HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

චිරන් ජයතු! ශ්‍රී ලාංකික හඬ පෞරුෂයට වසර 80!

නන්දා මාලිනියට ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ හිමි වන්නේ අද්විතීය ස්ථානයක්! ඇය පසුගිය 23 වැනිදා 80 වැනි උපන්දිනය සැමරුවා. ඇගේ කටහඬ‍ෙහි සුවිශේෂත්වය නිසා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් තුළ වෙනත් කිසිදු ගායක ගායිකාවකට වඩා ආකර්ෂණයක් ඇති කළා. ඒ නිසා ම ඇය හොඳම ගායිකාව මෙන් ම ජනප්‍රිය ගායිකාව ලෙසත් එකසේ සම්මානයට පාත්‍ර වුණා. මේ වන තෙක් ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ගෙන තියෙනවා. 


අද සිය ජීවිතයේ අට වන දශකය අරඹන නන්දා මාලිනිය උපන්නේ 1943 අගෝස්තු 23 වැනිදා මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනි පෙරේරා ලෙසයි. අලුත්ගම ලෙවන්දූවේ ගැමි පවුලක උපත ලද ඇගේ පියා වින්සන්ට් පෙරේරා ඇඳුම් මසන්නකු වූ අතර මව ලියනගේ එමිලි පෙරේරා ගෘහණියක විය. නව දෙනකු‍ගෙන් යුත් පවුලේ හතර වැනියා ලෙස උපන් ඇයට සහෝදරයන් හතර දෙනෙක් හා සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා. සුනෙත් ගෝකුල හා විවාහ වූ ඇයට වරුණි සරෝජා හා අමා සාරදා නමින් දියණියන් දෙදෙනකු ඉන්නවා.

පසුව අලුත්ගමින් කොළඹ කොටහේනට ආ නන්දා මාලිනිට වාසනාව පෑදුනේ කොටහේනේ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලැබීමෙන් පසුවයි. එහි දී ඇගේ ආචාර්ය වරිය වූයේ ටී.එන්. මාග්‍රට් පෙරේරායි. මාග්‍රට් පෙ‍රේරා ගුරුතුමිය මාතෘ ස්නේහයෙන් දරුවන් දෙස බැලූ ගුරුවරියක වුණා. දරුවන් තුළ සැඟවුණු දක්ෂතා හඳුනා ගැනීමට සමත් වූ ඇය නන්දාගේ කවි ගායනා හැකියාව මතු කර ගත්තා පමණක් නොව එකල ලංකා ගුවන් විදුලියේ ඉතාමත් ජනප්‍රිය වැඩ සටහනක් වූ ‘සරස්වතී මණ්ඩපය’ට ඇයව යොමු කළා. ඒ වන එම වැඩ සටහන සම්පාදනය කළේ කරුණාරත්න අබේසේකරයන් වූ අතර එහි දී නන්දාට "බුදු සාදු මම සමන් වැලක් වෙන්නම්" නම් ගීතය ගයනා කිරීමට අවස්ථාව සැලසුණා. අසෝක කොළඹගේ විසින් පද රචනය කරන ලද එහි මිහිරි තනුව ඩී. ඩී. ඩැනී නම් සංගීතඥයාගෙයි. නන්දා මාලිනියගේ වාසනාව පැදුනේ ඒ ගීතය ගයන්නට ලැබීමත් සමගයි. එය එකල ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ වඩාත් ජනප්‍රිය ළමා ගීතය වුණා. 

ඇගේ ගීත එකතු අතර (ඇල්බම්) පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යය ගීතය, පවන ගී එකතුව, හේමන්තයේදී, තාරුකා ඇස්, පාවෙනා, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරිමදුවැල් , ලන්ඩනයේදී ගැයූ ගී, යතුර, හඳහාමි , සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ, සාරි පොඩිත්තක් සහ පිරිත් පැන් වඩාත් ජනප්‍රිය වූ ඒවායි. 

ආරම්භයේ දී බී. වික්ටර් ‍පෙරේරාගෙන් සංගීතය හැදෑරූ ඇය පසුව හේවුඩ් ලලිත කලායතනයට බැඳුණා. 1963 දී ඉන්දියාවේ ලක්නව්හී භාත්කණ්ඩේ සංගීතායතනයෙන් සංගීතය හැදෑරූ ඇය 1984 දී නැවතත් එහි ගියේ විශාරද උපාධිය සඳහායි. අද ඇයට සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පවා පිරිනමා තියෙනවා.

පණ්ඩිත් අමරදේවයන් සමඟ සංගීත වැඩ සටහන්වලට එක්වීමට ලැබීම නිසා සුභාවිත ගීත රාශියකට දායක වීමට නන්දා මාලිනියට අවකාශ සැලසුණා. පණ්ඩිත් අමරදේවයන්ගේ ඉතා ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "මධුවන්තී" හි ගීත ගායනයට ද නන්දා මාලිනියට ආරාධනා ලැබුණා. එහිදී නන්දා මාලිනිය මුල්වරට ගැයුවේ "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" යන ගීතයි. 

ආදර ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව ඇයගේ අවධානය යොමුවූයේ ආගමික ගීත ගායනා කිරීමටයි. ඊට එක් උදාහරණයක් ලෙස "සාදු නාද" කැසට් පටය දැක්විය හැකියි. ඒ කැසට් පටයට ඇය වසර 200ක් තිස්සේ ජාතියේ ගෞරවය දිනා සිටි අද යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන "දන්නෝ බුදුන්ගේ" ගීතයට සිය කටහඬ මුසු කළා. 

ඉන් පසුව ඇයගේ අවධානය යොමුවූයේ ළමා ගීත ගායනා කිරීමටයි. උදාහරණයක් ලෙස "හඳ හාමි" ගීත ඇල්බමයේ ගීත 14 ක් ඇතුළත් වුණා. ඒ සඳහා‍ ‍යොදා ගනු ලැබුවේ කලකට පෙර ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, සහ පූජ්‍ය එස්. මහින්ද හිමි විසින් ළමයින් සඳහා රචිත කාව්‍ය රචනා අතුරින් කීපයක්. 

1990 වසරේ ඇය නිර්මාණය කළ "සිංදු හෝඩිය" ගීත 16 කින් සමන්විත වූ අතර එහි අරමුණ වූයේ කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීමයි. 

නන්දා මාලිනිය මුලින් චිත්‍රපට ගීතයක් ගායනය කළේ 1961 දියි. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වූ මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව’ චිත්‍රපටයටයි. ‘ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ’ නම් ඒ ගීතය වසර ගණනාවක්ම ජනප්‍රිය ම චිත්‍රපට පෙම් ගීය බවට පත් වුණා. ගාමිණී පොන්සේකා හා ජීවරාණි කුරුකුලසූරිය රංගනයෙන් දායක වූ ඒ යුග ගීය නන්දා මාලිනිය ගායනය කළේ නාරද දිසාසේකර සමගිනුයි. සංගීතඥයා වූයේ පණ්ඩිත් අමරදේවයන් වුණා. එවර සරසවි සම්මාන උළෙලේ දී ඒ පළමු ගීතයට ම නන්දා මාලිනිය සම්මාන ලැබුවා.

හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි සම්මාන මෙසේයි:‍‍ ‘ගලන ගඟකි ජීවිතේ’ (රන්මුතු දූව) 1963, ‘මේ සිංහල අපගෙ රටයි’ ‘(සාරවිට) 1965, ‘රංග’ (සැඩොල් කඳුලු) 1967, ‘කින්චි පින්චි පුන්චි පැන්චි’ (ආදරවන්තයෝ) 1968, ‘හඳ හාවුන්’ (මොණර තැන්න) 1979, ‘සිඟින් පොයට්’ (සිරිබෝ අයියා) 1980, ‘දෙනෝදහක් නුවන් අතරේ’ (වජිරා) 1981, ‘අම්මාවරුනේ’ (යස ඉසුරු) 1982 , ‘අහසින් පොළවට’ (පෙම් රජදහන) 1992, ‘ඉවුරු බිඳුණු ගං තලාව’ (අඹුදරුවෝ) 1995 ඇය මෙතෙක් සම්මාන ලත් චිත්‍රපට ගීතයි. 

ලැබූ ආරාධනා අනුව ඇය සිංගප්පූරුව, මලයාසියාව, පාකිස්තානය, ජර්මනිය, සෝවියට් දේශය, ඉතාලිය, ප්‍රංශය, මැද පෙරදිග සහ මාලදිවයින වැනි රටවල ප්‍රසංග පවත්වා ඇති අතර 1988 දෙසැම්බර් 16 දා පවත්වනු ලැබුවේ ඇගේ 250 වන ප්‍රසංගයයි. 2010 සැප්තැම්බර් මාසයේ නන්දා මාලිනියන් සිරස නාලිකාව සමඟ එකතු වෙමින් දිවයින පුරා සජීව ඒක පුද්ගල ගීත ප්‍රසංග 25 ක් ද පවත්වනු ලැබුවා. 

නන්දා මාලිනියගේ තෝරා ගත් ජනප්‍රිය ම ගීත පහතින් අසන්න!

‘මල් කැකුළු’ නන්දා මාලිනියට චිර ජීවනය පතන අතර ඉදිරියටත් සිය මියුරු හඬින් ශ්‍රාවකයන් පිනවන්නට අවස්ථාව ලැබේවා!යි පතමු. 

Post a Comment

0 Comments