🙃🙃🙃

    ඔය තණකොලවත්ත හබ්බෙල්ලාවක බිබිලි ඔය සයඩ්ඩෙක ඒම සුපිරියට කරක් ගහපු තැං තමා. 😂😂😂😂😂

    රා නං කිතුල්ගල. කිතුල්ගල නං රා.

    වයිට්වෝටර් රාප්ටිං උඹැහෙට ඇලර්ජි නේ

    ReplyDelete
  23. පංකාදු ගමන, අපිටත් ඒ අත්දැකීමෙන් කොටසක් ලබා දුන්නාට බොහෝම ස්තුතියි.
    (බ්ලොගරයා අපේ ඉවසීම ටෙස්ට් කරනවා, error දි දී, කී වතාවක් නම් ට්රයි කරාද )

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...