HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විද්‍යාඥයෝ වසර 46,000ක් පැරණි පණුවකුට ‘පණ’ දෙති!

කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයාගෙන තියෙනවා. වයස අවුරුදු 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන්ට හමු වී ඇත්තේ රුසියාවේ සයිබීරියාවේ නිත්‍ය තුහින කලාපයේ, ඒ කියන්නේ සදාහිම බරිත සයිබීරියානු කලාපයේ සිසිරතරණයට පත්ව සිටියදීයි. නිදිගත් ස්වභාවයේ සිටියදී හමු වූ පණුවන්ට, විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබා දුන් පසු ඔවුන් ඒ තත්වයෙන් මිදී පියවි තත්වයට පත්වෙලා තියෙනවා. 

මිමි එකක ප්‍රමාණයේ දිගින් යුත් සීනෝරැබ්ඩිටිස් එලිගන්ස් නම් මේ වට පණු 
විශේෂය දැනටත් අපට කොම්පෝස්ට් පෝරවල දැකිය හැකියි.

දැනට විශ්වාස කරන ආකාරයට අනුව මේ පණුවන් අයත් වන්නේ ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයටයි. ලෝම මැමතයන් හෙවත් වූලි මැමත් දැවැන්තයන් විසූ කාලයේ තමයි, මේ පණුවන් ජීවත්ව සිට ඇත්තේ. රුසියාවේ සයිබීරියාවේ නිත්‍ය තුහින කලාපයේ තිබියදී හමු වී ඇති මේ ප්‍රාණීන් පිරිස හිමහරණය කොට විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා, ඔවුන්ට ‘නැවත පණ’ ලබා දෙන්න. 

වට පණුවන් විශේෂයක් වූ සතුන් අයත් වන්නේ අනාදිමත් කාලයකට ඉහත දී වඳවී ගියේ යැයි සැලකෙන සත්ව විශේෂයකටයි. සත්ව විද්‍යාත්මකව ඔවුන් හඳුන්වනු ලබන්නේ පැනග්‍රෝලයමුස් කොලිමෙයන්සිස් (Panagrolaimus kolymaensis) කියායි. ඔවුන් වඳ වී ගිය සතුන් ලෙස සැලකුවත් ඔවුන් සිසිරතරණයට පත්වෙලයි ඉඳලා තියෙන්නේ. එය විද්‍යාඥයන් හඳුන්වන්නේ ක්‍රිප්ටොබයෝසියා (cryptobiosis) තත්වයක් කියලයි. එය නැවත පණ ගසා එන තෙක් සිරුරේ ක්‍රියාවලිය කිසියම් කාලයකට අත්හිටුවීමක්. 

කලින් විද්‍යාඥයන් විශ්වාස කළේ සාමාන්‍යයෙන් වට පණුවන් වසර 40කට වඩා ආයු කාලයක් ගෙවන්නේ නැහැ කියලයි. ඒත් මේ පණුවන් සොයා ගනු ලැබූ සදා හිමෙන් වැසුණු ප්‍රදේශයේ තිබූ ශාකවල රේඩියෝ කාල නිර්ණයට අනුව තමයි, විද්‍යාඥයන් හෙළිකර ගෙන තියෙන්නේ මේ විස්මිත සතුන්ට වසර 46,000ක් වයසයි, කියලා. 

මහාචාර්ය ටේමුරස් කුර්චාලියාට (Teymuras Kurzchalia) තමයි, මේ විස්මිත සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ. PLOS Genetics විද්‍යා සඟරාවෙහි මේ පිිළිබඳව පළ වුණා. මහාචාර්ය කුර්චාලියා තමයි ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් විද්‍යායතනයෙහි අනු සෛල ජීව විද්‍යාව හා ජාන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය පදවිය උසුලන්නේ. මෙම අධ්‍යයනයෙහි ප්‍රධානී ලෙස ඒ සොයා ගැනීම ගැන කියන්නේ මෙවැනි අදහසක්: “මේ කුඩා පණුවා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වේවි, ලොව මෙතෙක් කිසිම සතකු නොකළ තරම් අති දිගු කාලයක් නිසලව සිට යළි පණ ලැබීම නිසා. මෙතරම් දිගු කලක් සිසිරතරණය කළ හැකි යැයි ලෝකයේ කිසිම විද්‍යාඥයකු පිළිගෙන තිබුණේ නැහැ. මාත් පුදුමයට පත් වුණා මේ කාලනිර්ණ වාර්තාව දුටුවාම. ඒක හරියටම නිදි කුමාරිගෙ සුරංගනා කතාවෙ වගේ. ඊටත් වඩා ඉතා දිගු කලක් නිඳා ඉඳලා තියෙනවා.” 

වැඩි ම කාලයක් මේ ආකාරයට සිසිරතරණයට පත් වෙමින් විස්මිතව නොනැසී ජීවත්ව ඇත්තේ බැක්ටීරියා බීජාණුවක්. එය වසර මිලියන 40ක කාලයක් තිස්සේ ඇම්බර කුට්ටියක් තුළ සිර වී සිටි වඳවී ගිය මී මැසි වර්ගයකගේ කුසෙහියි. මෙයත් ඇදැහිය නොහැකි තරම් විස්මිත සොයා ගැනීමක්. 

වසර 46,000ක් පැරණි පැනග්‍රෝලයමුස් කොලිමෙයන්සිස් නම් මේ පණු විශේෂය 
සොයා ගත්තේ වයඹදිග සයිබීරියාවේ මෙම නිත්‍ය හිමතුහින ප්‍රදේශයෙනි.

ඒත් ඊටත් වඩා මේ නව සොයා ගැනීම විශිෂ්ට එකක් වන්නේ නිද්‍රාශීලී තත්වයකට ඇතුළු වී පසුව නැවත පණ ගැන්විය හැකි සතුන් විශේෂයක් සොයා ගැනීමයි. 'දිය වලසුන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන, පහසුවෙන් විනාශ කළ නොහැකි, අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි, ඉතා කුඩා ටාර්ඩිග්‍රේඩ් වි‍ශේෂයක්. අලස බවින් යුතුව, පක්ෂමධර පටියක ආධාරයෙන් පිහිනා යන රොටිෆෙරා (rotifers) හෙවත් රෝදයා නම් ජලජ ජීවීන් විශේෂයක් ලෙසයි, මේ වට පණුවන් හැඳින්විය හැක්කේ. 

රුසියනු විද්‍යාඥයන් මේ පැනග්‍රෝලයමුස් කොලිමෙයන්සිස් සොයා ගෙන ඇත්තේ මීට වසර පහකට පෙරයි. ඒ, වයඹදිග සයිබිරියාවේ කොලිමර් ගංගාවේ අතු ගංගාවක් වන ඩුවේනි යා ඔයේ මතුපිට සිට අඩි 130ක් පමණ යට තිබී දිරා ගිය ගසක කඳක හිම අතර රැඳී තිබියදීයි. 

මේ විස්මිත සතුන්ට ආහාර හා ජලය සැපයූ පසු ජීවත් වූයේ මාසයකටත් අඩු කාලයක් පමණයි. ඒත් ඔවුන් මිය ගියේ පරම්පරා 100කට වඩා නව පණුවන් සංඛ්‍යාවක් ජනිත කරමිනුයි. වර්තමාන වට පණුවන්ට මෙන් මේ පණුවන්ටත් සිසිර නින්දට පත් වීමේ හැකියාව තියෙනවා. සීනෝරැබ්ඩිටිස් එලිගන්ස් (Caenorhabditis elegans) නමින් හැඳින්වෙන මේ වර්තමාන වට පණුවන් කොම්පෝස් පෝර ගොඩවල මෙන්ම කුණු වන පලතුරුවල හා ශාකවල සිටිනු අපට දැක ගත හැකියි. 

රසායනාගර පරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා, මේ වට පණුවන් කලින් යම්තමට විජලනයට පත් වී ප්‍රධාන කායික ක්‍රියාකාරීත්වයන් නවතා දමා පසුව සෙල්සියස් -80ක උෂ්ණත්වයක දී නිදිගතව ජීවත් වීමට හැඩ ගැසෙන බව. 

එක්තරා ජෛවරසායනික මට්ටමකදී මේ සත්ව විශේෂ දෙකම ට්‍රේ‍හැලොස් (trehalose) කියා සීනි වර්ගයක් නිදවන බව රසායනික පරීක්ෂණ මගින් හෙළිකර ගෙන තියෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ සීනි උපයෝගී කර ගෙන දීර්ඝකාලික නින්දට පත් වන බවයි. 

“අපට මේ තත්වය මිනිසුන්ට එකවරම ආරෝපණය කරන්න බැහැ. මේ සොතුව යා ගැනීම පිළිබඳව ඉදිරියේ දී කෙරෙන පර්යේෂණවලින් අභ්‍යවකාශ තරණයට යන මිනිසුන් මේ ආකාරයට සිසිර මුදුාවට පත් කළ හැකි වේවි. ඒ සඳහා අපට තව හුඟක් දුර යා යුතුව තියෙනවා. ඒ වගේ ම මේ ක්‍රමය අනාගතයේ දී අපට සිරුරෙහි පටක මෙන්ම සෛල ද කල් තබා ගැනීමටත් උපකාර වේවි.” මහාචාර්යවරයා වැඩි දුරටත් කියනවා. 

වයසට යාමේ රහස සහ එය වැළැක්වීමේ ක්‍රම වේදය මේ පණුවන් දන්නවා. ජානමය වශයෙන් මිනිසාට බොහෝ සේ සමාන සීනෝරැබ්ඩිටිස් එලිගන්ස් නම් මේ වට පණුවන්ගේ ආයු කාලය සියයට 500 ගුණයෙකින් වැඩි කරන්නට විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා. මේ වට පණුවන් ගේ සාමාන්‍ය ආයුකාලය සති තුනත් හතරත් අතරයි. 

සයිබීරියාවේ හිමතුහින ප්‍රදේශයේ දී හමු වූ මේ පණු විශේෂයේ රූප සටහන් 
ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවේ ඇතුළත් කර තිබූ අන්දම.

සෛල වර්ධනය පිළිබඳ අත්හදා බැලීම් කීපයක් මගින් ඒකාබද්ධ චිකිත්සක ක්‍රම යොදා ගෙන මේ ආයු කාලය දික් කරන්නට ඇමරිකන් හා චීන විද්‍යාඥයන් සමත්වෙලා තියෙනවා. ඔවුන්ට ඉතා සාර්ථකව මේ වට පණුවන්ගේ ආයුකාලය සති 14ක් දික් කරන්නට පුලුවන් වෙලා තියෙනවා. එය පස් ගුණයක් වැඩි වීමක්. මේ වැඩි වීම මිනිසාට ආදේශ කළහොත් වසර 400ත් 500ත් අතර ප්‍රමාණයක්. මේ සොයා ගැනීම මිනිසා වියපත් වීම වළක්වා දීර්ඝ කාලීන අමරණීයත්වයකට පත් කරන්නට අනාගතයේ දී හැකිවේවි. වර්තමානයේ පිළිකා හා ඒඩ්ස් වැනි රෝග න මැඩ පැවැත්වීමට මෙවැනි ඒකාබද්ධ චිකිත්සක ක්‍රම දැනටමත් අපි භාවිත කරනවා. 

     - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments