HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නවසීලන්තයේ විස්කම් පෑ ජිත්මන් දිවියට සමු දෙයි!

ජිත්මන් රාමචන්ද්‍ර මහත්තයා මට මුණ ගැහුණේ 1995දි. ඒ වසරෙදිම තමයි, අපිත් නවසීලන්තයෙ පදිංචියට ආවෙ, මමත් මගේ බිරිඳ සන්ධ්‍යාත් දරු දෙන්නත් සමඟ. ඒ වසරේ නත්තල් උත්සවය වෙනුවෙන් ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සමිතිය මගින් සංවිධානය කළ විවිධ ප්‍රසංගයකට, මගේ බිරිඳ සන්ධ්‍යා, දැරියන් දෙදෙනකු පුහුණු කරලා ඔවුන් සමඟ ‘රූරැසේ අඳිනා ලෙසේ’ කියන ජනප්‍රිය ටගීයට රංගනයක් ඉදිරිපත් කළා. ඒක තමයි, ඕක්ලන්ඩ් නගරයේ එතෙක් ඉදිරිපත් කරපු මුල්ම ශ්‍රී ලාංකික නිර්මාණාත්මක රංගනය. ඒක දිහා බලාගෙන ඉඳලා තියෙනවා රාමචන්ද්‍ර මහත්තයා. ඔහු එවකට ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ගරු ලේකම්රයායි. සභාපතිව සිටියේ වෛද්‍ය දයා මුදන්නායක මහත්තයයි. ඒ ප්‍රසංගයෙන් පස්සෙ රාමචන්ද්‍ර මහත්තයා මාව සොයා ගෙන ඇවිත් කතා කළා. 

ජිත්මන් පින් පිරූ බුදු පිළිමය සමඟ

‘ප්‍රියා, මම ජිත්මන් රාමචන්ද්‍ර’ කියලා ඉතින් අපි අඳුරා ගත්තා. ඊට පස්සේ කිව්වා “මම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා, ‘ජන්මභූමි’ කියලා. ඒ වැඩ සටහනේ ආරම්භය සිද්ධ වෙච්ච හැටි. ඒ අවස්ථාව වන විට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ගුවන්විදුලි වැඩ සටහන වෙනත් දෙදෙනකු විසින් කර ගෙන හිටියා. එක අවස්ථාවකදි ඒ දෙදෙනා සඳහන් කළා, අද ඉඳලා මේ වැඩ සටහන පෞද්ගලිකව අපි ගෙන එනවා කියලා, එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් බැහැරව. ඒ වන විට එක්සත් ශ්‍රී ලංකා සංගමයට ගුවන්විදුලි වැඩ සටහනක් නැතිවෙලා යනව, එහෙම වුනහම. ඉතින් ඇත්තටම රාමචන්ද්‍ර මහත්තයා මොකක්ද දන්නවද කරලා තිබුණේ ඒ වෙලාවෙ. ඒ ආරංචියට අනුව ඒ වැඩ සටහන එක්සත් ශ්‍රී ලංකා සංගමයට අහිමි වුණු පසුදා ම රාමචන්ද්‍ර මහත්තයා ඒ වැඩ සටහන විකාශය කරන ආයතනයට කතා කරලා කියලා තියෙනවා ‘අපිට වැඩ සටහනක් දෙන්න’ කියලා. එතකොට ඒ ආයතනයෙන් අහලා තියෙනවා ‘මොකක්ද වැඩ සටහනේ නම?’ කියලා. ඉතින් රාමචන්ද්‍ර මහත්තයට ඒ වෙලාවෙ මතකයට ආ එකම නම තමයි, ඒ ජන්මභූමි කියන නම. ඉතින් ඒ වැඩ සටහන ජන්මභූමි හැටියට ආරම්භ කළේ ජිත්මන් රාමචන්ද්‍ර මහත්තය. ඒ වැඩ සටහනට අවශ්‍ය වූ තේමා වාදනය ලෙස රාමචන්ද්‍ර මහත්තයා තෝරාගෙන තිබුණේ පණ්ඩිත් අමරදේවයන් ගයන ‘රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි’ කියන ගීතය. 

ඉතින් ඒ වෙලාවෙම රාමචන්ද්‍ර මහත්තයා කිව්වා, ඒ ගොල්ලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඒ වැඩ සටහනට. ඇත්තටම දෙවැනි වැඩ සටහනේ ඉඳලා මම සහභාගි වුණා ‘ජන්මභූමි’ වැඩ සටහනට. ඊට කලින් ඒ වැඩ සටහනට සම්බන්ධ වෙලා හිටියෙ සිසිර කියලා සහෘදයෙක්. පටිගත කිරීම් සියල්ලම කළේ චිත්‍රානන්ද ධර්මප්‍රිය කියලා රාමචන්‍ද්‍ර මහත්තයාගෙ හිතවතකුගෙ නිවසෙයි. කොහොම හරි රාමචන්ද්‍ර මහත්තයා මට කතා කරලා කිව්වා, මම එනවා අහවල් දවසේ ඔයාව එක්ක ගෙන යන්න කියලා. එදා අපි ගියේ චිත්‍රානන්ද මහත්තයාගෙ ගෙදරටයි. සිසිරත් ඇවිත් හිටියා, ඒ වැඩ සටහනට සහභාගි වෙන්න. ඒක දැක්කම මට පුංචි හිනාවක් ගියා. මොකද චිත්‍රානන්ද සො‍හොයුරා ඇත්තට ම දැන ගෙන සිටියා පටිගත කිරීමේ තාක්ෂණය. ඔහුට උපකරණ තිබුණා. ඒත් ගුවන්විදුලි වැඩ සටහනක් කරන්න අවශ්‍ය තරමේ උපකරණ ප්‍රමාණයක් ඔහුට තිබුණේ නැහැ, ඒ වන විට. මා දුටුවා කෑම මේසයේ පුටුවක් අනික් පැත්ත හරවලා ඒකෙ පුටු කකුලක මයික්‍රෝෆෝනය ගැට ගහලා තියෙනවා. 

පටිගත කිරීම සිද්ධ කළේ චිත්‍රානන්ද ධර්මප්‍රිය මහත්තයාගෙ උපකරණවල. කොහොම හරි, ඉතින් අපි ‘ජන්ම භූමි’ වැඩ සටහන පටිගත කරනවා. අපි නිවේදන කටයුතු කරනවා. රාමචන්ද්‍ර මහත්තයත් නිවේදන කටයුතු කරනවා, නිෂ්පාදකවරයා හැටියට. අපි ගීත ප්‍රචාරය කරනවා. තොරතුරු ප්‍රචාරය කරනවා. ලංකාවෙ ප්‍රවෘත්ති කියනවා. ඔය වගේ කර කර ගෙන ගියා, අවුරුදු ගානක් තිස්සේ. 

මේ අතරෙ ඇත්තටම රාමචන්ද්‍ර මහත්තයාගෙ තිබුණු එක ගතියක් තමයි, උදවු කරන අයට උදවු කරන්න හැකි නම් මුල්ම අවස්ථාවෙදිම සොයා බලලා උදවු කරනවා. ඉතින් මගේ සුදුසුකම් ගැන විමසා බලලා ඇහුවා. මම කිව්වා, 

‘මම ඇත්තටම මම ගුරුවරයෙක් වශයෙන් සේවය කළ කෙනෙක්. ඒත් මං නවසීලන්තයේදි ගුරු වෘත්තිය කරන්න කැමති නැහැ. මගේ අනෙක් වෘත්තිය වුණු රූපවාහිනිය පැත්තෙන් මොනව හරි කරන්න තියෙනවා නම් මං කැමතියි’ කියලා කිව්වා. 

කොහොම හරි මේ වන විට ට්‍රෑන්ගල් ටෙලිවිෂන් කියන රූපවාහිනී ආයතනය, ඒක ප්‍රජා රූපවාහිනි සේවාවක්. ඒ ප්‍රජා රූපවාහිනිය සූදානම් වුණා, නවසීලන්තයේ ඉන්න එක් එක් ප්‍රජාවන්ගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නට. ඒ සඳහා එක උත්සවයක් තිබුණා. ඒ උත්සවයෙදි ඒ ගොල්ලො කළේ එක එක අය තමන් වෙනුවෙන්, තමන්ගේ විකාශය වෙනුවෙන්, නිර්මාණය කරපු වැඩ සටහන් ලොකු තිරයක ප්‍රදර්ශනය කිරීමයි. 

ඉතින් රාමචන්ද්‍ර මහත්තයා ඒ වෙලාවේ මට කිව්වා, ‘ප්‍රියා, අපි මෙතෙන්ට යමු, මොකද ඔයාට මුණ ගැහෙන්න පුලුවන් සමහර විට මේ මාධ්‍යයට සම්බන්ධ අය, ඒක ඔබට වැදගත් වෙන්න පුලුවන් ඔබේ අනාගතයට. ඒ හින්ද මයෙත් එක්ක යන් කියලා. කොහොම හරි එදත් රාමචන්ද්‍ර මහත්තයා මගේ නිවසට ඇවිල්ලා මාව කැඳවා ‍ගෙන ගියා. ගිහිල්ලා අපි ඒ එක එක ජන ප්‍රජාවන්ගේ නිර්මාණ බල බල ඉන්නකොට ශ්‍රී ලංකාවේ නිර්මාණයක් කියලා එක්තරා රංගනයක් ඉදිරිපත් වුණා. ඒ රංගනය ඇත්තටම සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයකට, හින්දි හා දෙමළ යන දෙකටම සම්බන්ධ තනුවකට අනුව ගැයුණු ගීයකට අපේ ශ්‍රී ලාංකික දැරියන් රංගනයක් ඉදිරිපත් කළා. එතකොටම පිටුපස ආසනේ හිටපු ද්‍රවිඩ කාන්තාවන් පිරිසක් කිව්වා, ඒක ඉංග්‍රීසියෙන්‘කිව්වෙ, That’s not their song that’s our song and that’s our dance කියලා කිව්වෙ. (ඒ සින්දුව කොහොම ඔවුන්ගේ වෙන්නේ ඒක අපේ සින්දුවක් නේ, අපේ නැටුමක් නේ’). 

උත්සවයේ විවේක අවස්ථාවේ දී පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා. රාමචන්ද්‍ර මහත්තයයි මමයි ඒ තේ පැන් සංග්‍රහයට යන ගමන් රාමචන්ද්‍ර මහත්තයා මගෙන් ඇහුවා, ‘ප්‍රියා, ඔයාට ඇහුනද පිටි පස්සේ අය කතා කරපු දේ?’ මම කිව්වා ‘ඇහුණා’ කියලා. ඒ පාර ඇහුවා ‘මොකද මේකට අපි කරන්නේ?’ කියලා. ‘මොහොකට ද?’ ‘දැන් ඒ ගොල්ල කිව්වා නෙ මේක අපේ සිංදුවක් නෙවෙයි මේක ඒ ගොල්ලන්ගෙ සිංදුවක්ය ඒ ගොල්ල කොහොමද ඒකට නටන්නේ කියලා. ඒ හින්ද මොනව හරි කරන්න ඕනෑ.’ කියලා. රාමචන්ද්‍ර මහත්තයා යෝජනා කළා අපි එහෙනම් අපේ නැටුම් දාලා ප්‍රසංගයක් කරමු කියල’ කිව්වා. ‘මං කිව්වා හරි කරමු. එවේලේ ම මම කිව්වා අපේ ප්‍රසංගයට ‘හෙළ මිහිර’ කියලා නම දාමු’ කියලා. ‘හා හොඳා ප්‍රියා අපි එහෙනම් ඒ වැඩේ කරමු’ කියලා ඔන්න රාමචන්ද්‍ර මහත්තයා ඒ වෙලාවෙ සඳහන් කළා. 

