ශ්‍රී වික්‍රම (The Last King) : ලක්දිව අවසාන රජුගේ සත්‍ය කතාව සිනමාවට

Avatar Kavinu Weerakkody | November 16, 2023 448 Views 2 Likes 5 On 1 Rating

448 Views 5 On 1 Rating Rate it

කන්ද උඩරට රාජධානියේ රජකම් කළ අවසාන රජු ලෙසින් හැඳින්වෙන, නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සත්‍ය කතා පුවත ඇසුරෙන් නිර්මාණය වූ ශ්‍රී වික්‍රම (Sri Wickrama: The Last King) සිනමාපටය පසුගිය නොවැම්බර් 10 වනදා සිට තිරගත වීම ඇරඹුනා.

ක්‍රි.ව. 1815දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් පළමු වරට උඩරට රාජධානිය යටත් කරගන්නා විට එහි පාලනය ගෙන යමින් සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුයි. දකුණු ඉන්දීය නායක්කර් පෙළපතට උරුමකම් කියූ ඔහු, මහනුවර රාජධානි ඉතිහාසය තුළ සුවිශේෂී තැනක් දිනාගත් පාලකයෙක්. කන්දසාමි යනුවෙන් කුඩා කාලයේදී හැඳින්වූ ඔහු මහනුවර රාජ්‍ය බලයට හිමිකම් කියූවේ ද රජවාසලේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි.

නායක්කර් වංශික රාජාධි රාජසිංහ රජතුමාගේ මරණයෙන් පසුව, ක්‍රි.ව. 1798 වසරේදී ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ යන නමින් කන්ද උඩරට කිරුළ දරන අතර එතැන් පටන් බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන් උඩරට රාජධානිය යටත් වනතුරුම රාජ්‍යය පාලනය කළේ ඔහු යි.

පසුගියදා තිරගත වීම ඇරඹි “ශ්‍රී වික්‍රම” සිනමාපටයට පාදක වී තිබෙන්නේ ද, කන්දසාමි කුමරුගේ ළමා කාලයේ සිට ඔහු උඩරට කිරුළට හිමිකම් කියූ ආකාරය සහ, බ්‍රිතාන්‍ය ආක්‍රමණ – පාවා දෙන්නන් හමුවේ උඩරට රාජ්‍ය උරුමය බිඳී යාමේ කතා පුවතයි.

පහත සබැඳිය ඔස්සේ ඔබට මෙම චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය නැරඹිය හැකියි.

චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ශ්‍රී වික්‍රම රාජසිංහගේ චරිතයට පණ පොවන්නේ මෙරට සිනමාවේ සිටින දක්ෂ, තරුණ නලුවෙකු වන අඛිල ධනුද්දර ඇන්තනි විසිනුයි. 2013 වසරේදී ඔහු පළමු වරට රඟපෑ “සිරි පැරකුම්” චිත්‍රපටයෙන්ම මෙරට රසිකයින්ගේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනු අඛිල ධනුද්දර, ඉන්පසුව ඇඩ්‍රස් නෑ – ගුත්තිල වැනි නිර්මාණ කිහිපයකම ප්‍රධාන චරිත නිරූපණය කළා.

තවත් සුවිශේෂීත්වයක් වන්නේ “ශ්‍රී වික්‍රම” සිනමාපටයේ ඔහු රඟපාන ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතයම මින් පෙරදී ඔහුගේ පියා වන, පසුගියදා අප අතුරින් වෙන්වුනු ජැක්සන් ඇන්තනි මහතා විසින් ද “ඇහැළේපොළ කුමාරිහාමි” චිත්‍රපටයේදී රඟපා තිබීමයි.

අකිල ධනුද්දරට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, චුලක්ෂි රණතුංග, ශ්‍යාම් ප්‍රනාන්දු, රොශාන් පිලපිටිය, බුද්ධදාස විතානාරච්චි, පාලිත සිල්වා, චංචලා වර්ණසූරිය, අරුණ රූපසිංහ සහ සරත් නාමල්ගම වැනි ලාංකීය සිනමාවේ ප්‍රවීණ – ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙම සිනමාපටයෙන් ඔබට දැකගත හැකියි.

“ශ්‍රී වික්‍රම” සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ මොහාන් නියාස් විසිනුයි. 1997 වසරේදී ‘යසෝමා’ අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු ඉන්පසුව කලු සුදු මල් (2002) – අපි මැරෙන්නේ නෑ (2014) යන චිත්‍රපට ද්විත්වයත් අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව ඔහු මෙරට රූපවාහිනියේ විකාශනය වූ විවිධ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක අධ්‍යක්ෂකවරයා ද වනවා.
චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු කළේ මෙම කතාවට පසුබිම් වුනු සත්‍ය සිද්ධි මාලාව සිදුවූ උඩරට ප්‍රදේශය තුළමයි. මහනුවර සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම මෙහි දර්ශන තල ගොඩනඟා තිබෙනවා.

“ශ්‍රී වික්‍රම” සිනමාපටයේ දෙබස් සහ තිර පිටපත ලියා තිබෙන්නේ අජිත් ධර්මසූරියයි. කැමරා අධ්‍යක්ෂකවරයා සජිත් වීරප්පෙරුමයි. ප්‍රියන්කර රත්නායක චිත්‍රපටයේ වේෂ නිරූපණ ශිල්පියායි. අජිත් බණ්ඩාර මෙහි සංස්කරණය සහ ආනන්ද බණ්ඩාර මෙහි වර්ණ සංයෝජනය සිදු කොට තිබෙනවා.

අරුණ රූපසිංහ සටන් අධ්‍යක්ෂකවරයායි. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වී තිබෙන්නේ ධනංජය මංචනායකයි. ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදු කළේ දිනේෂ් සුබසිංහ වන අතර මෙය ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වූ 10වන ලාංකීය චිත්‍රපටයයි.
Vendol Lanka සහ Vibes Cinema වෙනුවෙන් ශ්‍රී වික්‍රම සිනමාපටය නිෂ්පාදනය කරන්නේ වෛද්‍ය ගිහාන් ගොඩකන්ද විසිනි.

පසුගිය නොවැම්බර් 10 වනදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, මේ වනවිට සිනමා හල් රැසකදී සාර්ථකව තිරගත වනවා. ශ්‍රී වික්‍රම රිද්මා මණ්ඩලයේ බෙදා හැරීමකි.

Share

448 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.