ශාරුක් සහ සුහානා එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයින් හමුවට

Avatar Kavinu Weerakkody | September 20, 2023 44 Views 0 Likes 5 On 2 Ratings

44 Views 5 On 2 Ratings Rate it

බොලිවුඩයේ තරු පවුල්වල දරුවන් (Star Kids) තම දෙමාපියන්ගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එකතු වීම, වසර ගණනාවක් පුරා හින්දි සිනමාවේ දක්නට ලැබෙන සුලබ දසුනක්. මේ වනවිට බොලිවුඩයේ ස්ථාවරත්වයක් හිමි කරගෙන සිටින තරුණ රංගන ශිල්පීන් බහුතරයක්ම එසේ ඥාති සබඳතා හරහා සිනමාවට පිවිසි අයයි.
වරුන් ධවාන්, ආලියා භට්, ජාන්වී කපූර්, රන්වීර් කපූර්, රිතික් රෝෂන් සහ සෝනාක්ෂි සින්හා එලෙස හින්දි සිනමාවට සම්බන්ධ වූ බොලිවුඩයේ ප්‍රධානතම තරු පවුල්වල සාමාජිකයින් කිහිප දෙනෙක්…

මීට අමතරව බොලිවුඩයේ සදාතනික ප්‍රේමවන්තයා ලෙසට නම් දරා සිටින, Shah Rukh Khanගේ දියණිය වන Suhana Khan ද මෙම වසර අගභාගයේදී සිනමාවට පිවිසීමට නියමිතයි. ඇය රඟපෑ පළමු චිත්‍රපටය, “The Archies” එළඹෙන දෙසැම්බර් 07 වනදා සිට Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරෙනවා. එය Zindagi NaMilegi Dobara, Gully Boy, Dil Dhadakne Do වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Zoya Akhtarගේ නවතම නිර්මාණයයි.

The Archies සිනමාපටයෙන් පසුව සුහානා රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටයක් ගැන විවිධ ගොසිප් අඩවි විවිධ වාර්තා පළ කළද, මෑතක් වනතුරුම ඒ ගැන නිශ්චිත තොරතුරක් මාධ්‍යයට අණාවරණය වූයේ නැහැ. නමුත් දැන් එම නිර්මාණය ගැන තොරතුරු රාශියක් බොලිවුඩයට සම්බන්ධ, පිළිගත් මූලාශ්‍ර ගණනාවකින් පළ කොට අවසානයි.

Suhana Khan ප්‍රධාන රංගනයෙන් එකතු වන මෙම නවතම සිනමාපටයේ රූපගත කිරීම් ඇරඹීමට නියමිතව තිබෙන්නේ මෙම වසර අග භාගය සහ- එළඹෙන වසර මුල භාගය අතර කාල සීමාවේදීයි. බොහෝ විට එය සුහානා රඟපෑ පළමු චිත්‍රපටය, The Archies තිරගත වීමෙන් පසුව ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන පරිදි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිත Sujoy Ghosh විසිනුයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 2003 වසරේදී Jhanka Beats අධ්‍යක්ෂණය කරමින්. එදා මෙදා’තුර බොලිවුඩ් සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම ත්‍රිලර් සිනමාපටයක් ලෙසින් අවිවාදයෙන් සැලකෙන, විද්‍යා බාලන්ගේ රංගනයෙන් හැඩවූ, Kahaani (2012) අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනුයි.
ඊට අමතරව Kahaani 2, Badla, Typewriter වැනි ගුණාත්මක තත්වයේ ත්‍රිලර් චිත්‍රපට කිහිපයක්ම ඔහු නිර්මාණය කළා.

Sujoy Ghoshගේ පෙර චිත්‍රපටවල තිබෙන මෙම suspense – thrilling ස්වභාවය නිසාම සුහානා ඛාන් රඟන මෙම නව චිත්‍රපටයත්, මුල සිට අවසානය දක්වාම කුතුහලයෙන් පිරුනු, වෙනස්ම කතා තේමාවක් වට ගෙතෙන thriller නිර්මාණයක් විය හැකි බවටයි ඉන්දියානු සිනමා විචාරකයින් දැන් සිටම ඉඟි පළ කරන්නේ.

තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති මෙම චිත්‍රපටයේ තිර පිටපත පිළිබඳ සාකච්ඡා කිහිපයක් මේ වනවිටත් පවත්වා අවසන් බවයි පැවසෙන්නේ.
නමුත් මේ සෑම දෙයකටම වඩා විශේෂ වන්නේ සිය දියණිය Suhana Khan සමඟින්, Shah Rukh Khan ද මෙම චිත්‍රපටයේ වැදගත් චරිතයකට පණ පෙවීමට නියමිතව තිබීමයි. චිත්‍රපටය තුළ ශාරුක් ඛාන් රඟන චරිතය ගැන කිසිදු තොරතුරක් තවමත් වාර්තා නොවුනත්, එය චිත්‍රපටය පුරාම දක්නට ලැබෙන- වැදගත් භූමිකාවක් බවට නිෂ්පාදක කණ්ඩායමෙන් තහවුරු වී තිබෙනවා. බොහෝදුරට එය extended cameo චරිතයක් විය හැකියි.

සිනමාපටය නිෂ්පාදනය කරන්නේ ශාරුක් ඛාන්ට අයත් Red Chillies Entertainment විසිනි. මෙය ශාරුක් ඛාන් විසින් Sujoy Ghoshගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන දෙවන අවස්ථාව වන අතර මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ, අමිතාබ් සහ තාප්සි රඟපෑ Badla (2019) නිෂ්පාදනය කළේ ද ශාරුක් විසිනුයි.
Red Chillies Entertainmentට අමතරව සිද්ධාර්ත් ආනන්දගේ Marfix Pictures ආයතනයත් මෙහි නිෂ්පාදනයට එක්ව තිබෙනවා. සිද්ධාර්ත් ආනන්ද යනු ඉන්දීය කෝටි 1000කට අධික ආදායමක් ලැබූ, ශාරුක් ඛාන් රඟපෑ Pathaan හි අධ්‍යක්ෂකවරයායි.

සුහානා ඛාන්ගේ මෙම චිත්‍රපටයට සිද්ධාර්ත් ආනන්ද් සම්බන්ධ වීම නිසා ඇතැම්විට සටන් සහ ක්‍රියාදාම දර්ශන පෙළකුත් මෙතුළින් රසිකයින්ට දැකගැනීමට හැකි වේවි. Suhanaගේ පළමු චිත්‍රපටය වන “The Archies” යනු Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරෙන චිත්‍රපටයක් වන නිසා ඇයව පුළුල් තිරයේ රසිකයින්ට නැරඹීමට ලැබෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
මේ වනවිට චිත්‍රපටයේ දර්ශන තල සෙවීම් සහ පූර්ව – නිෂ්පාදන කටයුතු සියල්ලම වේගයෙන් සිදු වන බවටත් තොරතුරු අණාවරණය වනවා.

අමිතාබ් බච්චන් සහ තාප්සි පන්නු රඟපෑ Badla චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම ශාරුක්ගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනයට සමීප වන්නට Sujoy Ghoshට හැකියාව ලැබුනා. විචාරකයින්ගෙන් අතිශය ධනාත්මක ප්‍රතිචාරයක් ලබාගත් එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායමෙනුත් ඉන්දීය කෝටි 100 පසු කර යන්නට සමත්වුනා.
Sujoy Ghoshට නැවතත් ඔවුන් වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට හිමි වූ ප්‍රධානම හේතුව වන්නේ එයයි. Badla චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව Sujoy Ghoshගේ දියණිය වන Annapurna Ghosh ද, Red Chillies වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. “Bob Biswas”නමින් හැඳින් වූ එය, සුජෝයි ගෝෂ්ගේ ප්‍රසිද්ධම චිත්‍රපට මාලාව වන Kahaani හි Spin – off චිත්‍රපටයක්.

සුහානා ඛාන් රඟන මෙම නවතම චිත්‍රපටය තිරගත වීමට නියමිතව තිබෙන්නේ 2024 වසරේදීයි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා Vishal – Shekhar දෙදෙනා ගිවිසුම්ගත වුනු බවට තොරතුරු පළ වුවත් ඒ බව තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ.

පසුගිය දිනවල තිරගත වූ ශාරුක්ගේ comeback චිත්‍රපටය, Pathaan කෝටි 1000 සීමාවද පසු කර යමින් මෙතෙක් ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම්ලාභී සිනමාපට අතරට පැමිනියා. ඉන්පසුව මේ දිනවල තිරගත වන ඔහුගේම Jawaan චිත්‍රපටය ද තවත් වැඩි දවසක් ගත වන්නට පෙර, නැවත වතාවක් ඉන්දියානු කෝටි 1000 අධික ආදායමක් සම්පූර්ණ කිරීමට නියමිතයි. මේ වනවිට එහි ආදායම කෝටි 900 පසු කොට අවසානයි. මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ශාරුක් රඟන තවත් නිර්මාණයක් තිරගත වන අතර එය Rajkumar Hirani අධ්‍යක්ෂණය කළ “Dunki” සිනමාපටයයි.

එයින් පසුව ඔහු එක්වන්නේ එදා මෙදා’තුර ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් බිහිවීමට නියමිත දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසින් හැඳින්වෙන Tiger Vs Pathaan හි රූපගත කිරීම්වලටයි. වසර ගණනාවකට පසුව ශාරුක් සහ සල්මන් මුහුණට මුහුණ ගැටෙන මෙම සිනමා නිර්මාණය YRF Spy Universe හි තවත් එක් දිගහැරුමක් ද වනවා.

Share

44 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.