සියල්ල මගේ මහන්සියේ ප‍්‍රතිඵල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 5, 2023

සියල්ල මගේ මහන්සියේ ප‍්‍රතිඵල

වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිණිය ඇයයි. පුංචි තිරයේ දිදුලන රංගන ශිල්පිණිය ඇයයි. ඇය මේ වනවිට ඇයටම අනන්‍ය වූ රංගන ප‍්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි. මේ දිනවල රිදී තීරයේ දිගහැරෙන සිනමාපට ත‍්‍රිත්වයකින්ම, රංගන කුසලතාා විදහා දක්වන උදාරි, වර්තමාන පරපුරේ සිනමා නිළිය ලෙස ද හැඳින්විය හැකිය. 
ඔබ වාසනාවන්තයි නේද? 
ඇත්තටම මේක වාසනාවන්ත කාලයක්. මම අත්විඳින්නේ පෙර පිනක්. මේ සියල්ල මගේ මහන්සියේ කැපවීමේ ප‍්‍රතිඵල කියලා බය නැතුව කියන්න පුළුවන්. චිත‍්‍රපට අටක් සම්පූර්ණයෙන් අවසන් කරලා තියෙනවා. ඒ අතුරින් චිත‍්‍රපට 3 ක් මේ දිනවල තිරගත වෙමින් තියෙනවා. සිවදාසන් මහතාගේ ‘දෙවන යුද්ධය’ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ‘ක්ෂීර සාගරය කැලඹිණි’ මෙන්ම ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘මිදුණු විශ්වය’ මේ දිනවල තිරගත වෙනවා. ඒ විතරක් නොවේ, මේ වසරේ සංජීව පුෂ්පකුමාර මහතාගේ ‘ආසු’ චිත‍්‍රපටය තිරගත වීමටත් නියමිතයි. ඊට අමතරව, ශ්‍රී සද්ධා, එකගෙයි සොකරි, දේවි සම්බුලා වගේ තව චිත‍්‍රපට 5 ක් ඉදිරියට එන්න තියෙනවා. ඒවාගේම චිත‍්‍රපටි හතකම ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමට ලැබීමත් ලොකු වාසනාවක්. මේ හැම නිර්මාණයක්ම මට හරිම විශේෂයි. 
රාජිනී සහ පුරම්භිකා කතා කළොත්, ඒ චරිත ඔබට දැණුනු හැටි කොහොමද? 
මිදුණු විශ්වයේ චිත‍්‍රපටියේ මදිරාක්ෂිගේ චරිතය රංගන ජීවිතේ මට ලැබුණු සුවිශේෂී චරිතයක්. ඉස්සර බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ‘සංසලා’ කියලා හඳුන්වපු ප්‍රේක්ෂකයෝ අද මට කතා කරන්නේ ‘රාජිනී’ කියලා. ස්තූතිය පුද කරන්න‍ ඕනෑ ජයන්ත චන්ද්‍රසිරි මහතාට. මාව විශ්වාස කරලා රාජිනී මදිරාක්ෂි වැනි දැවැන්ත චරිතයක් මට භාර දුන්නාට. රාජිනීගේ චරිතය ස්ක‍්‍රිප්ට් එක කටපාඩම් කරලා දෙබස් මතක තියාගෙන රඟපාන්න පුළුවන් චරිතයක් නෙවේ. මම ඒ වෙනුවෙන් හුඟක් පුහුණුවීම් කළා. 60 දශකයේ දෙස් විදෙස් නළු නිළියන් ගැන අධ්‍යයනය කළා.
60 දශකයේ කාන්තාවන්, බිරියන්ගේ හැසිරීම්, අඹුසැමි බැඳීම, මේ සියල්ල අධ්‍යයනය කළා. රාජිනී කියන්නේ සමස්ත සමාජයම නියෝජනය කරන ගැහැනියක්. ඇය කිසිම වෙලාවක පවුල් ප‍්‍රශ්න එළියට ගේන්නේ නැහැ. නිළියක්, බිරිඳක් විදියට පීඩනයක් හංගාගෙන සමාජයේ ඉදිරියේ සැමියාගේ ගරුත්වය රකිනවා. වර්තමාන සමාජයේ ගැහැනියට රාජිනී ගෙන දෙන්නේ හොඳ ආදර්ශයක්. රාජිනී ආදර්ශමත් ගැහැනියක්. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ක්ෂීර සාගරය කැලඹිණි චිත‍්‍රපටයේ පුරම්භිකාගේ චරිතය වෙනුවෙන් මාව දායක කර ගැනීම ගැනත් සුනිල් සර්ට වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් ස්තූතිවන්ත වෙනවා. පෞද්ගලිකවම අනෙක් තැන්වලට වඩා මම මාව ලස්සනට දැක්කේ ක්ෂිර සාගරය කැලඹිණි චිත‍්‍රපටයේ පුරම්භිකාගේ චරිතයෙන්.
සිංගප්පූරු ජීවිතේ කොහොමද?
අවුරුදු 15 ක් තිස්සේ පදිංචිය සිංගප්පූරුවේ. ලෝකේ කොහේ හිටියත් ලංකාවේ තරම් සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒත් දුව නිසා අපි දැන් එහෙට හුරු වෙලා. මොකද දුව ලංකාවට නවතින්න එන්න කැමැති නැහැ. රූපගතකිරීම් තියෙන කොට විතරක් මම ඒ වෙනුවෙන් ලංකාවට එනවා. කොරෝනා කාලේ නම් රූගතකිරීම්වලට ලංකංවට ආපු වෙලාවෙ මාව ලංකාවේ කොටු වුණා. අවුරුදු එකහමාරක් විතර දුව නැතිව ඉන්න වුණා. ඒ නිසාම මම පසුගිය අවුරුද්දේ කිසිම රූගතකිරීමක් භාර ගන්නේ නැතිව දුව ළඟින්ම හිටියා. මේ අවුරුද්දේ මුල තමයි මම නැවත රූගතකිරීම් පටන් ගත්තේ. 

