Mission Eagle – ටයිගර් ෂ්රොෆ් RAW නිලධාරියෙකුගේ චරිතයකින්

Avatar Kavinu Weerakkody | September 25, 2023 133 Views 0 Likes 5 On 1 Rating

133 Views 5 On 1 Rating Rate it

වර්තමාන සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම රංගන ශිල්පියෙකු ලෙසින් හින්දි නලු Tiger Shroff විශාල රසික ආකර්ෂණයක් දිනාගෙන සිටිනවා මෙන්ම; විකල්ප ක්‍රියාදාම නලුවන් හෙවත් Body Doubles නොමැතිව, ඔහු විසින්ම සිය චිත්‍රපටවල අසීරු සටන් දර්ශන රඟන නලුවෙකු ලෙසටත් ඉන්දියාව පුරාම ජනප්‍රියත්වයක් උසුලනවා.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ බොහෝමයක් නලුවන් සිය චිත්‍රපටවල තිබෙන අසීරු ක්‍රියාදාම දර්ශන Body Doubles යොදාගෙන සිදු කළත්, ටයිගර් ෂ්රොෆ් එසේ සිදු කරන්නේ නැහැ. මාස ගණනක් තිස්සේ පෙර පුහුණුවීම්වල යෙදෙමින් ඔහු ඒ සෑම දර්ශනයක්ම තනිවම සහ සැබෑවටම රඟපානවා. ඒ නිසාම තරුණ පරපුරේ සටන් නලුවන් අතුරින් ටයිගර් ෂ්රොෆ්ට රසිකයින්ගේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව නොරහසක්.

බොලිවුඩ් සිනමාවේ එක් යුගයක් නියෝජනය කළ දැවැන්තයෙකු වන ජැකී ෂ්රොෆ්ගේ (Jackie Shroff) පුත්‍රයා ලෙසින් සිනමාවට පිවිසුනත්, ඔහු ඉන්පසුව තමන්ටම ආවේණික චිත්‍රපට ශෛලයක් ඔස්සේ ක්ෂේත්‍රයේ ස්ථාවර වුනා. ටයිගර්ගේ පළමු චිත්‍රපටයේ සිට මේ දක්වා ඔහු රඟපෑ නිර්මාණ සියල්ලක්ම Action Sequences බහුල- සටන් දර්ශන පිරුනු සිනමාපටයි. මේ නිසාම අද වනවිට රසිකයින් පවා ටයිගර් ෂ්රොෆ්ගෙන් බලාපොරොත්තු වන්නේ එවැනි ශානරයක නිර්මාණයි… ඒ නිසාම ඔහු රඟපාන සෑම චිත්‍රපටයකින්ම පාහේ සිය රසිකයින් ඔහුගෙන් බලාපොරොත්තු වන සිනමා රසය ලබා දීමටයි ටයිගර් ෂ්රොෆ් උත්සාහ දරන්නේ.

2014 වසරේදී Heropanti සිනමාපටය හරහා රංගනයට පිවිසෙන ටයිගර් ෂ්රොෆ්, තම පළමු චිත්‍රපටයෙන්ම ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන තරමටම ජනප්‍රියත්වයක් හිමි කරගත්තා. ඔහුව රසිකයින්ට වැඩියෙන්ම සමීප වූයේ ඔහුගේ Baaghi චිත්‍රපට මාලාවත් සමඟයි. 2019 වසරේදී ටයිගර් සහ රිතික් රෝෂන් ප්‍රධාන රංගනයෙන් එක්වූ WAR චිත්‍රපටයේ ආදායම ඉන්දියානු කෝටි 500ට අධිකයි.

කෙසේවුවත් ටයිගර් ෂ්රොෆ් අවසානයට රංගනයෙන් එක්වූ Heropanti 2 නම් එතරම් සාර්ථකත්වයක් ලැබූයේ නැහැ. ටයිගර් රඟපෑ පළමු චිත්‍රපටය Heropanti (2014)ට සීක්වල් නිර්මාණයක් ලෙසයි, එය තිරගත වුනේ. 2022 අප්‍රියෙල් මාසයේදී තිරගත වූ එම සිනමාපටයෙන් පසු මේ වනතෙක් ඔහු රඟපෑ කිසිදු නව චිත්‍රපටයක් රසිකයින්ට දැකගත හැකි වුනේ නැහැ.

නමුත් එළඹෙන ඔක්තෝබර් මාසයේදී ටයිගර් ෂ්රොෆ්ගේ නවතම චිත්‍රපටය වන Ganapath ලෝ පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. ඉන්දියානු කෝටි 150කට අධික පිරිවැයක් දරා නිර්මාණය වන එය, ටයිගර් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට අතුරින් වැඩිම වියදමක් දරා සිදු කළ නිෂ්පාදනය ලෙසටත් හැඳින්වෙනවා. Tiger සමඟින් Amitabh Bachchan සහ Kriti Sanon වැනි ප්‍රසිද්ධ නලු නිළියන් පිරිසක් එහි රංගනයෙන් දායක වන නිසාත්, ප්‍රේක්ෂකයින් තුළ Ganapath නැරඹීමට තිබෙන විශාල ආකර්ෂණය නිසාත්, මෙය ටයිගර්ගේ වැඩිම ආදායම්ලාභී සිනමාපට ලැයිස්තුවට එක්වනු ඇති බවටයි ඉන්දීය සිනමා විචාරකයින් පවා ඉඟි පළ කරන්නේ… Ganapath අධ්‍යක්ෂණය කරන්නේ Vikas Bhal විසිනුයි. විකාස් මින් පෙර අධ්‍යක්ෂණය කළ Super 30 – Chillar Party -Goodbye ආදී චිත්‍රපට ඉන්දීය සිනමා රසිකයින් අතරේ බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුනා.

Ganapathට පසුව ටයිගර් ෂ්රොෆ් රංගනයෙන් දායක වන එක් චිත්‍රපටයක් ගැන නම් මේ වනවිටත් රසිකයින්ට දැනුම් දී අවසන්. ‘Bade Miyan Chote Miyan’ යනුවෙන් නම් කොට තිබෙන එම චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ ආක්ෂේ කුමාර් සමඟිනුයි.

Bade Miyan Chote Miyan’ චිත්‍රපටයෙන් පසුව ටයිගර් ෂ්රොෆ් ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වීමට නියමිත තවත් චිත්‍රපටයක් පිළිබඳව පසුගියදා මාධ්‍යයට දැනුම් දුන්නා. තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති එම නිර්මාණයත්, ටයිගර්ගේ පෙර චිත්‍රපට මෙන්ම වේගවත් සටන් දර්ශන පිරුනු ක්‍රියාදාම චිත්‍රපටයක් බවයි පැවසෙන්නේ.
නමුත් ඇතැම් ගොසිප් අඩවි වාර්තා කරන අන්දමට චිත්‍රපටයේ නම “Mission Eagle” බව සඳහන් වනවා.

මේ වනවිට ලන්ඩනය ආශ්‍රිතව චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කොට අවසන් අතර එහි දෙවන දර්ශන පෙල මේ මාසය ඇතුළත ඉන්දියවේ, මුම්බායි නගරය මූලික කරගෙන රූගත කිරීමට සූදානම්. මෙහි මුල් රූගත කිරීම් පෙළ අවසන් වූ වහාම ටයිගර් නැවතත් Bade Miyan Chote Miyan හි දර්ශන සඳහා සම්බන්ධ වී තිබෙන අතර එම නිසායි, මේ චිත්‍රපටයේ වැඩ කටයුතු මඳක් ඇණ හිට තිබෙන්නේ. නමුත් දැන් Bade Miyan Chote Miyan හි රූපගත කිරීම් බොහෝ දුරට අවසන් වී ඇති නිසා ටයිගර්ගේ සම්පූර්ණ කාලයම Mission Eagle චිත්‍රපටය සම්පූර්ණ කිරීමට යෙදවිය හැකියි.

ටයිගර් ෂ්රොෆ් සමඟින් මෙහි ප්‍රතිවීර චරිතය රඟපාන්නේ හින්දි නලු විවේක් ඕබ්රෝයි (Vivek Oberoi) විසිනුයි. මුම්බායි නගරයේ පුරා මාසයක පමණ කාලයක් එකදිගට සිදුවන මෙම රූපගත කිරීම් සඳහා විවේක් ඕබ්රෝයි ද එකතු වීමට නියමිතව තිබෙනවා. නිෂ්පාදක කණ්ඩායමෙන් දැනගෙන තිබෙන පරිදි, ටයිගර් සහ විවේක් අතර සිදු වන ප්‍රධානම සටන් දර්ශන (action sequences) පෙළකුයි මෙලෙස රූගත කිරීම් සිදු කරන්නේ… Bank Chor – Krrish 3 වැනි හින්දි චිත්‍රපටවල මෙන්ම Lucifer – Kaduva – Vinaya Vidheya Rama ආදී දකුණු ඉන්දියානු චිත්‍රපට ගණනාවකත් ප්‍රතිවීර චරිත රැසක් නිරූපණය කරන්නට විවේක් ඕබ්රෝයිට පසුගිය වසර කිහිපයේදී අවස්ථාව ලැබුනා.

Mission Eagle හි ප්‍රධාන කාන්තා චරිතය සඳහා තෝරාගෙන තිබෙන්නේ නව පරපුරේ ජනප්‍රිය හින්දි රංගන ශිල්පිනියක වන සාරා අලී ඛාන්වයි. Kedranth – Atrangi Re – Simmba වැනි චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි සාරා අලී ඛාන් මේ දිනවල Ae Watan; Mere Watan හි නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වී තිබෙනවා.

සටන් දර්ශන පිරුනු ක්‍රියාදාම චිත්‍රපටයක් වුවත්, මෙය සෙසු Action Thrillers වලට සාපේක්ෂව වෙනස්, Sci-Fi (විද්‍යා ප්‍රබන්ධමය) කතා තේමාවක් ඔස්සේ දිවෙන Action Thriller නිර්මාණයක්. එංගලන්තයේ ලන්ඩන් නගරය සහ ඉන්දියාවේ මුම්බායි නගරය ආශ්‍රිතව සිදු වන රූපගත කිරීම්වලින් අනතුරුව තායිලන්තය සහ ජර්මනිය තුළත් මෙම සිනමාපටයේ දර්ශන රැසක් රූපගත කිරීමට නියමිතයි.
එළඹෙන 2024 වසරේ මාර්තු මාසය වන විට චිත්‍රපටයේ දර්ශන සියල්ලේම Shootings අවසාන කිරීමටයි නිෂ්පාදකයින් සැලසුම් කර තිබෙන්නේ. එසේ වුවහොත්, 2024 වසරේ අග භාගයේදීම මෙම චිත්‍රපටයත් ලෝ පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙනු ඇති…

Mission Eagle තුළ ටයිගර් ෂ්රොෆ් රංගනයෙන් එක් වන්නේ ඉන්දියානු රහස් ඔත්තු සේවයේ (RAW) නියෝජිතයෙකුගේ චරිතයක් බවත් පැවසෙනවා. නීතිවිරෝධී විද්‍යාත්මක පරීක්ෂණයක් පසුපස ලුහුබඳින ඉන්දීය රහස් ඔත්තු සේවා නියෝජිතවරයෙකු වටා Mission Eagle චිත්‍රපටය දිවෙන බවටයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Jagan Shakti විසින් මෙම නවතම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර මෙය ඔහුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. ආක්ෂේ කුමාර් රඟපෑ, ඉන්දීය කෝටි 300කට එහා ආදායමක් වාර්තා කළ Mission Mangal ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. ඊට පෙර Thuppakki – Padman – English Vnglish වැනි ප්‍රසිද්ධ දමිළ සහ හින්දි චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ජගන් කටයුතු කළා.

Mission Eagle හි නිෂ්පාදන පිරිවැය දරන්නේ Coolie No: 1 – Hero No: 1 – Pyar Kiya Darna Kiya වැනි හින්දි සිනමාවේ සදාතනික චිත්‍රපට රැසක නිෂ්පාදකවරයා වන Vashu Bhagnani සහ ඔහුගේ පුත්‍රයා Jackky Bhagnani විසිනුයි. නිෂ්පාදනයට අමතරව ජැකී බග්නානි මෙහි උප-ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙනුත් දායක වනවා.
Youngisaan, Kal Kissne Dekha, FALTU වැනි චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් සම්බන්ධ වුවත්, නලුවෙකු ලෙසින් ක්ෂේත්‍රයේ ස්ථාවර වන්නට ජැකීට හැකි වුනේ නැහැ.

ටයිගර් ෆ්රොෂ්, සාරා අලි ඛාන්, විවේක් ඕබ්රෝයිගේ පෙරළිකාර රංගනයෙන් හැඩවුනු මෙම චිත්‍රපටය එළඹෙන 2024 වසරේ නොවැම්බර් – දෙසැම්බර් අතර කාල වකවානුවේදී ලෝ පුරා සිනමා ශාලාවලට නිකුත් වීමට නියමිතයි.

Share

133 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.