'නීපා' තවත් බිහිසුණු වයිරසයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 24, 2023

'නීපා' තවත් බිහිසුණු වයිරසයක්

ඒ 1998 වසර ය. මැලේසියාවේ, නෙගේරි සෙම්බිලාන් පළාතේ, 'නුගායි නීපා' නමැති ගංගාව අසල ඌරු ගොවිපොලක සේවකයන් හිටිහැටියේ දරුණු උණ රෝගයකින් පෙළෙන්න විය. තද උණට අමතරව, හුස්ම ගැනීමට නොහෙැකි වූ ඔවුන්ගේ ස්නායු දුර්වල වීමට පටන් ගත්තේය. 

ගොවිපොල සේවකයන් 265 දෙනකු රෝගී වූ අතර, සෞඛ්‍ය අංශ සාමාජිකයන් කඩිනමින් ගොවිපොල සහ ඒ අවට ප්‍රදේශය නිරෝධායනයට ලක් කළ බැවින් රෝග ව්‍යාප්තිය පාලනය විය. රෝගී වී මියගිය ගණන 108 කි. එය ඌරන්ගෙන් මනුෂ්‍යන්ට ව්‍යාප්ත වී, පසුව මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වීමට පටන් ගත් වයිරසයක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ගත්තේ මාස කීපයක් යද්දීය. එහි ප්‍රතිඵලය වූයේ මිලියන ගණනින් ආසාදිත ඌරන් මරා දැමීමය. 

ඇමෙරිකන් වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අවධානය ද නව වයිරසයට හිමිවිය. 'නුගායි නීපා' ගංගාව අසල ඌරු ගොවිපොළකින් පළමු ආසාදිතයා හමුවුණු බැවින්, වයිරසය 'නීපා' යනුවෙන් නම් කෙරුණි. එදා වසර 24 කට පෙර, ලෝක සෞඛ්‍ය සංවිධානය 'නීපා' ගැන බිය පළ කරමින් අනතුරු ඇඟවීමක් කළේය. ඒ, අනාගතයේ දිනෙක, 'නීපා' ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත් වන වයිරස අතරින් එකක් බව කියමිනි. 'නීපා' ඌරන්ගෙන් පමණක් නොව, වවුලන්ගෙන් ද මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. 

'නීපා' වයිරස ව්‍යාප්තියක් සිදුවෙද්දී එය ජපන් එන්සෙපලයිටිස් යැයි මුලින් වරදවා වටහාගෙන තිබුණි. ජපන් එන්සෙපලයිටිස් වයිරසය ආසාදනය වූ විට එයින් මොළයට බලපෑම් එල්ල වෙයි. ස්නායු ආබාධ ඇති වෙයි. නීපා වයිරසයේ ද රෝග ලක්ෂණ වන්නේ එයයි. 

ජපන් එන්සෙපලයිටිස් මදුරුවන්ගෙන් මනුෂ්‍ය අපට බෝවන වයිරසයකි. මේ වනවිට දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 'නීපා' වසංගත තත්ත්වයක් නිර්මාණය වී අවසන්ය. වයිරසය ආසාදනය වූ ගණන 6 කි. මියගිය ගණන දෙකකි. සෞඛ්‍ය සේවකයින් ඇතුළු 700 කට වැඩි පිරිසක් වයිරසය ආසාදනය වී ඇතිදැයි සෙවීමේ පරීක්ෂණවලට ලක් කර කෙරුණු අතර, කේරළ ප්‍රාන්ත බලධාරීහු සමහර පාසල්, කාර්යාල සහ පොදු ප්‍රවාහන ජාල වසා දැමීමට පියවර ගත්හ. 
වසර පහක් තුළ කේරළයට නීපා වයිරසයෙන් බලපෑම් එල්ල වුණු සිව්වැනි අවස්ථාව මෙයයි. ව්‍යාප්තිය අනුව 'නීපා' වයරසය, 40% සහ 75% අතර මරණ අනුපාතයක් පෙන්වයි. 'නීපා' වයිරසයේ සෙසු රෝග ලක්ෂණ වන්නේ වමනය, ඇඟපත වේදනාව. හිසරදය ආදියයි. මේ වනවිට කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙස ද උපදෙස් දී තිබේ.

'කොවිඩ් 19' කොරෝනා වයිරස වසංගතයේදී මෙන් මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම සහ නිසි සෞඛ්‍ය පුරුදු මගින් 'නිපා' වයිරසය ආසාදනය වීමත් 'නීපා' වයිරස ව්‍යාප්තියත් අවම කර ගැනීමට හැකිවෙයි. 'නීපා' වයිරසයට ද බෙහෙතක් නැත. පසුගිය 21 වැනිදා වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අමතරව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලින් ද 'නීපා' ආසාදයන් වාර්තා වී තිබේ. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom