ඉන්දියානු සිනමාවම පෙරලූ හැට පැනපු සනී ඩියෝල්

Avatar Kavinu Weerakkody | October 6, 2023 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

පසුගිය දිනවල අතිශය – සාර්ථකව ලෝ පුරා තිරගත වුනු, සනී ඩියෝල් ප්‍රධාන චරිත රඟපෑ Gadar 2: The Katha Continues හින්දි චිත්‍රපටය සිය සිනමා ශාලා ප්‍රදර්ශනය අවසන් කරන විට උපයගෙන තිබූ සමස්ත ආදායම කෝටි 700කට අධිකයි. හින්දි සිනමාවේ සදාතනික චිත්‍රපටයක් ලෙසට හැඳින්වෙන, 2001 වසරේදී තිරගත වූ “Gadar: Ek Prem Katha” චිත්‍රපටයට සීක්වල් නිර්මාණයක් ලෙසින් තිරගත වූ මෙම Gadar 2: The Katha Continues චිත්‍රපටය දිවෙන්නේ පාකිස්ථානය තුළ සිරගත කර සිටින සිය පුත්‍රයාව බේරාගැනීමට යන පියෙකු වටායි.

Gadar: Ek Prem Katha (2001) චිත්‍රපටය වටා ඉන්දියානු රසිකයින් තුළ ගැබ්ව තිබෙන නොස්ටැලජික් මතකය නිසාත්, ඉන්දියානු දේශානුරාගය ඉස්මතු කරන කතා තේමාව නිසාත්, Gadar 2 තිරගත වීම ඇරඹුනු දිනයේ පටන්ම ඊට හිමිවුනේ දැවැන්ත රසික ආකර්ෂණයක්…

සනී ඩියෝල් (Sunny Deol) වැනි වයස අවුරුදු 65 ඉක්මවූ වයස්ගත නලුවෙකුගේ චිත්‍රපටයක් ඉන්දියානු කෝටි 700ක් වැනි ඉතා ඉහළ බොක්ස්-ඔෆිස් ආදායමක් වාර්තා කළ පළමු සහ එකම අවස්ථාව ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.
’80 සහ ’90 දශකයේ සිටි ජනප්‍රියම රංගන ශිල්පියෙකු ලෙසින් හැඳින්වෙන සනී ඩියෝල් Betaab (1983) – Arjun (1985) – Border (1987) – Damini (1993) – Darr (1933) – Ghayal (1990) වැනි සිනමාපට හරහා බොලිවුඩයේ ප්‍රමුඛම පෙලේ සිනමා තරු ගොන්නට එකතු වුනා. විශේෂයෙන්ම ඔහු රගපෑ Border | Ghayal | Gadar වැනි චිත්‍රපට නිසා සනී ඩියෝල්ව එක් කලෙකදී බොලිවුඩ් සිනමාවේ සිටි දැවැන්තම ක්‍රියාදාම සටන් නලුවා ලෙසටත් හඳුන්වා තිබෙනවා.

එවැනි legendary සිනමා දිවියක් ගත කළ නලුවෙකු වුවත්, පසුකාලීනව ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් සහ දේශපාලන භාවිතය නිසා සනී ඩියෝල්ට සිය රංගන කටයුතු මඟහැරී ගියා. කාලෙන් කාලයට විවිධ චිත්‍රපටවලට රංගනයෙන් එක්වුවත් 2013 පමණ පසු ඔහු රඟපෑ කිසිදු නිර්මාණයක් නිසි අයුරින් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක්වුනේ නැහැ.
බොක්ස්ඔෆිස් වාර්තාවලින් පවා එම චිත්‍රපට රැස් කරගත්තේ ඉතා පහළ ආදායමක්. නිෂ්පාදකවරුන් පවා සනී ඩියෝල්ව සිය නිර්මාණ සඳහා එකතු කරගැනීමට මැලිකමක් දැක්වූයේ ඔහු රඟපාන චිත්‍රපට බැලීමට රසිකයින් පවා උනන්දුවක් නොදැක්වූ නිසායි.

නමුත් Gadar 2: The Katha Continues චිත්‍රපටයේ මෙම දැවැන්ත සාර්ථකත්වයත් සමඟ සනී ඩියෝල් නැවතත් ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන්නට ගත්තා. වයස අවුරුදු 60 ඉක්මවූ වුවත්, ඔහුට සිය ප්‍රේක්ෂකයින්ව නැවතත් සිනමා ශාලාවට රැගෙන ඒමට හැකි වීම බොහෝ දෙනෙකුගේ විස්මයට ලක්වූ කාරණයක්.
මේ වනවිට Gadar 2 සිනමාපටයේ තිරගත වීම අවසන් වෙමින් තිබෙන නිසා ඔහු මේ දිනවල තමන් රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටයක තිර පිටපත පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවටත් බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා.

Gadar 2: The Katha Continues මෙන්ම සටන් දර්ශන පිරුනු ක්‍රියාදාම චිත්‍රපටයක් වන එහි තිර පිටපතේ මූලික වටයේ සාකච්ඡා බොහෝ දුරට අවසන් වී තිබෙනවා. සනී ඩියෝල් විසින් තිර පිටපත සම්බන්ධව යම් වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබෙන අතර එය finalize වූ පසුව සෙසු පූර්ව නිෂ්පාදන කටයුතු පටන් ගැනීමට නියමිතයි.

මෙම නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Rajkumar Santoshi විසිනුයි. Rajkumar Santoshi යනු සනී ඩියෝල් මෙන්ම 90 දශකයේ හින්දි සිනමාවේ සිටි දැවැන්තයෙක්. ඔහු සනී ඩියෝල් සමඟ මීට පෙර කිහිප වතාවක්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන අතර එසේ ඔහු අධ්‍යක්ෂණය කළ සනී ඩියෝල්ගේ චිත්‍රපට සියල්ලම හොඳ ප්‍රේක්ෂක මනාපයක් දිනා ගනිමින් ඉහළ ආදායම් ලබා ගත්තා. Ghayal – Ghatak – Damini වැනි ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ සනී ඩියෝල්ගේ සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉම් ලකුනු කළ නිර්මාණයි.

Rajkumar Santoshiගේ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ ජනප්‍රිය ඉන්දීය නලු අමීර් ඛාන්ගේ Aamir Khan Productions සිනමා ආයතනය විසිනුයි. නලුවෙකු වශයෙන් අතිශය සාර්ථක ගමනකට හිමිකම් කියූවත්, ආමීර් ඛාන් අවසානයට රඟපෑ චිත්‍රපට දෙකම දැඩි මූල්‍යමය අලාභයක් ගෙන දුන්නේ ඒවායේ නිෂ්පාදන පිරිවැය ඉක්මවූ මුදලක්වත් සොයා ගැනීමට නොහැකි වෙමිනුයි. ආමීර්ගේ Thugs of Hindustan (2018) සහ Laal Singh Chaddha (2022) චිත්‍රපට ද්විත්වයම එලෙස අසාර්ථක වූ නිසා ඔහු මේ වනතුරුත් අලුත් චිත්‍රපටයක රංගනය සඳහා එක්ව නැහැ.

නමුත් සිය නිෂ්පාදනය ආයතනය සමඟ එක්ව, Rajkumar Santoshi විසින් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපට දෙකක් නිෂ්පාදනයට ඔහු ගිවිසුම්ගතව තිබෙනවා. එයින් පළමු නිර්මාණය වන්නේ සනී ඩියෝල් ප්‍රධාන චරිතය රඟපාන මෙම චිත්‍රපටයයි. බොහෝ දුරට නිෂ්පාදක භූමිකාවට අමතරව මෙම චිත්‍රපටයේ ආරාධිත රංගනයකිනුත් ආමීර් ඛාන්ව දැකගන්නට රසිකයින්ට අවස්ථාව ලැබේවි.

පූර්ව නිෂ්පාදන කටයුතු අවසන් වූ පසු මෙම දෙසැම්බර් මාසයේදී හෝ එළඹෙන වසරේ ජනවාරි මාසයේදී මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹීමටයි ඔවුන් සූදානම් වන්නේ…
මෙම චිත්‍රපටය සඳහා 1947 ඉන්දු – පාකිස්ථානු කලබලකාරී සමය පාදක වී තිබෙන අතර එම කාල පරිච්ඡේදයේදී ලක්නව් සිට ලාහෝර් නුවර බලා ගමන් කරමින් සිටින මුස්ලිම් පවුලක් වටා චිත්‍රපටය දිවෙනවා. එම මුස්ලිම් පවුලට සිය ගමන අතරතුර මුහුණ පාන්නට සිදුවන අර්බුදකාරී සිද්ධි දාමය සහ ඔවුන්ට එයින් ගැළවීමට උපකාර කරන ඉන්දීය හින්දු පවුලක් වටා මෙම චිත්‍රපටය ගෙතෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ…

Rajkumar Santoshi විසින්ම මෙම චිත්‍රපටයට අදාළ තිර පිටපත රචනා කොට තිබෙන්නේ මීට වසර 10කටත් පෙරදීයි. මුලදී 2013 වර්ෂයේදී හින්දි නලු Anil Kapoorගේ ප්‍රධාන රංගනයෙන් යුතුව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුනත් විවිධ හේතූ නිසා එහි වැඩ කටයුතු නතර වුනා.
ඉන්පසුව 2018 වසරේදී සනී ඩියෝල් සමඟින්ම මෙය යළි ඇරඹුනත්, නිෂ්පාදන පිරිවැය දැරීමට සමත් නිෂ්පාදකයෙකු සොයාගත නොහැකි වූ නිසා නැවතත් සිය උත්සාහය අත් හැර දැමීමට Rajkumar Santoshiට සිදුවුනා.
මෙවර තුන්වන වතාවට මෙහි වැඩ කටයුතු ඇරඹෙන්නේ ආමීර් ඛාන්ගේ සිනමා ආයතනය යටතේ යි.

මෙම චිත්‍රපටයට අමතරව Sunny Deolගේ සිනමා ජීවිතයේ වඩාත්ම සාර්ථක නිර්මාණ ද්විත්වයක් වන Border සහ Apne චිත්‍රපට ආශ්‍රයෙන් ද නවතම සීක්වල් චිත්‍රපට නිර්මාණය කිරීමට යන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.. Gadar සීක්වල් නිර්මාණයට රසිකයින් තුළ තිබූ දැඩි කැමැත්ත නිසා Border සහ Apne වැනි එකල අතිශය ජනප්‍රියත්වයට පත්වුනු චිත්‍රපටවලටත් මෙලෙසින්ම ප්‍රේක්ෂකයින් පැමිණෙතැ යි ඔවුන් බලාපොරොත්තු වනවා විය හැකියි.
මේ අතුරින් Border චිත්‍රපටයට සුදුසු තිර පිටපතක් සනී ඩියෝල් විසින්ම මේ දිනවල රචනා කරමින් සිටින බවටත් විවිධ තොරතුරු පළවනවා.

එසේ වුවහොත්, සනී ඩියෝල්ගේ එකල ජනප්‍රිය නිර්මාණ රැසක්ම, නවතම මුහුණුවරකින් දැක ගැනීමට ඔහුගේ රසිකයින්ට අවස්ථාව උදා වේවි..!!

Share

99 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.