Saturday, October 28, 2023

ස්මයිලි | Smiley (ශනිදා දහයට!)

 

පසුගිය දවස් හත ඇතුළත ඔබ කීවරක් Smiley Face පාවිච්චි කරා ද?

අද ලෝකයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නැතුවම බැරි විවිධ රූප සංකේත, ඉමෝජි, රිඇක්ට්ස් අතර Smiley ප්‍රමුඛස්ථානයක් ගනී. මුල් ස්මයිලි ෆේස් සංකේතය ලොව එළිය දුටුවේ කවදාද කියා ඔබ දන්නවාද?
ඇමෙරිකානු වෙළඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ නිර්‍මාණකරුවෙකු වූ හාවි රෝස් බෝල් (Harvey Ross Ball) ස්මයිලි ෆේස් නිර්‍මාණකරුවා ලෙස සැලකේ. 1963 වසරේ දී රක්ෂණ සමාගමක් විසින් හාවිගේ සේවාව ෆ්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙකු ලෙස ලබාගෙන ඇත. සමාගම් දෙකක් ඒකබද්ධකර පිහිටවූ එම නව රක්ෂණ සමාගම කෙරෙහි එහි සේවකයින් එතරම් සතුටක් දක්වා නැත, හාවිට පැවරුණේ සේවකයින්ගේ චිත්ත ධෛර්‍යය (morale) නංවාලිය හැකි ඩිසයින් එකක් නිර්‍මාණය කිරීමය. ඔහු විනාඩි දහයක තරම් කෙටි කාලයක දී, එය මනාව ඉටු කළේය. එම ඩිසයින් එකෙහි එක් ඇසක් අනෙකට වඩා ලොකු වූ අතර, කන් දෙක දක්වා විහිදුන පුළුල් මුව සිනාවෙන් යුතු සතුටින් පිරි දීප්තිමත් කහ පැහැ මුහුණකි. එම නිර්‍මාණය පළමුව සමාගමේ විධායක නිලධාරීන්ගේ මුවට සිනහව ගෙන ආවේය. ඔවුන් ඒ සරල අරුත්බර නිර්‍මාණය ඉතා සතුටින් බාරගෙන ඇති අතර ඒ සඳහා ඩොලර් 45ක ගෙවීමක් කර ඇත.
එම ස්මයිලි නිර්‍මාණය යොදා ගෙන සමාගම ස්මයිලි පින් (Smiley pin) සියයක් නිපදවා සේවකයින් අතර බෙදා දී අත්තේ රාජකාරී කාලය තුළදී පැළදිම සඳහාය. එය කොතෙක් ජනප්‍රිය වූයේ ද කියනවා නම් කෙටි කාලයක දී ස්මයිලි පින් 10,000ක් අලෙවි වූ බව කියවේ. 1971 වෙද්දි ස්මයිලි පින් අලෙවිය මිලියන 50ක් ඉක්ම වූ බව සඳහන් වේ.
හාවිගේ ස්මයිලි ෆේස් ලොව පුරා iconයක් වෙන්නට විය.
1921 උපන් හාවි, 1998 දී තම නිර්‍මාණයේ 35 වන වසර සමරා ඇත. 1999 දී World Smile Foundation නමින් ස්වේච්ඡා සංවිධානයක් ආරම්භ කර ඇත්තේ ළමා අභිවෘද්ධිය ප්‍රධාන අරමුණ කරගෙනය. 1999 දී පළමු ලෝක සිනහව දිනය සමරා ඇත්තේ හාවිගේ සංවිධානයේ අනුග්‍රහයෙනි. ලොවට සිනාවේ සංකේතය උරුමකර දුන් හාවිගේ මුව සිනාහව 2001 අප්‍රේල් 12දා වියැකී ගියේය. ඉන් පසුව හාවි අනුස්මරණ “Harvey Ball World Smile Foundation” පිහිටුවා ඇත, එහි ආදර්‍ශ පාඨය වෙන්නේ “ලෝකයේ යහපතට, එක සිනාවක්” “enhancing this world, one smile”. අදටත් හාවි සංවිධානය ලෝක සිනහව දිනය සැමරිමේ ප්‍රධාන අනුග්‍රාහකයා වේ.
ලොවට සිනහව සංකේතය පිදූ නිර්‍මාණකරුවා කිසිදා තම මෝස්තරයේ අයිතිය බදාගන්නට තරම් කෑදරයෙකු නොවිය, එය තම වෙළඳනාමයක් යටතේ ලියාපදිංචි කරන්නට කැමැත්තක් දැක්වා නැත. ඔහු ඉතා සරල මනුස්සයෙක් විය, එය සනාථ කරන ඔහුගේ පුතාගේ වචන වලින් he was not a money-driven guy, he used to say, "Hey, I can only eat one steak at a time, drive one car at a time". හාවි ඉන්න තැනක සිනහ බෝ වේවා!
එනමුත් සෑම ලෝක සිනහව දින සැමරුමකදිම හාවිගේ නිර්‍මාණය යොදාගෙන නිපදවන සිහිවටන භාණ්ඩ වලින් සෑහෙන මුදලක් උපයනවා ඇත. මෙම ලිපියේ අරමුණ වාණිජ අරමුණු සහිතව පවත්වන ලෝක/ජාත්‍යන්තර දින කැලන්ඩරයේ තවත් දවසක් මතුකර දැක්වීම නොව, ඉන්ටනෙට් භාවිතය ප්‍රචලිත වූ දවස පටන් කැරැක්ටර් බේස් සිස්ටම්ස් වලින් පටන් ගෙන අද දක්වා විකාශය වී ඇති හුරුබුහුටි Smiley Face නොදත් කතාව ගෙන ඒමය. සුන්දර නිර්‍මාණකරුවෙකු වූ හාවි විසින් ලොවට ඉතිරි කරගිය ලෝකයේ යහපතට, එක සිනාවක් “enhancing this world, one smile” සංකල්පයේ මානුෂික හා මානසික සුවය පැත්තෙන් බැලීමය.

2022 ලෝක සිනහව දිනය නිමිත්තෙන් ලියූවකි

*සෑම වසරකම ඔක්තෝබර් මස පලමු සිකුරාදා දිනය ලෝක සිනහව දිනය - World Smile Day හැටියට නම් කර ඇත

3 comments:

  1. ඒක දන්නැති දෙයක්..
    බලල ඇතිනෙ ෆොරස්ට් ගම්ප්. ඒකෙ තියේ ඔය ස්මයිලි ෆේස් සීන්ස් එකක් මතකද

    ReplyDelete
    Replies
    1. ස්මයිලි හිනාවීගෙනම තවම තරුණයි නෙවැ, ස්තුතියි මහේෂ

      Delete
  2. ඔක්තෝබර් පළවෙනිද එතකොට හිනාවෙවී ඉන්න ඕනද?

    ReplyDelete