HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කවි ලොව පෙරළියක් කළ ‘සුදෝසුදු’ට 80යි!‍

ගොඩ මඩ දෙකම සරුසාරය     පලබරය 
කටුරොද සම්මාන තරමක         පිටිසරය 
ඒ ගම මැදින් ගලනා ගඟ           මනහරය 
කඩ මණ්ඩිය පිහිටියේ ගම      කෙළවරය (1 කවිය) 

මේ කවියෙන් කියැවුණු කටරොද ගම්මානය සිතින් මවා නො ගත් දරුවකු අපේ කුඩා කාලයේ සිටියේ නැත. ඒ තරමටම මේ කවිය අප හැමෝටම සමීපය. දසක අටකට පමණ පෙර සංස්කෘත භාෂාවෙන් ණයට ගත් වදන් පමණක් නොව උපමා උපමේයයන් පවා යොදා ගනිමින්, සිය බහුශ්‍රැත බව පළ කරමින්, කවි ලියූ කවියන් සිටි සමයක මෙතරම් සරල බසින් කවි කතාවක් ම සම්පාදනය කිරීම එක්තරා ආකාරයක විප්ලවයකි. සුදෝසුදු කවි කතාවෙහි ඇති සරල බව ඇදැහිය නොහැකි තරම්ය. එහි වදන් ගැළපීම කෙතරම් සරල සුගම ද යත් වරක් ඇසූ පමණින් හැම පදයක් ම මතක හිටින්නේ ය. 

‘සුදෝසුදු’ සම්පාදනය කළ කෘතහස්ත කවීන්ද්‍රයා කේයස් නම් ආරූඪ නාමයකින් පෙනී සිටින්නේ ‘සුදෝසුදු’ කෘතිය තුළින් ම එය හඳුන්වා දීමට විය හැකියි. කේයස් නිර්මාණ ශක්තියෙන් පමණක් නො ව තැනට ඔබින ලෙස පදයත් රසයත් යෙදීමෙහි මහත් පුරුද්දක් ඇත්තෙකු බවත්, ගමේ ඕපාදූප කතාවෙහි මෙන් ම සෞන්දර්ය කථනයෙහි දී ගත් මග දෙස බලන විට නම් කෙසේ වුව ද ඔහුගේ කවීත්වය ආරූඪ නාමයෙන් සඟවා ලන්නට නො හැකි වූ බවත් පෙනේ. 

කේයස්ගේ  'සුදෝසුදු' කවි කතාවේ කවරය.

කේයස්ගේ මේ රසවත් කතාව උසස් අදහසක් උඩ රචනා කරන ලද්දකි. මෙය කතාවට පාදක කර ගත් සංකල්පය ඔහු ලබා ගෙන ඇත්තේ ඉංග්‍රීසි ජාතික මහා කවි ටෙනිසන් සාමිවරයාගේ ඊනොක් ආඩ්න් (Enoch Arden) නම් 1864 පළ කළ කෘතියෙනි. ඒ කතා සැකිල්ල සාමිවරයා ලබා ගෙන ඇත්තේ ඔවුන්ගේ කිවි මිතුරු සමාජයේ සිටි තෝමස් වුල්නර්ගෙනි. ඔහු ඒ කවීන් අතර සිටි එකම මූර්තිශිල්පියාය. ඒ කතාවට පදනම් වී ඇත්තේ වෙන් වී ගිය යමකු සත් වසරක් නො පැමිණියේ නම් ඔහු මිය ගියේ යැයි සලකා කලත්‍රයාට යළි විවාහ වීමට හෝ ඔහුගේ උරුමය හිමි කර ගැනීමට හෝ නීතියෙන් දී ඇති අවසරයයි. අද එය ඊනොක් ආඩ්න් නීතිය (Enoch Arden Law) ලෙසින් හැඳින්වෙයි. 

