ජීවිත වියමනේ..වියු රටා එකින් එක........

අසම්මත...






 එක සැරේ වෙවුළලා ගිහින් හිරිගඩුත් මතු වුණේ පාන්දරම ශවර් එකේ වතුර ඔලුවට වැටෙද්දි සීතල නිසාද.... එහෙමත් නැත්නම් තව පැයකින් දෙකකින් එලඹෙන... ජීවිත කාලයක් බලාගෙන හිටිය ඒ මොහොත නිසාද කියල වෙන් කරගන්න බැරි තරම් කළබල වෙලයි මම හිටියෙ..... 

 රෑ එක මොහොතක් නින්දක් නොලබපු ඇස් දෙක කැතට පේනවද කියල මම ආපහු කණ්ණාඩියට එබිල බැලුවා... යාන්තමට මේක් අප් එකක් දානවද..? 

 මේ ඉතින් පළවෙනි දවස නෙමෙයිනෙ.. ඒත් ඒ අවුරුදු දහයකටත් කලින්.... කෙල්ල කාලෙ... කන්ණාඩිය මට ඇද කළා..  

 ඉතින් යන්තමට කන්සීලර් ටිකක් ගාගෙන.. වෙනද වැඩට යද්දිනම් ගාන්න කම්මැලි ඒත් මම ආසම මැජෙන්ටා පාට ලිප්ස්ටික් එකෙන් තොල් දෙකට පොඩි ටච් එකකුත් දුන්නා... වැඩී කියල හිතල පාට අඩු වෙන්න පිටි අල්ලෙන් ටිකක් පිහල දැම්මා... 

 විකාර....!! 

 කන්ණාඩිය මට ඇද කළා.. 

 කොන්ඩෙ වේලගෙන යනවද.... තෙත පිටින් යනවද.....? තවත් ප්‍රශ්ණ..!! 

 "ළමයෝ.... ට්‍රැෆික් වෙලාවට කලින් පිට වෙන්න... නැත්නම් ටවුන් හෝල් යද්දි ලන්ච් වෙලාව වෙයි...එතකොට ඔය ඔෆිස් වල මිනිස්සු අල්ලන්න හම්බවෙන්නෙ නෑ" අම්මා කෑගැහුවා.. 

 ඔන්නොහෙ තෙත පිටින්ම යනවා... කාර් එකේ AC එකට වේලෙයි... මම තෙත බේරෙන කොණ්ඩෙ පිටින්ම දඩිබිඩියෙ ඇඳගත්තා.. 

 "ඕන කරන ඔක්කොම ඩොකියුමන්ට්ස් එහෙම ගත්තද... ? " "කෝ වැඩකට එළියට යද්දිවත් උදේට කාල යන පුරුද්දක් නෑනෙ...උයලත් තියෙන්නෙ..." 

 ළමයින්ට පුත්තලං බූරුවො හත් දෙනෙක්ගෙ වයස ගියත් අම්මලගෙ බර බරෙන් නම් ගැලවීමක් නෑ... 
 
 "බැ බෑ අම්මෙ.... පරක්කුයි" මම පහත් වෙලා අම්මට වැන්දා... 

 "කෝ ඔය ගවුමෙ කර හදාගන්න..." අම්මා මගෙ අඩු පාඩු හරිගැස්සුවා... 

 තව හිටියොත් තව හිත කළබල වෙනවා... 

 "අම්මෙ බබාගෙ දවල් කෑම එකට අර තම්බපු මාලු කෑල්ල පොඩි කරලා දාන්න... එද්දි යෝගර්ට් අරන් එන්නම්..." තව මුකුත් අමතක වුණාද කියල මම කල්පනා කළා... 

 "හරි හරි ඒව මම බලාගන්නම් ඔයා පරිස්සමට ගිහින් එන්නකො..."

 අඩියට දෙකට මිදුලට බැහැල ඒ ගමනින්ම කාර් එක ගේට්ටුවෙන් එළියට දාල ප්‍රධාන පාරටත් වැටුනට පස්සෙයි මම වාහනේ අයිනකින් පොඩ්ඩක් නතර කළේ... 

 සීට් එකේ පස්සට හේත්තුවෙලා ඇස් දෙක තදට වහගෙන මම හිතුවෙ හිනාවෙන්නද අඬන්නද කියලයි ... මට ලොකු හුස්මක් වැටුණෙ නවත්තගන්න හිතන්නත් කළින්... 

 දස දහස් වතාවක් හීන මවන්නැති තමයි...ඒත් සැබෑ ජීවිතේ කවදාවත් මෙහෙම දවසක මෙහෙම මොහොතකට මූණ දෙන්න වෙයි කියල කවමදාවත් නොහිතුවත්.... දැන් ඒ මොහොතට මූණ දෙන්නම වෙනවා.... ඉතින් මම ආපහු ගමන පටන් ගත්තා.... 

 හයිලෙවල් එකෙන් බොරැල්ලට හැරෙන හන්දියට ආවම...... 
 හරවන්නෙ නැතුව දිගටම ගියා.... !! 

 කාර් එක මම එන්න ඕන තැනට ඇවිත් නතර වුණා.... හිනා යනවද...? ඇත්තටම එදා කොහොම එතනට යාගත්තද අනතුරක් නොවී කියල තාම විශ්වාස නෑ... එච්චර හිත කළබල වෙලා.. අත් දෙකේ ඇඟිලි හීතල වෙලා හිරිවැටිලයි තිබුණේ.... 

 මම විනාඩි 4-5ක් පාර්කින් එකේම පමා වුණා... තනි වීදුරු බිල්ඩිමේ පිරිසිදු දර්ශණ පථයෙන් මට පිළිගැනීමේ කවුන්ටරේ හොඳටම පෙනුණා.... එතන තිබුණු ලොකු මල් සැරසිල්ල රෝසද.... ඕකිඩ් ද.. කානේශන් ද. අදටත් මට මතකයක් නෑ.... 

 ඒත් එතනම හිටිය හුරු පුරුදු මූණක්.... !!! 

 ඔව් මට...මතකයි.... 
 අද වගේ මතකයි... !!... 
 ජීවිතේ මට කවදාවත්ම අමතක කරන්න බැරිම 

ඒ ඇස් දෙක .... !! 
.
.
.
.
.
 
ෆෝන් එක බිප් ගාපු හඬින් මම කල්පනා ලෝකෙන් බිමට වැටුණා... 

 "ඔයා දැන් කොහෙද... මෙතනට ආවම කියන්න.. මම රිසෙප්ශන් එක හරියෙ ඉන්නම්.. ඔයා තනියම යන එක හරි නෑ නෙ... පරිස්සමින් එන්න.... " 

 හ්ම්ම්.... සීට් එක පස්සට කරලා මම ඩ්‍රරයිව් කරද්දි ගලවපු හීල්ස් දෙක දාගත්තා... බෑග් එකෙන් පනාව අරන් අවුල් වෙලා තිබ්බ කොණ්ඩෙ පොඩ්ඩක් හදාගත්තා.... තාම තෙතයි....!! දැන් ඉතින් මොනාකරන්නද... 

 "මම ඇවිත් ඉන්නෙ.. ඉන්න ඇතුළට එන්නම්...." රිප්ලයි එකට ගියේ තප්පරෙන් අටෙන් එකයි... 

 හැම තැනම හචාමල්ල වගේ අරන් යන හෑන්ඩ් බෑග් එක අතට අරන් කාර් එක ලොක් කරලා මම හුස්මක් ගත්තා... 

 අන්තිම වතාවට එයාව දැක්කෙ... නුගේගොඩදි.... මැක් එකේදි.. එදා මැක් එකේ පඩි නැග්ග විදිහ මතක නෑ වගේම මෙදා තරු හෝටලේ පඩි නැග්ග විදිහත් මතක නෑ මට.... 

 මම දොරෙන් ඇතුල් වෙද්දිම එයා මාව දැක්කා... ඒත් මට ඒ ඇස් දිහා බලන්න ලැජ්ජ හිතුණා... අපි මුකුත් කතා කළේ නෑ.... එයා ඉස්සර වුණා... මම පස්සෙන් වැටුණා... 

