26 September 2023

කොස් ගහට පර්මිට්

 පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.

ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.

වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ගහක් කපනවා නම් පර්මිට් ගන්න ඕන. එන්න ඒ ක්‍රියාපටිපාටිය ගැන පොඩි අදහසක් දෙන්නයි මම මේ පෝස්ට් එක දාන්නේ.

මෙහෙමයි වැඩේ වෙන්නේ.

මුලින්ම ඉඩමේ ඔප්පුවේ කොපියක් ගහගන්න ඕන. ඒකටම ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකේ කොපියත් අමුණන්ඩ ඕන. ඊට පස්සේ ඉඩමේ පත් ඉරු අංකය හොයාගෙන ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යන්න ඕන. එතනදි ඉඩමේ පත් ඉරු ගන්න ඕන.

ඉඩමේ පත් ඉරු ගන්න එක වරුවක වගේ සුළු වැඩක් !

ඔන්න දැන් ලියකියවිලි වලින් ගොඩක් දුරට හරි.

ඊට පස්සේ ඉඩමේ පත් ඉරුවයි, ඔප්පුවේ කොපියකුයි, ඉඩමේ ග්‍රවුන්ඩ් ප්ලෑන් එකයි අරගෙන ගිහින් ග්‍රාම නිලධාරි තැනට දීලා කොස් ගහ කපාගන්න පර්මිට් එකක් ගන්න ඕන කියලා කිව්වහම එයා ෆෝරම් කොළයක් අරගෙන පුරවනවා.

ඒ පුරවලා දීපු පෝරම් කොළයයි මම ඉහත කියපු ලියවිලියි එකතු කරලා එකට අමුණලා අපට ආපහු දෙනවා. ඔය සෙට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරගෙන ගිහින් ඉඩම් අංශයට බාර දෙන්න ඕන.

ෆෝරම් පුරවලා දෙනවා වගේම ග්‍රාම නිලධාරි තැන ඇවිත් ගහ තියෙන තැන එහෙම බලලා පොඩි සැලැස්මක් එහෙම ඇඳ ගන්නවා. ඒකත් අර ලියකියවිලි ගොන්නට අමුණනවා.

ලියකියවිලි බාර දුන්නට පස්සේ සතියක් වගේ ඇතුලත පර්මිට් එක සූදානම් වෙනවා. ඒ පර්මිට් එක ලැබෙන්නේ සති දෙකකට. ඒ නිස පුලුවන් ඉක්මනින් ගහ කපාගන්න එක තමා හොඳ. එහෙම කපන්න බැරි උනොත් ආයෙම ග්‍රාම නිලධාරියාට ගිහින් කියන්න වෙනවා ගහ කැපුවේ නෑ කියලා. ඊට පස්සේ ඒකට වෙනම ප්‍රෝසෙස් එකක් යනවා. ඒක නම් මම හරියටම දන්නේ නෑ. ඒ නිසා හැකි තරම් ඉක්මනටම ගහ කපා ගන්න එක තමයි කරන්ඩ ඕන.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ගහ ස්වබාවිකවම මලා නම් පර්මිට් ඕන නෑනේ කියලා. එහෙම බෑ !

ඒකටත් පර්මිට් ගන්න ඕන. එහෙම නැතුව ගහ කපලා දඩයක් එහෙම කන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒ නිසා හොඳම වැඩේ පර්මිට් අරගෙනම වැඩේට බහින එක තමයි. ගහ හිටිව්වෙත් අපි නම් ගහ පැළවුනෙත් අපේ ඉඩමේ නම් ගහ කපන්න අපි මොකටද කාගෙන්වත් පර්මිට් ගන්න ඕන කියලා ලොකු  ලොකු කතා දාලා වැඩ වරද්දගන්න එහෙම එපා. 

ඔය පර්මිට් එක හම්බ වෙන්නේ ගහ කපන්න මිසක් ගහ ලොරියක පටවගෙන ගිහින් ලී ඉරාගන්නම නෙමෙයි. ලී ඉරන්න නම් දැව ප්‍රවාහන බලපත්‍රයක් ගන්න ඕන. ඒක වෙනම ප්‍රෝසස් එකක්.

ඒකට ගහ කපපු පර්මිට් එක ඕන වෙනවා. ගහ ගෙනියන්න හදන ලොරියේ නම්බර් එකත් ඕන වෙනවා. ඒක  ගැනත් මට ලොකු අදහසක් නෑ. ඒ නිසා මම ගහ විකුණුවේවත් ලී ඉරුවේවත් නෑ. ගහ කපපු විදිහටම කොට ටික වැට අයිනේ හේත්තු කරලා තිබ්බා.

එහෙනම් මම ගියාවේ !
ජය වේවා !

2 comments:

  1. හත් පට්ටයක් තිබ්බත් තෙල් කෝඳුරු නං
    තව චුට්ටක් ඕනෑමයි බේතට නං
    ලකේ නීති පංකාදුයි, වැඩ මනරම්
    නොකෙරෙන තැනට දක්කයි ඔබ පුංචෙක් නං!

    ReplyDelete
  2. කාගෙන්වත් කම්ප්ලේන් එකක් යන්නෑ කියල ශුවර්නං කෙලල දාන එකයි තියෙන්නෙ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.