ඉම්රාන්ට වස දෙන්න හදනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 20, 2023

ඉම්රාන්ට වස දෙන්න හදනවා

ඉම්රාන් ඛාන් යනු කලක්, ගරු බුහුමනට පාත්‍ර වූ ක්‍රිකට් තරුවකි. 1992 වසරේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්නේ ඉම්රාන්ය. ක්‍රිකට් විරුවකු ලෙස ජනතා ආදරය දිනූ ඉම්රාන්, දේශපාලනයට පිවිසියේ අයුක්තිය අසාධාරණයට එරෙහිව නැගී සිටිමින් දූෂණ වංචා පිටුදැකීමටය. ඒ සඳහා ඔහු පිහිටුවා ගත් පක්ෂය ‘තරීක් ඊ ඉන්සාෆ්’ ය. 

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් දශක තුනකට පමණ පසු, දුෂ්කර දේශපාලන ගමනක් අවසානයේ, ඉම්රාන් පාකිස්තාන අගමැති පුටුවේ අසුන් ගත්තේය. අභියෝග මැද, දූෂණය, නාස්තිය පිටුදකිමින්, යහපාලන ආණ්ඩුවක් පිහිටුවමින් පාකිස්තානය නව යුගයකට ගෙන යෑමට ඉම්රාන් සමත් විය. ඉම්රාන්ගේ යහපාලන ආණ්ඩුව, පාකිස්තානයේ බොහෝ දෙනාගේ පැසැසුමට ලක් විය. 

පාකිස්තාන ජනතාවගේ නායකයාත් වීරයාත් වූයේ ඉම්රාන්ය. ජනතාවගෙන් ලැබුණු ශක්තිය, සහයෝගය නිසා ඉම්රාන්, පාකිස්තානයේ ප්‍රබල හමුදාව සමඟ ගැටුම් ඇති කර ගත්තේය. ඉම්රාන්ට වැරදුණේ එයයි. 2018 වසරේ බලයට ආ ඉම්රාන්ගේ පාලනය 2022 දී අවසන් විය. ඊට එක් හේතුවක් වූයේ පාකිස්තානය ආර්ථික, දේශපාලනික වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටීමය. ‘කොවඩ් 19’ වසංගතය එම අර්බුදය නැමැති ගින්නට පිදුරු දැමීමක් විය. 

දිනකට පැය ගණන් පාකිස්තානයේ විදුලි කප්පාදු සිදුවිය. ඉම්රාන්ට එරෙහිව, ජනතා විරෝධයක් ද ගොඩනැගෙද්දී, විපක්ෂ දේශපාලන කණ්ඩායම් එය ඔවුන්ගේ වාසියට හරවා ගත්තේය. 2022 දී ඉම්රාන්ගේ පාලනය විය. ඒ, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගත වී, ඉම්රාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් ඉම්රාන් පරාජය වීමෙනි. 

බලය අහිමි වීමෙන් පසු, තමන් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂය මෙහෙයවූයේ හමුදාව යැයි ඉම්රාන් දිගට හරහට චෝදනා නගන්න විය. අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන්න විය මේ සියල්ල ඉම්රාන්ට අවාසිසහගත විය. 

අද 70 හැවිරිදි ඉම්රාන් සිටින්නේ, ‘අටොක්’ බන්ධනාගාරයේ, කුඩා සිර කුටියකය. පාකිස්තානයේත්, එංගලන්තයේ ලන්ඩන් නුවරත් ඉතා සුඛෝපභෝගී ජීවිතයකට උරුමකම් කී, අද්විතීය ක්‍රිකට් තරුව, දේශපාලනයට යොමු වීමේ ඵලවිපාක භුක්ති විදින්නේ මැස්සන් පිරි කුඩා කුටියකය. 

එල්ල වන සියලු චෝදනා හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ප්‍රතික්ෂේප කරයි. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඉම්රාන්ට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත්තේ ඉස්ලාමාබාද් අධිකරණයයි. අධිකරණය, ඉම්රාන්ට වසර 3 ක සිර දඬුවමක් පමණක් නොව, පාකිස්තාන රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළේය. එපමණක් නොවෙයි, ඉම්රාන්ට වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නියැළීම ද තහනම්ය. 

 එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඉම්රාන් පවසා ඇත්තේ අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය. 2018 සිට 2022 දක්වා කාලයේ, අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, විදේශවලින් ලැබුණු තෑගි භාණ්ඩ නීතිවිරෝධී ආකාරයට විකුණා මුදල් ලබා ගත් බවට ඉම්රාන්ට චෝදනා එල්ල වී තිබුණි. ඉම්රාන්, වරදකරු වූයේ එම චෝදනාවලටය. 

ඉම්රාන්, අග්‍රාමාත්‍ය බලතල අවභාවිත කරමින්, ලැබුණු එම ත්‍යාග භාණ්ඩ විකුණා පාකිස්තාන රුපියල් මිලියන 140 (ඇමෙරිකන් ඩොලර් 497,500) ක් මුදලක් ලබා ගත් බව ද පැවැසෙයි. විකුණා මුදල් කළ බව පැවැසෙන එම තෑගි භාණ්ඩ අතරේ, විදෙස් රජ පවුලකින් ලැබුණු ඉතා වටිනා ඔරලෝසු කීපයක් ද ඇත. පාකිස්තාන රාජ්‍ය නිලධාරින්ට අනුව, ඉම්රාන් එම ඔරලෝසු විකුණා මුදල් ලබා ගෙන ඇත්තේ ඩුබායි නුවරදීය. 

විදේශවලින් තෑගි භාණ්ඩ ලැබුණේ ඉම්රාන් ඛාන්ට නොව, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාටයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් එම ත්‍යාග විකිණීම හෝ ළඟ තබා ගැනීම වරදක්. ඔහු බලතල අවභාවිත කළා’ යැයි ඉස්ලාමාබාද් අධිකරණ විනිසුරු හුමායුන් දිලාවාර්, ඉම්රාන්ට සිර දඬුවම් නියම කළ අවස්ථාවේදී පැහැදිලි කළේය. 

සිරදඬුවම් නියම කිරීමත් සමඟ, පසුගිය අගෝස්තු 5 වැනිදා, සිය ලාහෝර් නගරයේ පිහිටි ඉම්රාන් අත්අඩංගුවට ගැනුණි. පොලිසිය කඩා වැදී, ගිනි අවි පෙන්වා, බලහත්කාරයෙන් ඉම්රාන් අත්අඩංගුවට ගැනීම ඉම්රාන්ගේ ජීවිතයට තර්ජනයක් වූ බව ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ මහ ලේකම් උමායිර් නියාසි චෝදනා නගා තිබේ. 

ඉම්රාන් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, උමායිර් නියාසි ලාහෝර් මහාධිකරණයට පෙත්සමක් ගොනු කළ බව ද මාධ්‍ය වාර්තා කළේය. සිරදඬුවම් නියම කිරීමත් සමඟ ඉම්රාන් රැගෙන යෑමට නියමිතව තිබුණේ රාවුල්පිණ්ඩි නුවර ‘අදියාලා’ බන්ධනාගාරයටය. එහෙත්, ඉම්රාන් රැගෙන ගියේ ‘අටොක්’ බන්ධනාගාරයටය.

‘අටොක්’ බන්ධනාගාරය, ඉම්රාන් වැනි හිටපු අග්‍රාමාත්‍යවරයකුට කිසිසේත් සුදුසු නැතැයි උමායිර් නියාසි පවසයි. බන්ධනාගාරයේ දී, ඉම්රාන් පහර කෑමට ලක් වෙන බව ද උමායිර් නියාසි වැඩි දුරටත් පවසා ඇත. ඉම්රාන් හමුවීමට පක්ෂ සාමාජිකයන්ට හෝ නීතීඥවරුන්ට සීමා කර ඇති බවට ද චෝදනා එල්ල වෙයි. 

ඉම්රාන්ගේ බිරිඳ බුෂ්රා බීබී ට ඉම්රාන් හමුවීමට යෑමට අවස්ථා කීපයකදී අවසර හිමිවිය. බුෂ්රා බීබී ඉම්රාන්ගේ තෙවැනි බිරිඳය. බන්ධනාගාරයේ දී ඉම්රාන්ට පහර සදන බවටත්, නිවසින් ආහාර පාන ගෙන්වා ගැනීම තහනම් කර තිබේ. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය චෝදනා වැඩි දුරටත් චෝදනා නගා ඇත්තේ බන්ධනාගාරයෙන්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ට වස කලවම් කළ ආහාර සහ පාන ලබා දෙන බවටය. 

ඉම්රාන් දේශපාලන කුමන්ත්‍රණයක අතකොළුවක් බවටත්, කුමන්ත්‍රණකරුවන් ඔහු සෙමින් සෙමින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බවටත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය වැඩි දුරටත් චෝදනා නගා තිබේ. 2022 වසරේ ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ නායක ෂෙහ්බාස් ෂරීෆ් මැදිහත් වෙමිනි. ඉම්රාන් ගෙදර යවා, ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. 

පසුගිය 9 වැනිදා ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලී, ජනාධිපති අරීෆ් අලීට දැනුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ, මහ මැතිවරණයකට ඉඩ සලසමිනි. මැතිවරණය මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිතය. එසේ වුවත්, පවතින ආර්ථික අර්බුද හේතුවෙන් එය ප්‍රමාද වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

කෙසේ නමුත්, වසර 5 ක දේශපාලන තහනමක් ඇති බැවින්, පාකිස්තානයේ ජනතා වීරයා සහ ජනතාවගේ නායකයා වන ඉම්රාන්ට ඊට සහභාගී විය නොහැකිය.විශ්වාසභංගයෙන් ඉම්රාන්ට ධුරය අහිමිවීමෙන් පසු, පාකිස්තානයේ ප්‍රාන්ත කීපයවක අතුරු මැතිවරණ පැවැත්විණි. ඒවායින් ජය ගත්තේ ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. 

පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, මහ මැතිවරණය පැවැත්වෙන තුරු භාරකාර අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අන්වාරුල් හක් කකාර් ය. අන්වාරුල් හක් කකාර්, පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අවසන්ය. ඔහු පාකිස්තානයේ අටවැනි භාරකාර අග්‍රාමාත්‍යවරයාය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom