චන්ද්‍රයාන් 3 මෙහෙයුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 1, 2023

චන්ද්‍රයාන් 3 මෙහෙයුම

චන්ද්‍රයාන් 3 මෙහෙයුම මිනිසා සඳට පය තැබුවේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ මෙහෙයුම් මාලාව යටතේය. සඳ යනු වායුගෝලයක් නැති, නිසල, නිසරු දුවිලි සහ පස් පිරුණු තැනක් බව ඒ අනුව තහවුරු විය. ඒත් 2008 වසරේ දී සඳ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුවිය. අනාවරණය කළේ ඉන්දීය විද්‍යාඥයන්ය. 

ඉන්දීය විද්‍යාඥයන් මෙම අනාවරණය කළේ ඔවුන්ගේ තාක්ෂණයෙන්, ඔවුන් විසින්ම නිපදවූ රොබෝ කක්ෂීය යානයක් සඳුගේ කක්ෂයට යැවීමෙනි. මේ යානය ‘චන්ද්‍රයාන් 1’ Chandrayaan-1 ය. 2008 ඔක්තෝබර් 22 වැනිදා ඉතා සාර්ථකව පෘථිවියෙන් පිටක් වුණු ‘චන්ද්‍රයාන් 1’, සඳුගේ කක්ෂයට පිවිසියේය. ‘චන්ද්‍රයාන් 1’ සඳ මතුපිට ස්කෑන් කළේය. 

සඳුගේ පස්වල ද්‍රව ජල අංශු ඇති බව එයින් අනාවරණය විය. මෙය ඉතා වැදගත් සොයා ගැනීමකි.‍ නාසා විද්‍යාඥයන් පවා මවිත කිරීමට ‘චන්ද්‍රයාන් 1’ සමත් විය. ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුම අවසන් වූයේ 2009 අගෝස්තු 28 වැනිදාය. ඉන්දීය විද්‍යාඥයන් හිතාමතාම, ‘චන්ද්‍රයාන් 1’ විනාශ කළේ, එය සඳ මතට කඩා වැටෙන්න ඉඩ හරිමිනි. ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුමෙන් පන්නරයක් ලැබූ ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය, Indian Space Research Organization (ISRO) 2019 වසරේ ‘චන්ද්‍රයාන් 2’ Chandrayaan-2 රොබෝ යානය සඳට යැවීය.

‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුමට අයත් වූයේ කක්ෂීය යානයකි. විශ්වය ගවේෂණයට යැවෙන රොබෝ යානා වර්ග 3 කි. කක්ෂගතවී ගවේෂණ කටයුතු සිදුකරන යානා කක්ෂීය යානා (Orbiter) ය. ගොඩබැසීමක් කර, එම ස්ථානයේම සිට ගවේෂණ කටයුතු කරන යානා, පතිත කරවන යානා එසේත් නැතිනම් ගොඩබැසීමේ යානා (Lander) ලෙස හැඳින්වෙයි. ගොඩබැසීමක් කර එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන රෝද සහිත යානා හැදින්වෙන්‌නේ රෝවර් (Rover) යන නමිනි. 
‘චන්ද්‍රයාන් 2’ හරහා ඉන්දීය විද්‍යාඥයන් ගොඩබැසීමේ යානයක් (Lander) සහ රෝවර් යානයක් සඳට යැවීමට උත්සාහ කළේය. පතිත කරවන යානය ‘වික්‍රම්’ යන නමින් ද රෝවරය ‘ප්‍රාග්යාන්’ යන නමින් ද නම් කර තිබුණි. අවාසනාවට, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම සාර්ථක වූයේ නැත. ප්‍රධාන යානය සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිසියත්, ‘වික්‍රම්’ යානයට හෝ ඒ තුළ රැඳවුණු ‘ප්‍රාග්යාන්’ රෝවරයට සඳට ගොජබෑමට නොහැකි විය. ඒවා සඳට කඩා වැටුණි. ‘චන්ද්‍රයාන් 2’ කක්ෂීය යානය සාර්ථකව සඳුගේ කක්ෂයේ තවමත් ඇති බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති.

‘චන්ද්‍රයාන් 2’ ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය ලැබූ පසුබෑමකි. එසේ වුවත්, ඒ පසුබෑම ද පන්නරයක් කර ගනිමින්, ඉන්දීය විද්‍යාඥයෝ පසුගිය වසර කීපයේ ‘චන්ද්‍රයාන් 3’ Chandrayaan-3 මෙහෙයුමට සූදානම් වූහ. ජූලි 14 වැනිදා ඉන්දියාවට ඉතා වැදගත් දිනයක් විය. අසල්වැසියන් ලෙස ශ්‍රී ලංකාවේ අප ද ඒ ගැන ආඩම්බර විය යුතුය. ජූලි 14 වැනිදා ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව ආරම්භ කළේය. 

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ගොඩබැසීමේ යානයක් සහ රෝවර් යානයක් ඇතුළත්ය. ‘චන්ද්‍රයාන් 2’ අසාර්ථක වුණු බැවින්, චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඇතුළත් ගොඩබැසීමේ යානය ‘වික්‍රම්’ ලෙස ද රෝවරය ‘ප්‍රාග්යාන්’ ලෙස ද යළි නම් කර තිබේ. කුඩා ‘ප්‍රාග්යාන්’ රෝවරය ඇත්තේ, ‘වික්‍රම්’ යානය තුළය. සඳුගේ කක්ෂයට පිවිසීමෙන් අනතුරුව, වික්‍රම්’ යානය වෙන් වී, සඳුගේ දකුණු අර්ධ ගෝලයේ තෝරා ගත් ස්ථානයකට පතිත කරනු ඇත.
නියමිත ප්‍රවේගය ලබාගන්නා අයුරු
‘වික්‍රම්’ සඳට ගොඩ බැසීමෙන් පසු ‘ප්‍රාග්යාන්’ පිටතට පැමිණ, සඳ මතුපිට යමින් ගවේෂණ කටයුතු සිදු කරාවි. ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ගේ අරමුණ සඳුගේ පස් පරීක්ෂා කර දත්ත ලබා ගැනීමය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම සඳහා, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ වැරදුණු තැන් නිවැරදි කිරීමට ඉන්දීය විද්‍යායන් පියවර ගෙන ඇත. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ මෙන් නොවෙයි, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට කක්ෂිය යානයක් නැත. ‘ප්‍රචාලන මොඩියුලයකට’ (Propulsion Module) ‘වික්‍රම්’ ගොඩබැසීමේ යානය හා සම්බන්ධය. 

පොදුවේ ‘චන්ද්‍රයාන් 3’ යනුවෙන් මෙය හැඳින්වෙයි. මෙම ප්‍රධාන යානය සඳුගේ කක්ෂයට පිවිස වට කීපයක් ගමන් කර, සඳුගේ දකුණු අර්ධ ගෝලයට ගොඩබෑමට නියමිතය. යානය, නිව්ටන් 800 ක තෙරපුම් බලය සපයන රොකට් එන්ජින් 4 ක් යොදා ගනිමින් ගොඩබෑම සෙමින් සිදු කරනු ඇතැයි ද පැවැසෙයි. 

යානයට සඳට ගොඩබැසීමට උපකාර වන සංවේදක සහ කැමරා කිහිපයකි. ලේසර් ඩොප්ලර් වෙලොසිමීටර් (Laser Doppler Velocimeter) එක් ප්‍රධාන සංවේදක උපාංගයයි.‍ ගොඩබෑම කරද්දී සඳුගේ පෘෂ්ඨය වෙතට එල්ල කරන ලේසර් කිරණ එල්ල කිරීමක් මෙමගින් සිදු කෙරේ. වේගය අඩු වැඩි කිරීම වෙන්නේ ඒ අනුවය. 

 සඳුගේ භූ කම්පන තරංග මැනීමට යොදා ගන්නා සංවේදකයක් (Instrument for Lunar Seismic Activity (ILSA), සඳ මතුපිට තාපය සන්නයනය වන ආකාරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා උපකරණයක් Chandra’s Surface Thermo physical Experiment (ChaSTE), සඳ අවට පැතිරී ඇති ප්ලාස්මාවේ ඝනත්වය සහ විචලනයන් මනින උපකරණයක් Radio Anatomy of Moon Bound Hypersensitive ionosphere and Atmosphere-Langmuir Probe (RAMBHA-LP) ගොඩබැසීමේ යානයට ඇතුළත් වෙයි.

ඉහත සඳහන් කළ ලේසර් උපාංගයට සම්බන්ධ Laser Retroreflector Array (LRA) සඳහා ඉන්දීය විද්‍යාඥයන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ සහාය ලබාගෙන ඇත. Laser Retroreflector Array (LRA) නමැති මෙම පරාවර්තනයට, ලේසර් කිරණයක් එල්ල කිරීමෙන් දුර නිරවද්‍ය ලෙස මැන ගත හැක. 

කෙසේ නමුත් මෙය නාසා ආයතනයේ ඇපලෝ මෙහෙයුම්වල යොදා ගත් ලේසර් පරාවර්තක තරම් ප්‍රබල නොවන බව ද පැවැසෙයි. ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය කිලෝග්‍රෑම් 26 ක ස්කන්ධය ඇති කුඩා එකකි. මෙහි ප්‍රධාන විද්‍යාත්මක උපකරණ දෙකක් ඇති අතර, ඒවායින්, සඳුගේ පාෂාණවල රසායනික සංයුතිය අධ්‍යයනය කෙරෙනු ඇත. ‘චන්ද්‍රයාන් 3’ උඩුගුවනට යැවීම සිදු කෙරුණේ ඉන්දියාවේ බලවත්ම රොකට්ටුව වන ‘ලොන්ච් වෙහිකල් මාර්ක් 3’ Launch Vehicle Mark 3 රොකට්ටුවෙනි. කෙටියෙන් GSLV MK III ය. ‘බාහුබලී’ රොකට්ටුව යනුවෙන් ද මෙම රොකට්ටුව හැඳින්වෙයි. ඒ, ‘බාහුබලී’ චිත්‍රපටය සිහිගන්වමිනි. 

රොකට්ටුව ගුවන් ගත කෙරුණේ ඉන්දියාවේ, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ, ශ්‍රී හරිකොත පිහිටි 'සතිෂ් ධවාන්' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට තල්ලු කළ ‘චන්ද්‍රයාන් 3’ යානය, රොකට්ටුවෙන් වී සඳ බලා ගමන් ඇරඹුවේය. ‘චන්ද්‍රයාන් 3’ සම්බන්ධ කර තිබුණේ ‘බාහුබලී’ රොකට්ටුවේ මුදුනේය. සෙමින් සෙමින් පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී ඉහළට යද්දී රොකට්ටුවේ කොටස් එකිනෙක වෙන් විය. 
අවසානයේ අභ්‍යවකාශයට පිවිසියේ ‘චන්ද්‍රයාන් 3’ ප්‍රධාන යානය සහිත කොටසය. ප්‍රචාලන මොඩියුලයේ රොකට් එන්ජිම යොදා ගනිමින්, එන්ජින් දහනයන් 5 ක් කර, ප්‍රධාන යානය සඳ බලා ගමන් කිරීමේ ප්‍රවේගය ලබා ගත්තේය. ‍‘වික්‍රම්’ ගොඩබැසීමේ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවරය පණ ගැන්වෙන්නේ ඒවාට සවි කර ඇති සූර්ය පැනල්වලින් උත්පාදනය කරන විදුලි බලයෙනි. 

චන්ද්‍රයාගේ එක් දිනයක් පෘථිවි දින 28 ක් වන නිසා, චන්ද්‍රයා මත දිවා කාලය පවතින්නේ පෘථිවි දින 14 ක් පමණි. එහෙයින්, ‘වික්‍රම්’ යානය සහ රෝවරය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ දින 14 ක් පමණක් යැයි ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒ සඳහා යානය ගොඩබැසිය කළ යුත්තේ ගොඩබසින ස්ථානයට හිරු උදාවන මොහොතේය. 

සියලු කටයුතු හොඳින් සිදුවුවහොත් ‘වික්‍රම්’ යානය සඳ මතට ගොඩබැසීමට නියමිත වන්නේ අගෝස්තු 23 වැනිදාය. එසේ වුවහොත්, ඇමෙරිකාව, රුසියාව සහ චීනයට පසු, සාර්ථකව ගවේෂණ යානයක් සඳට යවන සිවුවැනි රට අප අසල්වැසි ඉන්දියාව වනු ඇත. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom