Wednesday, August 9, 2023

ගිනිගත් කඳාන

කඳානේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගිනිගත්තයින් පස්සේ තමයි අසල්වැසියන් හැර සෙසු මහජනතාව දැනගන්නේ ඒක තිබිලා තියෙන්නේ පුද්ගලික පදිංචිකරුවන්, පාසැල් සහිත ගමක කියලා. ඒ ගින්නෙන් අසල්වැසි නිවසක් පවා විනාශ වෙලා මාධ්‍යයට අනුව අවට පාසැල්වල දරුවන් 85කට වැඩි ප්‍රමාණයක් ශ්වසන අපහසුතාවලට ලක්වෙලා මහ විශාල කාලගෝට්ටියක් නිර්මාණය වෙනකම් එවැනි පරිසරයක ඒ කර්මාන්ත ශාලාව බොහොම නිරුපද්‍රිතව වැජඹුණේ කොහොමද?

සාමාන්‍ය ගෘහාශ්‍රිත පරිසරයක නැත්නම් residential area එකක කර්මාන්ත ශාලා, ගරාජ්, වෑල්ඩිං පොලවල්, සයිකල් වින්කල්, ආහාර නිෂ්පාදන, මොන්ටිසෝරි කිරීම නීතිවිරෝධීයි විතරක් නෙවෙයි ඒවා නිසා ගෘහස්ථ පරිසරයක තිබිය යුතු සෞඛ්‍යමය, පාරිසරික සහ මානසික සුවතාවයට සහ තුලනයට සිද්ධ වෙන හානිය අතිවිශාලයි. උදාහරණයකට ළං ළංව ගෙවල් පිහිටි පර්චස් 6-7-8-10 පරිසරයක එක ගෙදරක බ්ලෙන්ඩරයක් ගැහුවත් අනෙක් ගෙදරට ඇහෙනවා. නිකමට හිතන්න මුලු සතියක්ම මැරිලා මැරිලා ඇවිත් සති අන්තයේ දෙයියනේ කියලා නිදහසේ ඉඳලා පොතක් පතක් බලලා අඩුම ගානෙ දවල්ට කාලා පොඩි නින්දක් දාන්න හිතාගෙන හිටියම එහා ගෙදර මනුස්සයො ඒ සති අන්තයේම මහ පාන්දර ඉඳන් මොකක්හරි සද්ද බද්ද ගොඩක් එක්ක වැඩක් හරි බජව්වක් හරි කරන්න ගත්තම සනීපේ? ඒ වගේම හිතන්න අහළ පහළ ගෙදරක ගෘහාශ්‍රිත කර්මාන්තයක් හැටියට තුනපහ නිෂ්පාදනය කරනවා කියලා. අහළ පහළ මිනිස්සුන්ට මිරිස් බදින තුනපහ කුඩුකරන සද්ද අහගෙන දරාගෙන, විඳගෙන ඉන්නවෙන්නේ සුලුපටු වධයක්ද?ඒ අස්සේ ගරාජ් එකක් වගේ දාගත්තම කොහොමද සනීපේ? මුලු දවසම යකඩ තලන සද්ද, ස්ප්‍රේ පේන්ට් ගඳ, වාහන රේස්කරන සද්ද එක්ක අසල්වැසියන්ට මාර සනීපයක් සුවයක් ඇති නේද?

එක කාලයක අපේ ආත්තම්මලගෙ ගෙදර ඉස්සරහ ගෙදර මොන්ටිසෝරියක් දැම්මා. පර්චස් විස්සේ කොටස් වුණත් ඒක බොහොම නිශ්ශබ්ද, තාප්පවලින් වටවුණු, මිනිස්සු උන්නද මළාද දන්නේ නැති වැදගත් පළාතක්. එහෙම තැනක මහ කාලගෝට්ටියක් පටන්ගත්තම කොහොමට තියෙන්න ඇතිද. උදේ දවල් හවස පාර පුරා වාහන, හදිසියකට ගෙදරකින් වාහනයක් එළියට ගන්න තියා ගේට්ටුවකින් මනුස්සයෙක්ට එළියට බහින්න බැරි විදියට ඔක්කොම අවහිර කරලා. ආදායම් මාර්ග හොයාගන්න ආව ගණිකා වෘත්තියේ යෙදෙන මිනිස්සුත් සෙනග අස්සේ ගේට්ටු කුලුනු අස්සට මුවාවෙවී ගැණුම් කාරයෝ හොයනවා. දවල් මොන්ටිසෝරිය ඇරුණම ඩේකෙයාර් එකයි පංතියි පටන් ගන්නවා. බෑන්ඩ් ප්‍රැක්ටිස්, නර්සරි සිංදු අරක මේක නැති සතියක් නෑ. මොන තරම් ශබ්ද දූෂණයක්, මානසික පීඩාවක්ද ඒ අසල්වැසියන්ට? සති අන්තයෙත් පංති නිසා තත්ත්වය ඒලෙසමයි.
අවුරුදු ගාණකට පස්සෙ මොන්ටිසෝරිය වහලා ගෙවල් විකුණලා යනකල් ඒ පැත්තේ මිනිස්සුන්ට පුදුම කරදරයක් තිබ්බේ. ඒ පැත්තේ අසල්වැසියො ලියන්න පුළුවන් හැම බලධාරියෙක්ටම, ආයතනයකටම ලියලා, ගිහින් කතා කරලා, පැමිණිලි කරලත් වැඩක් වුණේ නෑ මොකද සල්ලිවලට විකිණෙන එකයි ගන්න එකයි ලංකාවේ පුරුද්දක්නෙ.

ඕක තමයි ලොවට බණ දෙසන ලංකාවේ තත්ත්වය. කිසිම මනුස්සයෙක් දෙයියනේ කියලා සැනසීමේ වැටිලා ඉන්න ගෙයක්දොරක් ගන්නේ හෝ හදන්නේ එකෙකාගේ ව්‍යාපාර නිසා ඒ සැනසීම නැතිකරගෙන, ලෙඩ්ඩු වෙන්නවත්, අහක යන කරදර දාගෙන තමන්ගේ ඇගේ ලේ පුච්චගන්නවත්, තමන්ගේ දේපල විනාශ කරගන්නවත් නෙවෙයි. හැබැයි ඉතින් තමන්ට ඒ කරදරය දැනෙනකල් විදග්ධ පිළිතුරු දෙන්න කට්ටිය ඉන්නවා. 'ටික කලක් යද්දී හුරුවෙනව' කියන එකත් අන්න එහෙම ගොං තකතිරු ගැලවිජ්ජා උත්තරයක්.

මට තියෙන ප්‍රශ්නේ මේ පරිසරයේ ඔහොම කර්මාන්ත ශාලාවක් තිබීමේ භයානකකම කිසිම මනුස්සයෙක්ට, වගකිවයුතු ආයතනයකට දැනුනේ නැද්ද? (ඒකත් කිකිළිද බිත්තරේද වගේ කතන්දරයක් ද දන්නෙත් නෑ) මේ වගේ බොහොමයක් ව්‍යාපාර නිසි ලියාපදිංචියක් නොකරයි ගෘහාශ්‍රිත පරිසරවල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් නැතුව පවතින්න නීතියේ කොච්චර හිල් තියෙන්න පුළුවන් ද? මේ මුළු කාලය තුළ අවට මිනිසුන්ට වුණු සෞඛ්‍යමය හානිය කොයිතරම් තරම් වෙන්න පුළුවන් ද? පඳුරකට ගැහුවම පිළිකා රෝගීන් සිය ගණනක් විසිවෙනකොට ඒකට පාරිසරික දූෂණය කොයිතරම් විශාල සාධකයක් වෙනවා ඇතිද?

මධ්‍යම පාරිසරික අධිකාරිය, ප්‍රාදේශීය සහ නගර සභා, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විතරක් නෙවෙයි ප්‍රදේශයේ පොලීසියටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීති සම්පාදනය කරලා තියෙනවා. ඇයි එහෙනම් ක්‍රියාත්මක නොවෙන්නේ?

~✏️ Aash Weerasinghe

#AW #thaniya #medusa #medusasjournal #lka #trendingnow

2 comments:

  1. උපදෙසක්, කැමති නම් විතරක් භාරගන්න. රටේ ලෝකෙ සිද්ධ වෙන අපිට පාලනයක් නැති දේවල් ගැන තරහ ගන්න එපා. ඒකෙන් පිට කාටවත් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අපි තරහ ගත්ත ගත්ත කියල ඒදේවල් වෙනස් වෙන්නෙත් නැහැ. ඔබ ගිය භව වල කරගත්ත අකුසල් නිසා තමයි මේ වගේ රටක හෝ පරිසරයක ඉපදිලා තියෙන්නේ. ඒකට වගකියන්න ඕන ඔබ. ඒ දේවල් ගැන තරහ ගත්තම එකේන් මේ භවයේදිත් තව අකුසල් එකතු වෙනවා. පුලුවන් නම් ද්වේශය සහ ද්වේශය නැති කිරීම ගැන තියෙන දේශනා ටිකක් යූටියුබ් එකේ අහන්න.

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු!

      ආයෙ බැලුවා ඉයන්ද රාජාංගනේද කියලා😂
      මේකේ කිසිම තරහක් ද්වේශයක් නෑ. වළක්වන්න බැරි දේකුත් නෑ. එකම දේ තමන්ට වෙනකල් උත්තර දාර්ශනිකයි.

      Delete