ඉන්දු කැනඩා අර්බුදය ඔඩුදුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 24, 2023

ඉන්දු කැනඩා අර්බුදය ඔඩුදුවයි

කැනඩාවේ ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය මුල්කොට ගනිමින් කැනඩාවත් ඉන්දියාවත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, ඉන්දියාවේ රැඳී සිටි කැනඩා තානාපතිවරයාටත්, කැනඩා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ටත් වහා පිටත් වන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය නියෝග කර තිබේ. කැනේඩියානු ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සිදුවූයේ පසුගිය ජූනි 18 වැනිදාය

45 හැවිරිදි හර්දීප් සිං නිජාර් ඝාතනය වූයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ, සරේ නුවර ශීක් දේවස්ථානයක් ඉදිරියේය. ශීක්වරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයයි. පන්ජාබ් ප්‍රාන්තයෙන් පිට ශීක්වරුන් වැඩි පිරිසක් ජීවත් වන්නේ කැනඩාවේය. කැනඩාවේ ශීක් ප්‍රජාව එරට මැතිවරණවලදී පවා ප්‍රබල සාධකයකි. හර්දීප් සිං නිජාර්ට කැනඩා පුරවැසිභාවය හිමිවූයේ 2007 දීය.

හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටිනවා යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර ඇත. කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ චෝදනා කළේ එරට පාරිලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගී වෙමිනි. 

පසුගියදා නවදිල්ලි අගනුවර පැවැත්වුණු ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවේදී ද මෙම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළේය. ඒ, ‘ජී20’ සමුළුවට සමගාමීවය. 

‘ගජ මිතුරන්’ වූ අග්‍රාමාත්‍ය ටෲඩෝ සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ හිත් අමනාපකම් ඇතිවූයේ එම අවස්ථාවේදීය. ඒ අනුව, සාකච්ඡාව මිනිත්තු කීපයකට අවසන් විය. රාජ්‍ය නායකයන් දෙදෙනා ඡායාරූපවලට මුහුණ දුන්නේ මුහුණු එල්ලාගෙනය. අග්‍රාමාත්‍ය ටෲඩෝ, හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය රජයට සිටිනවා යැයි චෝදනා කළේ ‘ජී20’ සමුළුව අවසන් කරමින් ආපසු කැනඩාවට යෑමෙන් පසුවය. 

කැනඩා ආරක්ෂක අංශ හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශන ඉදිරියට ගෙන යෑමට ඉන්දීය රජයේ සහාය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ටෲඩෝ පැහැදිලි කළේය. 

 ඉන්දියාව අමනාප කර ගැනීමේ අදහසක් කමන්ට නැති නමුත්, හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීමට තමන්ට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ටෲඩෝ පෙන්වා දී තිබේ. කැනඩාවේ අසල්වැසියා මෙන්ම මිතුරා ද වන ඇමෙරිකාව ද ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇත්තේ, කැනඩාව එල්ල කරන එම බරපතල චෝදනා සම්බන්ධයෙන් කැනඩා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසය. 

කැනඩාව සහ ඉන්දියාව අතරේ හටගත් මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. බටහිර රටවල් සහ චීනය අතර පවතින අර්බුදවලදී එම රටවලට ඉන්දියාවේ සහාය හිමිවීම විශාල ශක්තියක් වීම ඊට එක් හේතුවකි.

එපමණක් නොව, ඉන්දියාව ලොව පස්වැනි ආර්ථික බලවතාය. කැනඩාව, ඉන්දියාව සමඟ පැටලුණත්, ඇමෙරිකාව හෝ වෙන කිසිදු රටක් හෝ ඉන්දියා අමනාප කර ගැනීමට කටයුතු නොකරන බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කැනඩා රජයට අනුව, හර්දීප් සිං නිජාර්, ඉන්දියාවේ පන්ජාබ් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරියෙකි. ඔහු නිරන්තරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ රජය විවේචනය කළ අයෙකි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං නිජාර්, ‘කලිස්තානී’ ශීක් බෙදුම්වාදී ත්‍රස්ත කල්ලි නායකයාය. 

පන්ජාබයේ ක්‍රියාත්මක මෙම බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය, පන්ජාබ් ප්‍රාන්තය ඇතුළු තවත් ශීක්වරුන් පදිංචි ප්‍රදේශ වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ඉන්දියාවේ දී මර්දනයට ලක් වූ ‘කලිස්තානී’ කල්ලිය, කැනඩාවේ ක්‍රියාත්මකය. කැනඩා රජයේ අනුග්‍රහය මෙන්ම සහාය ද ඔවුන්ට හිමිවන බවට ඉන්දීය රජය අවස්ථා ගණනාවකදී චෝදනා නගා තිබේ. එය වහා නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ද අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය මෝදිගේ රජය කැනඩා රජය කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ රජයෙන් ඉල්ලා ඇත. 

කෙසේ නමුත්, කැනඩා රජය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා එල්ල වී තිබේ. ඉන්දියාව සමඟ පවතින අර්බුදය හේතුවෙන්, ඉන්දියාවට යෑමෙන් වළකින්නැයි කැනඩා රජය එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ. කැනඩාවේ උසස් අධ්‍යාපනය ලබන ඉන්දීය තරුණ තරුණියන් බොහොමයකි. හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද ගැටලු මතු වී අවසන්ය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom