එළඹෙන වසරට සූදානම් වන මලයාලම් සිනමාවේ දැවැන්තයා: මෝහන්ලාල්

Avatar Kavinu Weerakkody | September 29, 2023 87 Views 0 Likes 0 Ratings

87 Views 0 Ratings Rate it

මෙතෙක් ඉතිහාසයේ මලයාලම් සිනමාව විසින් නිර්මාණය කළ දැවැන්තම සිනමා තාරකාව සහ; ඉන්දියානු සිනමා වංසකතාවෙන් එදා මෙදා’තුර බිහිවූ දක්ෂතමයෙකු ලෙසට අවිවාදයෙන්ම සැලකෙන රංගන ශිල්පියෙක් තමයි මෝහන්ලාල් හෙවත් Mohanlal Vishwanathan නමින් හැඳින්වෙන්නේ.

1978 වසරේදී ‘Thiranottam’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු, මේ දක්වා දශක පහකට ආසන්න කාලයක් රංගනයෙන් – චිත්‍රපට නිෂ්පාදනයෙන් – අධ්‍යක්ෂණයෙන් – පසුබිම් ගීත ගායනයෙන් ඉන්දියානු සිනමාව හා සක්‍රීයව සම්බන්ධ වී සිටිනවා. මේ වනවිට මෝහන්ලාල් රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 400කට අධිකයි.

ඉන්දීය සිනමාකරුවෙකුට සිය ජීවිත කාලය තුළි ලැබිය හැකි ඉහළම සම්මානය වන ඉන්දීය ජාතික සම්මානය (National Awards) පස් වරක් ජයග්‍රහණය කළ ඔහු කේරළ ප්‍රාන්තීය සම්මාන 09ක හිමිකරුවෙක් ද වනවා. Iruvar – Narasimham – Devasuram – Kireedam – Drishyam – Vanaprastham ආදිය මෝහන්ලාල් රඟපෑ අතිශය ජන ප්‍රසාදයට පත් නිර්මාණ අතුරින් කිහිපයක්.

දශක ගණනාවක් පුරා ඔහු ලබාගෙන තිබෙන ජනප්‍රියතාවය සහ රසික ආකර්ෂණය නිසා, අද වනවිට මෝහන්ලාල්ගේ චිත්‍රපට කෙරෙහි උනන්දුවෙන් පසුවන රසිකයින් පිරිසක් මුලු ඉන්දියාව පුරාම පැතිරී සිටිනවා. ඒ නිසාම, ඔහුගේ සිනමා නිර්මාණයක් පිළිබඳ නවතම තොරතුරක් වාර්තා වූ වහාම මුලු ඉන්දියාවේ ම අවධානය ඊට ලැබෙන්නේ නිසැකයෙන්මයි.

මෝහන්ලාල් රඟපෑ චිත්‍රපටයක් අවසානයට සිනමා ශාලාවලට නිකුත් වූයේ මෙම වසරේ ජනවාරි මාසයේදී යි. නමුත් එයත් බොහෝ රසිකයින්ට නැරඹීමට නොහැකි වූයේ චිත්‍රපටයේ අඩු ගුණාත්මක තත්වය නිසා බොහෝ සිනමාශාලාවලින් එය සතියකටත් අඩු කාලයකදී ඉවත් කිරීම නිසායි. මේ වනවිට මාස 09කට ආසන්න කාලයක් ඔහුගේ චිත්‍රපටයක් රස විඳීමට නොහැකි වූ රසිකයින්ට මෙම දෙසැම්බර් මාසයේදී මෝහන්ලාල්ගේ නවතම චිත්‍රපටයක් නැරඹීමට හැකියි. බොහෝවිට එය Barroz: Guardian of Gama’s Treasure හෝ Neru යන චිත්‍රපට ද්විත්වයෙන් එකක් විය හැකියි.

Barroz: Guardian of Gama’s Treasure යනුවෙන් හැඳින්වෙන්නේ වස්ගෝ ද ගාමා නැමැති සංචාරකයාගේ වස්තුව සුරකින මායාකාරයෙකු වටා ගෙතෙන ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක්. විශේෂත්වය වන්නේ එහි අධ්‍යක්ෂකවරයා ද මෝහන්ලාල් වීමයි. Barroz මෝහන්ලාල්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

නත්තලට සමගාමීව තිරගත වන එම සිනමාපටයට පසුව එළඹෙන වසරේ මුල් භාගයේදී මෝහන්ලාල්ගේ තවත් චිත්‍රපටයක් වන Malaikottai Vaaliban තිරගත වීමට නියමිතයි. මේ වනවිට එහි රූපගත කිරීම් අවසන් අතර පසු නිෂ්පාදන කටයුතු ඇරඹී තිබෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත, මෝහන්ලාල් රඟන චිත්‍රපට අතුරින් රසිකයින්ගේ වැඩිම අවධානයට ලක්ව තිබෙන්නේ මෙම Malaikottai Vaaliban සිනමාපටයයි.

ඊට අමතරව Drishyam අධ්‍යක්ෂක ජීතු ජෝසප්ගේ RAM නැමැති චිත්‍රපටයත්, ඉන්දීය කෝටි 200ක පිරිවැයක් දරා නිපදවෙන Virubhasha චිත්‍රපටයත්, ප්‍රිත්විරාජ් සුකුමාරන් අධ්‍යක්ෂණය කරන Empuraan චිත්‍රපටයත් මෝහන්ලාල් ප්‍රධාන රංගනයෙන් එකතු වන Upcoming නිර්මාණයි.

මේ දිනවල මෝහන්ලාල් රංගනයෙන් දායක වන තවත් අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කේරළ ප්‍රාන්තයේ තිරුවනන්තපුරම් ප්‍රදේශයේ සිදුවනවා. මෝහන්ලාල් මෙහි රඟපාන්නේ අන්ධ නීතිඥවරයෙකුගේ චරිතයක් බවයි දැනගන්නට ලැබෙන්නේ. Neru නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද ජීතු ජෝසප් විසිනි. මෙය මෝහන්ලාල් – ජීතු ජෝසප් සුසංයෝගයෙන් නිර්මාණය වන පස්වන චිත්‍රපටයයි.
මීට පෙර Drishyam – Drishyam 2 – 12th Man – RAM යන චිත්‍රපට ඔවුන් දෙදෙනාගෙන් එකතුවෙනි නිර්මාණය වූ අතර Drishyam චිත්‍රපට මාලාවේ තුන්වන දිගහැරුමේ නිෂ්පාදන කටයුතුත් එළඹෙන වසරේදී ඇරඹීමට නියමිතවයි.

මේ අතර මෝහන්ලාල් ප්‍රධාන රංගනයෙන් එකතු වන තවත් අලුත්ම මලයාලම් චිත්‍රපටයක් Dijo Jose Antonyගේ අධ්‍යක්ෂණය යටතේ නුදුරු දිනකදීම පටන් ගැනීමට සූදානම් බව ආරංචි වනවා. අධ්‍යක්ෂක Dijo Jose Antony විසින් රැගෙන ආ තිර පිටපතකට මෝහන්ලාල් එකඟතාවය ප්‍රකාශ කොට ඇති බවයි කේරළ මාධ්‍ය වාර්තා කරන්නේ. අධ්‍යක්ෂකවරයා විසින් මේ දිනවල රූගත කෙරෙන Neru චිත්‍රපටයේ දර්ශන තලයේදී කිහිප වරක්ම මෝහන්ලාල් හමුවී මෙම තිර පිටපතෙ හි යම් යම් වෙනස්කම් කිහිපයකුත් සිදු කොට තිබෙනවා.
මෙම නව චිත්‍රපටයේ කතා තේමාව ගැන නිශ්චිත විස්තරයක් තවම දැනගන්නට නොලැබුනත්, දේශපාලනමය සබැඳියක් සහිත Political Thriller නිර්මාණයක් බවයි සැලවෙන්නේ.