ඉතින් ඇත්තටම රාමචන්ද්‍ර මහත්තයාත් මමත් ඒ වෙලාවෙ තීරණය කළා කොහොම හරි ප්‍රසංගයක් පවත්වනවා කියලා. අපේ නැටුම් අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව පෙන්වන නැටුම් ඇතුළත් කරලා ප්‍රසංගයක් පවත්වනවා කියලා. 

අපි පුහුණු වීම් ආරම්භ කළා, රාමචන්ද්‍ර මහත්තයාගේ නිවසේ ගරාජයේ. චිත්‍රානන්ද ධර්මප්‍රිය මහත්තයාගේ මව තමයි ප්‍රධාන වශයෙන් පොල්තෙල් පහන පත්තු කළේ. කොහොම හරි අපි සරස්වතී පූජාවක් කරලා පොල් ගහලා තමයි ප්‍රසංගයේ පුහුණු වීම් කටයුතු ආරම්භ කළේ. ඇත්තටම ඒ වන විට දරු දැරියන් පුහුණු කිරීම සඳහා නවසීලන්තයේ හිටියෙ මගේ බිරිඳ පමණයි. එතැනදි අපට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ රංගනයට දරුවන් හොය‍ා ගන්න එක. 

රාමචන්ද්‍ර මහත්තයා කිව්වා අපි හොයා ගම්මු කියලා එයාගේ හිතවතුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා කතා කළා. ‘මෙහෙම අපි දෙයක් කරනවා, අපි ප්‍රසංගයක් පවත්වනවා. අපේ නැටුම්, අපේ ශ්‍රී ලාංකීය නැටුම් ඇතුළත් කරලා, ඒකට දරුවන්ව සහභාගි කරවන්න’ කියලා ඉල්ලීමක් කළා. සමහර අම්මලා ඇත්තටම ඒකට කැමති වුණේ නෑ. ඔවුන් කිව්වා, ‘අපි මෙහෙ ආවෙ දරුවො නටවන්න නෙමෙයි, උගන්වන්න’ කියලා. ඒකෙන් රාමචන්ද්‍ර මහත්තයා පසුබට වුණේ නෑ. ඔහු නවසීලන්තයට එන්න කලින් සැම්බියාවෙ හිටියා. එහිදි අඳුනා ගෙන සිටි ශ්‍රී ලාංකික මිතුරන් කීප දෙනෙකු නවසීලන්තයේ සිටියා. ඔවුන් සොයා ගෙන ගිහින් ඒ දරුවන්ව එක් කර ගෙන ආවා නර්තන පුහුණු වීම් සඳහා. මෙහෙම අපි පුහුණු වීම් කර ‍ගෙන ගියා රාමචන්ද්‍ර මහත්තයාගේ ගරාජයේ. 

ඔහොම යන කොට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ හිටපු ගරු සභාපති වෛද්‍ය දයා මුදන්නායක මහත්තයා අපිට රෑ කෑම අර ගෙන ආවා, වසන්තා මුදන්නායක මහත්මියත් සමග. ඇවිල්ලා අපට කෑම දීලා රාමචන්ද්‍ර මහත්තයගෙන් විමසලා තියෙනවා ‘දැන් මේක කොහොමද පෙන්නන්නේ’.‍ කියලා. රාමචන්ද්‍ර මහත්තයා කියලා තියෙනවා, අපි තාම දිනයක් පිළියෙල කරලා නෑ. ඉදිරි අනාගතයෙදි අපි මේක වේදිකා ගත කරනවා කියලා. එතකොට දයා මුදන්නායක මහත්තයා අහලා තියෙනවා ‘ඇයි රාමා මේක මේ එක්සත් ශ්‍රී ලංකා සංගමයත්, නැත්නම් ‘උස්ලා’ එකත් එක්ක එකතු වෙලා කරන්න බැරි ඇයි? කියලා උස්ලා එකේ ප්‍රසංගයක් හැටියට. ඇත්තටම අපටත් ලොකු සතුටක් ‍ආවා. උස්ලා එක‍ෙන් අපට අනුග්‍රහයක් ලැබෙනවා කියලා.‍ පස්සේ රාමචන්ද්‍ර මහත්තයා මගෙත් එක්ක කතා කරලා කිව්වා මෙහෙම ආරාධනාවක් තියෙනවා එක්සත් ශ්‍රී ලංකා සංගම‍යේ ප්‍රසංගයක් හැටියට මේක කරමු කියලා. ඉතින් අපි කැමති වුණා. ඇත්තටම කිසිම බර පැනක් එක්සත් ශ්‍රී ලංකා සංගම‍ය දැරුවෙ නෑ. ඔවුන් කළේ ප්‍රසංගය ඉදිරිපත් කිරීම සඳහා අපව යොමු කිරීම පමණයි. කොහොම වුනත් සියලුම බර පැන අපි අපිම සොයා ගත්තා. ඇඳුම් ආයිත්තම් මේ සියලු දෙයක්ම බොහෝ විට ද දරු දැරියන්ගේ දෙමව්පියන් එකතුවෙලා ඇඳුම් මැසීමේ කටයුතුවලට රාමචන්ද්‍ර මහත්මියට උදව් කළා. 

