18 September 2023

කන්ද උඩ ගින්දර

 සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.

මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් නම් පොත් ගන්නේ නැති තරම්. පොතුත් ගණන් තමයි ඉතින්. ඊට වඩා යූ ටියුබ් එකේ කරක් ගහන්න පුරුදු වෙලා පොත් කියවද්දි පොඩි කම්මැලිකමක් එනවා.

හරි ඒවයින් කාරි නෑ. මම ගුණසේන එකේ පොත් රාක්ක අතරේ හක්කලං කරනකොට දැක්කා අපේ ජැක්සන් ඇන්තනී ලියපු කන්ද උඩ ගින්දර කියන පොත. ඒක අතට අරගෙන පිටුවක් දෙකක් කියවගෙන යනකොට ඒක ලියැවිලා තියෙන භාෂා විලාශය නිසා පොත සම්පූර්ණයෙන්ම කියවලා බලන්න ආසාවක් ආවා.



ඉතින් ඒ පොතයි පොඩි එක්කෙනාගේ පොතයි දෙකම අරගෙන ගෙදර ආවා. ගෙදර ගෙනල්ලා කන්ද උඩ ගින්දර පොත කියවගෙන යන්න ගත්තා. ඒක ලියලා තියෙන භාෂා විලාශය අපූරුයි.

උපමා උපමේය වර්ණනා එහෙම ගානට මිශ්‍ර කරලා හෙන රහට ලියලා තියෙන පොතක් ඒක. දන්නවනේ ජැකා (ආදරේට එහෙම කියමු.) කියන්නේ වර්ණනා කරන්නම ජාතක වෙච්ච පුත්තර රත්නයක් කියලා. පහුගිය අවුරුදු වලදී ඊට කදිම නිදසුන් එහෙම හම්බ වෙන්න ඇති නෙහ්.

මේ වෙනකොට පොතේ පිටු 200+ ගණනක් කියවලා තියෙනවා. මේ පොතෙන් කියැවෙන්නේ කන්ද උඩ නරේන්ද්‍රසිංහ රජ කාලේ පොඩි පොඩි සිද්ධි දාමයක්. පොතේ පිටු 200ක් කියවලා තිබුණත් කතාවේ නම් පිටු දහයක තරම්වත් කියැවිලා නැතිව වගේ මට නම් හැඟෙන්නේ. ඒතරමටම උපමා උපමේය රූපක !

වෙලාවක් තිබ්බොත් ඒ පොත හොයාගෙන කියවලා බලන්ඩකෝ. මේ වහින දවස්වල පොත රහටම කියවගෙන යන්න පුලුවන්. අපූරු ගතියක් තියෙන පොතක් ඒක. ජැකාගේ (ආයෙමත් ආදරේට එහෙම කියමුකෝ.) දේශපාලනික දැක්ම මොකක් උනත් සෑහෙන දක්ශතා තියෙන කලාකරුවෙක්. චිත්‍ර නම් චිත්‍ර, සිංදු නම් සිංදු, නාට්ටි, නිවේදන, සංචාර ඔය වගේ එකිනෙකට වෙනස් වෙච්ච ක්ෂේත්‍ර ගණනකින් දක්ශතා පෙන්නපු දක්ශ‍යෙක්. නිස්කාරණේ දේශපාලනේ කරලා චවු වෙනවා ඉතින්. ඒක ඉතින් එයාගේ කැමැත්ත නෙහ්. අපි මක් කොරන්ඩ ද.

ජැකා සාහිත්‍යකරණයේදි ලොකු පොත් ගණනක් නම් ලියලා නෑ. මේ පොතට අමතරව පොත් දෙකක් හෝ තුනක් ලියලා ඇති. එක පොතක් තියෙනවා පණාපුත්‍රගේ මතක වස්තුව කියලා. ඒකත් මරු විත්ති කතා පොතක්. ඒක නම් මම කැම්පස් දවස්වලම කියවලා තියෙනවා.

කාලයක් ස්වර්ණවාහිණියේ ඉන්න දවස්වල කරපු මහා සිංහලයේ වංශ කතාව ඇසුරින් පොතකුත් ගැහුවයි කියලා මතක තියෙනවා. ඒත් ඒ පොතේ නම මතක නෑ. පොතේ නම හම්බ උනොත් මේ පෝස්ට් එක යාවත්කාලීන කරන්නම්.

එහෙනම් ඉතින් අදට ඇති නෙහ්. මම ගිහින් ආයෙම දවසක එන්නම්. පොත සම්පූර්ණයෙන්ම කියවලා කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්කෝ.

ජය වේවා !

1 comment:

  1. නිර්මාණකරුවාගේ අදහස් සමග එකඟ වූවත් නැතත් නිර්මාණාත්මක හැකියාව රසවිඳීමට එය බාධාවක් නොවිය යුතු බවයි මගේ හැඟීම.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.