දුවට වයස කීයද?
අවුරුදු 11 යි. ඇය අධ්‍යාපනය ලබන්නේ සිංගප්පූරුවේ. දුව ගොඩක්ම තාත්තාගේ පැත්තට යන්න තමයි කැමැති. විද්‍යාව පැත්තෙන් ඉදිරියට යන්න ආසයි කියලා තමයි එයා නිතරම කියන්නේ. ඒවාගේම දුව ගොඩක්ම දක්ෂ චිත‍්‍ර අඳින්න. සියලුම විෂයයන්වලට දුව දක්ෂයි. මවුපියන් හැටියට එයා යන පැත්තට අපි සහයෝගය දෙනවා. මවක් විදියට දුව කුසට ආ දා ඉඳන් මට දැනෙන්නේ ලොකු වගකීම් ගොඩක්. ඇය සමාජයට වැඩදායී දරුවෙක් කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. 
කලාව නිසා පෞද්ගලික ජීවිතේ මඟ හැරුණු තැන් නැති වෙන්න බෑ. ඒ අභියෝගයට සැමියාගෙන් ලැබුණු සහාය කොහොමද? 
මවක්, බිරිඳක් විදියට වගකීම් මගේ අතින් මඟ හැරුණු අවස්ථා තියෙනවා. පසුගිය අවුරුදු 2ක්ම කලා කටයුතු නිසා මට සැමියාගෙනුත් දුවගෙනුත් ඈත් වෙලා ඉන්න වුණේ ලංකාවේ. දුව අම්මාව හොයන පුංචි කාලේට එයා ළඟ ඉන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමහර දවස්වලට මම ගෙදරින් යද්දි දුව නිදි. මම රෑට එනකොටත් දුව නිදි. දුව මාව ඇහැටවත් නොදැකපු දවස් තිබුණා. මම ලංකාවේ ගෙවපු කාලේ දුවට අම්මායි තාත්තායි දෙන්නාම වුණේ සැමියා. දුවගේ සියලූ වගකීම් සැමියා නොපිරිහෙලා ඉටු කළා. කිසිම වෙලාවක කලාව නතර කරලා සිංගප්පූරුවට එන්න කියලා සැමියා කියලා නැහැ. විශේෂයෙන් සැමියාගේ තේරුම් ගැනීම මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා. කිසිම ජයග‍්‍රහණයක් කැපවීමකින් තොරව ලබා ගන්න බැහැ කියන එක මම මගේ ජීවිතේ අත්දැකීමෙන් දන්නවා. 

නිළියක් වීම ගැන ඔබ අද සතුටින්ද?
ඇත්තටම මම නිළියක්වීම අහඹු සිදුවීමක් නෙමෙයි. මම පුංචි කාලේ ඉඳලාම හීන මැව්වේ හෙදියක් වෙන්න. ඒත් තාත්තාගේ එකම හීනය වුණේ මාව නිළියක් කරන එක. තාත්තා දුවෙකුට හරිම ආසාවෙන් තමයි ඉඳලා තියෙන්නේ. මාව ඉපදිලා අතට දීපු ගමන් තාත්තා කිව්වලූ කවදහරි මගේ දුව මම රූප රාජිණියක් කරනවා කියලා. ඇත්තටම මාව නිළියක් කළේ මගේ තාත්තා. අද සැනසීමෙන් තාත්තා මගේ රඟපෑම විඳිනවා. මම කලාවට එනවාට අම්මා පොඞ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මගේ අම්මා ගුරුවරියක්. ගෑනු දරුවෙක් විදිහට මේ දේවල්වලට ගියාම පිටත සමාජයේ බලපෑම් එයිද, පරිස්සමෙනස් කරගන්න අමාරු වෙයිද කියන බය මගේ අම්මාටත් තිබුණා. ඒත් ඊට පස්සේ මගේ කලා ගමනට මාව වැඩිපුරම උනන්දු කළේ තාත්තාට වඩා අම්මා. අද මම මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. මගේ ජීවිතේ ලූණු ඇඹුල් දෙකම තියෙනවා. දුක සැප සතුට හැමදේම ලැබිලා තියෙනවා. හැබැයි ජීවිතේ කොතැනක හරි වෙනස් කරන්න කැමතිද කියලා ඇහැව්වොත් මම ජීවිතේ කිසිම තැනක් වෙනස් කරන්න කැමැති නැහැ. 
රුව රැකගැනීමේ රහස මොකක්ද?
උපතින්ම ලැබුණු දේ තමයි මට ලස්සනයි කියලා මම හිතන්නේ. කිව්වාට විශ්වාස කරයිද දන්නේ නැහැ. ජීවිතේ කවදාවත් මම ෆේෂල් එකක්වත්, වැක්ස් එකක්වත් කරලා නැහැ. ඒත් පසුගිය දිනවල මගේ ෆෝටෝ එකක් වයිරල් ගියා ෆේෂල් එකක් කරන ඡායාරූපයක්. ඒ රූපලාවන්‍ය නිෂ්පාදනයක් සඳහා මම සහභාගී වුණු වෙළඳ දැන්වීමක රඟපෑමක් විතරමයි. ඔබ රූපයට කිසිම සත්කාරයක් කරලා නැහැ. අවුරුදු 19- 20 මුණේ කුරුලෑ ආවා. නමුත් ඊට පස්සේ කුරුලෑ ඉබේටම නැතිවෙලා ගියා. ෆේෂල් ක්ලීනප් කරන්න තරම් මගේ සම දුර්වල වෙලා නෑනේ. සමාන්‍ය එදිනෙදා පිරිසුදු කිරීමක් විතරයි මම කරන්නේ. මම මේක්අප් කරන්න හරිම අකමැතියි. හුඟක් වෙලාවට මම කැමැති තනියම හුදෙකලා වෙලා ඉන්න. 

ඒක ඔබේ ජනප‍්‍රියත්වයට ගැටලුවක්ද? 
ගැටලුවක් නම් මේ වෙනකොට මට වැඩ නැතිවෙන්න ඕනෑ. අද වෙනකම් ප්‍රේක්ෂක ආදරයෙන් සහ වැඩවලින් මට අඩුවක් නැහැ. ඇත්තම කියනවා නම් මම උපන්දින සාදවලට, මංගල සාදවලට, වෙනත් සාදවලට යන්නේම නැහැ. වෘත්තීය ජීවිතෙන් මම රඟපානවා. එතැනින් එහාට මට ක්ෂේත‍්‍රයේ යාළුවෝ නැහැ. 
ඔබ රංගන ක්ෂේත‍්‍රයට එන්නෙම විවාහ වෙලා. ඒක කලා ගමනට බාධාවක් වුණේ නැද්ද? 
මට සැමියා මුණ ගැසෙන්නේ මට අවුරුදු 19 දී. උදයකාන්ත මහතාගේ පායා එන්න හිරු සේ චිත‍්‍රපටිය කරනකොට මම විවාහ වෙලා හිටියේ. මම විවාහකයි කියන එක ප්‍රේක්ෂකයන්ට කොතැනකදිවත් ගැටලුවක් වුණේ නැහැ. ජනප‍්‍රිය නිළිය සම්මානය එක දිගට වසර 5 ක් ටෙලි, සිනමා ක්ෂේත‍්‍ර දෙකෙන්ම ලැබුණා. ඇත්තටම විවාහය මගේ රංගනයට කොතැනකදිවත් බාධාවක් වෙලා නැහැ. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහුගේ වැඩත් කරගෙන, මාවත් රූගතකිරීම්වලට නිදහස් කරලා දුවගේ සියලූ වගකීම ඉටු කරන හොඳ සැමියෙක්. අපි විවාහ වෙලා අවුරුදු හතරකට පස්සෙයි දුව ලැබුණේ. 2011 දි පළමු ජනප‍්‍රිය නිළිය සම්මානය මට ලැබෙද්දි මම මාස 3 ක ගැබිනියක්. මේ හැමදේම ලැබුණෙ දුවගේ වාසනාවට කියලයි මට හිතෙන්නේ.

෴  උපුටා ගැනීම - සාරවිට
   ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom