හොඳ කියවන්නෙක් තමයි හොඳ ලේඛකයෙක් වෙන්නේ - අනුරාජ් ඉලංග විජේරත්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 4, 2023

හොඳ කියවන්නෙක් තමයි හොඳ ලේඛකයෙක් වෙන්නේ - අනුරාජ් ඉලංග විජේරත්න

අනුරාජ් ඉලංග විජේරත්න දක්ෂ නිර්මාණකරුවෙකි. ඔහු ප්‍රකට, රූපමය නිර්මාණකරුවකු ලෙසය. ඔහුගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් එළිදැක්වුණු රූපමය නිර්මාණ ගණන 30 කට වැඩිය. අනුරාජ්, දක්ෂ ලේඛකයෙකි; විශේෂාංග රචකයෙකි. දැන් ඔහු තවත් අලුත් වැඩකට අත ගසා සිටී. ඒ නවකතාකරුවකු ලෙසය. 'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' ඔහුගේ පළමු යොවුන් නවකතාවය. 

කුඩා කාලයේ සිට පොත් කියවනවා නේද? ඔබ ලිවීමට පෙලඹුණේ කොහොමද? 
ලේඛකයකු වෙන්න අඩිතාලම වැටුණේ අවුරුදු 4 වගේ ඉදන් පොත් කියවන්න පුරුදු වෙලා හිටිය නිසා. ඒකට ප්‍රධාන හේතුව අපේ අම්මා. ඇය හොඳ පාඨකයෙක්. මට මතකයි ඉස්සර, 'සුදු වැද්දා', 'සුදු ගෝනා' කතාව කියලා ඇය මගින් නවත්තනවා; ඉතිරිය අපිට කියවලා බලන්න කියලා. ජාඇල නගරසභා පුස්තකාලයට මාව බඳවා ගත්තේ පෙර පාසල් කාලෙමයි. මම අදත් විශ්වාස කරන දෙයක් තමයි; හොඳ කියවන්නෙක් තමයි හොඳ ලේඛකයෙක් වෙන්නේ. එනිඩ් බ්ලයිටන්ගේ 'අතුරුදහන් වූ කුමාරයාගේ කතාව', 'තැපැල් මංකොල්ලය', 'අතුරුදහන් වූ අශ්වයා', 'සත් යහළු වික්‍රම්', 'පන්පසිඳුවන්', මාක් ට්වේන්ගේ 'ටොම් සෝයර්', 'හකල්බරි ෆින්', 'හයිඩි', දෙනගම සිරිවර්ධනයන්ගේ 'ගුරු පඬුරු' ඩී.ඇම් කරුණාරත්නගේ 'බස්තියන්ගේ සොහොන', කුලසේන ෆොන්සේකා සූරීන්ගේ 'සෝමපුර වීරයෝ', 'කල්ලන්දූවේ මුතු කොල්ලය' වැනි පොත් ආර් ස්පිට්ල්ගේ 'සුදු ගෝනා' සහ 'සුදු වැද්දා' වැනි පොත් නිසයි මා පොත් වලට ආදරය කරන්න පටන් ගත්තේ; කියවීමට ආශා කරන්නේ. 

 ලේඛකයකු වීම කුඩා කළ හීනයක්ද?
නෑ. මුලින් පුරාවිද්‍යායකු වෙන්නේ හිතන් හිටියේ. ඒත් පසුව ඒක වෙනස් වුණා. අවුරුදු 19 වගේ වෙද්දී මගේ හීනය වුණේ චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වීමයි. ඒ බලාපොරොත්තුවේ තමයි මම ජීවත් වෙන්නේ. මේ වෙද්දී කෙටි චිත්‍රපට 19, වාර්තා චිත්‍රපට 6 ක් ඇතුලු රූපමය නිර්මාණ 30 පමණ තිරරචනය කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. 2011 වර්ෂයේදී මා හට සිනමා විචාරය වෙනුවෙන් පිදෙන 'ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය' OCIC සිග්නිස් සම්මාන උළෙලේ දී දිනාගැනීමට හැකිවුණා. මා විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට බොහොමයක් ජාත්‍යන්තර සහ දේශීය චිත්‍රපට උළෙල නියෝජනය කර තිබෙනවා. කලක් රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයකු සහ තිරරචකයකු ලෙස කටයුතු කළ මා, වර්තමානයේ වාර්තා සහ TV Series අධ්‍යක්ෂවරයකු, තිරරචකයකු, නිෂ්පාදකවරයකු විදියට කටයුතු කරනවා. 

ලේඛන වැඩ වලට යොමු වුණු හැටි කතා කළොත් ... 
මගේ මුල්ම රැකියාව ලෙස 2006 දී මෙරට ජනප්‍රිය පුවත්පතක විශේෂාංග ලේඛකයකු ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබුණත්, එහි නිරත වුණේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාව සහ කලා උපාධිය හැදෑරීමට හැකියාව ලැබුණා.

'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' ගැන කතා කරමු. කොහොමද මේ පොත රචනා කළේ? 
මේ නවකතාව ලියන්න මට මුලින් අදහස ආවේ 1997 දී, මම 7 වසරේ සිටිද්දී.‍ පස්සේ 2004 වගේ පිටු කිහිපයක් ලිව්වා. ඒ ලිවීම රසවත් නැහැ කියලා මට හිතුණ හින්දා 2016 වගේ වෙනකන් ලියන්නේ හිතුවේ නැහැ. මේ කාල සීමාව තුල පොලොන්නරුව, අනුරාධපුර සෑහෙන වාරයක් සංචාරය කළා. පොත අදාලව එක් විෂය ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණය කළා. ජාතික කෞතුකාගාරය, පොළොන්නරුව, අනුරාධපුර කෞතුකාගාරය නරඹන්න ගියා. ආයෙත් මුල ඉදන් 2016 සැප්තැම්බර්වල එක රාත්‍රියක එළිවෙනකන් පිටු 80 විතර කතාව ලිව්වා. කතාව ලියලා ඉවර කළේ 2020 ජුනි වල. කතාව ලියලා ඉවර වුණ ගමන් උදය ගමආරච්චි මහතාට පොතේ ඇතුළත සිතුවම් අඳින්න දුන්නා. ඒ අතරතුරේ පොතේ සෝදුපත් පරීක්ෂා කිරීම්, සංස්කරණ කටයුතු කළා. 

'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' එළිදැක්වෙන්නේ සූර්ය ප්‍රකාශනයක් ලෙස නේද?
ඔව්, 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සූරිය ප්‍රකාශන ආයතනයේ අධිපති අතුල ජයකොඩි මහතා සූරිය ප්‍රකාශන ආයතනයේදී හමුවුණා. එතුමා පොත ප්‍රකාශනය සඳහා රැගෙන ලෙස පැවසුවත් රටේ පැවති ආර්ථික කඩා වැටීම්, කඩදාසි මිල වැඩිවීම්, මුදාණ සහ ප්‍රකාශන ගැටලු නිසා පොතක් ප්‍රකාශනය කිරීම එම කාලය සුදුසු නොවේ යැයි මා සිතූ නිසා අතුල ජයකොඩි මහතා හමුවන්න නැවත මා යන්නේ මේ වසරේ ජුනි මුල් සතියේ. ඒ අවස්ථාවේ අතුල මහතා සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ පොත එළිදක්වන්න බාර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි පසුගිය අගෝස්තු 19 අනුරපුර වීරයෝ වෙළෙදපොළට නිකුත් වෙන්නේ. අතුල ජයකොඩි මහතා ම්‍රද්‍රණ කටයුතුවලට සම්බන්ධ වී සිටි නිසා ගැටලුවක් මතුවුණේ නැහැ. නවකතාවක් ලියන්න හිතුවේ පාඨකයෙක් විදියට පොතකින් මම විඳපු රසය පාඨකයන්ට දෙන්නයි 

මුල්ම නවකතාව ලෙස යොවුන් නව කතාවක් ලියන්න හිතු‍නේ ඇයි?
යොවුන් නවකතා වලට යොවුන් වයසේ දී රස වැටුණු කෙනෙක් කියවීම හැරයන්නේ නැහැ. යොවුන් නවකතාවක් කියන්නේ සාහිත්‍යය ලෝකයට පාඨකයන් බිහි කරන, ආකර්ෂණය කරන මෙවලමක් හැටියට තමයි මම දකින්නේ. යොවුන් නවකතා බිහිවෙනවා අඩුයි. මම මුලින් නම් සඳහන් කළ නවකතාවලට සමීප වෙන්න පුලුවන් පොත් වර්තමානයේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒකයි යොවුන් නවකතාවක් ලිව්වේ.

'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' කතාව මොන වගේද?
පුරාවිද්‍යා නිලධාරියෙක් වන අනිල් අයියා නම් ඥාති සහෝදරයාට මුහුණ පාන්න වන ගැටලුවක් සම්බන්ධයෙන් අභිරහසක් විසඳන සහන් ඇතුලු මිතුරන් සිව් දෙනෙකු පිළිබඳ අනුරපුර වීරයෝ කෘතියෙන් කියවේ. මෙහිදී රන්මසු උයනේ පිහිටි සක්වළ චක්‍රය හෙවත් තරු දොරටුව, නීලපටයන් නම් පිරිසක්, අනුරපුර යුගයේ තාක්ෂණය වැනි කරුණු ගණනක් කෘතිය පුරා කතාබහ කරනවා.

නව කතාව ලියද්දී පර්යේෂණ කරන්න සිදුවුණා නේද? 
බොහෝ විෂයන් පිළිබඳ පර්යේෂණ සහ සොයා බලන්න සිදුවුණා. නුවර කලාවියේ ජනජීවිතය සහ භාෂාව, අභිචාර විධි, දේව ඇදහීම්, ශ්‍රී ලංකාවේ ස්තුප, ශ්‍රී ලංකාවේ බිතු සිතුවම් සෙනරත් පරණවිතානයන්ගේ වර්ෂා සංකල්පය සහ ස්තූප රන්මසු උයනේ සක්වළ චක්‍රය සහ ඒ පිළිබඳ මතවාද 1 වන කාශ්‍යප රජු විසින් නිකුත් කළා යැයි පැවසෙන, ජාත්‍යන්තරව භාවිතා කළා යැයි කියන රන් කාසිය පිළිබඳ සහ ඉසුරුමුණිය, වෙස්සගිරිය සමඟ එතුමාට ඇති සම්බන්ධය, පර්ජන්‍ය හෙවත් වැස්ස වලාහක දෙවියන්, මිනිසා අශ්ව හිස ලෝහ සහ වාත්තු කර්මාන්තය ජේතවන සහ අභයගිරි දාගැබ් ශ්‍රී ලංකාවේ ලෝකඩ ප්‍රතිමා කලාව වසභ, ගජබා, විජයබාහු, දුටුගැමුණු රජ්ජුරුවන් පිළිබඳ වස්ගමුව වනාන්තරය බෝධි සත්ව ප්‍රතිමා, ශ්‍රී ලංකාවේ බෝධිසත්වරුන්, මහායාන බුදු දහම, ලංකාවේ මහායාන අදහස් රජරට සංස්කෘතික උරුමය විල්පත්තුවේ ඔච්චප්පුකල්ලු පුදබිම සහ සෙල්ලිපි මගන වරාය ගජබා රජු සහ නීල මහා යෝධයා, කනිෂ්ට තිස්ස රජු Inscription of Ceylon ආදී විවිධ සෙල්ලිපි වැනි විෂය ක්ෂේත්‍රය ගණනාවක් පිළිබඳ පර්යේෂණ වල ප්‍රතිඵලය තමයි අනුරපුර වීරයෝ නවකතාව. 

'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' පොත් මාලාවක්ද?
මේ පොත මුලින් නම් කරලා තිබුණේ අනුරපුර වීරයෝ 1 නමින්. හේතුව මේකේ දෙවෙනි කොටසක් එනවා. අනුරපුර වීරයෝ පොතේ ධනංජය නම් අතුරුදහන් වූ පුරාවිද්‍යා නිළධාරියෙක් පිළිබඳ සඳහන් වෙනවා. ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ සොයායන මිතුරන් ගැන තමයි එහි අන්තර්ගතය. 

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?
'යායි හෙවත් කාල අවකාශයේ සැරිසරන්නා', 'ආත්මාවතරණය', 'ආශ්වාසෝ' යන විද්‍යා ප්‍රබන්ධ ත්‍රිත්වය, 'ටිං බෙලෙක්කයා', 'අස්වින්ද් වලව්වේ මුහුණ පොතේ අභිරහස' යන යොවුන් නවකතා දෙක, 'ආරණ්‍යානී' සහ 'ද්විත්ව කන්‍යා' යන නවකතා දෙක, 'සරුප සාපය' යන රහස් පරීක්ෂක නවකතාව, 'කසල ලන්දේ කපුටු හාමි' ළමා කතාව, යන කෘතීන් ඉදිරියේදී ප්‍රකාශනයට පත්කරන්න බලාපොරොත්තු වෙනවා .ඊට පෙර The Creator යන TV Series එක් කරන්න බලාපොරොත්තු වෙනවා. නුදුරු දිනකදී 'රෝස - කුමාරයා' නමින් මුහුණ පොතේ රහස් පරීක්ෂක නවකතාවක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා. 

උදවු කළ අය ගැනත් මතක් කරමුද?
උදව් කළ බොහෝ ඉන්නවා. අනුරපුර වීරයෝ පොතේ පිටු අලංකාර ලෙස සැකසූ බන්දුල අජිත් වල්පොල, ජීවන් පහන් තිළිණ, බටේපොල විජේසිරි, සූරේෂ් ශ්‍යාමන්, ලක්ෂාන් සමරසේකර යන මිත්‍රයන්, පිටකවරය සැකසූ සෞම්‍ය සඳරුවන්, අනුරපුර වීරයෝ පොතේ මුල් පිට කවරය දැක පොත අගයපු ග්‍රන්ථ ප්‍රකාශන සමාගමේ දසුන් සමීර වීරසිංහ, සූරිය ප්‍රකාශන සමාගමේ අතුල ජයකොඩි, මෙවන් ජයකොඩි, K books අධිපතිනිය කාංචනා ප්‍රියකාන්ත, දිනේෂ් සම්පත් කළණ රජින්ධ අත්‍යගල්ල, පොත් සංසදය ,පොත් හුවමාරු සහ විකුණුම් ෆේක් බුක් ගෘෘපයේ ඇඩ්මින්වරුන්, Book rack.lk, තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසලේ ගරු විදුහල්පති නිහාල් රුද්‍රිගු පියතුමා ඇතුළු සැමට මා ස්තුති කරන්න කැමතියි. 

'අනුරපුර වීරයෝ: තරු දොරටුවේ අබිරහස' හරහා නවකතාකරණයට පිවිසි අනුරාජ් ඉලංග විජේරත්නගේ අනාගතය සුබය. ඉදිරියේ දී ඔහුගේ සියලු ලේඛන කටයුතු සාර්ථක වේවා යැයි සුබ පතමි.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom