ළඟ ළඟම එන ‘සිහිනයකි ආදරේ’ – ප්‍රධාන චරිත හේමාල් සහ පූජා

Avatar Kavinu Weerakkody | September 26, 2023 597 Views 1 Like 0 Ratings

597 Views 0 Ratings Rate it

“සිහිනයකි ආදරේ” නුදුරු දිනකදීම ලාංකීය සිනමාවට එක්වීමට සූදානමින් තිබෙන අලුත්ම සිංහල චිත්‍රපටයක්. ආදර කතාවක් වටා ගෙතෙන romance ශානරයේ චිත්‍රපටයක් වන මෙහි, මෙරට ජනප්‍රිය නලු නිළියන් රැසක් රංගනයෙන් එක් වනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකු වන Sarov Shanmugam විසිනුයි.

සිහිනයකි ආදරේ සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ වර්තමාන පරපුරේ සිටින ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් ලෙසින් සැලකෙන හේමාල් රණසිංහ සහ පූජා උමාශංකර් විසිනුයි. හේමාල් රණසිංහ විසින් ‘රෙහාන්ගේ’ චරිතයටත්- පූජා උමාශංකර් විසින් ‘ජෙනිෆර්ගේ’ චරිතයටත් රංගනයෙන් දායක වී තිබෙනවා.
සිහිනයකි ආදරේ සිනමාපටය ගෙතෙන්නේ මෙම රෙහාන් සහ ජෙනිෆර්ගේ ආදර කතාව සහ විවාහයෙන් පසු ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන කලබලකාරී සිදුවීම් දාමයක් වටායි.

සිහිනයකි ආදරේ චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වුනේ මීට වසර පහකට පමණ පෙරදී වුවත්, යම් යම් හේතූන් නිසා එහි වැඩ කටයුතු අතරමඟ නැවතුනා. චිත්‍රපටයේ ප්‍රධානම දර්ශන කිහිපයක රූගත කිරීම් පවා අවසන් කිරීමට ඉතිරිව තිබුනු නිසා, පසුගිය වසර කිහිපය පුරාම “සිහිනයක ආදරේ” චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිමා කිරීමට හැකියාවක් තිබුනේ නැහැ.

නමුත් ඒ බාධක සියල්ලම මඟ හරවා ගනිමින් මේ වනවිට “සිහිනයක ආදරේ” චිත්‍රපටය ලංකාව පුරාම සිනමා හල්වලට මුදා හරින්නටයි එහි නිෂ්පාදකයින් සූදානම් වන්නේ…
ඊට සමගාමීව මෙහි නිල පූර්ව ප්‍රචාරක පටයත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.

ඊට අමතරව ලකී ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, උද්දික ප්‍රේමරත්න, ශේෂාද්‍රි ප්‍රියසාද්, දමිතා අබේරත්න වැනි ජනප්‍රිය නලු නිළියන් ගණනාවක් ඔබට මෙම සිනමාපටය තුළින් දැකගත හැකියි. සිහිනයකි ආදරේ හි අධ්‍යක්ෂකවරයා වන සරෝව් ශන්මුගම් මීට පෙර ‘ප්‍රවේගය’ චිත්‍රපටයේ සම – අධ්‍යක්ෂණය සඳහාත් එක් වුනා. එමෙන්ම, ජනප්‍රිය දමිළ නලු Arun Vijay ප්‍රධාන චරිතය රඟපෑ Oh My Dog (2021) නැමැති ඉන්දීය චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්.

පැවසෙන පරිදි, මෙය Raja Rani නැමැති දකුණු ඉන්දියානු චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණයයි. 2013 වසරේදී Atlee Kumar නැමැති අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කළ Raja Rani හි කතා තේමාවමයි, “සිහිනයකි ආදරේ” සිනමාපටය සඳහාත් යොදාගෙන තිබෙන්නේ.
මුල් චිත්‍රපටයේදී දමිළ නලු ආර්යා රඟපෑ චරිතය මෙහි හේමාල් විසින් රඟපාන අතර පූජා උමාශංකර් නිරූපණය කරන්නේ මුල් චිත්‍රපටයේ නයන්තරාගේ භූමිකාවයි.

සිහිනයකි ආදරේ නිෂ්පාදනය කරන්නේ සුපර් සික්ස් – ප්‍රවේගය – මායා 3D වැනි මෙරට වාණිජ සිනමාවේ පෙරළියක් ඇති කළ නිර්මාණ ඔබ වෙතට ගෙන ආ Real Image Creations විසිනුයි. Real Image වෙනුවෙන් සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් මෙහි නිෂ්පාදන පිරිවැය දරන අතර EAP Films ආයතනයත් චිත්‍රපටය නිෂ්පාදනයට සම්බන්ධ වී තිබෙනවා. ‌

නිෂ්පාදනයට අමතරව මෙම චිත්‍රපටයේ තිර පිටපත ලියා තිබෙන්නේ ද සදේශ් කුමාර් විසිනුයි. මායා 3D සහ ප්‍රවේගය අධ්‍යක්ෂණය කළ ඩොනල්ඩ් ජයන්ත මෙහි සම – අධ්‍යක්ෂකවරයායි. මංජුල අයගම විසින් කලා අධ්‍යක්ෂණය සිදු කළ අතර නර්තන වින්‍යාසය දිනේශ් කුමාර්ගෙනි.
කැමරා අධ්‍යක්ෂණය විග්නේශ් වාසු නැමැති දකුණු ඉන්දීය කැමරාකරණ ශිල්පියාගේ මූලිකත්වයෙනි. ජනක චාමර සහ නිරෝෂන් එදිරිමාන්න චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් එක් වී තිබෙනවා.

අශෝක ආරියරත්න සිහිනයකි ආදරේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරුයි. ශ්‍රීමතී සදේශ් කුමාර් විසින් ඇඳුම් නිර්මාණකරණය කළ අතර ශබ්ද පරිපාලනය ඩිරාන් විජේසිංහගෙනි. චිත්‍රපටයේ වේශ නිරූපණය සිදු කළේ රුචිර දිනේෂික සහ සමීර කිදෙල්පිටිය එකතුවෙනි. සිහිනයකි ආදරේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ මෙරට සිටින නව පරපුරේ දක්ෂ සංගීතවේදියෙකු වන පසන් ලියනගේයි. Nirmal JP ද පසුබිම් සංගීතය නිර්මාණයට සම්බන්ධව තිබෙනවා. චිත්‍රපටයේ සංස්කරණය අශෝක් කුමාර් විසිනි.

එළඹෙන නොවැම්බර් මාසයේදී දිවයින පුරා පිහිටි සිනමා ශාලා වලදී ඔබට “සිහිනයකි ආදරේ” සිංහල සිනමාපටය නැරඹිය හැකියි.

Share

597 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.