ජේම්ස් වෙබ් දුටු තරු තොටිල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 31, 2023

ජේම්ස් වෙබ් දුටු තරු තොටිල්ල

2021 දෙසැම්බර් 25 වැනිදා අභ්‍යවකාශයට යැවුණු ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය, හරිහරියට විශ්වය අධ්‍යයනය කරමින්, රහස් අනාවරණය කර දීමට පටන් ගෙන තිබේ. ‘ජේම්ස් වෙබ්’ යනු ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් අභ්‍යවකාශයේ ඈතට යවා රඳවා ඇති ප්‍රබලතම දුරේක්ෂයයි.

විස්මිත අනාවරණ සමඟ ‘ජේම්ස් වෙබ්’ පෘථිවියට එවූ ඡායාරූප රැසකි. මේ වනවිට, අප සෞරග්‍රහ මණ්ඩලයේ බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ මෙතෙක් නොදුටු ඡායාරූප පෘථිවියට එවීමට ‘ජේම්ස් වෙබ්’ සමත් වී අවසන්ය. 

2021 දෙසැම්බර් මාසයේ අභ්‍යවකාශයට යැවුණත්, ‘ජේම්ස් වෙබ්’ සිය මෙහෙයුම් ආරම්භ කරමින් පළමු ඡායාරූපය පෘථිවියට එවීම සිදු කළේ  2022 වසරේ ජූලි මාසයේය. ඒ අනුව, 2023  ජූලි 12 වැනිදා ට දුරේක්ෂය මෙහෙයුම් ආරම්භ කර වසරක් සම්පුර්ණ විය. ලැබූ එම ජයග්‍රහණ සැමරීමක් ලෙස, දුරේක්ෂය එවූ තවත් අපූරු ඡායාරූපයක් නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉහළින් ඇත්තේ එම ඡායාරූපයයි.

ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ අප පෘථිවියේ සිට ආලෝක වර්ෂ 390 ක් දුරින් පිහිටි ‘රෝ අපියුචික් ක්ලවුඩ් කොම්ප්ලෙක්ස්’ Rho-Ophiuchi-Cloud යන නමින් විද්‍යාඥයන් නම් කළ, දූවිලි සහ වායුවලින් සැඳුම්ලත් තාරකා උපදින ස්ථානයයි. මෙය තරු තොටිල්ලක් යැයි ද කිව හැකිය. 

තාරකා විද්‍යාත්මකව කීවොත් ‘නීහාරිකාවකි’. ඉංග්‍රීසි බසින් ‘නෙබියුලා’ය.  නීහාරිකාවක් යනු හයිඩ්‍රජන් වායු සහ ධූලි අංශුවලින් පිරුණු යෝධ වලා පටලයකි. ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය, නාසා විද්‍යාඥයන් අතට පත් කළ අපූරු ඡායාරූපයේ රතු පැහැයෙන් දකින්න ලැබෙන්නේ, හයිඩ්‍රජන්වලින් සැදුම්ලත් කලාපයයි. 

මෙම කලාපය රතු පැහැයක් ගන්නේ, නීහාරිකාව තුළ පවතින අලුතින් උපදින තරුවලින් නිකුත් කෙරෙන ජෙට් ධාරා නිසාය. අලුතින් උපදින තාරකාවක් වටා අධික උෂ්ණත්වයකින් කක්ෂගත වන දුවිලි සහ වායූන්ගෙන් සැදුම්ලත් තැටියක් (ප්‍රොටෝ-ප්ලැනටරි ඩිස්ක්) පවතී. මෙවැනි ‘ප්‍රොටෝ-ප්ලැනටරි ඩිස්ක්’ පැවැතීම නිසා උපදින නව තාරකාවලින්, ජෙට් ධාරා නිකුත් වෙයි.

ඡායාරූපයේ අඳුරු කලාප දකින්න ලැබේ. තාරකා ඉපදීම ආරම්භ වී ඇති කලාප ලෙස විද්‍යාඥයන් ඒවා හඳුන්වයි. ‘ප්‍රොටෝ-ස්ටාර්’ පවතින කලාපය එයයි. (ප්‍රොටෝ-ස්ටාර් යනු මූල තාරකාව යන අරුතය. තරුවක ආරම්භක අවදිය එසේත් නැතිනම් ළදරු අවදිය මෙයයි) ‘ප්‍රොටෝ-ස්ටාර්’ තාරකාවකට ළදරු අවදියේ දී දීප්තිමත් දැවැන්ත ආලෝකයක් නිකුත් කිරීමට හැකියාව නැත. අප සූර්යයා ද තරුවකි. 

ඡායාරූපයේ පෙනෙන ආකාරයට මෙහි ඇති සියලුම තරු අප සූර්යයාට සමානය. නැතිනම්, ඊට වඩා කුඩා ප්‍රමාණයේ තරුය. නාසා විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ ඡායාරූපය හොඳින් අධ්‍යයනය කරමිනි. ඡායාරූපයේ මැද ඇති, දීප්තියෙන් පෙනෙන තාරකාව පමණක් අප සූර්යයාට වඩා විශාලය. මෙම තාරකාව විද්‍යාඥයන් නම් කර ඇත්තේ ‘එස් 1’ යනුවෙනි.

‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සුවිශේෂී එකකි. විද්‍යාඥයන් මෙම දුරේක්ෂක හඳුන්වන්නේ ‘අතීතයට බැලුම් හෙළන’ දුරේක්ෂය යනුවෙනි. ‘අතීයට බැලුම් හෙළනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. පෘථිවියට ඈතින්, ‘ලග්‍රාන්ජ්’ ලක්ෂයේ රඳවා ඇති දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. 

මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂය, නාසා ආයතනයේ ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ‘වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයක් මෙන්ම ඓතිහාසික සිද්ධියක් වී හමාරය. ඉදිරි දශකය පුරාවට, තව තවත් විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘වෙබ්’ දුරේක්ෂය උදව් වනු නොඅනුමානය.

ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයන් ලෙස හැඳින්වෙන්නේ සූර්යයා හා පෘථිවිය වැනි ග්‍රහ වස්තු පද්ධති දෙකක ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති කරන තැන් වලටය. ඒ කලාප අභ්‍යවකාශයේ ‘රථ ගාල්’ ලෙස සැලකෙයි. එවැනි තැනක රැ‍ඳ‍ෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන සූර්යයා දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව, කක්ෂයෙහි වෙනස් වීමක් නැතිව ස්ථාන ගත කළ හැකිය. 

මේ ස්ථානවලින් මුලින් ම හඳුනාගනු ලැබුවේ ‘එල්1’ (ලග්‍රාන්ජ් පොයින්ට් 1) ලෙස හැඳින්වෙන ලක්ෂ්‍යයයි. මේවා ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයන් ලෙස නම් කර ඇත්තේ ඒවා සොයා ගත් ජෝසප් ලුවීලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයාගේ නමිනි. මේ ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ සූර්යයාත් පෘථිවියත් අතර පෘථිවියේ සිට කිලෝ මීටර ලක්ෂ 15ක් (සැතැපුම් මිලියනයක්) දුරින් වූ කක්ෂයකය. ‘එල්2’ ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ ඒ කක්ෂය මත හරියටම ප්‍රතිවිරුද්ධ දිසාවේය. ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ස්ථාපිත කර ඇත්තේ මේ ස්ථාන‍යෙහිය. එය හැම විටම පෘථිවියට මුවා වී පවතින නිසා හිරු එළියෙන් එහි කටයුතුවලට බාධාවක් සිදු නොවෙයි.   

෴ ලුසිත ජයමාන්න   
ස්තුතිය - NASA ආයතනයට

Classified_Ad

Classified_Ad_News_Bottom