‘වොයේජර් 2’ ට ලැබුණු වැරදි පණිවුඩය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 1, 2023

‘වොයේජර් 2’ ට ලැබුණු වැරදි පණිවුඩය

ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන්ට සිදුවුණු අකරතැබ්බක් ගැනයි මේ. ඇමෙරිකාවේ නාසා ආයතනය ‘වොයේජර් Voyager 1 සහ 2’ යන නමින් රොබෝ ගවේෂණ යානා දෙකක් විශ්වයේ ඈතට ඈතට යැව්වේ 1977 වසරේදීය.

‘වොයේජර්’ නිවුන්නු යන නමින් ද හැඳින්වෙන මෙම රොබෝ යානාවල අරමුණ සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය කරමින් ඈතට ගමන් කිරීමය. ‍

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනැවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පළමුවෙන් යැවුණේ ‘වොයේජර් 2’ යානයයි. ඒ, 1977 අගෝස්තු 20 වැනිදාය.

‘වොයේජර් 1’ එම වසරේ සැප්තැම්බර් 5 වැනිදා අභ්‍යවකාශයට යැවුණි. ඒ, වෙනත් කෙටි මාර්ගයක් භාවිත කරමිණි. අද වනවිට, මිනිසා විසින් විශ්වයේ ඈතට යවනු ලැබූ වස්තූන් ලෙස සැලකෙන්නේ ‘වොයේජර් 1 සහ 2’ යානාය.

එයින් ද මිනිසා විසින් විශ්වයේ ඈතට යවනු ලැබූ පළමු වස්තුව ‘වොයේජර් 1’  වන අතර දෙවැනි වස්තුව ‘වෙයේජර් 2’ ය. මෙම යානා අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් සීමාව පසු කර ඉන් ඔබ්බට ගොස් හමාරය.

‘වොයේජර් 1 සහ 2’ නිර්මාණය කර ඇත්තේ 70 දශකයේ තාක්ෂණය යොදා ගනිමිනි. ඒත් තවමත් ඒවා හොඳින් ක්‍රියාත්මක වෙයි. මේ මොහොත වෙද්දී, ‘වොයේජර් 2’ රොබෝ ගවේෂණ යානය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් බිලියන 19.9 කට වඩා ඈතිනි.

‘වොයේජර් 1 සහ 2’ යානාවලට පණිවුඩ යවමින් ඒවා මෙහෙයවීම සිදු කරන්නේ නාසා ජෙට් ප්‍රචාලන ආයතනයේ NASA's Jet Propulsion Laboratory (JPL) විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන්ය.

පසුගිය ජූලි 21 වැනිදා නාසා ජෙට් ප්‍රචාලන ආයතනය ‘වොයේජර් 2’ ට උපදෙස් කීපයක් ලබා දුන්නේය. අවාසනාවට ලබා දුන්නේ වැරදි උපදෙස්ය. වැරදි උපදෙස් අනුව, රොබෝ යානයේ ‘කැන්බෙරා’  Canberra ඇන්ටනාව, පෘථිවිය දෙසට නොව, පෘථිවියෙන් ඉවතට හැරවීම සිදුවිය. එය ඉතා සුළු වෙනස් වීමකි.

සුළු වෙනස් වීමක් වුවක් අවසානයේ නාසා විද්‍යාඥයන්ට ‘වොයේජර් 2’ සමඟ පණිවුඩ හුවමාරු කටයුතු නැවතිණි. දැන් ‘වොයේජර් 2’ යානය සමඟ යළි සම්බන්ධ වීමට නාසා විද්‍යාඥයන්ට ලබන ඔක්තෝබර් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව පැවැසෙයි.

‘වොයේජර් 2’ යානය දැන් ගමන් කරමින් ඇති ස්ථානය අනුව, යානයේ සිට පෘථිවියට පණිවුඩයක් ළඟා වීමට ගතවන කාලය මිනිත්තු 18 කි.

1977 වසරේ දී පෘථිවියෙන් පිටත්වී අභ්‍යවකාශ ගතවුණු ‘වොයේජර් 1 සහ 2’ ගමන් කළේ එකිනෙකට වෙනස් ගමන් මාර්ග දෙකකය. කෙසේ නමුත් 2018 දෙසැම්බර් 10 වැනිදා ඒවා එකිනෙකට ළං විය.

‘වොයේජර් 1 සහ 2’ යානා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ පිහිටීම් ගැන රහස් රැසක් අනාවරණය කර දී තිබේ. බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ රහස් අනාවරණය කර දුන්නේ ‘වොයේජර් 2’ යානයයි.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට

Classified_Ad

Classified_Ad_News_Bottom