HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එදා ජනාධිපති ධජය නිර්මාණ කළ විස්කම්කරු දිවියෙන් සමු ගනියි.

පළමු විධායක ජනාධිපති ලෙස පත් වූ ජේ. ආර්. වරක් පැවසුවේ තමාට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමණක් බවය. එහෙත් ජේ. ආර්.ටත් කළ නොහැකි දේවල් කළ හැක්කෙක් ලෙස පසුගිය ජූලි 6 වැනිදා අභාවප්ප්‍රාප්ත වූ කලාසූරී පියරත්න හේවාබැට්ටගේ හැඳින්විය හැකිය. ඉන් එකක් වන්නේ චීන කොඩි ජේ. ආර්. කොඩි බවට පත් කිරීමය. 

කලාසූරී පියරත්න හේවාබැට්ටගේ

‍‍ජනාධිපති ජේ. ආර්. එදා ප්‍රකටව සිටියේ යැංකි ඩිකී ලෙසටය. ඒ ඔහු ඇමරිකානු හිතවාදී විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නිසාවෙනි. එහෙව් යැංකි ඩිකී ජනපති වශයෙන් දිවුරුම් දුන් දිනයේ කොළඹ ගාලුමුවදොරදී එසවූ ජනා ධිපති කොඩිය සැදුවේ චීන කොඩි කපා මූට්ටු කර බව චීනුන් තබා හිටපු විධායක ජේ. ආර්.වත් දැන සිටියේ නැත. 

ඒ කතාව මෙසේ ය: ජේ. ආර්. ජනාධිපති වූ පසු ඔහුට අවශ්‍ය වූයේ සිය ධර්මිෂ්ඨ සමාජ සංකල්පය ප්‍රකට වීමට ජනාධිපති කොඩියට ධර්ම චක්‍රය එය මැදට ජයවර්ධන පරපුරේ සංකේතය වූ ‘ජය’ ලෙස සටහන් වූ බැඳි සංකේතය දැමීමටය. එහෙත් හේවාබැට්ටගේ ඊට විරුද්ධ වූයේ බෞද්ධ දර්ශනයේ සලකුණක් මැද වෙනත් සලකුණක් සටහන් කිරීම අනුචිත බව කියමින් ය. 

“එහෙම නං තමුන්නැහැ කොහොම කරන්නද කල්පනා කොරන්නේ?” 

කොතරම් විධායක වුවද කොඩි නිර්මාණයේදී කලා ශිල්පියා විධායන වන බව දන්නා ජේ. ආර්. හේවාබැට්ටගේ ගේ අදහස විමසුවේය. 

“සර් සිංහ කොඩියේ බෝපත් සතර දාලා තියෙන තැන් හතර වගේ ජනාධිපති කොඩියේ හතර කොනේ ‘ජය’ සංකේත දාමු!" 

“ආන්න බොහොම හොඳ අදහසක්. බොහොම හොඳ අදහසක්....” 

නිර්මාණය ගැන එකඟත්වයට පැමිණ සැටින් රෙදි සොයා කොළඹ හතර දිග්භාගයේ කරක් ගැසුවද ජනාධිපතිවරයා කියූ රෙදි වර්ගය මෙරට නොවීය. දිවුරුම් දීමේ උළෙලට තවත් දින දෙකක් පමණක් වූයෙන් විදේශයකින් වුවද ගෙන්වා ගැනීමට තිබූ අවස්ථාවද මග හැරී තිබුණේ ය. රෙදි සොයා ගන්නේ කෙසේදැයි සිතමින් නැවත එන අතරමග හේවාබැට්ටගේ නෙත ගැටුණේ බෞද්ධාලෝක මාවතේ චීන තානාපති කාර්යාලයේ ලතාවකට ලෙළ දෙමින් තිබූ චීන ධජ පෙළයි. 

“සර් මට චීන කොඩි හත අටක් ගෙන්වලා දෙන්න පුළුවනිද?” 

ජනාධිපති කාර්යාලයට ගිය හේවාබැට්ටගේ ජනාධිපති ලේකම් මැණික්දිවෙල හමුවී කළේ එවැනි ඉල්ලීමක්ය. 

“මොන එහෙකටද චීන කොඩි?” වෙන දේකට නෙ‍වි සර් ජනාධිපතිතුමාගේ කොඩිය හදන්න.” 

දැඩිසේ විරුද්ධ වුවද මැණික්දිවෙලට සිදු වූයේ ද චීන තානාපතිවරයා අමතා චීන කොඩි දහයක් ගෙන්වා ගැනීමටය. ඒ අනුව කොඩි දහය දෝතින් රැගෙන ආවේ ධාතු කරඬුවක් වැඩමවන පරිද්දෙනි. ඔහු නික්ම ගිය පසු ඒවා රැගෙන පියරත්න හේවාබැට්ටගේ කෙළින් ම ගියේ වැල්ලවත්තේ ටේලර් සාප්පුවකටය. චීන කොඩියේ තරු කපා ඉවත් කර සකස් කළේ එකී සන්නාලියා විසින්මය. එදා චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික අවුලක් අති නොවූයේ නිල ධජ සකස් කළ ආකාරය ගැන හේවාබැට්ටගේමෙන්ම මැණික්දිවෙල ද කටේ කළ පොදක්වත් බිම නොහෙළුෑ නිසාය. 

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් දා භාවිතයට ගත් ජනාධිපති කොඩිය නිර්මාණය කිරීම සඳහා පියරත්න හේවාබැට්ටගේ ක්‍රියා කළ ආකාරය ගැන ඒ අපූරු විස්තරය සතිඅග අරුණ පත්‍රයේ පළ වූයේ එසේය. 

අරණායක දෙමැදගිරියේ උපන් පියරත්න හේවාබැට්ටගේ මියයන විට 81 වැනි වියේ පසු විය. හේවාබැට්ටගේ දැන්වීම් කලාවට පිවිසෙන්නේ ග්‍රාන්ට් ඇඩ්වටයිසින් අධිපති රෙජී කන්දප්පාගේ මඟ පෙන්වීමෙනි. කලක් ඔහු දවස පුවත්පතේ කාටුන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන ලදි. තිස්ස අබේසේකර, විලි බ්ලේක් හා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයෙන් මෙන්ම පෝස්ටර් නිර්මාණයෙන්ද හේවාබැට්ටගේ සහභාගී විය. 

හේවාබැට්ටගේ කලක් රජයේ කලායතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කොට ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනි වු යුගයේ මැතිනියගේ ලාංඡන නිර්මාණය බාර වුයේ හේවාබැට්ටගේටය. 1972 ලංකාව ජනරජයක් වන අවස්ථාවේ මැතිනිය ජනරජ ලාංඡනයක් නිර්මාණය කිරීමට මුලින්ම ආරාධනා කළේ හේවාබැට්ටගේටය. මහවැලියේ නාග ලාංඡනය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලාංඡනය, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ මෙන්ම දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ නිල ලාංඡන නිර්මාණය කළේ ද පියරත්න හේවාබැට්ටගේ විසිනි. 

1978 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ජනපති වශයෙන් දිවුරුම් දුන් අවස්ථාවේ එසවුණු නිල කොඩිය සහ ජනපති ප්‍රේමදාසගේ නිල කොඩියේ නිර්මාතෘවරයාද හේවාබැට්ටගේය. ලංකා සංචාරක මණ්ඩලයේ වසර 14 ක සේවයෙන් ඉවත් වු හේවාබැට්ටගේ 'හෙරිටේජ් හවුස්' නමින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. හුණුපිටිය ගංගාරාමයේ ධාතු මන්දිරයේ නිර්මාණ කටයුතු අවසන් කිරීමට ප්‍රථම පියරත්න හේවාබැට්ටගේ අභාවයට පත් විය. දෙදරු පියකු වන පියරත්න හේවාබැට්ටගේ අවසන් කටයුතු පසුගිය ජූලි 7 වැනි සිකුරාදා බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කරන ලදි.

Post a Comment

0 Comments