September 05, 2023

තාත්තා කළ උදව්ව

 


Translation of the short story ‘ Father’s Help’ by R. K Narayan

සඳුදා උදෑසන එළඹ ඇති බව වැටහුණු විට ඇඳේ වැතිරී සිටි ස්වාමි කිලිපොලා ගියේය. ඔහුට දැනුණේ සිකුරාදා පාසලේ අන්තිම පරිච්ඡේදය අවසන් වූයේ මීට මොහොතකට කළින් බවයි. ඉතා ඉක්මණින් නැවතත් සඳුදා එළඹී ඇත! භූමි කම්පාවක් ඇතිවී පාසල් ගොඩනැඟිල්ල ධූලි බවට පත්වන්නැයි ඔහු ප්‍රාර්ථනා කළේ ය. නමුත් ඇල්බර්ට් මිෂන් පාසල නම් වූ එය, වසර සියයකට වැඩි කාලයක් මෙවැනි ප්‍රර්ථනා ලබා තවමත් නොසැලී පසුවිය. උදෑසන නමයට “මගේ ඔලුව කැක්කුමයි,” කියා ස්වාමිනාදන් කෑ ගැසුවේ ය. 

“කුලී කරත්තයක් ගෙන්නාගෙන ඉස්කෝලේ පලයන්.” ඔහුගේ මව කීවා ය. 

“එහෙම වුණොත් ඉස්කෝලෙට යද්දී මම සම්පූර්ණයෙන්ම මැරිලා ඉඳීවි. අම්මා දන්නවද කරත්තයක යද්දී කොයි තරම් ගැස්සෙනවා ද කියලා?”

“අද මුකුත් වැදගත් පාඩම් කෙරෙනවද?”

“වැදගත්! හහ්! අපේ භූගෝල ගුරුතුමා අවුරුද්දක් තිස්සේ එකම පාඩම උගන්වමින් ඉන්නේ. ඊළඟට තියෙන්නේ ගණිතය, ඒ කියන්නේ මුළු පාඩම පුරාවටම අපිට ගුරුවරයාගෙන් ගුටිකන්න තමයි වෙන්නේ… වැදගත් පාඩම්!”

මෙය අසා ස්වාමි ගෙදර නැවතිය යුතු බව අම්මා යෝජනා කළේ බොහොමත්ම නිර්ලෝභී ලෙසයි. 

උදෑසන නමයහමාරට, තමන් පාසලේ ශාලාවේ සිට මහා හඬින් යාඥා කිරීමට නියමිත වෙලාවේ ස්වාමි තම මවගේ කාමරයේ බංකුවක වැතිරී සිටියේ ය. 

“මොකද, අද ඉස්කෝලේ නැද්ද?”  තාත්තා ඔහුගෙන් ඇසී ය. 

“ඔලුව කැක්කුමයි,” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

“විකාර! ලෑස්ති වෙලා යනවා.”

“ඔලුව කැක්කුමයි.”

“ඉරිදාට රස්තියාදු ගැහිල්ල අඩු කළොත් සඳුදාට ඔලුව කැක්කුම් නැති වෙයි.”

පියාගේ මුරණ්ඩු ගති ගැන හොඳින් දන සිටි ස්වාමි තම ක්‍රියා පිළිවෙල වෙනස් කළේ ය. 

“මට පරක්කු වෙලා පන්තියට යන්න බැහැ.”

“ඒක හරි, ඒත් ඒක කරන්න වෙනවා, උඹේම නේ වැරැද්ද. ගෙදර නවතින්න තීරණය කරන්න කලින් උඹට තිබ්බේ මගෙන් අහන්න.”

“මම මේ තරම් පරක්කු වෙලා ගියොත් සර් මොනවා හිතයිද?”

“උඹ පරක්කු ඔලුව කැක්කුම නිසා කියපන්.”

“එහෙම කිව්වොත් මට ගහයි.”

“එහෙමද? අපි බලමුකෝ. මොකද්ද එයාගේ නම?”

“සැමුවෙල්”

“එයා ඔක්කොම කොල්ලන්ට ගහනවා ද?”

“එයා හරි දරුණු යි, වැඩියත්ම පරක්කු වෙලා එන කොල්ලන්ට. මීට ටික දවසකට කළින් පරක්කු වෙලා ආවා කියලා ළමයෙක් ව පීරියඩ් එකක්ම පන්තියේ කෙළවරක දණ ගස්සලා තිබ්බා. මෙහෙම කළේ වේවැල් පාර හයකුත් දීලා කන් දෙකත් මිරිකුවාට පස්සේ. සැමුවෙල් ගේ පන්තියට පරක්කු වෙලා යන්න මම නම් කැමති නැහැ.”

“එයා ඔය තරම් දරුණුයි නම් ඇයි ලොකු මහත්තයාට කියන්නේ නැත්තේ?”

“හැමෝම කියන්නේ ලොකු මහත්තයාත් එයාට බයයි කියලා. මහා දරුණු මිනිහෙක්.”

ඉනික්බිති ස්වාමි සැමුවෙල් ගේ දරුණු ක්‍රියාකාරකම් ගැන බියකරු විස්තරයක් කළේ ය. කොලුවෙකුට වේවැල් පහර දීමට පටන් ගත් විට ලේ දකින තුරු ඔහු එය නොනවත්වන හැටි, ඉන්පසු නළලේ ලෝහිත සලකුණක් ඇඳෙන සේ ඒ ලේ ගලන අත්ල තම නළල ට තද කරන ලෙස කොලුවාට බල කරන හැටි ඔහු විස්තර කළේ ය. මෙය අසා තමන්ට පමා වී පන්තියට යා නොහැකි ඇයිද යන වග තම පියා විසින් තේරුම් ගනු ඇතැයි ස්වාමි බලාපොරොත්තු විය. නමුත් සිදු වූයේ අනිකකි. තාත්තාගේ හැසිරීම අනපේක්ෂිත ලෙස වෙනස් විය. ඔහු උද්යෝගයෙන් පසුවන බවක් පෙනුණි. “මේ ඌරෝ අපේ ළමයින්ට ගහලා මොනවද ඔප්පු කරන්න හදන්නේ? උන් ව සේවයෙන් පන්නලා දාන්න ඕන. ඉඳපන්කෝ හොඳ වැඩක් කරන්න…”

මෙහි ප්‍රතිපලය වූයේ ගුරුවරයාට කරනු ලබන එක්තරා අභියෝගයක් ලෙස ඔහු ස්වාමි ව ප්‍රමාද වී පන්තියට යැවීමට සූදානම් වීම යි . මේ ගැන ස්වාමි කෙතරම් විරෝධය පෑවත් ඉන් පලක් වූයේ නැත. ස්වාමි පාසල් යා යුතු විය. 

ස්වාමි ලක ලැහැස්ති වන අතරතුර තාත්තා විසින් විදුහල්පති ට දීමට දිගු ලිපියක් ලියා, එය කවරයක දමා වසා තිබිණි.

“තාත්තා මොනවාද ඕකේ ලියලා තියෙන්නේ?” ස්වාමිනාදන් බියෙන් ඇසුවේ ය. 

“උඹට අදාළ දෙයක් නෙමෙයි, මේක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්.”

“තාත්තා ඕකේ අපේ සැමුවෙල් සර් ගැනත් ලිව්වාද?”

“එයා ගැන හොඳ විස්තරයක් ලිව්වා. ලොකු මහත්තයා ඕක කියෙව්වාම ඔය සැමුවෙල් කාරයව රස්සාවෙන් අස් කරලා පොලිසියට භාර දෙයි සමහර විට.”

“එයා මොනවා කළා කියලාද තාත්තා ලිව්වේ?”

“එයා කරපු දේවල් සේරම ඔය ලියුමේ ලියලා තියෙන්නේ. ඕක ලොකු මහත්තයාට දීලා උඹේ පන්තියට පලයන්, හවසට එද්දී මට ලියුම ලැබුණු බවට ලොකු මහත්තයාගෙන් තුණ්ඩුවක් අරන් වරෙන්.”

බොරුවට දිව්රීම අතින් ලෝකයේ සිටින නරකම කෙනා තමන් බව සිතමින් ස්වාමි පාසලට ගියේ ය. ඒ වෙද්දී ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට වධ දෙමින් තිබිණි. තමන් සැමුවෙල් ගැන විස්තර කරද්දී සත්‍යම කීවාද යන වග ඔහුට සැක සහිත වූ අතර ඉන්  කෙතරම් ප්‍රමාණයක් ඇත්ත ද, කෙතරම් ප්‍රමාණයක් මවාගත් දේ ද ඔහුට ම තීරණය කළ නොහැකි විය. සැමුවෙල් ගැන තීරණයක් ගැනීමට ඔහු මහමඟ අයිනේ මොහොතක් නැවතුණේ ය. සැබවින්ම නම් සැමුවෙල් එතරම් නරක මිනිසෙක් නොවී ය. ඔහු අනෙත් ගුරුවරුන්ට වඩා ප්‍රිය මනාප විය. ස්වාමි ගේ අලසකම් ගැන ඔහු ඉඳහිට විහිළුවක් දෙකක් පවා කළේ ය. ස්වාමි මේවා සැලකුවේ තමන්ට කරනු ලබන විශේෂ සැලකිල්ලක් ලෙසයි. නමුත් ඔහු අතීතයේ කෙදිනක හෝ සිසුන්ට දරුණු ලෙස සලකා තිබෙන්නට ඉඩ ඇත. ඔහුගේ වේවැල් පහරින් වරක් හෝ සිසුන්ගේ අත්ල හම ගැලවී තිබෙන්නට ඉඩ ඇත. මෙවැනි සිද්ධියක් ගැන මතක් කරගන්නට ස්වාමි වෙහෙස වූයේ ය. නමුත් එවැන්නක් ඔහුට මතක් වූයේ නැත. මීට වසර ගණනාවකට පෙර පළමු කාණ්ඩයේ කොලුවෙකුගේ අත්ල ට වේවැල් පහර දී ඉනික්බිති ඉන් ගැලූ ලේ කොලුවාගේ මුහුණේ තවරාගන්නට ඔහු අණ කර තිබිණි. නමුත් මේ සිද්ධිය ඇසින් දුටුවෙක් නොවූ අතර පාසලේ ළමුන් විසින් වසරින් වසර මේ පුරාවෘත්තය ඉදිරියට රැගෙන ගියහ. සැමුවෙල් ගේ චරිත ස්වභාවය ගැන ඇති වූ පටලැවිල්ලෙන් ස්වාමිගේ හිස බමන්නට විය. ඔහු සැබවින් ම හොඳ ද නරක ද යන වග, ලිපියේ වූ ඒ චෝදනා ලබන්නට ඔහු සුදුසු ද යන වග… නැවතත් ගෙදර දිව ගොස් මේ ලිපිය නැවත ගන්නට තාත්තාගෙන් යාප්පුවෙන් ඉල්ලන්නට ස්වාමි ට සිත් විය. නමුත් තාත්තා බෙහෙවින් මුරණ්ඩු අයෙකි.

කහ පැහැති පාසල් ගොඩනැගිල්ල වෙත ළඟා වෙද්දී තමන් සිදු කරන්නට යන්නේ වැරදි සාක්ෂි දී තම ගුරුවරයා විනාශ කරන්නට බව ස්වාමි ට වැටහිණි. විදුහල්පති සැමුවෙල් ව අස් කිරීමට ඉඩ ඇති අතර පොලීසිය ඔහුව යදම් ලා හිරේ ලනු ඇත. මේ සියලු නින්දාවන්, මදි පුංචිකම්, වේදනාවන් ට වගකිව යුත්තේ කවුද? ස්වාමි වෙව්ලා ගියේ ය. සැමුවෙල් ගැන තව තවත් සිතද්දී ස්වාමි ට ඔහු ගැන දැනෙන ශෝකය වැඩි විය. ඒ තලෙළු මුහුණ, රත් පැහැ ගැන්වුණු කුඩා දෑස, සිහින් උඩු රැවුල, රැවුල් කොට සහිත දෙකොපුල සහ නිකට, කහ පැහැති කබාය - මේ හැම දෙයක්ම ස්වාමි තුල ශෝකයක් ජනිත කළේ ය. තම සාක්කුවේ වූ ලියුමේ බර දැනෙද්දී ඔහුට හැඟුණේ තමන් අලුගොසුවෙක් බව යි. මොහොතකට තම පියා ගැන තද කෝපයක් ඔහුට දැනුණි. පියා වැනි අසාධාරණ මුරණ්ඩු අයෙක් ලියු ලිපියක් තමන් කාණුවට වීසි නොකරන්නේ ඇයිදැයි ඔහුට සිතුනි. 

පාසල් ගේට්ටුවෙන් ඇතුල්වෙද්දී ස්වාමි ට මීට විසඳුමක් ලෙස එක්තරා ආකාරයක අදහසක් පහළ විය. ඔහු එවේලේම විදුහල්පති වෙත ලිපිය නොදී දවස අවසානයේ දී එය දෙන්නට තීරණය කළේ යම් මට්ටමකට තාත්තාගේ අණ ට විරුද්ධ වීමක් සහ තම ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමක් ලෙස ය. මේ ගැන තාත්තාට දැනගන්නට නොලැබෙන බැවින් ඉන් හානියක් සිදුවන්නේ නැත. මීට අමතරව මේ ලිපිය දවස අවසානයේදී භාර දීමට තබා ගැනීමෙන් ඒ දවස තුළ සැමුවෙල් ගුරුතුමා මෙහි සඳහන් දේ සාධාරණීකරණය වන දෙයක් කරන්නටත් ඉඩ ඇත. 

ස්වාමි තමන්ගේ පන්තියේ දොරකඩ සිටගෙන සිටියේ ය. ගණිතය පාඩම උගන්වමින් පසු වූ සැමුවෙල් මොහොතකට ස්වාමි දෙස බැලුවේ ය. සැමුවෙල් තමන්ගේ ඇඟට පැන සම ඉරා දමනු ඇතැයි අපේක්ෂාවෙන් ස්වාමි පසු විය. නමුත් ගුරුවරයා “තමුසේ දැන් ද පන්තියට එන්නේ?” ඇසුවා පමණි. 

“ඔව් සර්.”

“තමුසේ පැය භාගයක් පරක්කුයි.”

“මම දන්නවා.” දැන් වත් ගුරුවරයා තමන්ට පහර දෙනු ඇති සිතමින් ස්වාමි කීවේ ය. ‘තිරුපති දෙවියනි සැමුවෙල් ගෙන් මට ගුටි කන්න ඉඩ සලස්වන්න.’ යනුවෙන් යාඥා කරන්නට පවා ඔහු සූදානම් ව සිටියේ ය.

“මොකද තමුසේ පරක්කු?”

‘පරක්කු උනොත් සර් මට මොකද කරන්නේ බලන්නමයි’ කියා පිළිතුරු දීමට ස්වාමි ට අවැසි වූවත් ඔහු කීවේ “මට ඔලුව කැක්කුමක් හැදුණා සර්” කියා පමණි. 

“එහෙනම් තමුසේ ඉස්කෝලේ ආවේ මොකද?’ 
මෙය සැමුවෙල්ගෙන් අපේක්ෂා නොකළ වර්ගයේ ප්‍රශ්නයක් විය. 

“මගේ තාත්තා කිව්වා ඉස්කෝලේ පාඩු කරගන්න එපා කියලා සර්.” ස්වාමි පිළිතුරු දුන්නේ ය. 

මෙය අසා සැමුවෙල් සතුටට පත් වූ බවක් පෙනුණි. “තමුසෙගෙ තාත්තා හරියට හරි, හොඳ නුවණක්කාර මිනිහෙක්. අපි කැමතියි ඒ වගේ තව දෙමව්පියෝ ඉන්නවානම්.”

“අනේ අසරණ පනුවෝ!’ ස්වාමි සිතුවේ ය. “උඹ දන්නේ නැහැ මගේ තාත්තා උඹට කරලා තියෙන දේ.” ඔහු සිටියේ සැමුවෙල් ගේ හැසිරීම ගැන මහත් වියවුලෙනි.

“හරි තමුසේ ගිහින් ඉඳගන්නවා. තාම ඔලුව කැක්කුම ද?”

“යන්තම් තියෙනවා සර්.”

ස්වාමි තම අසුන වෙත ගියේ මහත් තැවුලෙනි. සැමුවෙල් තරම් යහපත් මිනිසෙක් ඔහුට කෙදිනකවත් හමු වී නැත. ගුරුවරයා ගෙදරදී කරන්නට දුන් අභ්‍යාස පරීක්ෂා කරමින් සිටියේ ය. ස්වාමි ගේ අදහස අනුව නම් මෙය මහත් සේ දරුණු හැසිරීම් ඇතිවිය යුතු මොහොතකි. මේ අභ්‍යාස පොත් මුහුණු වෙත දමා ගැසීම්, කොල්ලන්ට බැණ වැදී වේවැල් පහර දීම්, ඔවුන් ව බංකු මත සිටුවා තැබීම් සිදු විය යුතු වේලාව යි. නමුත් එදින නම් සැමුවෙල් ඉවසීම සහ මෘදු බව ප්‍රගුණ කළා වැනි විය. වැරදි සහිත වූ පොත් ඉවතට තල්ලු කළ ඔහු වේවැලෙන් යන්තම් තට්ටු දැම්මා පමණි. එමෙන්ම ඔහු කිසි කෙනෙක් විනාඩි කිහිපයකට වඩා සිටුවා තැබුවේ නැත. ඉනික්බිති ස්වාමි ගේ වාරය එළඹිණි. ඔහුට මේ වරම ගැන දෙවියන්ට ස්තුති කරන්නට පවා සිත් විය. 

“ස්වාමිනාදන්, කෝ තමුසෙගෙ ගෙදර වැඩ?”

“මම ගෙදර වැඩ කළේ නැහැ සර්” ඔහු ගණනකට නොගෙන කීවේ ය.

නිහැඬියාවක් පැතිරිණි.

“ඒ මොකද- ඔලුව කැක්කුම නිසා ද?” සැමුවෙල් ඇසී ය. 

“ඔව් සර්.”

“හරි එහෙනම් ඉඳගන්නවා.” 

ස්වාමි නැවතත් අසුන් ගත්තේ සැමුවෙල් ට කුමක් වී ද යයි සිතමිනි. ඒ කාල පරිඡේදය අවසන් වෙද්දී ස්වාමි ට දැනුණේ මහත් අසරණ කමකි. ඒ දවසේ අවසාන කාල පරිඡේදය ද වෙන් වූයේ සැමුවෙල් ට ය. මෙවර ඔහු පැමිණියේ ඉන්දියානු ඉතිහාසය ඉගැන්වීමට යි. මේ කාල පරිඡේදය 3.45ට ආරම්භ වී 4.30ට අවසන් විය. ස්වාමිනාදන් ඒ දවස ගෙවූයේ තදින් කල්පනා කරමිනි. සැමුවෙල් ව කේන්ති ගැස්විය හැකි ක්‍රමයක් ඔහුට කල්පනා වූයේ නැත. ඔරලෝසුවේ හතර වදිද්දී ඔහුට නොඉවසුම් බවක් දැනුණි. තව පැය භාගයයි! සැමුවෙල් වස්කෝ ද ගාමා ගේ ඉන්දියානු ආගමනය විස්තර කරන පරිච්ඡේදයක් කියවමින් සිටියේ ය. පන්තියේ සිසුහු තරමක අලසකමින් මීට සවන් දුන් හ. හදිසියේම ස්වාමි මහා හඬින් මෙසේ ප්‍රශ්න කළේ ය.

“මොකද සර් කොලොම්බස් ඉන්දියාවට ආවේ නැත්තේ?”

“එයාට පාර වැරදුණා.”

“මට නම් ඒක විශ්වාස කරන්න බැහැ, එක වෙන්න බැරි දෙයක් සර්.”

“ඇයි ඒ?”

“ඔච්චර ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් පාර දන්නේ නැති වෙන්න පුළුවන් ද?”

“කෑ ගහන්න එපා, මට තමුසේ කියන දේ හොඳට ඇහෙනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්. මේ දෙවියෝ මට දීපු කටහඬ, ඒ ගැන මම මොනවා කරන්න ද?”

“කට වහගෙන වාඩිවෙනවා”

තම ක්‍රියාවේ සාර්ථකත්වය ගැන තරමක් සතුටින් ස්වාමිනාදන් නැවතත් අසුන් ගත්තේ ය. ගුරුවරයා ඔහු වෙත සැකය මෙන්ම ප්‍රශ්නාර්ථය පිරුණු බැල්මක් හෙලා නැවතත් තම පාඩම ඇරඹුවේ ය. 

ඔහුගේ දෙවෙනි අවස්ථාව එළඹුණේ ඉදිරිපස බංකුවේ අසුන්ගෙන සිටි සංකර් නැගී සිට “සර්, ඉන්දියාවට ආව පලවෙනි මනුස්සයා වස්කෝ ද ගාමා ද?” යැයි ඇසූ විට යි. 

ගුරුවරයා ට මීට පිළිතුරු දෙන්නට අවස්ථාව ලැබෙන්නට පෙර ස්වාමි පසුපස බංකුවක සිට “එහෙම තමයි එයාලා කියන්නේ” කියා කෑ ගැසී ය. 

ගුරුවරයා ඇතුළු පන්තියේ සියලු දෙනා ස්වාමි දෙස බලන්නට වූහ. ස්වාමිනාදන් ගේ මේ කරදරකාරී හැසිරීම ගැන ගුරුවරයාට ගැටළු සහගත ව තිබිණි.
“ස්වාමිනාදන් තමුසේ ආයෙත් කෑ ගහනවා.”

“මම මේ කෑ ගහනවා නෙමෙයි සර්, දෙවියෝ දුන්නු කටහඬ ගැන මම මොනවා කරන්න ද?”

පන්ති කාමරයේ ඔරලෝසුවේ හතරයි කාල වැදුණි. තව පැය කාලයි. ඒ වෙලාව ඇතුළත ඔහු යම් බැරෑරුම් දෙයක් කළ යුතු ය. සැමුවෙල් ඔහු දෙස රවා බලා ඔහුට සැරෙන් කතා කර තිබුණත් එය ප්‍රමාණවත් නොවිණි. තමා තව ටිකක් මහන්සි වූවොත් සේවයෙන් පහ කර හිරේ දැමීමට සුදුසු හැසිරීමක් සැමුවෙල් වෙතින් ලබා ගත හැකි යැයි ස්වාමි ට සිතුණි. 

පාඩම් පොතේ එක් කොටසක අවසානයට එළැඹි විට ගුරුවරයා පාඩම නතර කළේ ය. ඉතිරි විනාඩි කිහිපය සිසුන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඔහුගේ අදහස විය. මුළු පන්තියටම තම පොත් ඉවත් කරන්නට අණ කළ ඔහු, දෙවෙනි පේළියේ සිසුවෙකුගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය. 
“වස්කෝ ද ගාමා ඉන්දියාවට ගොඩ බැස්සේ කවද්ද?”

“1648 දෙසැම්බර් 20,” ස්වාමිනාදන් වහා නැගිට කෑ ගැසුවේ ය. 

“කෑ ගහන්න අවශ්‍ය නැහැ,” ගුරුවරයා කීවේය. “මොකද ඔලුව කැක්කුම නිසා තමුසෙට පිස්සු හැදිලා ද?” 

“මට දැන් ඔලුව කැක්කුමක් නැහැ සර්, “ ඔහු උද්යෝගයෙන්, මහා හඬින් කීවේය.

“වාඩි වෙයන් මෝඩයා,” තමන්ට මෝඩයා කියනු අසා ස්වාමිට මහත් සතුටක් දැනුණි. “තමුසේ ආයෙත් නැගිටලා තිබුණොත් වේවැල් පාර දෙනවා,” ගුරුවරයා කීවේ ය. 

මේ පොරොන්දුව ගැන සතුටින් ස්වාමි අසුන් ගත්තේ ය. 

“මම දැන් මෝගල් අධිරාජ්‍ය යුගය ගැන ප්‍රශ්න කීපයක් අහනවා. මෝගල් අධිරාජ්‍යවරු අතරින් ශ්‍රේෂ්ඨතම, ආගමට වඩාත්ම ලැදි අධිරාජ්‍යයා කවුද?”

ස්වාමි නැගී සිටියේ ය. ඔහු නැගිටිනු දුටු වහාම “වාඩිවෙනවා!” යැයි ගුරුවරයා තදින් කීවේ ය.
“මට උත්තර දෙන්න ඕන, සර්.”

“වාඩිවෙනවා”

“නැහැ සර්, මට උත්තර දෙන්න ඕන.”

“දැන් තමුසේ ආයෙත් නැගිට්ටොත් මම මොනවා කරනවා කියලාද මම කළින් කීවේ?”

“සර් කිව්වා මගේ අතේ හම යනකම් මට වේවැල් පාර දීලා ඒ තුවාල මගේ නළලට තදකරගන්න කියනවා කියලා.”

“හරි, මෙහෙ එනවා.”

ස්වාමිනාදන් මහත් ප්‍රීතියෙන් යුතුව තම අසුනෙන් නැගිට ගොස් පන්තියේ වේදිකාවට නැග්ගේය. ගුරුවරයා මේස ලාච්චුවෙන් තම වේවැල ගෙන “අත අල්ලපන් පොඩි යක්ෂ පැටියා” යැයි කේන්තියෙන් කෑ ගැසී ය. ඉනික්බිති ඔහු ස්වාමිගේ දෙඅත්ලට තද පහරවල් තුනක් එල්ල කළේ ය. ස්වාමි කිසිම පැකිලීමකින් තොර ව ඒවා භාර ගත්තේය. පහරවල් දුසිම් භාගයක් ලැබුණු පසු “මේ ඇති ද, තව ඕනෙද?” කියා ගුරුවරයා ඇසුවේ ය.

ස්වාමි කිසිත් නොකියා නැවතත් තම අත්ල පෑ අතර ඔහුට තව පහරවල් දෙකක් ලැබුණි. එවෙලේම සීනුව නාද විය. තම දෙඅත්ල පුපුරු ගසමින් තිබුණද ස්වාමි වේදිකාවෙන් බිමට පැන්නේ සැහැල්ලු හදවතිනි. තම පොත් පත් එකතු කරගත් ඔහු තම සාක්කුවේ තිබුණු ලිපිය ද ගෙන විදුහල්පතිගේ කාමරය ට දිව ගියේ ය. එහි දොර අගුලු ලා තිබුණි.

“ලොකු සර් කෝ?” ඔහු එහි වූ කාර්යාල සහායක ගෙන් විමසුවේ ය. 

“මොකටද හොයන්නේ?”

“මගේ තාත්තා ලොකු සර් ට දෙන්න ලියුමක් දුන්නා.”

“ලොකු සර් හවස් වරුව නිවාඩු. ලබන සතියෙත් එයා නෑ. මේ ළමයා ට පුළුවන් දෙවෙනි ලොකු සර් ට ලියුම දෙන්න. එයා තව ටිකකින් ඒවි.”

“ඒ කවුද ඒ?”

“ඔයාගේ ගුරුවරයා, සැමුවෙල්. තව තත්පරයකින් එයා එයි.”

ස්වාමිනාදන් එතැනින් ඉවත් වූයේ ඉගිලෙමින් මෙනි. ඔහු ලිපියත් අතැතිව ම නිවසට එනු දුටු විට ඔහුගේ පියා “මම දැනගත්තා උඹ ඕක දෙන්නේ නැති බව, බය ගුල්ලා!” යි කීය.

“ලොකු සර් නිවාඩු, සත්තයි” ස්වාමිනාදන් විස්තර කිරීමට තැත් කළේ ය. 

“බියගුළුකමට අමතරව තව බොරු ත් කියනවා.” තාත්තා පිළිතුරු දුන්නේ ය. 

“ලොකු සර් ආයෙත් ආව ගමන් මම මේක දෙන්නම්” ස්වාමි ලිපිය ඔසවා පෙන්වමින් කීවේය. 

තාත්තා ඔහුගේ අතින් ලියුම උදුරාගෙන, එය ඉරා, මේසය යට වූ කුණු කූඩයට දැම්මේ ය. 

“මින්පස්සේ සැමුවෙල් උඹේ බෙල්ල මිරිකුවත් මට නම් ඇවිත් කියන්න එපා, උඹටම ගැලපෙනවා උඹේ සැමුවෙල්!” ඔහු කේන්තියෙන් මිමිණුවේ ය. 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘ Father’s Help’ by R. K Narayan
From the book ‘Malgudi Days’ (1972) - Penguin Publishers
Image Pexels from Pixabay


සිසිල මාසික ඊ- සඟරාව - සැප්තැම්බර් 2023 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)



13 comments:

  1. හෙල්මලී ඔබේ පරිවර්තනය හරි ආසාවෙන් කියෙව්වා. මල්ගුඩි දවස රූපවාහිනී වැඩසටහන් මාලාවේ මෙය තිබුණාද මම දන්නේ නැහැ. මලයාලම් චිත්‍රපට වගේ ඒ කතා අපට හරිම සමීපයි වගේ කියල දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ. මටත් ඒ කාලේ බලපු මල්ගුඩි දවස වැඩසටහන් හරියටම මතක නැහැ, රස වින්දා කියලා විතරයි මතක. මේ කෙටි කතා පරිවර්තනය පහසු ත් අපට සමීප නිසා වෙන්න ඇති.

      Delete
  2. මම කොහොමත් නාරායන් කතා වලට කැමතියි. මේ මහන්සිය, අඩුම ගාණේ කමෙන්ට් දෙකහාමාරක්වත් වටිනවා. ආයෙන් එඤ්ඤං කතාව කියව්වාම.🙏👌

    ReplyDelete
    Replies
    1. කියෙව්වා. හොඳයි.👌

      Delete
    2. thank you බස්සා. ඇත්තටම මේ කතා ටිකක් දිග වුණත් පරිවර්තනය හරි enjoyable, වෙහෙසකාරී බවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම, උදාහරණයක් හැටියට ඉංග්‍රීසියෙන් හැම කෙනාටම you කිව්වාට අපට සිංහලෙන් ගැලපෙන විදිහට සැර අඩු වැඩි කරලා ආමන්ත්‍රණ යොදන්න පුළුවන්කම වගේ දේවල් එහෙමත් මේ රසයට දායක වෙනවා මගේ හිතේ.

      මෙතන කමෙන්ට් එකහමාරයි. ඉතුරු කමෙන්ට් එක කෝ? :D

      Delete
    3. මේකයි තව වැටකුයි දෙන්න පුළුවනි, බාග දෙකකට ගන්න.🤣

      Delete
    4. වැටවල් නම් ස්පෑම් යනත් එකේ බාගෙකට වත් ගණන් ගන්න බැහැ :D

      Delete
  3. Kathawatama apuruwata galepena harima pankadu pariwarthanaya !!!

    ReplyDelete
  4. Ooooo......so nice
    I love Narayan's stories
    But can't remember this story
    niyamayi

    ReplyDelete
    Replies
    1. Thank you Kumudu, yes I don't remember this one either.

      Delete