කිසියම් රැකියාවක වැටුප තීරණය වන්නේ කෙසේ ද?

  • නිශාන්ත කමලදාස

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක් සටහනකින් කියන්නේ උපාධිධාරීන්ට ලැබෙන වැටුප අට පාස් අය බඳවා ගන්නා සිකුයුරිටි රැකියාවක වැටුපට වඩා අඩු බව ය. එයින් අනියමින් කියවෙන්නේ වැටුප හා අධ්‍යාපන සුදුසුකම් අතර අනුලෝම සම්බන්ධයක් තිබිය යුතු බවත් එය පුදුමයකට මෙන් අපේ ර‌ටේ නැති බවත් ය.

ඒ දෙක අතර සම්බන්ධයක් තිබිය හැකි නමුත් එය මේ කියන අනුලෝම සම්බන්ධයක් නම් නොවේ. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් වැඩි වූ පමණින් ම වැටුප ඉහළ තැනක පිහිටු වන්නේ නැති බව ය.

යම් රැකියාවක වැටුප තීරණය කරන්නේ ඒ සඳහා කෙනෙකු බඳවා ගැනීමට හා එසේ බඳවා ගත් තැනැත්තන් රඳවා ගැනීමට ප්‍රමාණවත් වන ආකාරයට ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් ඉල්ලුම හා සැපයුම අනුව බව ය. මූලික ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ය.

යම් රැකියා විශේෂයකට මිනිසුන් බොහෝ සෙයින් අවශ්‍ය ව තිබිය දී ඉල්ලුම් කරන්නේ ස්වල්ප දෙනෙකු නම් ඒ රැකියාව සඳහා ලබා දෙන වැටුප් තල ඉහළ දැමිය යුතු ය. ඒ අවශ්‍ය ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට හා එසේ දිනා ගත් අය රඳවා ගැනීමට ය.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන අය සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් අඩු ය. එවැනි සුදුසුකම් ඇති රැකියා සඳහා ඒ නිසා ඉල්ලුම් කරන්නේ අඩුවෙනි. එවැනි වාතාවරණයක ඒවායේ වැටුප වැඩි වේ. අධ්‍යාපන සුදුසුකම් වලට සමානුපාතික ලෙස වැටුප් ලැබිය යුතු ය ලැබෙන්නේ යැයි මතයක් ඇති වීමට හේතුව මෙය ය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් වෛද්‍ය ශිෂ්‍යයිනුත් රටට මොනවා ප්‍රකාශ කළ ද සමත් වන වෛද්‍යවරු ප්‍රමාණය අඩු මට්ටමක පවත්වා ගන්නට උත්සහ ගන්නේ ද නව වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට විරුද්ධ වන්නේ ද මේ හේතුව ම නිසා ය. අධ්‍යාපන සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගේ ගණන ඉහළ ගියොත් සැපයුම වැඩි වී මිල පහළ යන නිසා ය.

ඇතැම් අවස්ථාවක මිනිසුන් ඇතැම් රැකියා සඳහා ඉල්ලුම් නොකරන්නේ ඒවා දුෂ්කර නිසා ය. කට්ටක් කන්නට වන නිසා ය. අවදානම් සහිත නිසා ය. ශාරීරික ආබාධ ඇති විය හැකි නිසා ය. මානසික ආතතිය ඉහළ නිසා ය. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් අවම වුව ද එවැනි අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීම හා රඳවා ගැනීම සඳහා ඇතැම් විට විශාල මුදලක් ගෙවීමට සිදු වේ.

ඇතැම් රැකියාවක දී අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වුව ද වඩාත් තීරණාත්මක වන්නේ කුසලතා ය. මේ සඳහා දිය හැකි හොඳ ම උදාහරණය නීතිඥ වෘත්තීය ය. මේ වෘත්තියට සම්බන්ධ වෘත්තීය වේදීන් අතර ගාස්තු වල වෙනස් කම් ඉතා විශාල වන්නේ මේ හේතුව නිසා ය. එක ම අධ්‍යාපන සුදුසුකම් තිබුණ ද සමහරුන්ට ලැබෙන්නේ සොච්චම් ගාස්තුවකි. ඒ තවත් අයට එමෙන් දෙතුන් ගුණයක නොව විසිතිස් ගුණයක ගාස්තු ලැබෙද්දී ය. මෙය ගායක ගායිකාවන් හා නළු නිළියන් සම්බන්ධයෙන් ද ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද තවදුරටත් අදාළ ය.

ඇතැම් රැකියාවක දී වඩාත් අදාළ විය හැක්කේ කෙනෙකුගේ පෙනුම ය. ශරීරය ය. නිවේදක නිවේදිකාවන් නළු නිළියන් සම්බන්ධයෙන් ද පිළිගැනීමේ නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙය වඩාත් අදාළ ය.

මේ සියල්ල පසෙකලා අධ්‍යාපන සුදුසුකම් එක ම නිර්ණායක ලෙස සලකන්නට අපට පුළුවන් කමක් නැත. එහෙත් සමාජය ඊට දී ඇති සුවිශේෂී ස්ථානය නිසා ම ඇතැම් අය අතරමං වන්නේ රැකියා ලොවට පිවිසෙන විට වෙනත් කතාවක් අසන්නට ලැබුණු විට ය. මේ අතරමං වීමට තව හේතුවක් නම් රජයේ රැකියා ව්‍යුහය තුළ අධ්‍යාපන සුදුසුකම් බොහෝ විට ප්‍රතිලාභ ලබා දීමේ එක ම සාධකය කර ගැනීම ය. එය සෙසු ආයතන වලිනුත් අපේක්ෂා කරන උපාධිධාරීන්ට හිමි වන්නේ අපේක්ෂා භංගත්වය ය.  

කළමනාකරුවන්ට මේ සංවාදයේ වඩාත් වැදගත් ම කොටස නම් වැටුප තීරණය කළ යුත්තේ ඉල්ලුම හා සැපයුම අනුව වෙළඳ පොල විසින් බව ය. වෙළඳ පොල ලබා දෙන වැටුපට තරමක් වැඩි වැටුපක් දීම ඇතැම් විට ආයතනයට ලාභ දායක විය හැකි බව ය. ඒ බඳවා ගැනීම සඳහාත් නවකයන් ආයතන වටපිටාවට හුරු වී වැඩ කිරීම සඳහාත් කාලයත් ආයතනයේ සෙසු අයගේ ශ්‍රමයත් ඒ නිසා ම මුදලුත් වියදම් වන නිසා ය. ඊටත් අමතරව ආදායම ඉපයීම ඒ හරහා පමා වන්නට ද ඉඩකඩ තිබීම ය. විශේෂයෙන් ආයතනයේ සංස්කෘතිය හා වැඩ රටාව තීරණාත්මක කාර්යය භාරයක් ඉටු කරන තැනක ඉවත් ව යන මිනිසුන් ආදේශ කිරීම සඳහා කරන නව බඳවා ගැනීම් ක්‍රියාවලිය අප කල්පනා කරනවාට වඩා දිගු එකක් වීමේ ඉඩක් තිබීම ය.

රැකියා සොයන අයට මෙයින් ගත හැකි පාඩම වනුයේ තමන්ට කැමති අධ්‍යාපන සුදුසුකමක් ලබා ගෙන රැකියා සොයනවා වෙනුවට රැකියාව තෝරා ගෙන එයට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම වඩා නුවණක්කාර විය හැකි බව ය. ඒ අධ්‍යාපනය රැකියාව සඳහා ම ලබා ගන්නා අය වෙනුවෙන් දෙන උවදෙසකි. අධ්‍යාපනය හා රැකියාව ජීවිතයට අවශ්‍ය එකිනෙකින් ස්වායත්ත දෙකක් ලෙස සලකන අය එසේ කොටු වීම අවශ්‍ය නැත. සෙසු අය පසුව කන්කෙඳිරි නොගා රැකියාවට අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමට කැප වීම වඩා සුදුසු ය.

මේ සංවාදයෙන් දෙමාපියන් හා ගුරුවරුන් ගත යුතු පාඩම වන්නේ අධ්‍යාපනය රැකියාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය එක් සුදුසුකමක් පමණක් බව ය. ඒ නිසා ම දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලිය යුතු බව ය. ඔවුන් සමාජයෙන් ද පොත පතින් තරමට ම ඉගෙනිය යුතු බව ය. දැනුම තරමට ම කුසලතා වැඩි දියුණු කර ගත යුතු බව ය. අධ්‍යාපන සුදුසුකම් තව දුරටත් කෝකටත් තෛලයක් වන්නේ නැත.

Leave a comment