නයිජර් හමුදා කුමන්ත්‍රණය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 11, 2023

නයිජර් හමුදා කුමන්ත්‍රණය

නයිජර්, බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. ඊසාන දෙසින් ලිබියාවට, නැගෙනහිරින් චැඩ් රාජ්‍යයට, දකුණින් නයිජීරියාවට, බටහිරින් මාලි රාජ්‍යයට, නිරිතදෙසින් බෙනින් සහ බුර්කිනා ෆාසෝ රාජ්‍යයන්ට, වයඹ දෙසින් ඇල්ජීරියාවට මායිම් වෙයි. නයිජර් රාජ්‍යය, මේ වනවිට පුවත් මැවීමට සමත් වී අවසන්ය. ඒ, නයිජර් හමුදාව, කුමන්ත්‍රණය කරමින්, එරට බලය අල්ලා ගැනීමත් සමඟය. නයිගර් හමුදා කුමන්ත්‍රණය එරට අභ්‍යන්තර අර්බුදයක් පමණක් නොවෙයි. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සහ රුසියාව අතර පවතින එදිරිවාදිකම් ද නයිගර් අර්බුදය හරහා හිස ඔසවා තිබේ. 
නයිජර් රාජ්‍යය, අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. නයිජර්, ප්‍රංශයෙන් නිදහස ලැබුවේ 1960 වසරේදීය. 2021 ලෝක බැංකු වාර්තා අනුව, එරට ජනගහනය මිලියන 25 කි. නියාමේ යනු නයිජර් අගනුවරය. ප්‍රංශ බස නයිජර් වැසියන්ගේ නිල භාෂාවය. නයිජර් වැසියන්ට 'හමුදා කුමන්ත්‍රණ' අරුමයක් නොවේ. 1960 වසරේ දී නිදහස ලැබීමෙන් පසු එරට හමුදාව පමණක් නොව, විවිධ සන්නද්ධ කණ්ඩායම් ද රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ දරා තිබේ. 

1960 වසරෙන් පසු සිට මේ දක්වා නයිජර් රාජ්‍යයේ සාර්ථක වූ හමුදා කුමන්ත්‍රණ ගණන පහකි. එම කුමන්ත්‍රණ සිදුවූයේ 1974, 1996, 1999 සහ 2010 යන වසරවලදීය. අලුත්ම හමුදා කුමන්ත්‍රණය සිදුවූයේ පසුගිය ජූලි 26 වැනිදාය. කිසිදු ලේ වැගිරීමකින් තොරව හමුදාව රටේ බලය අල්ලා ගෙන අවසන්ය. 

නයිජර් ජනාධිපතිවරයා මොහොමඩ් බාසූම්ය. නයිජර් ප්‍රජාතන්ත්‍රවාදී - සමාජවාදී පක්ෂයට නායකත්වය දෙන බාසූම් අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. 1995 සිට 96 දක්වා කාලයේ ඔහු විදේශ අමාත්‍ය ධුරය ද හොබවා තිබේ. බාසූම්ගේ ජනාධිපති ධුරය ආරම්භ වූයේ 2021 අප්‍රේල් 2 වැනිදාය. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල සහාය ඔහුට හිමිවිය. නයිජර් රාජ්‍යයේ ප්‍රජානත්‍ර්වාදය ස්ථාපිත කිරීමෙහිලා ඉතා වැදගත් වැඩ කොටසක් කළ තැනැත්තකු ලෙස බාසූම් සැලකෙයි. 
මොහොමඩ් බාසූම්
 නයිජර් ජනාධිපති ආරක්ෂක අංශය පවතින්නේ හමුදාව යටතේය. ජනපති ආරක්ෂක අංශයට නායකත්වය දෙන්නේ ජනරාල් ඕමාර් ට්චියානි ය. පසුගිය ජූලි 26 වැනිදා, ජනපති ආරක්ෂක අංශ සාමාජිකයන්, මොහොමඩ් බාසූම් අත්අඩංගුවට ගෙන නියාමේ අගනුවර ජනපති මන්දිරයේ සිර කළේය. 

පැය කීපයක් යද්දී, නයිජර් හමුදා ප්‍රකාශක කර්නල් අමාඩු ඇබ්ඩ්‍රැමේන්, හමුදාවේ උසස් නිලධාරීන් පිරිවරාගෙන, ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතුවේය. ජනාධිපති බාසූම්ගේ අයහපත් පාලනය අවසන් කළ බවත්, රටේ පිරිහෙන්න වූ ආරක්ෂාව යළි තහවුරු කිරීමට කටයුතු කළ බවත් හමුදා ප්‍රකාශකවරයා පැහැදිලි කළේය.

ජනාධිපති බාසූම් අත්අඩංගුවට ගනිමින් සිදුවුණු හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඇමෙරිකාව, ප්‍රංශය, යුරෝපා සංගමය පමණක් නොව, අප්‍රිකා රටවල් බොහොමයක් ද කනස්සල්ල පළ කරන්න විය. බාසූම් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ගෙන් ඇමෙරිකාව ඉල්ලා සිටියේ අත්අඩංගුවේ පසුවන ජනාධිපති ජනාධිපති බාසූම් වහා නිදහස් කර, යළි ඔහුට බලය ලබා දෙන ලෙසය‍. 

බටහිර රටවලින් සහ බටහිර හිතවාදී අසල්වැසි අප්‍රිකානු රටවලින් හමුදා කුමන්ත්‍රණකරුවන්ට පීඩනයක් එල්ල වෙද්දී, ඔවුන් රටේ දේශසීමා වසා දැමීය. ගුවනින් හෝ ගොඩබිමෙන් නයිජර් රාජ්‍යයට ඇතුළුවීම අවහිර කළේය. රට පුරා ඇඳිරි නීතිය පැනැවීය. සියලු රාජ්‍ය ආයතනවල කටයුතු නැවැත්වීය. 

දේශසීමා වසා දැමීමට පෙර ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් ඔවුන්ගේ තානාපති කාර්යාල නිලධාරීන් කඩිනමින් නයිජර් රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට පියවර ගත්තේය. බටහිර රටවලින් නයිජර් හමුදාවට විරෝධය එල්ල වෙද්දී, නයිජර් වැසියන් දහස් ගණනක්, ඇඳිරි නීතිය ද නොතකා, නියාමේ අගනුවරට එක්රොක් වූයේ, හමුදාවට සහාය පළ කරමිනි. ජනතාව නව හමුදා පාලකයන්ට, බලපෑම් කරන්න වූ ඇමෙරිකාවටත්, ප්‍රංශයටත් විරෝධය පළ කරන්න විය.
නියාමේ අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වුණු, නයිජර් වැසියන්, ප්‍රංශයට විරෝධය පළ කළේ රුසියානු ධජ අතැතිවය. රුසියාව, නයිජර් හමුදා පාලකයන්ට සහාය දීමට ඉදිරිපත් වී සිටීම ඊට හේතුවය. රුසියාවේ මැදිහත් වීම ඇමෙරිකාවටත් ප්‍රංශයටත් ගැටලුවකි; තර්ජනයකි. 

ඊට හේතුව නයිජර් රාජ්‍යයේ, ඇමෙරිකන් හමුදා මෙන්ම ප්‍රංශ හමුදා කඳවුරු ද පිහිටුවා තිබේ. පසුගිය කාලයේ ඇමෙරිකාවත් ප්‍රංශයත් වෙන් වෙන්ම නයිජර් ජනාධිපති බාසූම්ගේ රජයට ආධාර ලබා දුන්නේ එම හමුදා කඳවුරු පවත්වා ගෙන යෑමට අවසර දීම සම්බන්ධයෙනි. හමුදා කුමන්ත්‍රණයෙන් පසු එම ආධාර නැවැත්වීමට ඇමෙරිකන් සහ ප්‍රංශ රජය තීරණය කළේය. 

 පසුගිය අගෝස්තු 8 වැනිදා, නයිජර් ගුවන් සීමාව වසා දැමීමට හමුදා පාලකයන් තීරණය කර තිබියදී, ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක්, නියාමේ අගනුවරට පැමිණියේ හමුදා පාලකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමටය. ඇමෙරිකන් නියෝජිතයන් එම අවස්ථාවේදී ද හමුදා පාලකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීමක් කළේ, අත්අඩංගුවේ පසුවන ජනාධිපති බසූම් වහා නිදහස් කර ඔහුට යළි බලය ලබා දෙන ලෙසය. 

හමුදා පාලකයෝ එම ඉල්ලීමට අවතන නොවූහ. සාකච්ඡා අසාර්ථක විය. සාකච්ඡා අසාර්ථක වෙද්දී, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මාධ්‍ය හමුවේ කියා සිටියේ, රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්, ‘අවස්ථාවෙන් ප්‍රයෝජන’ ගනිමින් නයිජර් අර්බුදයට මැදිහත් වී, නයිජර් රාජ්‍යය අස්ථාවර කිරීමට පිඹුරුපත් සකස් කරන බවය.

එසේ වුවත්, ජූලි 26 වැනිදා හමුදාව බලය අල්ලා ගනිද්දී, වැග්නර් කුලී හේවායන් ඊට සම්බන්ධ නොවුණු බව ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළේය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට අනුව, ‘වැග්නර්’ කුලී හේවායන්, නයිජර් අර්බුදයට මැදිහක් වී ඇත්තේ හමුදාව බලය අල්ලා ගැනීමෙන් අනතුරුවය. 

‘වැග්නර්’ යනු රුසියන් හමුදාවට අයත් අතිරේක බලඇණියකි. අප්‍රිකා රටවල් බොහොමයක මොවුන් ක්‍රියාත්මකය. රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගයේදී යුක්රේනයේ නැගෙනහිර පළාත් අත්පත් කර ගැනීමට රුසියන් හමුදාවට සහාය දුන්නේ ‘වැග්නර්’ බලඇණියයි. 

වැග්නර්’ බලඇණියේ ප්‍රධානියා යෙගනි ප්‍රිගෝෂින් ය. මීට මාස කීපයකට පෙර, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදාවේ ඉහළ නිලධාරීන් අතරේ මත ගැටුම් පැවැතිණි. ‘වැග්නර්’ සාමාජිකයන් රුසියාවේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූයේ එම මත ගැටුම් දුරදිග යෑමෙනි. කෙසේ නමුත් ‘වැග්නර්’ සාමාජිකයන් සහ රුසියන් රජය අතරේ පැවැති එම අර්බුදය මේ වනවිට අවසන් වී තිබේ. නයිජර් රාජ්‍යයේ අසල්වැසියන් වන මාලි සහ බුර්කිනා ෆාසෝ යන රාජ්‍යවල ද හමුදා කුමන්ත්‍රණ සිදුවී හමාරය. බලයේ සිටින්නේ හමුදා පාලකයන්ය. 

මාලි ද අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. මාලි හමුදාව බලය අල්ලා ගනිද්දී, ප්‍රංශ රජය, මාලි රාජ්‍යයේ රඳවා සිටි ප්‍රංශ සොල්දාදුවන් යැවුවේ නයිජර් රාජ්‍යයටය. නයිජර් කුමන්ත්‍රණයෙන් පසු එම සෙබළුන්ට කළ යුත්තේ කුමක්දැයි ප්‍රංශ රජය තවම තීරණය කර නැත. ඇමෙරිකන් මෙන්ම ප්‍රංශ හමුදා ද, නයිජර් රාජ්‍යයේ රැඳී සිටින්නේ අප්‍රිකා කලාපයේ සාමය තහවුරු කරමින්, අල් කයිඩා ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වලට සහාය දීමටය. 

නයිජර් හමුදාවට සහාය දෙනවා යැයි ‘වැග්නර්’ බලඇණියට ඇමෙරිකාවත් ප්‍රංශයත් චෝදනා කරද්දී, වැග්නර් ප්‍රධානී ප්‍රිගෝෂින් ඊට පිළිතුරු දුන්නේය. තම කණ්ඩායම සැමවිටම යහපත, යුක්තිය සහ ස්වෛරීත්වය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රිගෝෂින් එම අවස්ථාවේදී අවධාරණය කළේය. තම කණ්ඩායමේ සහාය නයිජර් හමුදා ප්‍රධානීන්ට අවශ්‍ය නම් ඕනෑම වේලාවක ලබා දීමට ද ප්‍රිගෝෂින් කැමැත්ත පළ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, තවත් ‘වැග්නර්’ සාමාජිකයන් 1,500 ක් අප්‍රිකා කලාපයට ගොස් ඇති බවය. ඔවුන් නයිජර් රාජ්‍යයට ගිය බව තවමත් තහවුරු වී නැත. 

‘වැග්නර් සිත්පිත් නැති කුලී හේවායන් කණ්ඩායමක්. ඔවුන් යුද අපරාධකරුවන්. ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන් අප්‍රිකානු රටවල් බොහොමයක් අස්ථාවර කර අවසන්. රුසියාව, වැග්නර් සාමාජිකයන් යොදා ගන්නේ රටවල් අස්ථාවර කිරීමටයි. හොඳම උදාහරණය ලිබියාව සහ යුක්රේනයයි. දැන් ඔවුන් නයිජර් රාජ්‍යයට ඇස ගසාගෙන ඉන්නවා. සැකයක් නැහැ. රුසියාවේ කැමැත්තට අනුව, ඔවුන් නයිජර් රාජ්‍යය අස්ථාවර කරාවි.’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් වැඩිදුර පවසා ඇත. 

෴ ලුසිත ජයමාන්න
   උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom