ජැක්සන් ඇන්තනි දිවි ගමනින් සමුගනී!!

Avatar Kavinu Weerakkody | October 9, 2023 80 Views 0 Likes 0 Ratings

80 Views 0 Ratings Rate it

මෙරටින් බිහිවූ විශිෂ්ට ගණයේ කලාකරුවෙකු වූ, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අද (ඔක්තෝබර් 09) අලුයම, සිය දිවි ගමනින් සමු ගත්තා. ඒ මාර්ග අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා, දිගු කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනය අනතුරට පත් වුනේ පසුගිය වසරේ ජූලි 02 වනදායි. ඒ ඔහු රංගනයෙන් දායක වෙමින් සිටි සෝමරත්න දිසානායකගේ “සිංහබාහු” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වී රාත්‍රියේ ආපසු එමින් සිටියදී යි. එහිදී ඔහු සහ ඔහුගේ බාල සොහොයුරු සමන් ඇන්තනි ඇතුළු තිදෙනෙකු එම වාහනයේ ගමන් කරමින් සිටියා.

අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීම නිසා මෙම අනතුර සිදුවුනු අතර එහිදී අනතුරට ලක් වූ පිරිස කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. නමුත් ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය බරපතල වූ බැවින් ඊට පසුදාම ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර, පැය හතකට අධික හදිසි සැත්කමකට භාජනයට වෙන්නටත් සිදු වුනා.

ජූලි 03 වනදා සිට මේ දක්වා මාස 14ක් වැනි දීර්ඝ කාලයක් ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ යි.
මිය යන විට 65වන වියෙ හි පසුවූ ඒ මහතා මෙරට සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව තුළ අමරණීය මතක රැසක් ඉතිරි කළ දැවැන්ත කලාකරුවෙක්.

අතිදක්ෂ රංගන ශිල්පියෙක් – චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් – තිර පිටපත් රචකයෙක් – රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් – ගායකයෙක් – මාධ්‍යවේදියෙක් – ගී පද රචකයෙක් – පුවත්පත් කලාවේදියෙක් – චිත්‍ර ශිල්පියෙක් – නවකතාකරුවෙක් – ඉතිහාසඥයෙක් ලෙසින් එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙරට රසිකයින්ට සමීප වූ ජැක්සන් ඇන්තනි, ලාංකීය කලා ක්ෂේත්‍රය තුළින් බිහිවූ අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙකු බව අවිවාදිතයි.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි නමින් 1958 වර්ෂයේ ජූලි 08 වනදා රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේදී උපත ලැබූ ඒ මහතා, වසර 40කට ආසන්න කාලයක් පුරාවට ලාංකීය කලා ක්ෂේත්‍රයට සක්‍රීයව සම්බන්ධ වුනා. හපුගොඩ ශාන්ත මරියා ප්‍රාථමික විදුහලින් සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරන ඔහු කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක්.

වාරුවෙන් යන මිනිස්සු, මානවයෝ වැනි වේදිකා නාට්‍ය තුළින් විශ්ව විද්‍යාල සමයේදී ම රංගනයට පිවිසෙන ඔහු ඉන්පසුව මරසාද් – තාරාවෝ ඉගිලෙති – මධුර ජවනිකා – ලෝමහංස – ධවල භීෂණ වැනි මෙරට ජනප්‍රිය වේදිකා නාට්‍ය ගණනාවකට ප්‍රධාන රංගනයෙන් දායක වූවා.

1993 වර්ෂයේදී ජැක්සන් ඇන්තනි සිනමාවට පිවිසෙන්නේ ගුරුගෙදර සිනමාපටයේ සුනන්දගේ චරිතය නිරූපණය කරමින්. එතැන් පටන් ලාංකීය සිනමාපට තිහකට ආසන්න ප්‍රමාණයට රංගනයෙන් දායක වන්නට ඔහුට හැකියාව ලැබුනා.
බවදුක (1997) – විසිදැල (1997) – ගිනිඅවි සහ ගිනිකෙළි (1998) – අස්වැසුම (2001) – අග්නිදාහය (2002) – මිල්ලෙ සොයා (2004) – සූරිය අරණ (2004) – ගරිල්ලා මාකටින් (2005) – කුසපබා (2012) – ප්‍රවේගය (2015) – මහරජ ගැමුනු (2015) – ධර්මයුද්ධය (2017) – ඝරසර්ප (2018) වැනි ඔහුගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවයෙන් හැඩවුනු චිත්‍රපට, ඉදිරි කාලයටත් මෙරට සිනමාවේ සදාතනික මතකයක් වනු නොඅනුමානයි.

නලුවෙකු ලෙසින් පමණක් නොවෙයි; චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් ඔහු සුවිශේෂී නිර්මාණ කිහිපයක්ම ලාංකීය සිනමාවට තිළිණ කළා. 1994දී තිරගත වුනු ‘ජුලියට්ගේ භූමිකාව’ ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. යළි 2008 වසරේදී ඔහු ‘අබා’ සිනමාපටය අධ්‍යක්ෂණය කළ අතර එය මෙතෙක් ලාංකීය සිනමා ඉතිහාසයේ බිහිවූ ජනප්‍රියම චිත්‍රපට කිහිපයෙන් එකක් ලෙසට අදටත් පිළිගැනෙනවා. 2015දී තිරගත වුනු ‘ඇඩ්‍රස් නෑ’ සිනමාපටයත් ජැක්සන්ගේම නිර්මාණයක්.
‘එකගෙයි සොකරි’ නමින් ඔහු තවත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිබෙන අතර නුදුරු දිනකදීම එය තිරගත වීමට නියමිතයි.

මීට වසර කිහිපයකට පෙර ලක්නව් (Lucknow) නැමැති ඉන්දියානු සිනමාපටයක් සඳහාත් ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නා.

එමෙන්ම කඩුල්ල, අකාල සන්ධ්‍යා, පළිඟු මැණිකේ, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය තුළින් රූපවාහිනී ප්‍රේක්ෂකයින්ටත් සමීප වූ ජැක්සන් ඇන්තනි ගඟ දිගේ, සලංහංතේ, මහා සිංහලයේ වංසකතාව, කළු ගඟ දිගේ වැනි සංචාර තුළින් මෙරට ටෙලිවිෂනයේ පෙරළිකාර වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළා.

පහතින් දැක්වෙන්නේ මෙම දැවැන්ත රංගන පෞරුෂය සිය ජීවිත ගමන තුළ දිනාගත් සම්මාන ලැයිස්තුවෙන් කිහිපයක්…

1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ජැක්සන් ඇන්තනි මහතා, මෙරට ජනප්‍රිය නිළියක වන කුමාරි මුණසිංහ මහත්මිය‍ගේ ආදරණීය සැමියායි. ඔහුගේ දියණිය වන මාධවී වත්සලා ඇන්තනි රංගන ශිල්පිනියක සහ ගායිකාවක ලෙසින් කලාවට සම්බන්ධ වී සිටින අතර පුතුන් දෙදෙනා වන අකිල ධනුද්දර ඇන්තනි සහ සජිත් අනුත්තර ඇත්නනි ද ලාංකීය සිනමාවෙ හි, තරුණ පරපුරේ ජනප්‍රිය නලුවන් දෙදෙනෙක්.

ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය, හෙට – ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ 12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ.
අවසන් කටයුතු 12 වැනිදා බ්‍රහස්පතින්දා සවස රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී සිදු කෙරේ.

වේදිකාවත්; රූපවාහිනියත්; සිනමාවත්; එකලෙසම ජයගත් සොඳුරු කලාකරුවාණෙනි,
ඔබට සුබ ගමන්!!!

Share

80 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.