HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොබෙල් සම්මානයේ කීර්තිය කෙ‍ලෙසූ කළු පැල්ලම්

ලෝකයේ ඉතාමත් ගෞරවාන්විත සම්මානයන්ගෙන් එකක් ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගයේ තවත් වටයක් පසුගියදා නිමාවට පත් වුණා. ස්වීඩන් ජාතික විද්‍යාඥයකු, ව්‍යාපාරිකයකු, සහ මහා දානපතියකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය ධන පරිත්‍යාගයෙන් ආරම්භ කෙරුණු මේ කීර්තිමත් සම්මානය පසුගිය සියවස තිස්සේ ම ලොව පුරා විද්‍යාඥයන්, සාහිත්‍යධරයන් හා සාම ක්‍රියාකාරීන් සැම ප්‍රබෝධමත් කළ බව නොරහසක්. ඒ වුණත් ඒ කීර්තිමත් සම්මානයට කළු පැල්ලම් එක් කළ අවස්ථාත් තිබුණා. ඒ විශේෂයෙන් ම නොබෙල් සඳහා නිර්මිත මුල් ම සම්මාන හයෙන් එකක් වූ සාම සම්මානය නිසයි. 

නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ලැයිස්තුවේ නොමැති කම වඩාත්ම 
කැපී පෙනෙන්නේ ගාන්ධිතුමාගේ යැයි කිව හැකියි.

නොබෙල් සාම සම්මානය එහි අනෙක් ක්ෂේත්‍ර පහට සාපේක්ෂව වැඩි වශයෙන් මතභේදයන්ට ලක් වීමට හේතුව එහි ඇති දේශපාලනික ස්වභාවය හේතුවෙන් විය හැකිය. නොබෙල් සම්මාන නමැති කිරි කළයට ගොම බිංදුවක් එක්කළ එවැනි ඉතාමත් ආන්දෝලනාත්මක අවස්ථා කීපයක් කෙරෙහියි, ඔබේ අවධානය යොමු කරන්නයි අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ. 

මග හැරුණු මහත්මා ගාන්ධි 

මුලින් ම අප යොමු වන්නේ බුදුන් වහන්සේගෙන් පසු ඉන්දියාවේ පහළ වූ විශිෂ්ට සාම ක්‍රියාකාරිකයා වූ මහත්මා ගාන්ධි වෙතටයි. සාම ත්‍යාග කාණ්ඩය තුළ, වඩාත්ම කැපී පෙනෙන කළු පැල්ලම මහත්මා ගාන්ධිතුමා වෙනුවෙන් ඇති වූවක්. 

නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ලැයිස්තුවේ නොමැති කම වඩාත්ම 
කැපී පෙනෙන්නේ ගාන්ධිතුමාගේ යැයි කිව හැකියි.

එතුමාගේ නම සාම ත්‍යාගය සඳහා කීප විටෙකම යෝජනා වුව ද, විසිවැනි ශතවර්ෂයේ දී අවිහිංසාවාදී ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වූ මේ ඉන්දියානු ජාතික දේශපාලනඥයා වෙත එය කිසිදා ප්‍රදානය කෙරුණේ නැත. එය නොබෙල් ඉතිහාසයේ සිදුවූ ලොකුම පැහැර හැරීම ලෙස 2006 දී, සාම ත්‍යාගලාභීන් තෝරා ගන්නා කමිටුවේ එවකට සභාපතිව සිටි නෝර්වීජියානු ජාතික ඉතිහාසඥ ගයිර් ලුන්ඩස්ටාඩ් ප්‍රකාශ කළා. ඔහු එදා කීවේ, එසේ වූයේ ගාන්ධිගේ කාර්යභාරයට නොබෙල් තේරීම් කමිටුව තුළ පිළිගැනීමක් නො තිබීම නිසා බවයි. 

ගාන්ධි මියගිය වසරේ එතුමාගේ නම ඒ සඳහා යෝජනා කර තිබුණද එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට පෙර එතුමා ඝාතනය කරනු ලැබූ නිසා, නොබෙල් සම්මානය පිරිනැමෙන්නේ ජීවත්ව සිටින අයට පමණක්ය යන තර්කය මත එය ප්‍රසිද්ධ කෙරුණේ නැහැ. 

ලොව පුරා මෙතෙක් (1901-2020) නොබෙල් සාම ත්‍යාගය 
දිනා ගත් ආකාරය මෙසේ යි:


බැරක් ඔබාමා පුදුම වුණා! 

එක්සත් ජනපද ජනපතිවරයකු වූ බැරැක් ඔබාමාට 2009 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමූ විට, මුළු ලොව ම පුදුමයට පත් වුණා. එපමණක් නොව ඔහු ද ඉන් විමතියට පත් වූ බව 2020 දී ලියූ "A Promised Land" නම් මතක සටහන් පොතේ සඳහන් කරනවා. ඒ පුවත සැලවූ වහාම ඔබාමාගේ ප්‍රතිචාරය වුණේ, ‘මේ මට? (මම) මොකක් කළාටද?’ කියායි. 

ඒ සාම ත්‍යාගය පිරිනමන විට ඔබාමා ජනපති තනතුරට පත්ව ගෙවී ගොස් තිබුණේ මාස 9ක් පමණක් වූ අතර, ඔහු ත්‍යාගය සඳහා යෝජනා කිරීම අනවශ්‍ය ලෙස ගත් ඉක්මන් තීරණයක් බව එවකට විචාරකයන්ගේ මතය වුණා. කොටින්ම කියතොත්, ත්‍යාගය සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අවසන්ව තිබුණේ ඔබාමාගේ පදවි ප්‍රාප්තියෙන් දින 12කට පසුවයි. 

ඔබාමාට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරුණු අවස්ථාව.

නොබෙල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ගයිර් ලුන්ඩස්ටාඩ් 2015 දී කීවේ, එම ත්‍යාගය ප්‍රදානයට තීරණය කළ කමිටුව පසුව ඒ පිළිබඳ පසුතැවුණු බවයි. 

ඔබාමාගේ ජනාධිපති ධුර කාල දෙක පුරා ම එක්සත් ජනපදයට අයත් හමුදා ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව වැනි රටවල සාමය කඩකරන ක්‍රියාවල එනම් සටන්වල නිරත වෙමින් සිටියා.

යසීර් අරෆත්ට ? 

ඔස්ලෝ සාම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා, 1994 වසරේ දී ඊශ්‍රායලයේ අගමැති ඉසාක් රබීන් සහ ඊශ්‍රායලයේ විදේශ ඇමැති ෂිමෝන් පෙරේස් හා සමව පලස්තීන නායක යසීර් අරෆත්ටද නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. 1990 දශකයේ දී ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් ලැබෙතැ යි බලාපොරොත්තුවක් දල්වන්නට ඔස්ලෝ සාම ගිවිසුම සමත් වුණා.  

1994 සාම නොබෙල් ත්‍යාගයේ සාමූහික ජයග්‍රාහකයා ලෙස යසර් අරෆත් (වමේ) 
නම් කිරීමට ගත් තීරණය තේරීම් කමිටුවේ බෙදීම් ඇති කළා.

ඉන්පෙර නොනිල සන්නද්ධ හමුදාවන්ට සම්බන්ධව සිටි අයකු වූ යසීර් අර්ෆත්ට එම ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය ඊශ්‍රායලයේත්, ඉන් පිටතත් බොහෝ විවේචනයන් මතු කිරීමට සමත් වුණා. ඇත්ත වශයෙන්ම අර්ෆත්ගේ නාම යෝජනාව නොබෙල් කමිටුව තුළ පවා කලබල ඇති කළා පමණක් නොව කමිටු සාමාජිකයකු වූ කාරේ ක්‍රිස්ටියන්සන් නම් නෝවීජියානු ජාතික දේශපාලනඥයාද එයට විරෝධය දැක්වීමක් ලෙස කමිටුවෙන් ඉල්ලා අස්වුණා. 

අවුං සාන් සූ චීට දුන් සම්මානය 

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව දියත් කළ අවිහිංසාවාදී අරගලය හේතුවෙන්, බුරුම ජාතික අවුං සාන් සූ චී මැතිනියට 1991 දී ඉතා කීර්තිමත් අයුරින් නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවා. ඇය එරට ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිතයෙන් වැඩි කාලයක් කැප කළ කාන්තාවක්. ඒ අවස්ථාවේ ඇයට ඒ සම්මානය පිරිනැමීම ගැන කවුරුනුත් එකඟ වුණා. 

රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් අවුන්සාන් සුචිගේ ස්ථාවරය නිසා 1991 දී 
ඇය දිනාගත් නොබෙල් සාම ත්‍යාගය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා.

නමුත් ඉන් වසර 20කටත් වැඩි කාලයකට පසු, එක්සත් ජාතීන්ගේ සංවිධානය "ජන සංහාරයක්" ලෙස හඳුන්වන ලද මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන සමූල ඝාතනයන් සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පෑමට අපොහොසත් වීම හේතුවෙන්, අවුං සාන් සූ චී දැඩි විවේචනයන්ට ලක්වුණා. 

ඇය ලැබූ සම්මානය අවලංගු කරන්නැ යි ඉල්ලීම් ද ඉදිරිපත් වූ නමුත්, නොබෙල් ත්‍යාගයන් නියාමනය කෙරෙන නීති මඟින් එවැනි පියවරකට ඇති ඉඩකඩ අහුරා තිබුණු නිසා ඒ කිසිවක් සිදු වුණේ නෑ. 

අබී අහ්මඩ්ට දුන් සම්මානය? 

අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දීර්ඝකාලීන දේශසීමා ගැටුම විසඳීමට ගත් උත්සාහය හේතුවෙන් 2020 වසරේ දෙසැම්බරයේ දී ඉතියෝපියානු අගමැති අබී අහ්මඩ්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවා. එහෙත් ඒ තීරණය නිවැරදි එකක් දැ යි යන ගැටලුව පැන නැගුණේ ඉන් වසරක් ගෙවී වැඩි කලක් යන්නටත් පෙරයි. 

අබී අහ්මඩ්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණේ අසල්වැසි එරිත්‍රියාව 
සමග වූ ගැටුම් අවසන් කිරීම හේතුව නිසයි.

ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් පවතින ටිග්‍රේ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයන්ට අබී අහ්මඩ් එරට හමුදාව පිටත්කර හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ විවේචන මතුවුණා. 

එහි ඇතිවූ සටන්වලින් දහස් ගණනක් වැසියන් මරුමුවට පත්වූ අතර, එක්සත් ජාතීන් එය 'සිත් බිඳවන මහා විනාශයක්' ලෙස හැඳින්වුවා. 

වංගරි මාතයිගේ වැරදි මත! 

වංගරී මාතයි, නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ප්‍රථම අප්‍රිකානු කාන්තාව බවට පත් වුණා. ඒ 2004 දී. නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනමනු ලැබුවේ කෙන්යානු ජාතික සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ඇය කළ මෙහෙය අගය කිරීමක් ලෙසයි. අද ඇය ජීවතුන් අතර නැතත් ඇය ජීවත්ව සිටිය දී පළ කළ අදහස් කීපයක් මෑත දී පළ වීමෙන් පසු ඇයට එම සම්මානය පිරිනැමීම ගැන විරෝධයක් මතු වී තියෙනවා. ඒ HIV සහ Aids පිළිබඳව ඇය පළ කළ සාවද්‍ය අදහස් දැක්වීම් කීපයක් ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුවයි. 

එච්අයිවී ආසාදනයේ ආරම්භය ගැන වංගරී මාතායි 
දැක්වූ අදහස් විවේචනයට ලක් වුණා.

HIV වෛරසය යනු කළු සම ඇති ජනතාව විනාශ කිරීම සඳහා ම කෘත්‍රිමව නිපදවන ලද ජෛව අවියක් යැයි ඇඟවෙන අදහස් වංගරි මාතයි විසින් ප්‍රකාශ කර තිබුණත් සම්මානයට සලකා බලද්දී ඒවා නොබෙල් කමිටුව ඒ ගැන දැනුවත්ව සිට නැහැ. ඉදිරියේ දී එවැනි සාවද්‍ය අදහස් පළ කිරීම් ගැන සම්මාන පිරිනැමීමට පෙර සොයා බලන්නටත් කමිටුව අපේක්ෂා කරනවා. 

හෙන්රි කිසින්ජර් කළ යුද අපරාධ 

1973 දී එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තා. නමුත් කාම්බෝජයට බෝම්බ හෙළීමේ රහසිගත යුද ව්‍යාපාරයන්ට සහ දකුණු ඇමරිකාවේ මිනීමරු මිලිටරි පාලන තන්ත්‍රයන්ට සහයෝගය දැක්වීම වැනි, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයන්ට සහභාගී වූ මිනිසෙකුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම බොහෝ දෙනාගේ විමතියට සහ අප්‍රසාදයට හේතු වුණා. 

හෙන්රි කිසින්ජර් (දකුණේ) සහ ලේ ඩුක් තෝ (අත ඔසවා) 1973 දී නොබෙල් 
ත්‍යාගලාභීන් වූ නමුත් වියට්නාම දේශපාලනඥයා එම ත්‍යාගය ප්‍රතික්ෂේප කළා.

කිසින්ජර්ට සාම ත්‍යාගය පිරිනමනු ලැබුණේ වියට්නාම් යුද්ධය සඳහා සටන් විරාමයක් ගිවිස ගැනීමේ දී සිදුකළ කාර්යභාරය වෙනුවෙන්, උතුරු වියට්නාමයේ නායක ලේ ඩුක් තෝ හා සමව යි. මෙයට විරෝධය දැක්වීමක් වශයෙන් නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ අතර, නිව් යෝක් ටයිම්ස් පුවත්පත එම සම්මානය "නොබෙල් සංග්‍රාම ත්‍යාගය' ලෙස හඳුන්වමින් සිය විරෝධය පළ කළා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments