ලොකු අයියා


ලොකු අයියාගේ තාත්තා, මගේ ලොකු මාමාය. එහෙමත් නැත්නම් මගේ අම්මාගේ ලොකු අයියාය. ඒ නිසාම ලොකු මාමාගේ එකම පුතා මට ලොකු අයියා විය.
ලොකු මාමා අමුතු චරිතයකි. ඔහුට හරිහමන් රැකියාවක්, ස්තිර ආදායම් මාර්ගයක් තිබුණේ නැත. එහෙත් ඔහු අත යහමින් මුදල් ගැවසුනේය. ඒ නිසාම ඔහුට හැම තැනම ගෑණුය.
වරෙක ඔහු කුඹුරු ගොවිතැන් කළේය. තවත් වරෙක හේන් ගොවිතැන් කළේය. කාලයක් අනුරාධපුර පැත්තේ තේ කඩයක් දමා ගෙන සිටියේය.
තලවකැලේ හෝ හැටන් ගිහින් තේ ෆැක්ටරිවලින් ලබා ගන්නා ස්වීපින්ග් sweeping තේ කුඩු (බිම අතු ගා එකතු කරන තේ කුඩු) එකතු කර කුඩාවට පැකට් කර කඩ වලට දමයි.

ලොකු මාමා ගැන මගේ ඇති පිරිසිදු මතකයක් නම්…. ඔහු කාලයක් මැණික් බිස්නස් කළේය. සුදෝ සුදු අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී නගරයේ කොණක , තවත් එවන් පිරිසක් වට කර ගෙන කුඩා ගල් කැබලි හිරු එළියට අල්ලා පරීක්ෂා කරන ආකාරයයි.

අපේ ලොකු මාමාට ගිය ගිය තැන ගෑණුය. සහ ලොකු මාමාට දාව නා නා ප්‍රකාර ළමයින්ය. ඔහු නීත්‍යානුකූලව විවා වී සිටි බවක් මා නොදනී. හිටි හැටියේම දවසක් , අවුරුදු 12 ක විතර, ඇට්ටර පාට, යාන්තම් දැළි රවුලු ඇඳුනු කොලු ගැටයෙක් එක්ක ආවේය.
“මේ කාත් කවුරුවත් නැති ළමයෙක්. මං එක්ක ආවා. මම වියදම දරන්නම්. ටික දවසක් මෙහේ හිටපුවාවෙ..”
ලොකු අයියා අපේ ගෙදරට ආවේ එහෙමය. ලොකු අයියා , අපේ ලොකු මාමාට කතා කළේ මුදලාලි කියාය.
” අම්මේ.. අර ළමය අපෙ ලොකු අයිය වගේමයි. නහය ,කට…” අපේ අම්මා, අත්තම්මා සමඟ කීවාය.
” අනෙ මගෙ කට..මං නොදන්න ලොකු අයිය.. ආයෙ දෙකක් නෑ.. ඕකගෙම තමා”
ලොකු අයියා මට වඩා කරුණු -කාරණා දනී. වැඩි පුරම ඒවා අස්මජ්ජාති වැඩය.

පොඩිහාමිනේ; අඩි එක හමාරක විතර ඔබේ තීරය හිටින්නට රෙද්ද හැට්ටය ඇඳි මැදිවියේ කාන්තාවකි. ඇයගේ ජීවිකාව වූයේ රා විකිණීමය. රා විකිණීම නීතියෙන් තහනම්ය. එහෙත් සමහරදාට පොළිස්කාරයින්ද පොඩිහාමිනේගෙන් රා සප්පායම් වී යනු මා දැක ඇත. එතනින්ම රා බී යන කෙනෙක් විසින් යැවුනු පෙස්සමක් නිසා ඉඳ හිට රා ඇල්ලීමට පොලිසිය කඩා වදී. ඒ නිසාම පැසෙන්නට දැමූ තෙලිජ්ජ මුට්ටි හැංගුවේ යාබදව වූ අපේ ඉඩමේය.
ඉඩමේ සුද්ද නොකළ කොණක අඩි 1x1x1 තරම වලවල් කපා මැටි මුට්ටි වල දමා ඊ මත්තෙන් කෝටු බෝටු දමා වසංගා ඒ පැහෙන්නේ “රා” බව මට කියා දුන්නේ ලොකු අයියාය. දිනපතාම වාගේ මේ මුට්ටි වලට හුජ්ජ කිරීම අපේ රහසිගත විනෝදාංශයක් විය.

ලොකු මාමාද පොඩිහාමිනේගේ කස්ටමර් කෙනෙකි. දිනක් පොඩිහාමිනේගේ කඩේ පැත්තෙන් රංඩුවක ගෝෂාවක් ඇසුනි.
” අපේ එකත් ගියාද දන්නෙ දන්නෙ නෑ හුලිජ්ජ බීල එන්න”

මට නිතරම පාට් දැමූ ගමේ චණ්ඩි කොල්ලෙකු වූ විජේපාලයා දැන් මට බිං කුණ්ඩෙකි. දවසක් විජේපාලයා මගේ කණ මිරිකනු දුටු ලොකු අයියා…” ඒයි.. අත තියන්නෙ නෑ.. මූ මගෙ මල්ලී”

බල්ලන් දෙන්නෙක් එකට ඇලී සිටිනු මීට පෙර මා දැක ඇතත් , මට ඒ ගැන තේරුමක් තිබුණේ නැත. ලොකු අයියා ඒ ගැන සහසුද්දෙන්ම කියාදී ,
” ඔහොම හිටපං , මරු වැඩක් කරමු” පොල්කට්ටකට භූමිතෙල් ටිකක් ගත් ලොකු අයියා හරියටම එල්ලය බලා පූට්ටුවට දමා ගැසීය.
” දුවපියව් යන්ට.. මහ එකා වගේම හැදෙනවා පව්කාරකං කරන්ට” අත්තම්මා අප එලවා ගත්තාය.
මම මාමයිට් රසයට අදත් එදාත් කැමතිය. ලොකු අයියාට නම් මාමයිට් අප්පිරියාය. අත්තම්මා දවසක් ලොකු අයියාට මාමයිට් කෝප්පයක් හදා දුන්නේ සීනි හැඳි දෙකකුත් දියකර දමාය. ලොකු අයියා එය බීවාද නැද්ද මා නොදනී.

ලොකු අයියා , ලොකු මාමාගේම දරුවෙක් බැව් දැන- දැනත් ,බත් බෙදන විට අත්තම්මා , ” පව් , අම්ම අප්ප නැති අසරණයා” කියා ඔහුට වැඩියෙන් මාලු පිනි බෙදයි. එහෙත් පිට අයට ලොකු අයියා හඳුන්වා දුන්නේ ” මගෙ ලොකු එකාගේ … ” කියලාය.
“පුතේ.. උඹට අම්ම මතක් වෙන්නෙම නැද්ද?” අම්ම ඉන්නෙ කොහෙද කියල දන්නවද?”
” අම්ම ඉන්නව. අනුරාධපුරේ. සිල් මෑණි කෙනෙක් වෙලා.. තාත්තගෙන් ගුටි කාලම ජීවිතේ එපාවෙලා..
දවසක් ගැහුවා අම්මගෙ දන්ත ධාතුන්වහන්සේල දෙනමක් එළියට වඩින්ට.. ලොකු අයියාගේ කතා ඒ වාගෙය.
ලොකු අයියා බලා ගෙන ඉඳිද්දීම ලොකු උනේය. කට හඬ වෙනස් උනේය.
” උඹ රැවුල කපන්ට පටන් ගත්තද ? ඔය මූණෙ කුරුලෑත් ඇවිල්ල. ” – ඒ අපේ අම්මා.
” වයසෙ වැරැද්ද නැන්දේ..(රෙදි වැලේ එල්ලා තිබුණු අපේ නංගීගේ යට ඇඳුම් දෙස බලමින් )ජංගියකින් මූණ පිහ දැම්ම නං හරි. ඒක තමා එකම බෙහෙත”
” මොකද්ද උඹ කිව්වේ? මේකා ගෙදර තියා ගන්නත් බයයිනෙ..”

අප පදිංචිව සිටියේ ලොකු මාමාට අයත් ඉඩමකය.
” මේ වස්වත්තියා මේවා මූට එහෙම ලිව්වොත් අපිට පාරට බහින්ට තමා වෙන්නේ”
පොඩි මාමා අපේ දිහා ආ වෙලාවක.. “ඈ බං.. උඹට එහෙ මාමලා එහෙම නැද්ද? මෙහෙ ඉඳල වැඩක් නෑ. එහෙ ගිහින් මාම කෙනෙක් යාළු කර ගනින්. මාමට දුවල එහෙමත් ඇතිනේ”

ලොකු අයියා ටවුමේ ලොතරැයි විකිණුවේය. හෝටලයක වේටර්කමක් කළේය. හිටි ගමන් අතුරුදන් වූ ඔහු අවුරුදු 10 කින් විතර අපේ ගෙදර ආවේය.
සුදු අත් දිග කමිසයක් ඇඳ සුදු දිග කළිසමකින් සැරසී ඉතා පිරිසිදුවට, සාර්තක පෙනුමෙන් සිටි ලොකු අයියා උපැස් යුවළක්ද පැළඳ සිටි අතර ඔහු අත බ්‍රීෆ් කේසයක්ද විය.
” නැන්දේ .. මම ලබන මාසෙ බඳිනවා. කට්ටියම එන්න ඕන”
” පුතා දැන් මොනවද කරන්නේ? හරි සරු පාටයි”
” මම දැන් ඩිස්පැන්සරියක් කරනවා”
“පුතා…?”
” ඔව්.. මම ඩොක්ට කෙනෙක්”
ලොකු අයියාගේ මුහුණද වෛද්‍යවරයෙකුගේ මෙන් ඉතා බැරෑරුම් ස්වරූපයක් ගෙන ඇත. කතා කරන අතර තුර විටින් විට කණ්ණ්නාඩිය යටින් බලයි.
” ආයුර්වේද?”
“නෑ බටහිර.. ඉංග්‍රීසි”
ලංකාවේ ක්‍රමයට නම් බටහිර වෛද්‍යවරයෙකුවීමට 9 පන්තියේ සිට විද්‍යා විෂයන් හදරා, සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට රසායන -ජීව විද්‍යා හදාරා, වෛද්‍ය විද්‍යයාලයට ගොස් ඉනුත් එතරව, වසරක රෝහල් පුහුණුවීමේ කටයුතු සපුරා තිබිය යුතුය.
“අයියා…?”
මම සාන්ත ජෝන් ගිලන් රත හමුදාවේ වැඩ කලා. සිරීපාදෙ කාලෙට සහ පොසොන් කාලෙට ප්‍රතමාධාර කඳවුරුවලට ගිහින් ඒ වැඩ කෙරෙන හැටි ඉගෙන ගත්තා..ඊට අමතරව පත්තර සඟරාවල ලිපි කියවා ඉගෙන ගත්තා”
” අයියා ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ. අවුරුදු 15ක් 20ක් හිරේ යන්න වෙයි.
මගේ ඩිස්පැන්සරිය තියෙන්නෙ කැකිරාවෙ. ඔය දුප්පත් ගෑණු මිනිස්සු එන්නෙ. බේත් ගන්න. උණට-කැස්සට.. ලොකු ලෙඩක් ආවාම ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට පිටත් කරනවා.
ගොඩක් ලෙඩ මනසත් එක්ක බැඳුනු ඒව.. බඩ මිරිකල, නාඩි බලල, නලාව තියල, විටමින් පෙති අහුරක් දුන්නම උන්ට සනීප වෙනවා.
අපි හැම දෙනාම ඔහුගේ විවාහ මංගල්‍යයට ගියෙමු. මංගල සභාවේ කීප දෙනෙකුම කතා කරමින්. උගත් වෛද්‍යවරයෙක් තම පවුලට සම්බන්ධ කර ගන්ට ලැබීම වාසනාවක් බව කියා සිටියෝය.

ලොකු අයියා සහ අප අතර සම්බන්ධතාවය නැවතත් ගිලිහී ගියේය. ඒ දිගු කාලයකි. වසර 45 කට පසු මට ලොකු අයියා ගැන සොයා බැලීමට ආසාවක් ඇතිවිය.
ලබන මාසේ ලංකාවට ගියාම යනවා එයා ගැන හොයල බලන්න,
මගේ නංගී.. ” අයියේ එයා මොන තත්වයක ඉන්නවද දන්නෙ නෑ. ජීවත් වෙනවද දන්නෙත් නෑ. ඉන්නවා නං වයස 70 ක් විතර. මෙහේ ඇවිල්ල නතර වෙයි. මටත් දැන් අමාරුයි. මම අත්තමගෙ කැත කුණු අත ගෑව. ඊට පස්සෙ තාත්තගෙ .. ඊට පස්සෙ අම්මගෙ.. මට නිදහසක් නැද්ද ?”
නංගී හරි.. මම ඒ ගමන අත් ඇරල දානව.

නිමි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to ලොකු අයියා

  1. DGM බස්සා පවසයි:

    //අයියේ එයා ….ඉන්නවා නං වයස 70 ක් විතර. මෙහේ ඇවිල්ල නතර වෙයි. මටත් දැන් අමාරුයි. මම අත්තමගෙ කැත කුණු අත ගෑව. ඊට පස්සෙ තාත්තගෙ .. ඊට පස්සෙ අම්මගෙ.. මට නිදහසක් නැද්ද ?”//

    අපොයි දෙයියනේ! මේක ටික කියෙව්වාම හිත කීරී ගැහුනා.
    http://nidigepanchathanthare.blogspot.com/2023/08/blog-post_7.html

    ස්තූතියි, ලිව්වට.👌

  2. kolamba gamaya පවසයි:

    හොඳ කතාවක්. තිත්ත ඇත්ත

ප්‍රතිචාරයක් ලබාදෙන්න