 ලිෆ්ට් එකේ තව සෙනග හිටිය නිසා අපට කතාකරන්න වුණේ නෑ.... කෙටි කොරිඩෝවකට පස්සෙ එයා දොර ඇරියා... 

 අන්තිමේදි..... අපි වටේ වෙන කවුරුත් හිටියෙ නෑ... අපි දෙන්නා විතරයි... "ඉතින්... " එයා ඇඳෙන් වාඩි වුණා... මමත් ලඟින්ම නොවුණත් ලඟපාතින් වාඩි වුණා.... 

 අපි මොන මොනාදෝ කතා කළා... හරියට .... ට්‍රැෆික් සෙට් වුණාද...? උදෙන්මද ගෙදරින් ආවෙ? උදේට කාලද...? කැම ඕඩර් කරන්නද.... වහින්න වගේ නේද... ඔන්න ඔය වගේ නොයෙක් දේවල්.. 

 ඒ මුළු වෙලාවෙම මම හිටියෙ ඇස් දෙක හරවලා එයා දිහා කෙළින් බලාගන්න ලැජ්ජවෙන්... විකාරයක් වගේ තමයි.... ඒත් වයස තිස්පහත් පනින්න ඔන්න මෙන්න වුණත් පෙම්වතාව මුණගැහෙන්න මුල්ම දවසෙ ගිය පුංචි කෙල්ලෙක් වගේ මගේ පපුව හරි සද්දෙට ගැහුණා... 

"ගෙදරින් එද්දි අම්මට සැක හිතුණෙ නැද්ද....? "
"නෑ මම කලින්ම කියලනෙ තිබ්බෙ අද ටවුන් හෝල් යන්න ඕනෙ කියල...''

''පුතා.....?''

''මම එද්දි නිදි.....'' 

''හ්ම්ම්ම්.....''

 මගේ ඇස් වලට තෙතක් එකතු වෙනවා දැනිලා මම අහක බලා ගත්තා... අද අඞන්නෙ නෑ කියල නේද කිව්වෙ.... මම මගෙම හිතට තරවටු කළා... අඞනවනම් හේතු දාහක් තියෙන දවසක නොඅඞ ඉන්න මම හිත එක්ක ඔට්ටුවක් ඇල්ලුවා....

  ආයෙමත් දිග නිහැඬියාවක්......

 "කෝ........ඔයා මුකුත්ම කියන්නෙ නෑ නෙ....."

 වැරදීමකින්ද මන්දා එයාගෙ අත මගේ අතේ වැදුණා... පපුව නැවතුණා වගේ දැනුනත් මම අත අහකට ගත්තෙ නෑ... මට එච්චර හයියක් තිබ්බෙ නෑ... එයා බොහොම පරිස්සමට මගේ ඇඟිලි වලින් අල්ලගත්තා... 

 "අනේ මන්දා..." මං මගේ සුපුරුදු උත්තරේ දුන්නා... 

 "බබා....." 

 "ම්ම්ම්ම්....." 

 "මට ඕන වුණා ඔයාව බලන්න.... මැරෙන්න කළින් එකම වතාවක් හරි...." 
 
 "මං දන්නවා..... " 

 "ඔයා අකමැත්තෙන්ද ආවෙ...? තරහින්ද ඉන්නෙ....??" 

 ''මම ආවෙ අකමැත්තෙන් නෙමෙයි කියල ඔයා නොදන්නවා නෙමෙයිනෙ.... ඒ වුණත්...'' ඒත් මට ඒ කතාව ඉවර කරන්න වුණේ නෑ...  

 එයාගෙ ෆෝන් එක රින්ග් වුණා... මගෙ අත එයාගෙ අතින් අත ඇරුණා..... 

  සද්ද කරන්නෙපා...එයා තොල් දෙකට ඇඟිල්ල තියලා සංඥා කළා...

 එයාගෙ අයිතිකාරයා.....!!! 

 මගේ උගුරෙ මොකද්දෝ හිරවුණා...පපුවෙ එකසැරේටම ගින්දරක් ඇවිලුණා... ඇස් දෙක බොඳ වෙනවා වගේ දැනෙද්දිම මම නැගිට්ටා... 

 චතුර ෆෝන් එක අරන් බාතෲම් එකට යද්දි මම ගියේ කණ්ණාඩි මේසෙ ලගට.... මම වම් අතේ මුදුගිල්ලෙ තිබ්බ මුද්ද ගලවලා හෙමීට මේසෙ උඩින් තිබ්බෙ කණ්ණාඩිය දිහා නොබලම.....මගේම හෘදශාක්ශියත් මට චෝදනා කරන බව මම දැනන් හිටියා...

 බැල්කනියට අඩිය තිබ්බම හිතට පොඩි සහනයක් දැනුණා.... හෝටලේට එපිටින් තිබ්බෙ මුහුද.... අපි දෙන්නගෙ කතාවෙ කවදාවත් මුහුදක් තිබ්බෙ නෑ.... 

 "අපි මෙහෙම හමු වෙන්න හිටිය දෙන්නෙක් නෙමෙයි...." මම හෙමිහිට මුහුදට කෙඳිරුවා... 

 මුහුද මට ඔලොක්කුවට හිනා වුණා.... හොඳටම හිනා වෙලා රැළි අතරින් වෙන කෙනෙක්ගෙ ඦායාවක් මවලා පෙන්නුවා... මුහුදත් එක්ක මට මතක දුන්න කෙනෙක්.....!!! 

 ඔව්... එයා... මගේ අයිතිකාරයා... දෙයියනේ... මම මොනවද මේ කරන්නෙ... පහුගිය අවුරුදු දෙකක් තිස්සෙම මගේ හිත තිබ්බෙ මඩේ හිටවපු ඉන්නක් වගේ.... 

 චතුරට මගෙ හිතේ තිබ්බ ආදරේ කවදාවත් මරලා දාන්න මට පුළුවන් වුණේ නෑ.... අවුරුදු අටකට පස්සෙ මට ආපහු එයාගෙ කටහඬ ඇහුණු මොහොතෙම මගේ හදවත මට කිව්වා...." මෝඩි...! එයා මොන ගින්නක උඹව දාලා ගියත් උඹ එයාට තාමත් ආදරෙයි...! " කියලා... 

 "ඒත් මම මාධවටත් ආදරෙයි... බොරුවට නෙමෙයි අවංකවම... ඒක ඔයත් දැක්කා... ඔයා බලාගෙන හිටියා..." මම හිතින් මුහුදට මිමිණුවා.... 

 මුහුද මුකුත්ම කිව්වෙ නෑ.... වෙරළට හාදුවක් දීදී හෙමින් හෙමින් රළ නඟ නඟ හිටිය විතරයි.... 

 "මොනාද මැණික කල්පනා කරන්නෙ....?" මගේ කණ ලඟම ඇහුණු හඬින් මාව ආපහු පියවි ලෝකෙට ඇදල ගත්තා.... 
 
"මුකුත් නෑ....කෝල් එක ඉවරද....?" 

 "හ්ම්ම්... එයාගෙන් බේරෙන්න බෑ කොහෙ ගියත්.... ඒත් අපි ඒ ගැන කතා නොකර ඉමු...." 

 "හාකො......." 

 චතුර සීරුවට මගේ අතින් අල්ලගත්තා.... මම හිටියෙ තවමත් මුහුද දිහා බලාගෙන..... 

 එයාගෙ හුස්ම මගේ කන් පෙත්ත ගාවම මට දැනෙද්දි...... ඉස්සරම දවස් වල වගේම මාව දියවෙලා ගියේ ඉබේටමයි... මම යාන්තමට එයා දිහාට බර වුණා... මගේ අතත් එක්කම චතුරගෙ අත මගේ ඉණ වටේ ගියේ එයාගෙ පපුවට මාව තද කරගෙන...... 

 විනාඩියක් එහෙමම නොසෙල්වී ඉඳපු එයා ඊලඟට හරිම සිනිඳුවට මගේ හිස් මුදුනෙන් හාදුවක් තිබ්බා........... මගේ තෙත කොන්ඩෙ හීතල අස්සෙන් මට එයාගේ තොල්වල උණුහුම ඕනෙවටත් වඩා දැනුණද මන්දා....... 

''පාන්දරම නෑවද....? තාම තෙතයි බබා...''

''හ්ම්ම්ම්....'' 

එයාගෙ හුස්ම මගෙ හිස කෙස් අතර හැමතැනම රිංගනවා.... හරියට දඟකාර සුලඟක් වගේ....

''සුවඳයි....'' තෙත කෙස් රොදවල් එහා මෙහා වෙලා ගිහින්...දකුණු උරහිස ගාවදි ඒ හුස්ම මට මිමිණුවා.....

''ම්ම්ම්ම්ම්ම්...........''

මොහොතකට අපි දෙන්නටම කියාගන්න වචන අමතක වුණා....

 "අපරාදේ මම හදිසි වෙලා ඔයාව නැති කරගත්තා බබා.. "එයාගෙ කටහඬ බිඳුණා... 

 චතුර ඔයා අඬනවද....!! මට එක සැරේටම බය හිතුණා... 

 මම එයාගෙ පැත්තට හැරුණෙ ඉබේටම.... එයාගෙ ඇස් වල කඳුළු.... 
 
 අනේ... 

 "අඬන්න එපා සුදූ.... ඒක අපේ ලැබීම වෙන්නැති.... " 

 එයා දෝතින්ම මගෙ මූණ අල්ලගත්තා... 

 "මම ඔයාට මේ තරම් ආදරෙයි කියලා ඒ දවස් වල මට නොතේරුණේ ඇයි බබා..... ඔයා මගේ.... ඔයා වෙන කෙනෙක්ගෙ කියලා මට හිතන්නත් බෑ...." 

 මට එයාගෙ ඇස් දෙකේ තිබ්බ ආදරේ තවත් දරාගන්න පුළුවන් වුණේ නෑ.... 

  මම ඇස් දෙක පියාගත්තෙත්.. 
 එයාගෙ තොල් දෙක මගෙ දෙතොල් වහගත්තෙත්... 
 මට මුලු ලෝකෙම අමතක වෙලා ගියෙත් එකම වෙලාවේ..... 

  ඒ තොල් දෙකේ හුරු පුරුදු ගතිය.....!!! 
 හරියට මේ පැයකට කළිනුත් ඔයා මාව සිප ගත්තා වගෙ....!!! 
 ඒත් ඊලඟ මොහොතෙ එයා මාව අතෑරියා... 

 මාව බැල්කණියෙ තනිවෙන්න ඇරලා එයා ඇතුළට ගියා.... එයාගෙ අත් කිටි කිටියෙ මිට මෙළවිලා.... එයා ඉඳගත්තා නෙමෙයි ඇඳ උඩට කඩා වැටුණා කිව්වොත් හරි... 

 යාන්තමට වැහි කෝඩයකුත් පටන් අරන්... මුහුදු හුළඟ එක්ක උස දොරෙනුත් ඇතුළට එන්නයි පොරේ.... මමත් ඇතුළට ඇවිත් එක ස්ලයිඩින් ඩෝර් එකක් වැහුවා....ඒකටම බර වෙලා උන්නා.... ඒ වෙලාවෙ හිතේ මුකුත්ම තිබුණේ නෑ.... 

 චතුර ඇඳවිට්ටමට ඇල වෙලා මන් දිහා බලන් ඉන්නවා... නරක විදිහෙ බැල්මක් නම් මට කේන්ති ගන්නවත් තිබ්බා.... ඒත් ඉවසන්න බැරි තරම් ආදරණීයව....! 
 ඒ බැල්ම දරාගෙන ඉන්න බැරිම තැන මම කටහඬ අවදි කළා.... 

 "මොනා හරි කියන්නකො...." 

 "බෑ...." 

 "ඇයි.... එච්චරටම කියන්න දෙයක් නැද්ද...? " 

 "හැමදාම කතාකරනවනෙ.... අද මට බලන් ඉන්න ඕනේ හිත පිරෙනකල්ම......." 

 කම්මුල් වලට ලේ පිරිලා රත් වෙනවා මට දැනුණා...

 "මොනා..ද...ඔච්චර බලන්නෙ....?" 

 "ලස්සන...." 

 "අනේ.... බොරු නොකිය ඉන්න...." 

 "ඇත්තමයි... ලස්සන වෙලා හැඩ වෙලා ඔයා.....''

 ''නාකි වෙලා කියලත් කියන්න.... '' මම කිව්වෙ ලැජ්ජාවෙන්....

 ''මට එහෙම හිතෙන්නෙම නෑ කෙල්ල... ඔයාව මට තාමත් පේන්නෙ පුංචි කෙල්ලෙක් වගේ ඇත්තමයි  promise....කෝ එන්න මෙතන්ට...." චතුර අතින් එයා ලඟම ඇඳට තට්ටු කළා... 

 මීට අවුරුදු දහයකට කලින් හීතල පෙබරවාරියෙ එක දවසක හෙවණැල්ලක් මගේ හිතේ ඇඳිලා හිත හිරිවට්ටලා ගියා... 

 එදත් මම වචනෙක පොරොන්දුවකින් හරි අයිති වෙලා හිටියෙ වෙන කෙනෙක්ට.... ඒත් චතුර ලඟට කතා කළාම මට නොගිහින් ඉන්න හිත දුන්නෙ නෑ...... 

 අදත්..... මම නීත්‍යානුකූලවම අයිති මාධවට වුණත්.....! 

 මම හෙමිහිට ගිහින් එයා ලඟින් ඉඳගත්තා... මගේ පපුව ගැහෙන සද්දෙ එයාට ඇහෙයිවත්ද කියල බයේ මම පපුවට අතත් තියාගත්තා.. තියාගත්ත නෙමෙයි ඉබේටම තියවුණා... 

 "ඇයි.... මම මුකුත් දකියි කියලා බයද....? " එයා ඇහුවෙ විහිලුවට... 

 ඒත් මට හිත රිදුණා... 

 "හැමදේම මුලින්මත් දැක්කෙ ඔයානේ සුදූ.... හැමදේම දෙපාරක් නොහිතා දුන්නෙත් ඔයාට... ඔයා ඒක නොවටිනා දෙයක් ගාණට වීසි කරල දාල ගියාට....." මගේ කටින් වචන පැන්නේ ඉබේටම.... 

 චතුරගෙ මූණ අඳුරු වුණා.... ඇස් දෙකේ එළිය මැකුණා.... 

 "මම දන්නවා බබා.... මම මොන දේ කළත් ඔයාට දුන්න වේදනාවට සමාවක් ලබන්න වටින්නෙ නෑ කියලා...." එයා හැදුවෙ නැගිටලා යන්න.... 

 ඒත් මම එයාගෙ අතින් අල්ලගත්තා..... "යන්න එපා... ප්ලීස්... මගෙ ලඟින් ඉන්න.....දැන්වත්....!" 

 චතුර ආපහු හැරිලා...හෙමිහිට මගේ ඇස් දෙකට එබුණා....

 ''තාම මට ආදරෙයි නේද කියන්න.... ඉස්සර වගේම.....?''

 ''ඉස්සරටත් වඩා....'' මම ඇස් දෙක පියාගෙන මිමිණුවා....

 "ඇත්තමයි මැණික.....මමත්.......  
  ආදරෙයි..කියාගන්න බැරි තරම් ආදරෙයි...." 

 මේ වතාවෙ අපෙ දෙතොල් හමු වුණේ හදිසි නොයිවසිල්ලකින්.... 

 හදවතේ අවුරුදු ගාණක්ම කොටු කරපු සීමා මායිම් කඩාගෙන චතුර ගැන ආදරේ දෝර ගලන හැටි මට දැනුණා.. ඒ තොල් දෙක මගෙ දෙතොල් හොඳටෝම රිද්දලා ඊළගට මගේ බෙල්ල..කන් පෙති....ලැම හොයාගෙන තව ටික දුරක් ගියා.... 

 ඉවසගන්න අමාරු තරම් වෙලාවක් එතන පමා වුණු එයා...තවත් දුර ගියාට කමක් නැද්ද කියල අහන්න වගේ තප්පරේකට නතර වුණා... ඒත් මං මොන හිතින් එයාව නවත්තන්නද....... 

 කෙඳිරියකට එහා ගිය මගෙ සුසුම් හඬ... නොයිවසිල්ලෙන් මිමිණෙන එයාගෙ නම...වචනෙන් නැතත් ඉඟියෙන්ඒ... අවසරය.. අයිතිය එයාටම දෙන්න ඇති....

 ලෝකය ඉස්සරහ... සමාජය ඉස්සරහ මම සමාවක් නැති වරදකාරියක් වෙන්න ඇති.... ඒත් දෙවියන් ඉස්සරහ මට සමාව ඉල්ලන්න පුලුවන්... ඒ මම චතුරට ආදරේ කළ තරම් ලෝකේ කිසිම කෙල්ලෙක් කාටවත්ම ආදරේ නොකරන්න ඇති නිසා.... 

 ඉතින්....එයාගෙ දඩබ්බර අතකින් මගේ ආසම ගවුමෙ කර ලිහිල් වෙලා ගියා.... ඉස්සරම දවසක පුංචි කෙල්ලක්ව දැකපු මාව දැන් පරිණත ගැහැණියක්ව දකිද්දි එයාට මොනා හිතුණද දන්නෙ නෑ.... ඒත් ඒ හුස්ම ඉක්මන් වෙන හැටි මට දැණුනා...

 එයා නීතියෙන් අයිති වෙන කෙනෙක්ට තමයි...ඒත් එයා මගේ.... එයා හදවතින් මගෙ..... මගේ හදවත එහෙම කැගහද්දි ... මම හුස්ම හිර වෙන තරම් තදට එයාව වැළඳගත්තා....

 දස අවුරුද්දක් හිර වෙලා තිබුණු හැඟීම ඔක්කොම නාය යන මේ වෙලාවෙදි අපි අපිට අයිති නෑ කියල අපි දෙන්නටම මොහොතකටවත් මතක් වුණේ නෑ.... 

 මම සතුටු වෙන්නෙ මොනවයින්ද කියල එයාට විශේෂයෙන් අහන්න ඕන වුණේ නෑ... මම හිතන්නත් කළින් එයා මාව හුරු පුරුදු කවියක් වගේ කියවගත්තා.... මගෙ ඇඟේ හැම රෝම කූපයක් ගානෙම එදා වගේම අදත් එයා දැනගෙන හිටියා... එයාගෙ අත් දෙක උඩ මම වයලීනයක් වගේ සුසර වුණා... 

 මගෙ ගත පුරාම එයාගෙ නමින් සළකුණු මැවෙද්දි ඒ හැම වේදනාවක්ම මට මිහිරක් වුණා... ඒ හැම හාදුවකම, හැම පිරිමැදුමකම, හැම රිදවිල්ලකම, එයාගේ ආදරේ විතරමයි මට දැනුණෙ... ඒක ඇත්තටම උමතුවක්... 

 ''ඔයා මගේ රත්තරන්.... මගේ විතරයි... මගේ විතරමයි..... දෙයියනේ මම ඔයාට ආදරේ තරම් ඔයා දන්නවනම්.... '' එයා සීමාවක් නැතුව මිමිණුවා...

 මගේ කෙඳිරිළි වලට, අයැදුම් වලට, පුංචි පුංචි චෝදනාවලට එයා හරිම ඉවසිල්ලෙන් ප්‍රතිචාරාත්මක වෙන කොට එයාව මට වචන වලින් විතරක් නෙමෙයි....  ලේ මස් නහර ඇට මිදුළු ගැඹුරටම දැනුණා...... ඔව්...කවදාවත් කාටවත්ම අයිති නොවුණු විදිහට මම එයාට අයිති වෙලා කියලා මට දැනුණා... 

 ස්වභාවයෙන්ම ටිකක් හිතුවක්කාර ගැහැණියක් වුණ මම එදා එයාගෙ උණුහුමට කොහොම ඒ තරමටම නතුවුණාද කියල... මට හිතාගන්නත් බැරි තරම්.... 

 නෑ..... අපි දෙන්නම... අපි දෙන්නට අවනත වුණා කිව්වොත් හරි... එයාට ඕන වුණේ මගේ සතුට....මට ඕන වුණේ එයාගෙ සතුට... ඇත්තටම මම හිටියෙ වළාකුළු අතර...කොටින්ම හරිම සැහැල්ලුවෙන් ඉවසගන්න බැරි තරම් සතුටින්.. 

 අපේ ආදරේ උච්චතම විනාඩියෙදි.... ඒ රමණීය මොහොත ඉවර වෙන්න කළින් එයාගෙ තුරුලෙ....ඔව්...මම හදවත පැලෙන්න තරම් ආදරේ කරන මේ මනුස්සයගෙ තුරුලෙ මගෙ හුස්ම ගියත් කමක් නෑ කියල හිතෙන තරමට සංතෘප්තියකින්.... 

 කී වතාවක්.... මම එයාට ආදරෙයි කිව්වද දන්නෙ නෑ..... කී වතාවත් එයා මට ආදරෙයි කිව්වද දන්නෙත් නෑ.... 

 ඒත් සුළි සුළං ඉවර වෙලා මල් තුහින වැටෙන්න පටන් ගත්තට පස්සෙත් මගෙ හිතේ එයා ගැන හදවත ඉතිරෙන්න ආදරේ දෝරෙ ගලපු බව විතරක්ම මතකයි... 

 ජීවිතේ පළවෙනි වතාවට ඒ වෙලාවෙදි හිතුණා..... තව කෙනෙක්ගෙ ජීවිතේට ලං වෙන්න තීරණය කළා ඉක්මන් වැඩි වුණාදෝ මන්දා කියලත්.... ඒත් දෙයියනේ මම අවුරුදු පහක්ම බලන් හිටියා.... 

 මේ හිතේ දොරඟුළු කාටවත්ම නොඇර.... හිතින්වත් ඔයා ගැන තියෙන ආදරේට වැරැද්දක් නොකර....ඔව් අවුරුදුම පහක්....එහෙම වෙලත් මට ඔයාව මග ඇරුණ හැටි... 

 අඬන්නෙ නෑමයි කියල අධිශ්ඨානයෙන් උන්නත්... කෑ ගහල අඬන්නයි මට ඕන වුනේ.... ඔයා වෙනුවෙන්... මම වෙනුවෙන්  විතරක්  නෙමෙයි.. මාධව වෙනුවෙන්... මුකුත්ම නොදන්න මගේ නොදරුවා වෙනුවෙනුත්....

 දිග නිහැඬියාවකින් පස්සෙ ඔයා හඬ අවදි කළා... 

 "බබා.... ඔයා තරහද.... මම මෙච්චර දුරක් යන්න හීනෙකින්වත් හිතන් ආවෙ නෑ සුදූ... ඒත් ඔයාව දැක්කම මට ආදරෙ ඉවසගන්න බැරි වුණා...... " 

 "මම තරහ නෑ චතුර..... " 

 "බබා.....ඇයි බබා අපට මෙහෙම වුණේ...?" ඔයාගෙ තුරුළෙන් නොමිදුණු මගේ ඔළුව හෙමිහිට අතගාන ගමන් ඔයා ඇහුවා..... 

 මම ඉතින් ඔයාට මොනා කියල කියන්නද...... 

 "අනේ මන්දා සුදූ......" 

එදා වගේම අදත් ජීවිතේ අතරමං වුණු මගේ හුරු පුරුදු උත්තරේ මම ඔයාට දුන්නා...



Related Posts Plugin for WordPress, Blogger...