සාගර පලන්සූරිය කවියා

ටෙනිසන් සාමිවරයාගේ ඉනොක් ආඩ්න් කතා සාරාංශය මෙසේය: ධීවරයකු වූ ඉනොක් ආඩ්න්ගේ රැකියාව හදිසියේ අහිමිවී නිසා එකල ඒ සමාජයේ පිළිගැනීම වූ කෙසේ හෝ දරුමල්ලන් රැක ගැනීම කළ යුතු නිසා වෙන රැකියාවක් නොවූයෙන් මිතුරු නැව් කප්පිතෙකු සමග වෙළඳාමේ යාමට තීරණය කරයි. දරු තිදෙනා සහ බිරිඳ ඇනී නිවසේ සිටිය දී නැව් ගත වූ ඔවුන් දෙදෙනා එහි පාළු දූපතක අතරමං වන අතර ඔවුන් ගැන කිසිදු ආරංචියක් ඇනීට නො ලැබේ. දස වසරක් ගෙවී ගිය පසුත් ඉනොක් ආඩ්න් ගැන ආරංචියක් නොවූයෙන් ඇනීගේ පාසල් සමයේ මිතුරකු වූ පිලිප්ස් ඇයට යළි විවාහ ‍යෝජනාවක් ගෙනෙයි. ඇය තීරණයක් සඳහා තවත් වසරක් කල් ගනියි. වසරක ඇවෑමෙන් යළිත් ඔහු ඒ යෝජනාවම කරයි. එවර ඇය ඒ වතාවෙත් සය මසක් කල් ගනියි. නැවත පිලිප් එන්නට කලින් සිය සැමියා ජීවතුන් අතර සිටින්නේ දැයි ඉඟියක් දෙවියන්ගෙන් ඉල්ලා සිටි ඇයට සිහිනෙන් ඔහු දූපතක සිටිනු පෙනේ. ඔහු සිටින්නේ දෙව්ලොව යැයි අනුමාන කළ ඇය පිලිප්ස්ට කැමැත්ත දෙයි. 

ඉන්පසු පිලිප්ස් හා ඇනී විවාහ වී සතුටින් ජීවත්වෙති. තවත් මාස කීපයකට පසු වසර 12ක් තිස්සේ අතුරුදන් ව සිටි ඉනොක් ආඩ්න් දිවි බේරාගෙන සිය රටට එයි. මහත් අමාරුවෙන් බිරිඳ හා දරුමල්ලන් සොයා එන ඔහුට දකින්නට ලැබෙන්නේ ඔහුගේ එක් දරුවකු මියගොස් ඇති අතර, ඔහුගේ පාසල් මිතුරකු වූ පිලිප්ස් ඇනී හා විවාහ වී ඇයගෙන් දරුවකු ද ලබා ගෙන ඔහුගේ අනෙක් දරුවන් ද සමග සතුටින් සාමයෙන් ජීවත්වෙන බවයි. ඔවුන්ගේ ජීවිත අවුල් වෙනවා දකින්නට අකමැති වන ඔහු තමා ජීවතුන් අතර ඉන්නා බව හෙළිදරවු නොකර ඔවුන් මඟ හැර යයි. අවසානයේ දී ඔහුගේ හදවත නතර වෙන්නේ ඒ වියෝව දරා ගත නො හැකිව ය. 

සාගර පලන්සූරිය කවියා කළල් ඇල්ලේ 
ආනන්ද සාගර (කේයස්) හිමියන් ලෙස සිට උපැවිදි වූ පසු.

කේයස්ගේ සුදෝසුදුවෙහි කතා සාරාංශය මෙසේ ය: කටුරොද ගම්මානයේ විසූ ගැමියන් තිදෙනකු වටා ගෙතුණු මේ කතාවට කේයස් පසුබිම ලෙස යොදා ගෙන ඇත්තේ දෙවැනි ලෝක යුද සමයයි. එසේ ම මැලේරියා වසංගතය මෙරට පැතුරුණු යුගයයි. අදිරියන්, ටිකිරිබණ්ඩා හා හීන් මැණිකේ පාසල් වියේ සිට දැන හැඳින සිටි ආදරයෙන් ඇසුරු කළ මිතුරන්ය. වැඩුණු පසු අදිරියන් සිය ආදරය ප්‍රකාශ කර හීන්මැණීකේ විවාහ කර ගනියි. ටිකිරිත් ඇයට ආදරය කළ ද අදිරි ඉස්සර වූ නිසා නිහඬ වෙයි. අදිරි හා හීන්මැණිකේ සතුටින් දිවි ගෙවන අතර ඔවුන් පුතකු උපදියි. අවාසනාවක මහත ඔහු උපතින්ම අන්ධයෙකි. ඔවුන්ගේ ආදරය නො අඩුව පුතුට හිමි වෙයි. ඒ අතර අදිරිට මැලේරියාව වැළ‍ඳ‍ෙයි. ඉන් ඔත්පළ වූ ඔහුට වෙනදා මෙන් වැඩ කළ නො හැකි වෙයි. පුතත් බිරිඳත් කෙසේ හෝ ජීවත් කළ යුතු නිසා බර වැඩ අතහැර කළ හැකි වැඩක් සොයා නගරයට යයි. එහිදී ඔහුට හිමිවූ එකම රැකියාව යුද සේවයයි. දුබල ගත යළි පණ නැඟුණු අතර නිලධාරින්ගේ සිත් දිනා සිටි ඔහුට පිටරට යුද සේවයට යාමට ලැබෙයි. මේ අතර හීන් මැණි‍කේ කඩයප්පන් තනා විකුණා නෙත් අඳ දරුවාත් සමග ජීවත්වෙයි. 

අදිරි ගැන ආරංචියක් නැතිව වසර අටක් ගත වෙයි. අදිරි මියගිය බවට නොයෙක් ආරංචි එයි. ඒත් ඒවා හීන්මැණිකේ විශ්වාස නො කරයි. ඒ අතර ටිකිරි දවසක හවසක ඒ ගෙය අසලින් යද්දී අඳ පුතු දකියි. ඔහු හා මිතුරු වෙයි. හැමදාම හවසට දරුවාට තෑගි බෝග ගෙනත් දෙයි. දරුවාට තෑගි ගේන අමුත්තා කවුරුන්දැයි දැක ගන්නට රහසේ රැක සිටි මැණිකේට ඒ ටිකිරි බවට දැක ගන්නට ලැබුණා. මැණිකේ දරුවා හදා ගන්නට විඳින දුක දැක අදිරි නැවත නො එන බව කියා ටිකිරි ඇයට විවාහ යෝජනාවක් ගෙනාවා. අදිරි මියගිය බව විශ්වාස නොකළ ඇගේ තීරණය දීමට ඇය වසරක් කල් ඉල්ලුවා. ඔහු ඊට එකඟ වුණා. වසරක් ගෙවුණු පසු යළිත් ඔහු යළිත් ඒ ඉල්ලීම කළා. ඇය තවත් වසරක් කල් ඉල්ලුවා. ඒ වතාවේ වසරක් ගෙවුණු තැන ඔහු ඇය සොයා ගියේ තවත් වසරක් කල් ඉල්ලුවොත් ඒකත් දෙනවා කියා සිතා ගෙනයි. ඒත් ඇය එය පිළිගත්තා. ඉන්පසු ඔවුන් එක් වුණා. කලක් ගෙවුණා. දුබල සිරුරක් ඇති අමුත්තෙක් කටුරොද ගම්මානෙට ආවා. ඒ අදිරි බව කවුරුනුත් අඳුනා ගත්තේ නෑ. ටිකිරිත් මැණිකේත් අඳ පුතුත් සතුටින් සිටින බව දුටු අදිරි තමන් කවුරුන්දැයි හෙළි කළේ නෑ. ඔහු ගැන හෙළි වුණේ මරණින් පසුවයි. ඒ මැණිකේ දුන් පුතුගේ කෙස් රොදෙන්. 

සමාජයේ ඉතා දුලබ චරිතාංගයක් විදහා දක්වන මෙය මනෝවිද්‍යාත්මක ධර්මතාවක් පළ කරන්‍නකි. රාගීය මාත්සර්යයෙන් තොර සුන්දර චරිතයක් ව්‍යක්ත ලෙස ව්‍යවහාර සරල සිංහල භාෂාවෙන් රචනය කළ කේයස්ගේ ‘සුදෝසුදු’ ඊට අභාසය සැපයූ ඉංග්‍රීසි මහා කවි ටෙනිසන්ගේ ඊනොක් ආඩ්න් කෘතියටත් වඩා මානුෂීය ගුණාංග ප්‍රකට කරන්නකි. 

කේයස් අකුරු තුනකින් තමන් හඳුන්වා දෙමින් ‘සුදෝසුදු’ ලියූ අතර ඊට පෙරවදනක් ලියන ඔහුගේ මිතුරු වල්පොළ රාහුල හිමියන් ද ‘රාහුල’ යන අකුරු තුනෙන් තමන් හඳුන්වා දෙමින් මෙසේ කියයි: 

“මෙතෙක් මෙ බඳු කවක් සිංහලෙන් ලියැවී ඇති බවක් දැන ගන්නට නැත. කථාකාව්‍ය සංඛ්‍යායෙහි ලා ගිණිය හැකි කෘතීන් ඇතත්, ඒ හැම තැනක ම කථාව කියනුවට වඩා කිවියාගේ පරමාර්ථය වූයේ, කථාව දඩමීමා කොට ගෙන, එයට කිසිත් සම්බන්ධයක් නැති අනවශ්‍ය වර්ණනයන්ගෙන් තමාගේ කවීත්වය ප්‍රදර්ශනය කිරීම බැව් පෙනේ. කේයස් සිය කවීත්වය කථාවට කැප කරයි. සුදෝසුදුයෙහි චරිත මෙන්, කිවියා ද කෙළේ ආත්ම පරිත්‍යාගයකි. ඔහුගේ කවීත්වය නම් කිවිබැව් පෙන්වන්නට තැත් නො කිරීම යි.

“සුදෝසුදුයෙහි ඇති ප්‍රධාන ලක්ෂණය නම් එහි ඇති සාරල්‍යය යි. අමායාවි ගැමියන් තිදෙනෙකුන් තුළ පැවති මාත්සර්යයනේ තොර වූ, අකලංක ප්‍රේමය පිළිබඳ මේ කතාව ඊට ම යෝග්‍ය වූ සරල භාෂාවෙන් කියැවෙයි. ඔවුන්ගේ චරිතයෙහි කිසි තැනෙක කිළුටක් මායාවක් නැත.” රාහුල හිමියන් කියති.    

මේ නව කවිකතාව එලිසමයේ දී පවා පෙරළියක් කළ තැන් ඇත. කථාව කියා ගෙන යාමේ දී එහි ගලා යාම බි‍‍ඳ‍ෙතැයි සිතු විට එලිසමය බි‍ඳින්නට පවා කවියා පෙළඹෙයි. 

හෝදන කොට උදේ මම ළිඳ ලඟ           මූණ 
ආවා රෙදි ගේන අර මිනිහා                    චීන 
දුටුවලු එහිදි ඔහු අදිරිගෙ මළ    සොහොන 
අහක දමන්ටද උගෙ කියමන             කෝම? (69 කවිය) 

නෙත් අඳ පුතා හා මව අතර සංවාදය ඉතාමත් සංවේදී අයුරින් ඉදිරිපත් කර තිබේ. 

නෙත් අඳ පුතා දවසක් මව වෙත        පැමිණ 
සිප ගනිමින් නොපෙනෙතත් මවගේ මුහුණ 
“අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන” 
කිව්වම ඈ විතාළා මොකදැයි              කරුණ (105 කවිය)
 
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි         කීවා 
පෙනෙනවා දකිනවා කියනා                  ඒවා 
මොනවද අම්මෙ මම අහගන්නට        ආවා 
තෝරා දෙන්න මම දන්නේ නැහැ        මේවා (106 කවිය) 

මල්වල හොඳ සුවඳ මිස පාටක්       කොහිද 
ඒවා මොලොක් බව තේරෙනවා         මට ද 
එලියක් කියා මොකවත් හෙම තියෙනවාද 
මට තේරුම් ගන්ට අ‍ම්මේ බැරි       මොකද 

උණුසුම දැනේ දහවල් මට රැයට                         වඩා 
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට           වඩා 
මට නො දැනෙන්නෙ මම කණ කොලුවෙකු ලු කුඩා 
ලොකු වෙන කොට දැනේවිද මම අසමි              අඬා 

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති             මෙලෙක 
මට දැනෙනවා එය අල්ලන හැම               විටෙක 
පාට කියා ඇත්නම් ගතියක් ඇත්නම්     මලෙක 
අම්මේ අත නොගෑවෙන එක තමයි              දුක

ලස්සන කියන දෙය නැහැයට වත්           කණට 
මගේ දිවට හරි මගෙ                        අතපයවලට 
නොදැනේනේ මොකද තෝරා දෙන         කලට 
ඉවසා ගෙන ඉන්ට අම්මේ බැරිය                   මට 

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු                    සලා 
මට දැනෙනවා යයි මගෙ අත දිගට              ගලා 
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු                කළා 
එන්ටද ගොසින් බොරු කී කොල්ලන්ට      තලා (111 කවිය) 

බයිරන් සාමිවරයාගේ ‍ඊනොක් ආඩ්න් කෘතියෙහි ඇනී පිලිප්ස්ගේ සිත පිරික්සා බලනු පිණිස ඔහුගේ යෝජනාවට පිළිතුරු දීම කල් දමයි. එහෙත් හීන් මැණිකේ ටිකිරිගේ යෝජනාවට පිළිතුරු දීමට කල් ගත්තේ ඇනී මෙන් ස්ත්‍රී මායමක් දැමීමක් ලෙස නොව අවංකවම අදිරියන් පිළිබඳව ඇති ආදරය නිසා ය. ඔහු පිළිබඳව තවමත් ඇය තුළ පැවති දැඩි බලාපොරොත්තු නිසා ය. අදිරි ගැනවත් ටිකිරි ගැනවත් හීන් මැණිකේ තුළ පැවති ආදරයෙහි වෙනසක් නොවූ බැව්, ඔවුනොවුන් කතා නො කරන්නාක් මෙන් ම කවියාද ඒ ගැන කිසිවක් නො කියයි. එහෙත් ඔවුන්ගේ එක්වීම පිළිබඳව දෙ තැන්හී එක ම කවියක් යෙදීමෙන් ඊට වඩා ව්‍යක්ත ලෙස එය පැහැදිලි කරයි. එහි වෙනස් වී ඇත්තේ අදිරියන්ගේ ගෙයි යන්න වෙනුවට ටිකිරිගෙ වලව්වේ යෙදීම පමණයි. සතුට අතු පැලට හා මාලිගාවට වෙනසක් නැතැයි නොකියා කියයි. ගෙයි දී වුවත් වලව්වේ දී වුවත් රන්රසයන්ගේ එක්වීමෙහි වෙනසක් වෙයිද? 

මින් පසු ගත වුනේ එක් සතියක්         පමණී 
දැන් අදිරියන්ගේ ගෙයි රූපත්            තරුණී 
උන් දෙන්නාට කීවොත් උවමක්         පැරණී 
රන් රස එකට එක් වූවට නැත          දෙවැනී (34 කවිය)
 
මින් පසු ගත වුනේ එක් සතියක්       පමණී 
දැන් ටිකිරිගෙ වලව්වේ රූපත්          තරුණී 
උන් දෙන්නාට කීවොත් උවමක්        පැරණී 
රන් රස එකට එක් වූවට නැත          දෙවැනී (117 කවිය) 

ඊනොක් ආඩ්න්හී වූ - 

And when the day burried him the little port 
Had seldom seek a costlier funeral 

යන අවසන් දෙ පෙළෙන් ටෙනිසන් සාමිවරයා කෙළේ සමබලව කහ දැමීමකි. එහි ඇති අවංක අව්‍යාජ සරල ප්‍රේමයටත් චාං ජීවිතයටත් ඉන් කැළල් විය. එහෙත් කේයස්ගේ සුදෝසුදුවට එබඳු කිළුක් නො වී ය. ටිකිරිබණ්ඩාර රටට පෙන්වන්නට ලොකු භූම දානයක් නො කෙළේ ය. එහෙත්.. 

වලව්වේ ඉදිරිපිට වත්තේ                            කොනක 
අදිරිගෙ සොහොන් කොත ලඟ තැනු    මල් පැලක 
මැණිකෙයි අඳ පුතුයි ටිකිරියි හැම               දිනෙක 
මල් පහන් පුදනු කාටත් බැලිය                         හැක (138 කවිය) 

“සුදෝසුදුවෙහි දැක්වෙන චරිතයන්ගේ පවිත්‍ර වූ නො කැළල් ප්‍රේමය ද, ගම්බද අව්‍යාජ අවංක ජීවිතය ද, ඒ ජීවිතයෙහි වූ ධාර්මික ශාන්තිය ද දිනපතා සවස පොල්තෙල් මැටි පහනක් දැල්වෙන මේ මල්පැලෙහි ගැබ්වී ඇත.” යනුවෙන් වල්පොළ රාහුල හිමියන් ඒ පෙරවදන අවසන් කොට තිබේ. 

මාර්ටින් වික්‍රමසිංහයන් ද සිය ‘ගම්පෙරළිය’ (1944) නවකතාවට මේ ඊනොක් ආඩ්න් උපක්‍රමය භාවිත කර ඇත. නන්දා සමග විවාහ වන ජිනදාස රැකියාවක් සොයා බිබිලේ යන අතර ඔහු වසර හතක් වන තෙක් ආපසු නො එයි. අන්තිමේ දී ජිනදාස මියගියේ යැයි තීරණය කරන නන්දා පියල් ගෙනා විවාහ යෝජනාවට කැමති වෙයි. ඔවුන්ගේ විවාහයෙන් පසු ජිනදාස මියගොස් ඇති බව නන්දාට දැන ගන්නට ලැබෙයි. කේයස්ගේ ‘සුදෝසුදු’ (1943) නිකුත් වී වසරකට පසුවයි, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ පළ වන්නේ. 

වසර 80ක් පිරීම නිසා ‘සුදෝසුදු’ කවි කතාව රස විඳින්නට ඔබටත් දැන් අවස්ථාව උදාවී තිබේ. අවශ්‍ය නම් ‘සුදෝසුදු’ ඇසුරෙන් තැනූ චිත්‍රපටයත් ඔබට යූ ටියුබ් නාළිකාවෙන් නරඹන්නට පුළුවන. 

‘සුදෝසුදු’ චිත්‍රපටයේ එන කවි කීපයක් අමරදේවයන්ගේ හඬින් මේ වීඩියෝවෙන්. 

  

- පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments