ලොවට හඳුන්වා දුන් අලුත්ම පලතුර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 31, 2023

ලොවට හඳුන්වා දුන් අලුත්ම පලතුර

කොමඩු කන්න අකමැති කවුරුද?  උණුසුම් දවසක රසම රස කොමඩු කැබැල්ලක රස බැලීම සිරුර ප්‍රබෝධමත් කරයි. ජපානයේ කොමඩු අතිශය ජනප්‍රියය. කොමඩු පමණක් නොව, ජපන් වැසියෝ ලෙමන්වලට ද ප්‍රිය කරති. ලෙමන් යනු දෙහි වර්ගයකි. ලෙමනේඩ් බීම සකස් කරන්නේ, ලෙමන් යොදා ගනිමිනි. දැන් ජපන් ගොවීන් හරි අපූරු නව පලතුරක් වගා කිරීමට පටන්ගෙන ඇති අතර, එම නව පලතුර මේ වනවිට ජපන් වෙළෙඳපොළ ද ජය ගෙන අවසන්ය. ඉදිරියේ දී මෙම පලතුර රස බැලීමට ලොව කාට කාටත් අවස්ථාව උදාවනු නිසැකය.

මෙම නව පලතුර ‘ලෙමන් මෙලන්’ Lemon Melon ය. මෙය ලෙමන් සහ පැණි කොමඩු දෙමුහුමකි. ඇඹුල් රස සහ පැණි රස කැටි වුණු මෙම නව පලතුර, විකෘතියක් යැයි කෙනකුට කිව හැකිය. එහෙත්, රස අතින්, එය සැබැවින්ම අපූරුය. අමුතුම රසයකි. ආරම්භයේ දී නව පලතුර ජපානයේ හොක්කයිඩෝ පළාතේ ගොවීන් පස් දෙනකු විසින් සීමිත ප්‍රමාණයකින් වගා කර තිබේ.

‘ජපෑන් ටුඩේ’ පුවත්පතට අනුව, ‘ලෙමන් මෙලන්’ නිපදවිමේ කටයුත්ත පසුපස සිටින්නේ ජපන් උද්‍යාන විද්‍යා සමාගම වන ‘සන්ටොරි ෆ්ලවර්ස්’ සමාගමය. විදේශයකින් ආනයනය කළ කොමඩු වර්ගයක් සහ ජපන් ලෙමන් දෙමුහුම් කර ‘ලෙමන් මෙලන්’ නිර්මාණය කළ බව ‘සන්ටොරි ෆ්ලවර්ස්’ සමාගමේ විද්‍යාඥයෝ පවසති. මෙම කටයුත්තට ඔවුන්ට ගත වුණු කාලය වසර 5 කට වැඩිය.

පෙනුමින්, ‘ලෙමන් මෙලන්’ ගෙඩිය, කොමඩු ගෙඩිය තරම්ය. කොමඩු ගෙඩියේ මෙන් රටා පොත්තේ දකින්න ලැබේ. ඇතුළත මාංශලය සුදු පැහැයක් ගනී. පැණි කොමඩු මෙන් රතු හෝ රෝස පැහැයක් නොගනී. ඇතුළත ඇට මෘදුය.
සාමාන්‍ය පැණි කොමඩු ගෙඩියක්  මෙන් නොව, ‘ලෙමන් මෙලන්’ ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.4 ත් 2 ත් අතරේ ය. ජපාන වෙළෙඳපොළ තුළ ‘ලෙමන් මෙලන්’ ගෙඩියක් අලෙවි වන්නේ යෙන් 3,218 ක මුදලකටය. එය ලංකා මුදලින් රුපියල් 7,000 කි. (ඇමෙරිකන් ඩොලර් 23.30 කි.) මෙම වසරේ, හෙක්ටයාර් 3,800 ක ලෙමන් කොමඩු වගා කිරීමට අපේක්ෂා කරන බව ද ‘සන්ටොරි ෆ්ලවර්ස්’ සමාගම පෙන්වා දී තිබේ.

‘ලෙමන් මෙලන්’ වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ වසරේ සීමිත කාලයකටය. පසුගිය මාස කීපයේ, හොක්කයිඩෝ පළාත්වල අලෙවි වුණු ‘ලෙමන් මෙලන්’ ගෙඩි ගණන 3,800 කි. ඉදිරියේ දී මෙම අගය තවත් ඉහළ යනු නොඅනුමානය. ‘සන්ටොරි ෆ්ලවර්ස්’ සමාගමේ ඉන්ජිනේරුවන් පෙන්වා දෙන්නේ ඔවුන් සිතනවාටත් වඩා ‘ලෙමන් මෙලන්’ ගෙඩි  ජපන් වැසියන් අතරේ ජනප්‍රිය බවය.

෴ ලුසිත ජයමාන්න
උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom