HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

 

2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හඬක් නැති අයට හඬක් දුන් නෝර්වීජියානු යූන් ෆෞසේට

2023 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමා ඇත්තේ නෝර්වීජියානු ලේඛකයකු, නාට්‍ය රචකයකු සහ කවියකු වන යූන් ෆෞසේ (Jon Fosse) ටයි. ඔහුට මේ සම්මානය පිරිනැමෙන්නේ ඔහුගේ සමස්ත නිර්මාණාවලියටමයි. ලෝක ප්‍රකට නෝවේජියානු නාට්‍ය රචක හෙන්රික් ඉබ්සන්ගෙන් පසු එරට පහළ වූ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයා ලෙස ද ඔහු සැලකේ. 
නෝර්වීජියානු ලේඛක, නාට්‍ය රචක සහ කවියකු වන යූන් ෆෞසේ.

ස්වීඩන් ඇකඩමිය සම්මානය පිරිනමන බව ප්‍රකාශ කළ අවස්ථාවේ දී කියා සිටියේ, එය පිරිනැමෙන්නේ ඔහුගේ "හඬක් නැඟිය නොහැකි අයට හඬක් ලබාදෙන නව්‍යකරණය වූ නාට්‍ය සහ ගද්‍ය රචනා වෙනුවෙන්" පිදෙන බවයි. ත්‍යාගයට අමතරව, යූන් ෆෞසේ වෙත ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11 (පවුම් 822,000) ද හිමි වනු ඇත. 

ජයග්‍රහණයෙන් තමා "උද්දාමයට පත් වූ අතර ඒ සමගම ඉන් තරමක් තැති ගත් බවත්” සඳහන් කරමින් ඔහු පැවසුවේ, "වෙනත් අරමුණු අරඹයා කටයුතු කිරීමෙන් තොරව සාහිත්‍ය පළමු කොට සැලකීම හේතුවෙන්" ඔහුගේ කාර්යය මෙලෙස ඇගයීමට පාත්‍ර වූ බව ය. 

එක් කෘතියක් සඳහා පමණක් නොව සමස්තයක් ලෙස සාහිත්‍ය වෙනුවෙන් කරන ලද කාර්යභාරය වෙනුවෙන් පිරිනමන මෙම ත්‍යාගය මීට පෙර දිනා ගත් පිරිස අතර ටෝනි මොරිසන්, ඩොරිස් ලෙසින්, ගේබ්‍රියෙල් ගාසියා මාකේස් සහ බොබ් ඩිලන් යන සාහිත්‍යවේදීහු ද සිටිති. 

දැන් 64 වැනි වියේ පසුවන යූන් ෆෞසේ ගේ කෘති නාට්‍ය 40ක් හා නවකතා, රචනා, ළමා පොත් සහ පරිවර්තන දක්වා විහිද යයි. ඒවා ලොව පුරා භාෂා 50කට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ. 

ස්වීඩන් ඇකඩමිය පැවසුවේ, ඔහු "ඔහුගේ නෝර්වීජියානු පසුබිමෙහි ගැබ් වූ ස්වභාවය කලාත්මක තාක්ෂණික ප්‍රයෝග සමග මුසු කරන" බවත් ඔහුගේ කෘතිවල "මානව අත්දැකීම් වන කාංසාව සහ දෙගිඩියාව ආදිය වෙත වඩාත් ගැඹුරු ස්පර්ශයක් ලබා දීම" වෙනුවෙන් ඔහු පැසසුමට ලක්වන බවත් ය. ඔහු දැනටමත් ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ. 

විචාරකයන් කියන්නේ ඔහුට මේ සම්මානය පිරිනමන්නට තිබුණේ මීට වසර දශකයට පෙරාතුව බවය. පුවත්පත් ඔහු හඳුන්වන්නේ 21 වැනි සියවසේ සැමුවෙල් බෙකට් ලෙසයි. ඔහු ලියන්නේ නෝවේජියාවේ සියයට 10ක් පමණ පිරිසක් භාවිත කරන ‘නීනෝස්ක්’ (Nynorsk) නම් බසිනි. එය දැනට භාවිත වන නොවේජියානු ලිඛිත භාෂා දෙකෙන් එකක් වන නව ප්‍ර‍භේදයකි. 

නොබෙල් සම්මාන සංවිධායකයින් පවසන්නේ, යූන් ෆෞසේ ගේ නිර්මාණ තවත් නෝර්වීජියානු ලේඛකයකු වන ටයෙයි වෙසාස් මෙන් ම, සැමුවෙල් බෙකට්, තෝමස් බර්න්හාඩ්, ගෙඕග් තාකිල් සහ ෆ්‍රාන්ස් කෆ්කා වැනි පැරණි විශිෂ්ට ලේඛකයින් ගේ නිර්මාණ සමග සැසඳිය හැකි බව ය. 

"තම පූර්වගාමීන් මෙන් ෆෞසේ ද ජීවිතය සහ ලෝකය පිළිබඳ ශුභවාදී නොවන දැක්මක් බෙදා ගන්නා අතර ඔහුගේ විශේෂිත ඥානවාදී දැක්ම ලෝකය කෙරෙහි අර්ථ ශූන්‍ය ආකල්පයක් ඇති කරනු ඇතැයි කිව නොහැක." 

"ඇත්ත වශයෙන් ම, ඔහුගේ කාර්යය තුළ විශාල සමීප බවක් ඇති අතර එයට හාස්‍යය ද මුසු කොට අභියෝගාත්මකව මානව අත්දැකීම් පවා අව්‍යාජව ගෙන හැර දක්වනවා පමණක් නොව ෆෞසේ අපට අපගේ ජීවිත තුළින් ම ක්ෂණිකව හඳුනාගත හැකි දෛනික ජීවිතයේ සිදුවීම් ඉදිරිපත් කරනවා." " යැයි නොබෙල් ත්‍යාග කමිටුව වැඩි දුරටත් සඳහන් කර ඇත. 
යූන් ෆෞසේ ගේ නෝර්වීජියානු බසින් ලියැවුණු කෘති කිහිපයක්.

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයට විචාරයක් ලියන රැන්ඩි බෝය‍ගොඩ නම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු විචාරකයා, නෝර්වීජියානු ලේඛක යූන් ෆෞසේ ලියා ඇති “සෙප්ටොලොජි” නම් හත් ඈඳුතු පොත් පෙළ ගැන මෙසේ ලියා තියෙනවා. “සෙප්ටොලොජි කියවීමේ දී, අපට, දෙවියන්, කලාව, අනන්‍යතාව, පවුල් ජීවිතය සහ ගෙතූ යථාර්ථයන් සමඟ මහලු මිනිසෙකුගේ පුනරාවර්තන ගණනය කිරීම් පිළිබඳ අසාමාන්‍ය නවකතා හතක අනුපිළිවෙළක් හමුවෙනවා. එය ඔහු ලියා ඇති ආකාරය අපේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙනවා.” 

මෙය “සෙප්ටොලොජි” නමින් හඳුන්වමින් පොත් හතක් ලෙස ලියා ඇතත් පළ වී ඇත්තේ පොත් ත්‍රිත්වයක් ලෙසයි.

ඔහුගේ සම්පූර්ණ නම යූන් ඕලේව් ෆෞසේ (Jon Olav Fosse). ඔහු උපන්නේ 1959 සැප්තැම්බර් 29 වැනිදා නෝර්වේ රාජ්‍යයේ රොගාලන්ඩ්වල හෝග්සුන්ඩ්වල දී ය. සත් හැවිරිදි වියේ දී සිදු වූ මාරන්තික අනතුරකින් දිවි බේරා ගත් ඔහුට ඒ අභාසය වැඩිහිටියකු වූ පසු ලේඛනයට මග පෙන්වූ බව ඔහු කියයි. 

1901 වසරේ සිට පිරිනැමෙන නොබෙල් ත්‍යාග, සාහිත්‍යය, විද්‍යාව, සාමය සහ මෑතක සිට ආර්ථික විද්‍යාවේ ජයග්‍රහණ ද ඇගයීමට ලක් කරයි. 

සාහිත්‍ය ත්‍යාගය පිරිනමනු ලබන්නේ, 1895 වසරේ එහි නිර්මාතෘ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට අනුව, "පරමාදර්ශී දිශාවක් ඔස්සේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යයක නියැළුණු පුද්ගලයාට" ය. 

සුපුරුදු පරිදි මෙවර ද ත්‍යාගය සඳහා නිර්දේශිත නාම ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කර නොතිබුණ ද සල්මාන් රුෂ්ඩි, කැන් ෂුඒ, මාග්‍රට් ඇට්වුඩ් සහ හරුකි මුරකාමි වැනි ලෝක ප්‍රකට සාහිත්‍යවේදීන් ඒ අතර සිටි දැන ගන්නට තිබේ. 

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments