HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පණ්ඩිත් රවි ශංකර් පණ්ඩිත් අමරදේව හමු වූ දා

භාරතයේ කීර්තිමක් සංගීතඥයකු වූ පණ්ඩිත් රවි ශංකර් හා අපේ පණ්ඩිත් අමරදේව ජීවතුන් අතර සිටිය දී මුණු ගැසුණු විස්මිත අවස්ථාවක් පසුගියදා අපේ ප්‍රවීණ වේදිකා රංග ආලෝකකරණ ශිල්පියකු වූ උපාලි වීරසිංහයන් ගේ මතකාවර්ජනයක් අපට අසන්නට ලැබුණා. මේ සිද්ධියට ඔහු මුහුණ පෑවේ කලකට ඉහත බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සංගීත සංදර්ශනයක ආලෝකකරණය සඳහා ගොස් සිටියදීයි. සංගීත සංදර්ශනය රවි ශංකර්ගේයි. ඔහුගේ සංගීත සංදර්ශනයේ ආලෝකරණය පැවරී තිබුණේ ඔහුටයි. ඒ කාලේ ලංකාවේ හිටපු ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණයක් කළ හැකි ශිල්පියා වූ මහින්ද ඩයස් ළඟ තමයි, උපාලි සේවය කළේ. ඒ කතාව ඔහුගේ වචනවලින් ම මෙසේයි: 

පණ්ඩිත් රවි ශංකර්

“ඒ කාලේ විදේශීය ශිල්පියෙක් ඇවිල්ලා මෙහෙම සංදර්ශනය කරන්න සූදානම් වුණේ මහින්ද ඩයස් මහත්තා මටයි කතා කර බාර දෙන්න. ඒ මට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තිබුණු නිසා. රවි ශංකර්ගේ ප්‍රසංගය බාර දුන්නාම මං ඒක භාර ගත්තේ හරිම ආසාවෙන්. මොකද එතුමාගේ සිතාර් වාදනය සජීවීව අහන්න මම හරිම ආසාවෙන් හිටියේ. 

“ප්‍රසංගය පවත්වපු දවසෙ ආලෝකකරණ කටයුතු සකස් කිරීම අවසන් කරලා මම ශාලාව ඉදිරිපිටට ගියා. එතකොට ප්‍රසංගය පටන් ගන්න තවත් පුංචි වෙලාවක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. එහෙම ගියෙ බැල්කනියට යන හිතා ගෙන. මම ඉදිරිපිටට යන කොට එතැන අමරදේව මහත්තයා සිටියා. මම එතුමා ළඟට ගිහින් කතා කළා. අමරදේව මහත්තයාට මිල දී ගන්න පුලුවන් වෙලා තිබුණෙ බැල්කනි ටිකට් එකක්. ඒ නිසා මම අමරදේව මහත්තයා එක්කර ගෙනම බැල්කනියට ගියා. ඒ වෙන කොට බැල්කනියත් ප්‍රේක්ෂකයින්ගෙන් පිරිලා. පිටි පස්සේ බිත්තියට හේත්තු වෙන්න අසුන් තුනක් විතරයි ඉතුරු වෙලා තිබුණෙ. අපිත් ඒ දෙකක වාඩි වුණා. 

පණ්ඩිත් අමරදේව

“රවි ශංකර් වාදනය ආරම්භ කළාම අමරදේව මහත්තයා එයට සමගාමීව තාලෙ අල්ලන්න පටන් ගත්තෙ පුටුවෙ වාඩිවෙලා නර්තනයක යෙදෙනවා වාගෙයි. තාලෙ අල්ලද්දී අමරදේව මහත්තයාගෙ අත් දෙක සමහර වෙලාවට මගේ ඇ‍‍‍ඟ‍ෙත් වදිනවා. ඒත් මම ඒක කරදරයක් විදියට සැලකුවේ නැහැ. අමරදේව මහත්තයා ඒ ප්‍රසංගය එස වින්ද‍ෙ එයට සම වැදිලා වගෙයි. ප්‍රසංගය ඔහොම යන අතරෙ අමරදේව මහත්තයා මගෙන් ඇහුවා, ‘උපාලි, රවි ශංකර්ව මුණු ගැහෙන්න විදිහක් නැද්ද? ආරංචි විදියට නම් කාටවත් එයාව හම්බ වෙන්න දෙන්න‍ෙ නැහැ’ කියලා. මම එතකොට එතුමට කිව්වා ඉන්ටවල් එක වෙලාවෙ අපි පහළට යමු කියලා. අමරදේව මහත්තයා ඒකට කැමති වුණා. 

“මං පහළට යමු කිව්වෙ යම් සැලසුමක් හිතේ තියාගෙන. අපි පහළට ගියේ විවේකය පටන් ගන්න ටික වෙලාවකට කලින්. එහෙම ගිහින් වේදිකාවෙ පිටුපසට වෙන්න පහළින් තිබුණු පුටවක මම අමරදේව මහත්තයාව වාඩි කෙරෙව්වා. විවේකයට තිර වහපු ගමන් මම වේදිකාවට නැඟලා රවි ශංකර් මහත්තයට කිව්වා අමරදේව මහත්තයා ප්‍රසංගය බලන්න ඇති ඉන්නවා. හැබැයි එතුමට ඔබ තුමාව මුණගැහෙන්න විදියක් නැතුව ඉන්නේ කියලා. 

“මම එහෙම කිව්වා විතරයි, රවි ශංකර් ගත කටට ම ඇහුවේ, ‘වෙයා ඉස් අමරේ?’ කියලා. එතකොට මං කිව්වා, අමරදේව මහත්තයාව මං ඔබතුමා ළඟට එක්කර ගෙන එන්නම් කියලා. ඊට පස්සේ රවි ශංකර් වේදකාවෙන් බැහැලා වැසිකිළිය තිබුණු පැත්තට ගියා. මමත් අමරදේව මහත්තයා වාඩි කරවල හිටපු තැනට ගිහින් එතුමත් එක්කර ගෙන රවි ශංකර් ගිය පැත්තට ගියා. වැසිකිළියට ගිහින් එනකොට තමයි රවි ශංකර් අමරදේව මහත්තයාව දක්කෙ. රවි ශංකර් අමරදේව දැකපු ගමන් ‘හලෝ අමරේ!’ කියලා කෑ ගැහුවා. 

“ඊට පස්සේ ඒ දෙන්නා වැළඳගත්තු හැටි මට තවම මතකයි. භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයෙ එකට ඉගෙන ගන්න කාලෙ තමයි, හිතවත්කමක් ඇති වෙලා තිබුණේ. එදා විවේක කාලයේ වැඩි කොටසක් රවි ශංකර් ගත කළේ අමරදේවත් එක්ක. ඔහු කොළඹ නතරවෙලා හිටපු හෝටලයේ විස්තර අමරදේව මහත්තයට දුන්නා. පහුවෙනිදා එන්න කියලත් කිව්ව හම්බ වෙන්න. අමරදේව මහත්තය මටත් කතා කළා රවි ශංකර් මුණගැහෙන්න හෝටලයට යන ගමනට. හැබැයි මම ගියේ නෑ. එතුමා පහුවෙනිදා ගිහින් රවි ශංකර්ව මුණ ගැහිලා තියෙනවා.” යයි කියමින් උපාලි වීරසිංහ ඔහුගේ මතකාවර්ජනය අවසන් කළා. 


Post a Comment

0 Comments