ඉතින් ඒ වන විට රාමචන්ද්‍ර මහත්තයාගේ අදහසක් තිබුණා පළමුවැනි රංගනය හැටියට ඕනැ වුණා, පණ්ඩිත් අමරදේවයන්ගේ ‘සරස්වතී අභිනන්දන ගීතය’ වාදනය කරලා ඊට රංගනයක් ඉදිරිපත් කරන්න. ඒ එක්කම රාමචන්ද්‍ර මහත්තයා යෝජනා කළා අපේ පළවෙනි නැටුම් ආචාර්යවරිය හැටියට සන්ධ්‍යා ඒ රංගනය කරන්ඩ ඕනැ කිව්වහම ‘අපි ඉල්ලීමක් කළා අපට සරස්වතී දේවියගේ රූපයක් ඇඳලා දෙන්න’ කියලා. ඒකට කැමති වුණා. ‘චිත්‍රා රාමචන්ද්‍ර මහත්මිය ඒ මුළු පවුලම, සති ගානක් මස් මාංශවලින් තොරව ඉඳගෙන, චිත්‍රා රාමචන්ද්‍ර මහත්මිය ඒ සරස්වතී රූපය නිර්මාණය කළා.’ 

ඇත්තටම පළමුවෙනි ප්‍රසංගය ඉතාමත්ම සාර්ථක එකක් බවට පත් වුණා. ප්‍රසංගයේ ශාලාව පිරෙන්න අති විශාල ජනකායක් සම්බන්ධ වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණියේ පසු කලෙක නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරිය වූ එවකට විපක්ෂ නායක හෙලන් ක්ලාක් මැතිනියයි. ඇත්තෙන්ම අපට ලොකු සතුටක් ඒ ප්‍රසංගය එසේ ආරම්භ වීම ගැන. කොහොම වුනත් කියන්න තියෙන්නෙ ජිත්මන් රාමචන්ද්‍ර මහත්මයා නිර්මාතෘවරයා වූ ‘ජන්ම භූමි’ වැඩසටහනත් ‘හෙළ මිහිර’ත් පටන් ගත්තෙ 1995දි. අද වනතුරුත් මේ වනතුරුත් නොකඩවා හැම වසරකම නොකඩවා අවුරුදු ප්‍රසංගය හැටියට ‘හෙළ මිහිර’ත්, සෑම සතියකම බදාදා සවස ‘ජන්ම භූමි’ ගුවන් විදුලි වැඩසටහනත් විකාශය වෙනවා. රාමචන්ද්‍ර මහත්මයා නිර්මාණය කරපු මං හිතන්නේ නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් ඉන්නකම් නතර වෙන්නෙ නැති දේ හැටියටයි, මා මෙය දකින්නෙ. 

ඒ එක්කම සඳහන් කරන්න ඕනෑ මේ ප්‍රසංගය අපි ප්‍රසංග වාර කීපයක් පැවැත්තුවා. පසු කාලයක රාමචන්ද්‍ර මහත්තයා එක්සත් ශ්‍රී ලංකා සංගමයත් සභාපති වරයා වශයෙන් පත්වුණා. ඒ සභාපති ධූරයත් එක්ක අපි ප්‍රසංග ගණනාවක් පැවැත්තුවා. 95, 96, 97, 98 යන වසරවල අපි ඉතාමත්ම සාර්ථක විදිහට මේ ප්‍රසංග සංවිධානය කළා. 

ඊට පසු කාලයෙදි, නවසීලන්තයට ආ වෙනත් නැටුම් ගුරුවරියන්ටත් අපි අවස්ථාව ලබලා දුන්නා මේ ප්‍රසංගයට සහභාගි වෙන්න. මං ඔබට සඳහන් කළා මුලින්ම, ‘අපි නවසීලන්තයට දරුවන් අරන් ආවේ නටවන්න නෙමේ උගන්නන්න’ කියලා. නමුත් ටිකෙන් ටික අවුරුද්දෙන් අවුරුද්ද මේ ප්‍රසංගය සඳහා රංගනයෙන් දායක වන දරුවන්ගේ සංඛ්‍යාව විශාල වුණා. අද පවතින තත්වය තමයි අද අපිට වේදිකාව ඉඩ දෙන්න විදිහක් නැති තරමට දැන් සමහර අවස්ථාවල අයැදුම් පත්‍ර කැඳවලා අවසාන දිනයක් දීලා මේ දිනයට කලින් අයැදුම් කළොත් තමයි සහභාගි වෙන්න පුලුවන් තත්වයට අද මේ ‘හෙළ මිහිර’ ප්‍රසංගය ඇවිල්ල තියෙන එක ගැන ඇත්තටම අපි සතුටු වෙනවා. රාමචන්ද්‍ර මහත්තයා ජීවතුන් අතර සිටියා නම් සතුටු වෙනවා, සතුටු වෙමින් හිටියා පහුගිය කාලවලදි. 

තවත් දෙයක් සඳහන් කරන්න ඕනෑ සමහර අවස්ථාවලදී අපිට අවශ්‍ය වුණා රබන් නැටුම් කුලු නැටුම් ආදියට කුලු හදන්න, රබන් හදන්න. මේ වන විට නවසීලන්තෙ එක කුල්ලක්වත් තිබුනෙ නෑ අපේ ශ්‍රී ලාංකික කුල්ල එකක්වත් තිබුනේ නෑ. රබන් තිබුනෙත් නෑ. කොහොම හරි රාමචන්ද්‍ර මහත්තයා ඒවා නිර්මාණය කළා. කාඩ්බෝඩ්වලින් කුල්ල හැදුවා. මල් පෝච්චියේ අඩිය යට තියෙන බේස් අරගෙන ඒකට උඩින් කාඩ්බෝඩ් එකක් අලවලා රබන් හැදුවා. රබන් වශයෙන් අපි පාවිච්චි කළේ ඒවා. ඒ කියන්නෙ රාමචන්ද්‍ර මහත්තයාගේ නිර්මාණ ශක්තිය, හරි පුදුමයි, හිතන ඕනැම දෙයක් කරන්න පුලුවන්. 

අපි කිව්වා අපේ පළමුවැනි ප්‍රසංගය සඳහා බෙර වාදනයක්, මඟුල් බෙර ගහන්න ඕනෑ කියලා. මඟුල් බෙරයක් නවසීලන්තෙ සොයා ගන්න නෑ ඒ වන විට. රාමචන්ද්‍ර මහත්තයා කාඩ්බෝඩ්වලින් මඟුල් බෙරයක් හැදුවා. අතින් අල්ලා බලන කෙනෙකුට හැර ඒක කාඩ්බෝඩ් බෙරයක් කියලා හිතා ගන්ඩ බැහැ. කොහොම වුනත් පිිටුපසින් අපි වාදනය කළා මඟුල් බෙර හඬ කැසට් එකකින්. වාදනය කරන විට දරුවන් තිදෙනෙක් හක් ගෙඩිය පිඹලා, මඟුල් බෙර වාදනය කරලා තමයි ප්‍රසංගය ආරම්භ කළේ. මේ ජයග්‍රහණය ලබා ගැනීම ගැන රාමචන්ද්‍ර මහත්තයා සතුටු වුණා. ඇත්තටම පහුකාලයෙදි හැම ප්‍රසංගයක්ම බලන්න නොගියාට රාමචන්ද්‍ර මහත්තයා විස්තර හොයා ගෙන ප්‍රසංගය මෙහෙම වෙන්න ඕනේ, මේ විධියට යන්න ඕනේ කියලා අවවාද අනුශාසනා ලබා දුන්නා. 

ඒ එක්කම තවත් දෙයක් කියන්න ඕනේ, රාමචන්ද්‍ර මහත්තයාට ඒ කාලෙ හැටියට වටිනා වාහනයක් තිබුණා, ඒ වාහනයේ කොහේ හරි ගිහිල්ල එන කොට පිටුපස ආසනයෙත්, පිටුපස බූට් එකෙත් හැම වෙලාවෙම පිරිලා තිබුණේ ලී කෑලි, ලෑලි කෑලි, කර්මාන්තශාලා වලින් ඉවත දාන ලී පතුරු ආදියෙන්. කර්මාන්ත ශාලාවක් ළඟින් යන කොට ඒවා එකතු කරලා කාරෙකට දා ගන්නවා. ඒවා නොමිලෙ ම අරන්න යන්න පුලුවන් ඕනෑම කෙනකුට. ‘ඉතින් අපි අහනවා මොකටද ඔය ලී කෑලි එකතු කරන්නේ?’ කියලා. ‘මේවා කවද හරි දවසක ප්‍රයෝජනය වෙන්න පුලුවන්, මොනව හරි අපට හදන්න පුලුවන්’ කියන හැඟීම රාමචන්ද්‍ර මහත්තයාගේ හිතේ තිබුණා. සාමාන්‍යයෙන් පාරෙ ලී කෑල්ලක් ලෑලි කැල්ලක් දැක්කොත් ඒක දිහා බලාගෙන කල්පනා කරනවා. ඒ කියන්නෙ මොනව හරි මේකෙන් කරන්න පුලුවන් කියන එක. යන්ත්‍රසූත්‍ර නැති කාලෙක වුනත් නියනයි, මිටියයි පාවිච්චි කරලා රාමචන්ද්‍ර මහත්තයා මේ ලී කෑලිවලින් කැටයම් හැදුවා. 

ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍ර සහෘදයා සිය බිරිඳ චිත්‍රා හා දු දරුවන් සමග

එතකොට අපි දන්නවා රාමචන්ද්‍ර මහත්තයා වරක් ශ්‍රී ලංකාවේදි සමස්ත ලංකා මැජික් ශූරයා බවට පත් වුණා. නවසීලන්තයට එන විට ඔහු ඔහුගේ මැජික් භාණ්ඩ ගෙනැවිත් තිබුණා. මේ භාණ්ඩවලින් අපේ ප්‍රසංගවලදි අපට ලොකු ආලෝකයක් ලැබුණා. වෙනම අංගයක් හැටියට රාමචන්ද්‍ර මහත්තයා මැජික් පෙන්නුවා. ඔහුගේ දරුවන් ද සහභාගි කරවා ගෙන අපේ ප්‍රේක්ෂකයන්ට මැජික් සංදර්ශන පැවැත්තුවා. 

මේ කාලෙ වෙන කොට නවසීලන්තේ ශ්‍රී ලාංකීය විහාරස්ථානයක් තිබුණෙ නැහැ. නමුත් ඒ වන විට ශ්‍රී ලාංකීය විහාරස්ථානයක් ආරම්භ වුණා. විහාරස්ථානය ආරම්භ වෙන්නට කලින් නවසීලන්තයෙ හිටපු අපේ බොහෝ අය, බුද්ධ පූජාව පවත්වන්නට යෙදුනෙ වෙසක් කාලෙට ලංකාවෙන් එවන වෙසක් කාඩ්වල තිබුණු බුද්ධ රූපවලට. විහාරස්ථානවලත් ඇත්තටම ආරම්භයේදි බුදුපිළිම තිබුණේ නැහැ. පසු කාලයක ශ්‍රී ලංකාවෙන් වැඩම කෙරෙව්වා බුදු පිළිම මේ විහාරස්ථානවලට. 

පළමුවැනි අටවිසි බුද්ධ පූජාව පවත්වන්නට අපට අටවිසි බුදුවරුන් හිටියෙ නෑ. නමුත් සංකේතයක් හැටියට චීන සාප්පුවලින් ගත්ත අපේ බෝ ගහට සමාන පුංචි පැළ 28ක් තියලා ඒවට විදුලි පහන් දල්වලා, පහන් පත්තු කරලා තමයි, පළවෙනි අටවිසි බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ. 

ඉතින් මේ අවස්ථාවෙදි රාමචන්ද්‍ර මහත්තයා කල්පනා කළා, කල්පනා කරලා මට කිව්වා ‘ප්‍රියා මං බුදුපිළිම හදනවා’ කියලා. මං ඇහුවා ‘කොහොමද හදන්නේ?’ කියලා. බුදුපිළිම නෙළනවා කියන එක ලේසි පාසු කාරියක් නෙවෙයි නෙ. ‘නෑ මං හදනවා කිව්වා.’ කොහොම හරි දවසක් මට කිව්වා, ප්‍රියා එන්න අපේ ගෙදරට මං බුදු පිළිමයක් හැදුවා කියලා. පස්සෙ අපේ සිය පවුලම නිවසට ගියා, ඒ ආශ්චර්යය බලන්න. ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම ලස්සන අලංකාර, සුදු පැහැති බුදු පිළිමයක් රාමචන්ද්‍ර මහත්තයා හදලා තිබුණා. 

මං ඇහුවා ‘කො‍හොමද හැදුවෙ?’ කියලා. ඒ පාර කිව්වා ‘මම ලංකාවෙන් ගෙනාපු බුදු පිළිම අතරින් සමාධි පිළිමයට සමාන එකක් සොයා ගෙන නවසීලන්තයේ කර්මාන්ත ශාලාවකට දීලා අච්චුවක් හදා ගත්තා. ඒකට සිමෙන්ති මැටි ආදි එක එක දේවල් යොදා ගෙන පිළිම හදන්න උත්සාහ කළා හරි ගියේ නෑ. නිවසේ හීටර යොදා තිබුණ නිසා ඒවා වේළෙන කොට පුපුරන්න ගත්තා. අන්තිමේ දී ගරාජයට ගෙනිහින් සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යෙදූ විටයි, ඒ කාර්යය හරි ගිහින් තියෙන්නේ. අවසාන වශයෙන් හරියට ම නිවැරදිව බුදු පිළිමයක් හදා ගත්තාට පස්සෙයි, අපිට කතා කරල බලන්න එන්න කියලා තියෙන්නේ. 

මේකෙන් උනන්දුවෙච්ච ඔහු මට කිව්වා 'ප්‍රියා මම හැම පන්සලකම අටවිසි බුදුවරුන් හදලා දෙනවා' කියලා. ඒ කිව්වා වගේ ම තමා ගේ වියදමෙන්, තමාගේ ශ්‍රමයෙන්, තමාගේ මහන්සියෙන්, නවසීලන්තයේ විහාරස්ථානවලට අටවිසි බුදුවරුන් හදලා රාමචන්ද්‍ර මහත්තයා පූජා කළා. ඒ එක්කම රාමචන්ද්‍ර මහත්තයගේ අදහසක් තිබුණා හැම නිවසකට ම නොමිලේ බුදු පිළිමයක් හදලා දෙනවා කියලා. මං ඔබට කලින් කිව්වා වෙසක් කාඩ්වලට ‍පාන් පත්තු කළා කියලා. ඔහු කිව්ව විදියට ඒ දේ කළා. හැම නිවසකට ම ‍කෙසේ වෙතත් බොහෝ නිවෙස්වලට, සියයට අසූවකට වගේ බුදු පිළිම පරිත්‍යාග කළා. මේ කටයුත්තකට කිසිම මුදලක් අය කළේ නෑ. තමාගේ වියදමෙන් තමයි මේ හැමදේම කළේ. පිළිම වහන්සෙලා පමණක් නොවෙයි, මා ඔබට කීවා ඔහු ලී පතුරු, ලෑලි කෑලි එකතු කළා කියලා. ඒවායින් ලස්සන පිළිම ගෙවල් හදලා දුන්නා ඒ පිළිම වහන්සේලා තැන්පත් කරන්නට. 

ඇත්තටම රාමචන්ද්‍ර මහත්තයා ඒ කළේ ඉතාමත්ම සද්කාර්යයක්. අද බොහෝ නිවෙස්වලට ගියාම ඒ පිළිම දිහා බැලුවාම පේනවා මේ රාමචන්ද්‍ර මහත්තයා හදපු පිළිමයක් කියලා. හැම පන්සලකම අටවිසි බුදුවරුන් පූජා කළා විතරක් නෙවෙයි, සිල් ගන්නා දවස්වලට සාමාන්‍යයෙන් වැඩිහිටි සිල් ඇත්තන්ට බොහෝ වේලාවක් බිම වාඩි වෙලා ඉන්න බෑ. ඉතින් රාමචන්ද්‍ර මහත්තයා මොකද කළේ ඒ හැම කෙනකුටම බංකු හදලා දුන්නා. ඒ බංකුවල සමහර විහාරස්ථානවලට ගියාම දැක ගන්න පුලුවන් උපාසක උපාසිකාවන්ගේ නම් ගහලා තියෙනවා. රාමචන්ද්‍ර මහත්තයා ඒ ආසන හදලා නම ලියලා තමයි ඒ අයට ගිහින් දුන්නේ. 

නවසීලන්තයේ විහාරස්ථානවල අටවිසි බුද්ධ පූජා පවත්වන හැම දවසකම ඒ ලැබෙන පිනෙන් කොටසක් රාමචන්ද්‍ර මහත්තයට අත් වෙනවා සිකුරුයි. සිල් ඇත්තෙක් සිල් ඇත්තියක් මේ බංකුවක වාඩි වෙලා ධර්මදේශනාවකට සවන් දෙන විට ඒ අයගෙන් ඇති වන පහන් සිතුවිලිවලින් පවා රාමචන්ද්‍ර මහත්තයට අනිවාර්යයෙන් කුසල් සම්භාරයක් එකතු වෙනවා නොඅනුමානයි. 

ජිත්මන් රාමචන්ද්‍ර මහත්තයා හුඟක් වෙලාවකට මම කිව්වා අන් අයට උදව් කරන්න හරිම කැමත්තෙන් ඉන්නවා කියලා. මේ එක අවස්ථාවක්. එක වතාවකදී යම්කිසි ක්‍රීඩා තරග සඳහා පැමිණි තරුණයන් පිරිසක් මේ රටේ තැන් තැන්වලට ගියා. ඒ අය බලාපොරොත්තු වුණේ මේ රටේ නතර වෙන්නට. ඒකෙන් කලබල වුණා, ශ්‍ර‍ී ලාංකිකයන් බොහෝ දෙනෙක් කලබල වෙලා ඔවුන් තීරණය කළා මේ අයව කොහෙන් හරි හොයලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දෙන්න ඕනෙ එහෙම නැත්නම් ශ්‍රී ලංකිකයින්ට ලොකු කැළලක් ඇති වෙනව කියලා. 

ඔහොම තත්වයක් තියෙද්දී දවසක් රාමචන්ද්‍ර මහත්තයා මට දුරකථනයෙන් කතා කරලා ඇහුවා. ‘ප්‍රියා මාත් එක්ක ගමනක් යන්න එනවද?’ කියලා. මං ඇහුවා ‘කොහෙද?’ කියලා. ඒ පාර කිව්වා ‘මෙහෙම කට්ටියක් පැනලා ඉන්නවා. අනේ උන්ට කන්නත් නෑ. බොන්නත් නෑ. කඩේකට යන්නත් නෑ. පොලිසියට අහුවෙයි කියලා බයේ එළියට බහින්නෙ නෑ. එක තැනකට කොටුවෙලා ඉන්නවා’ කියලා. ‘මං ඇහුවා මොකක්ද කරන්න යන්නේ?’ කියලා. 

‘අපි දැන් ඒ අයට කෑම ටිකක් ගිහින් දෙමු’ කියලා. කිව්වා. මං කිව්වා ‘හරි මං එන්නම්’ කියලා. රාමචන්ද්‍ර මහත්තයා එදත් මාව කැඳවාගෙන යන්න අපේ ගෙදරට ආවා. ඔහුගේ වාහනේ තිබුණා හාල් මලු කීපයක්. පිටි මලු කීපයක්. ඒ කාලේ මෙහේ පොල් තිබුණෙ නැති හින්දා වියළා සැකසූ පොල් පැකට් කීපයක්, ඉන්දියානු කඩේකින් ගත්තු මිරිස්, පාන් රාත්තල් ගණනාවක් තිබුණා. ‘අපි දෙන්නා මේ ටික ගිහින් දෙමු ප්‍රියා’ කියලා කිව්වා. 

‘අපි දැන් මේ යන්නේ ටිකක් භයානක ගමනක් මොකද මේක කොහෙන් හරි අහුවුණොත් අපි දෙන්නටමත් ප්‍රශ්නයක්. කමක් නෑ අපි දෙන්න යමු. යන කෙනෙක් යවා ගත්තාවෙ ඉන්න කෙනෙක් තියා ගත්තාවෙ. මේ වෙලාවෙ අපි හිතා ගත්තෙ ඒ අයට කන්න බොන්න දෙන්න. ඒ නිසා මේ ටික අපි ගිහින් දෙමු.’ කියලා එදා අපි ඒ දේ කළා. මං දන්නෙ නෑ ඒ අය ගියාද ඉන්නවද කියල. අද වෙනතුරු මට මුණගැහිලා නෑ. රාමචන්ද්‍ර මහත්තයා අන්න ඒවගේ දේවල් කරපු කෙනෙක්. 

ඉතින් මේ විදියට ගිහිල්ල ගිහිල්ලා රාමචන්ද්‍ර මහත්තයා විවේක සුවයෙන් ගත වෙන කාලෙදි ඔහු පෙන්නුවා යමක් ඉගෙන ගන්න වයසට ගියාට ප්‍රශ්නයක් නෑ කියලා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 75, 76 වගේ කාලේ වෙන කොට රාමචන්ද්‍ර මහත්තයා චිත්‍ර පන්තිවලට යන්න පටන් ගත්තා. චිත්‍ර අඳින හැටි ඉගෙන ගත්තා. දිය සායම්, තෙල් සායම්, කැන්වස් පේන්ටින් ආදි මේ හැම එකක්ම කරන්න පටන් ගත්තා ඔහු‍ගේ වැඩිහිටි කාලෙදි. 

ඉතින් ඇත්තටම ඒ කාලේ රාමචන්ද්‍ර මහත්තයාගේ නිවසට ගියාම මුළු බිත්ති වටේ ම ගහලා තිබුණෙ රාමචන්ද්‍ර මහත්තයා ඇඳපු පින්තූර. ඉතාමත් ම ලස්සනයි! ඉතාමත්ම ස්වාභාවිකයි. බලාගෙන ඇඳපුවා, විල්, මල්, කුරුල්ලො මේ හැම එකක්ම බලාගෙන ඇඳපුවා. ඉතාමත්ම චමත්කාරජනකයි. ඇත්ත වශයෙන්ම අපි හිතුවෙත් නෑ, අපි දැනං හිටියෙත් නෑ මෙච්චර කාලෙක දි මේ රාමචන්ද්‍ර කියන පුද්ගලයාට මේ වගේ මනස්කාන්ත වූ දර්ශනීය වූ දෙයක් කරන්න පුලුවන් කමක් තිබුණාය කියා. දැක්කාම තමයි ඒක අපට තේරුණේ. ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් අච්චුවෙන් පමණක් නෙවෙයි, ඔහුගේ දසැඟිලිවලින් පවා රූප අඹන්න පටන් ගත්තා. මූර්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. මේවායේ සැඟවුණු දේවල් හරිම අර්ථාන්විතයි. කියන්ඩ ඕනෙනෑ ඒවා දිහා බැලුවාම ඔහු කියන්න අදහස් කළ දේ වැටහෙනවා. 

රාමචන්ද්‍ර මහත්තයා ධර්මයට බොහොම ලැදිව සිටි මිත්‍රයෙක්. ධර්ම පුස්තක ගණනාවක් කියවලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් යම් ධර්ම දේශනාවක් කළාම රාමචන්ද්‍ර මහත්තයා ඒකට ගොඩක් දේවල් එකතු කරනවා. මෙන්න මේ ධර්ම පුස්තකයේ ඒ ගැන මෙහෙම දක්වා තියෙනවා කියලා පෙන්නා ‍දෙනවා. ධර්මය ගැන බොහෝ දේවල් දැනගෙන හිටපු කෙනෙක් තමයි ජිත්මන් රාමචන්ද්‍ර මහත්තයා. 

ආරෝග්‍ය ශාලාවේ සිටි අවසාන කාලයේ දී පවා, ඔහුගේ ගිලන් ඇඳ මතට ගෙන්වා ගෙන අන්තිම මොහොත වෙනකන්ම ධර්ම පොත් කියවන්නට හැකි හැම අවස්ථාවකම ඒවා කියවමින් සිටි බව දරු පවුල අරන් තිබූ පින්තූරවලින් අපි දැක්කා. අපට ඔහු අසලට බලන්න යන්න අවසර තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අප දුටුවා ඔහු ගිලන් ඇ‍ඳ‍ෙහි ඉඳ ගෙන ධර්මදේශනා කරනවා. 

ඔහු‍ගේ සම්පූර්ණ නම ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍ර. ජිත්මන් (දිනූ මනස) ලෝදාස් (ලොවට මෙහෙ කරන) යනු ඒ නමේ අරුතයි. ඔහුගේ පියා මේ නම දමන්න ඇත්තේ හොඳට හිතා මතා දුර දිග බලලයි. සංසාරික පුරුද්දට දාපු නමක් කියලත් මට හිතුණා. 

මොකද අවසාන‍යේදි අපූරු දෙයක් සිද්ධ වුණා. ආරෝග්‍ය ශාලාවට ගිහින් සතියක් විතර යන කොට දවසක් එක්තරා වෛද්‍යවරියක් කියලා තියෙනවා පවුලේ උදවිය කැඳවන්න. ‘මෙයා අද රෑ යනවා’ කියලා. ඒ සැරේ පවුලේ අය කලබල වෙලා ඉක්මනට සියලු දෙනා ගෙන්වලා, රාමචන්ද්‍ර මහත්තය‍ගේ බාල දියණිය ඉන්න එංගලන්තයටත් පණිවිඩයක් යවලා තියෙනවා. 

ඒ වෛද්‍යවරිය ගියාට පස්සේ රාමචන්ද්‍ර මහත්තය‍ කතා කරලා ‘ඒ ඩොක්ටර් කොහොමද මම අද යනවා කියලා කියන්නේ මම යන්නෙ මට ඕනැ වෙලාවට නෙ. එයාට බෑ අද මම යනවා කියන්න’ කියලා තියෙනවා. ඇත්තටම රාමචන්ද්‍ර මහත්තයා සූදානම් වෙලා හිටියෙ නෑ මරණයත් එකක් යන්න. රාමචන්ද්‍ර මහත්තයා ගියේ මරණයට ඕනෑ වෙච්ච වෙලාවට නොවෙයි, තමන්ට ඕනෑ වෙලාවටයි මරණය සමග ගියේ. 

එකක් පැහැදිලිව ම කියන්න ඕනෑ අවසාන ශල්‍යකර්මය සඳහා ශල්‍යාගාරයට කැඳවාගෙන යද්දී රාමචන්ද්‍ර මහත්මයා චිත්‍රා මහත්මියට කියලා තියෙනවා ‘හැමදාම බුදු පහන තියන්න’ කියලා. ඒක තමා අවසානයට කියලා තියෙන්නෙ. එසේ යන කොට ඔහුට දැනෙන්න ඇති ආපසු එන්නේ නැති බව. 

කොහොම වුනත් ඔහු අපේ පවුලේ, මගේ සංසාරික මිතුරෙක් අපිට මුණගැසුණු, සංසාරයේ කොහේ හෝ තැනක අපට මුණ ගැහිලා තියෙන්න ඇති, නැති නම් මේ තරම් කාලයක් තිස්සේ වචනයකින් වත් ආරෝවක් විරසක විමක් නැතුව 1995 සිට මේ තරම් කාලයක්, මිය යන මොහොත දක්වා අප සමඟ, අපේ පවුල සමග ඉතාමත් සමීපව හිටියේ සංසාරික බැඳීම නිසා වෙන්නට ඇති. ඉතින් මරණයට අවශ්‍ය වෙලාවට නොගිය, තමන්ට අවශ්‍ය වෙලාවට මරණය සමග ගිය ජිත්මන් ලෝදාස් රාමචන්ද්‍ර මහතාට නිවන් සැප ලැබේවා! ‍ 


ප්‍රණාමය පුද කරන ප්‍රියානන්ද විජේසුන්දර 

 

Post a Comment

2 Comments

  1. මේ කරුණු ඉදිරිපත් කිරීමට තුති. මෙවන් වටිනා මිනිසුන් අප අතර සිටි බව අප දැනගන්නේ ඔවුන් නික්ම ගිය පසුවයි.

    ReplyDelete
  2. ඔ‍බේ කොමෙන්ටුවට තුති

    ReplyDelete