රට පුරා “ලොක්ඩවුන්” – අවදානමට පෙර අවධානය

Avatar Kavinu Weerakkody | September 7, 2023 176 Views 0 Likes 0 Ratings

176 Views 0 Ratings Rate it

පසුගිය සැප්තැම්බර් පළමු වනදා සිට තිරගත වීම ඇරඹුනු ලොක්ඩවුන් (Lockdown) සිංහල සිනමාපටය, දිවයින පුරා සිනමා ශාලා ගණනාවකදී මේ වනවිට සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ මෙරට නව පරපුරේ ජනප්‍රියම රංගන ශිල්පීන් දෙපළක් වන රොශාන් රණවන සහ චුලක්ෂි රණතුංග විසිනුයි.

පසුගිය කාලයේදී සමස්ත ලෝකයටම බලපෑම් එල්ල වුනු කෝවිඩ් වසංගත සමයේදී ලාංකීය ජනතාවටත් ඊට නොදෙවෙනි ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ කාල සීමාවේදී සමස්ත රටම ලොක්ඩවුන් තත්වයකට පත් කිරීම නිසා ඔවුන්ගේ සාමාන්‍ය දින චර්යාව සම්පූර්ණයෙන්ම අඩාළ වුනා.
බොහෝ දෙනෙකුගේ රැකියා පවා අහිමි වූ අතර ඒ නිසාම ඇතැමුන් විවිධ නීතිවිරෝධී ක්‍රියා කරමින් මුදල් සොයා ගන්නටත් මෙම ලොක්ඩවුන් කාලසීමාව තුළදී පෙළඹුනා.

ලොක්ඩවුන් (Lockdown) සිංහල සිනමාපටයට පාදක වන්නේ ද එවැනි කාල සීමාවකදී එක්තරා පවුලකට මුහුණ දෙන්නට සිදු වන සිදුවීම් පෙළකුයි. අතිශය කාර්යබහුල දෙමාපියන් දෙදෙනෙකුගේ කුඩා දියණියකට, ලොක්ඩවුන් සමයේදී අත්වන අනුවේදනීය සහ අනපේක්ෂිත සිද්ධියක් වටා මෙම සිනමා නිර්මාණය ගෙතී තිබෙනවා. සහනි නැමැති සිය දියණිය එක්වරම නිවසෙන් අතුරුදහන් වීමත් සමඟ ඇගේ දෙමාපියන් සහ සමීපතමයින් සහනි ගැන තොරතුරක් සොයාගන්නට දරන වෑයමත්, ඇයට සිදුවූයේ කුමක්ද යන්නත්, ලොක්ඩවුන් (Lockdown) චිත්‍රපටයෙන් ඔබට නැරඹිය හැකියි.

සුනිල් ප්‍රේමරත්න විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන අතර මෙය ඔහුගේ සිව්වන චිත්‍රපට නිර්මාණයයි. 2018 වසරේදී “ටවුමේ ඉස්කෝලේ” තුළින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඔහු ඉන්පසුව “වැලිපවුරු” සහ “නිහඬ සෙවණැලි” නැමැති චිත්‍රපට ද්විත්වයත් අධ්‍යක්ෂණය කළා. සිය මුල් නිර්මාණ මෙන්ම මේ චිත්‍රපටය තුළින් ද, සමාජයට වැදගත් – කාලීන පණිවුඩයක් ලබා දීමටයි අධ්‍යක්ෂකවරයා උත්සාහ ගෙන තිබෙන්නේ…

රොෂාන් රණවන විසින් මෙහි නිරූපණය කරන්නේ සමන්ත නැමැති රජයේ කාර්යාලයක, කාර්යබහුල විධායක නිලධාරියෙකුගේ චරිතයයි. ඔහුගේ බිරිය වන ලෝචනා නැමැති වෛද්‍යවරියගේ චරිතය චුලක්ෂි රණතුංග විසින් රඟපානවා. ප්‍රවීණ චරිතාංග නලු කුමාර තිරිමාදුර විසින් සිල්වා නැමැති ආරක්ෂක නිලධාරියාගේ භූමිකාවටත්, මීනා කුමාරි විසින් නිලන්ති නැමැති අසල්වැසි කාන්තාවකගේ භූමිකාවටත් මෙම සිනමාපටය තුළ එක්වී සිටිනවා.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය පහත සබැඳිය තුළින් නැරඹිය හැකියි.

ඊට අමතරව රාධිකා ගුණවර්ධන, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, ජයරත්න ගලගෙදර, කුසල් මධුසංක, සහන් විජේසිංහ, රජිත රොද්‍රිගු, උදය කුමාරි, මනීෂා නාමල්ගම, කීර්ති රංජීත්, කුමාර වදුරැස්ස, උපුල් නිශාන්ත, ඈන් මිනෝෂි, රෝෂිණී දිසානායක, ආනන්ද ගමගේ සහ අස්ලී ලියානා (ළමා නිළි) වැනි නලු නිළියන් රාශියක් Lockdown චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධව සිටිනවා.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම කතාව – දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද සුනිල් ප්‍රේමරත්න විසින්මයි. සිසිකිරණ පරණවිතාන චිත්‍රපටයේ කැමරාකරණ ශිල්පියායි. ආලෝකකරණය සිදු කර තිබෙන්නේ ද ඔහුයි.

විශාරද දර්ශන වික්‍රමතුංගගේ නාද රටාවන්ට හැඩ වුනු මෙහි ගීත ගායනයෙන් එක්වන්නේ සුනිල් එදිරිසිංහ සමඟින් ශෂිකා නිසංසලායි. ලංකා ධර්මවික්‍රම විධායක නිෂ්පාදනයෙන් සහ ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් සම්බන්ධව තිබෙනවා. සංස්කරණය සහ වර්ණ සංයෝජනය ශාන් අල්විස්ගෙනි. සම්පත් රත්නායක චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයායි.
උපාලි උදයසිරි Lockdown හි කලා අධ්‍යක්ෂකවරයායි. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණකරණය සිදු කොට තිබෙන්නේ ඔහු විසිනි. ශබ්ද පරිපාලනය සශින් ගිම්හාන් පෙරේරාගෙනි. තනුෂ්ක කහඳවල දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණකරණයෙන් සහ තීක්ෂණ තිසර ඩ්‍රෝන කැමරා හැසිරවීමෙන් ලොක්ඩවුන් චිත්‍රපටයට සහාය වී තිබෙනවා.

මෙම සිනමාපටය මුලින්ම තිරගත කරන්නට දින නියම කර තිබුනේ අගෝස්තු 14 වනදා වුවත්, විවිධ හේතූන් මත එය අගෝස්තු 18 වනදා දක්වා කල් ගියා. නමුත් ඒ වනවිට සාර්ථකව තිරගත වෙමින් තිබුනු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටය නිසා “ලොක්ඩවුන්” නැවතත් සැප්තැම්බර් මාසය දක්වා පසුපසට ගැනීමටයි මෙහි නිෂ්පාදක කණ්ඩායම තීරණය කළේ…
පසුගිය සැප්තැම්බර් 01 වනදා සිට ලොක්ඩවුන් තිරගත වීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි.

PVR, Regal, KCC ඇතුළු දිවයින පුරා සිනමා ශාලා 3කට ආසන්න ප්‍රමාණයකදී  මෙය සාර්ථකව තිරගත වෙමින් තිබෙන අතර ඔබට චිත්‍රපටය නැරඹිය හැකි එම සම්පූර්ණ සිනමා ශාලා ලැයිස්තුව පහතින් දක්ව තිබෙනවා.

PVR – කොළඹ
KCC – නුවර
Amity Lite – මහරගම
NIT – කුරුණෑගල
NIT – රත්නපුර
NIT – යටියන්තොට
Sky Lite – මාතර
Roo Cinema – කටුනායක
EDC – කැකිරාව
Mahalekam – කුලියාපිටිය
New Rohana – තිස්සමහාරාමය
New Line – දඹුල්ල
Prince – ගාල්ල
Ramoga – වෙන්නප්පුව
Dinusha – නාවලපිටිය
Emees – මොරටුව
Rits – බොරැල්ල
Riky – කොටුව
Wins – වාද්දුව
Srasavi – අලව්ව
Regal – ගම්පහ
Regal – කටුබැද්ද
Dulmini – හොරණ
Ruhunu – තංගල්ල
Minrva – කළුතර
Voxx Lite – අවිස්සාවේල්ල
Sky Light – මාළඹේ
Royal – මීගමුව
Wijendra – අනුරාධපුර

අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නගේ මීළඟ සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු ද මේ වනවිට ඇරඹී තිබෙන අතර එය හාස්‍යමය ශානරයට අයිති නිර්මාණයක් බවටයි දැනගන්නට ලැබන්නේ…

ලොක්ඩවුන් (Lockdown) සංගීත් අල්ගම සහ නීල් සංජීව සුසංයෝගයේ නිෂ්පාදනයක් වන අතර ඉදිරිපත් කිරීම Sunil T Films විසිනි. මෙය රිද්මා මණ්ඩලයේ බෙදා හැරීමකි.

Share

176 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.