2013 වසරේදී Queen නැමැති සිය පළමු චිත්‍රපටයෙන්ම රසිකයින්ගේ අවධානය දිනාගත් ඩිජෝ ජෝසේ ඇන්ටනි 2022 වසරේදී සිය දෙවන චිත්‍රපටය වූ Jana Gana Mana හරහා සමස්ත ඉන්දියාවේ ම අවධානයය දිනාගත්තා. එරට සිටින ප්‍රමුඛ පෙළේ සිනමා විචාරකයින් සෑම දෙනාම පාහේ අදහස් දැක්වූයේ Jana Gana Mana යනු, 2000 දශකයෙන් පසු ඉන්දියානු සිනමාව තුළ බිහිවූ හොඳම political thriller චිත්‍රපට අතුරින් එකක් ලෙසටයි.

ඩිජෝ ජෝසේ ඇන්ටනි මේ දිනවල මලයාලම් නලු නිවින් පෝලිගේ NP43 හි රූපගත කිරීම්වලට කාර්යබහුල වී සිටින අතර එහි වැඩ කටයුතු අවසන් වූ වහාම ටොවීනෝ තෝමස්ගේ රංගනයෙන් හැඩවන Pallichattambi නැමැති මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. ඔහුගේ Jana Gana Mana චිත්‍රපටයේ සීක්වල් නිර්මාණයක් දැනටමත් නිවේදනය කර තිබෙන නිසා ඉන් අනතුරුව එහි නිෂ්පාදන කටයුතු පටන් ගැනීමට ඉඩකඩ තිබෙනවා.

ඩිජෝ ජෝසේ විසින් මෝහන්ලාල් සමඟ සිදු කරන චිත්‍රපටය ආරම්භ වන්නේ මේ නිර්මාණ සියල්ලටම පසුව එළඹෙන 2024 වසරේ මැද භාගයේදී යි. මෝහන්ලාල් ද ඒ වනවිට සිය Virubhasha සහ Ram චිත්‍රපටවල රූපගත කිරීම් සඳහා සම්බන්ධ වී අවසන් නිසා මාසයක පමණ දිගු කාලයක් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා වෙන් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙහි තිර පිටපත රචනා කරන්නේ මෙතෙක් ඩිජෝ ජෝසේ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ලේම තිර පිටපත් රචනා කළ Sharis Muhammad විසිනුයි.

පැවසෙන පරිදි, මලයාලම් සිනමාවේ තවත් ජනප්‍රිය නලුවෙකු වෙන Prithviraj Sukumaran සහ ප්‍රවීණ දමිළ රංගන ශිල්පියෙකු වන Aravind Swamy ද මෙහි රංගනයෙන් දායක වනවා. අරවින්ද් ස්වාමි මෑතකාලීනව මලයාලම් චිත්‍රපටයකට රංගනයෙන් දායක වන දෙවන අවස්ථාව වන්නේ මෙයයි. මීට පෙර 2022 වසරේදී Ottu මලයාලම් සිනමාපටයටත් අරවින්ද් ස්වාමි රංගන දායකත්වය ලබා දුන් අතර එහිදී ඔහු රඟපෑවේ ජනප්‍රිය මලයාලම් නලුවෙකු වන Kunchako Boban සමඟයි.

රංගනයට අමතරව සිය Prithviraj Productions නිෂ්පාදනය ආයතනය යටතේ ප්‍රිත්විරාජ් සුකුමාරන් විසින් මෙහි නිෂ්පාදක භූමිකාවට එක්වීමටත් සූදානම්.
චිත්‍රපටයේ සම නිෂ්පාදනය Magic Frames Entertainment විසිනි.

Share

87 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.