නහේල් ප්‍රංශය ගිනිබත් කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2023

නහේල් ප්‍රංශය ගිනිබත් කරයි

මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වෙමින් තිබූ මර්සිඩීස් මෝටර් රථයක් ගැන දැනගත් සැණින්, පැරිසියේ නොන්ත්‍රේ පළාතේ පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වූහ. වාහනය පදවන්න වූයේ පිරිමියකු බව පොලිස් පණිවුඩ හුවමාරු විය. වේගයෙන් ධාවනය වෙමිනි තිබුණු මෝටර් රථය හරස් කිරීමට පොලිස් නිලධාරීන් සමත් වූයේ පැරිස් අගනුවරට නුදුරින් රථ වාහන නැවැතුමකදීය. 

වාහනය නවත්වා එයින් බසින්නැයි තරුණයාට පොලිසියෙන් අණ ලැබුණි. ඒ සමඟම තරුණයා දෙසට පිස්තෝලය ඉලක්ක කරගෙන සිටි පොලිස් නිලධාරියා කොකා ගැස්සුවේය. වෙඩි ප්‍රහාරයට ලක් වුණු එම තරුණයා මියගියේය. පොලිස් අණ නොතකා රිය ධාවනයේ යෙදෙමින්, පොලිස් නිලධාරීන්ගේ ජීවිත අනතුරේ දැමීමට තැත් කළ බැවින් තරුණයාට වෙඩි තැබීමට සිදුවුණු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. මියගියේ ගැටවරයෙකි. 17 හැවිරිදි ඔහු නහේල් මෙර්සූක් ය. 

ඔහු ඇල්ජීරියානු සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයෙකි. නහේල් මෙර්සූක් එක රැයින් ප්‍රංශය ගිනිබත් කළේය. පොලිසිය අමු අමුවේ නහේල් මෙර්සූක් ඝාතනය කළේ යැයි සමාජ මාධ්‍ය හරහා සිදුවුණු උසි ගැන්වීම්වලින් කුපිත වූයේ ප්‍රංශ ඇල්ජීරියානුවන්ය. පොලිස් වෙඩි පහරින් නහේල් මියගියේ ජූනි 27 වැනිදාය. 

පැය කීපයක් ගත වීමටත් පෙර, සමාජ මාධ්‍ය ඔස්සේ කුපිත වූ ඇල්ජීරියානු සම්භවයක් ඇති ප්‍රංශ වැසියෝ නොන්ත්‍රේ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතා ආරම්භ කළහ. කෝපයට පත්ව සිටි එම පිරිස විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය කැඳවිණි. එය ගින්නට පිදුරු දැමීමක් විය. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වෙද්දී විරෝධතා තවත් ප්‍රචණ්ඩ විය. පොලිස් ස්ථානයට ප්‍රහාර එල්ල විය. මෝටර් රථ ගිනි තැබුණි.

එදා, එනම් 27 වැනිදා රාත්‍රිය වනවිට, පැවැති ගැටුම් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරීන් ගණන 24 ක් යැයි පැවසිණි. එදින රාත්‍රිය වනවිට පහර දී ගිනිබත් කළ මෝටර් රථ ගණන 40 කි. 

කඩසාප්පු සහ වෙළෙඳසැල්වලට ද ප්‍රහාර එල්ල වී තිබුණි. ජූනි 28 වැනිදා දහවල් වෙද්දී තත්ත්වය තවත් දරුණු විය. පැරිස් අගනුවරට විරෝධතා ව්‍යාප්තවී තිබුණි. ප්‍රංශ ඇල්ජීරියානුවන් පමණක් නොව, සෙසු විදෙස් සම්භවයක් සහිත ප්‍රංශ වැසියන් ද සුදු ජාතික ප්‍රංශ වැසියෝ ද විරෝධතා රැලිවලට එක් වී සිටියහ.

පැරිස් අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියා මාසේල්, ලියොන්, තුලූස් ආදී නගරවලට ද පැතිරුණි. ප්‍රංශ රජය පැවැසුවේ කලහකාරීන් පාලනය කරමින් සාමය ස්ථාපිත කිරීමට පොලිසියේ 45,000 ක් යෙදවූ බවය. පොලිස් නිලධාරියා සිදු කළ වෙඩි පහරින් 17 හැවිරිදි තරුණයා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කම්පා විය. 

එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු මාධ්‍ය හමුවේ පැවැසුවේය. ඒ, මාර්සේල් නගරයේ දී මාධ්‍යවේදීන් පිරිසක් මැක්රොන් වට කරගත් අවස්ථාවේදීය. 

නහේල් මෙර්සූක් පදවමින් තිබූ මර්සිඩීස් රථය කුලියට ගත් එකක් බවත්, එහි නහේල් ට අමතරව, තවත් දෙදෙනකු සිටි බවත් එම අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ වී තිබුණි. වීදි බැස විරෝධතා පවත්වන්න වූ පිරිස් ඉල්ලා සිටියේ නහේල් මෙර්සූක් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවය. නීතිය සැමට පොදු යැයි ඔවුහු අවධාරණය කළහ. 
නහේල් මෙර්සූක් 
නහේල්ගේ මව ද කෑ කෝ ගසමින් විරෝධතා රැලිවලට එක්වූවාය. ‘පොලිසිය මගේ එකම පුතා උදුරා ගත්තා. එදා ගෙදර හැමෝම එකට හිටියා. කෑමට මැක්ඩොනල්ඩ්ස් ගියා. ඊට පස්සේ පුතා රැකියාවට පිටත් වුණා. ඒත් ආපසු ආයේ නැහැ.’ යැයි ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය සේවාව ඔස්සේ සංවේදී සටහනක් තබමින් නහේල්ගේ මව පැවැසුවාය. 

පුතාට සාධාරණයක් ඉල්ලමින් විරෝධතාවලට එක්වුණු සැමට ඇය තුති පුද කිරීමට ද අමතක නොකළාය. නහේල් මෙර්සූක් ඩිලිවරිකරුවකු ලෙස රැකියාව කළ අයෙකු යැයි ද පැවැසෙයි. පසුගිය 4 වැනිදා වනවිටත් විරෝධතාවල අඩුවක් දකින්න නොලැබුණි. 

ඒ වනවිට පැරිස්යේත් සෙසු නගරවලත් සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෝටර් රථ දහස් ගණනක් විනාශ විය. ප්‍රංශ ඇල්ජීරියානුවන් කුපිත වී ආරම්භ කළ විරෝධතා හේතුවෙන්, සාමකාමී සහජීවනයට කැමැති ප්‍රංශ වැසියන්ගේ ජීවිත අවුල් විය. දෛනික කටයුතු අඩපණ විය. නගරවල කඩසාප්පු සහ පාසල් වැසුණි. කාර්යාල කටයුතු නැවැතිණි. 

පසුගිය 4 වැනිදා දිනයේ පමණක්, ගොඩනැගිලි 24 කට ප්‍රහාර එල්ල වී තිබුණි. විරෝධතා උත්සන්න වූයේ අන්තවාදී මුස්ලිම් ඇල්ජීරියානුවන්ගේ මැදිහත් වීමෙන් යැයි ප්‍රංශ පොලිසිය පෙරළා චෝදනා නගන්න විය. ඇල්ජීරියානු සම්භවයක් සහිත ප්‍රංශ වැසියන් කුපිත වී, විරෝධතා පවත්වද්දී, සාමයට කැමැති සුදු ජාතික ප්‍රංශ වැසියන් බොහෝ දෙනා චෝදනා නගන්න වූයේ එම අන්තවාදී පිරිස් රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවටය. 

17 හැවිරිදි තරුණයාගේ ඝාතනයට පොලිසිය වරදකරු නොවන බව ද පැවැසිණි. වෙඩි තැබීම කළ පොලිස් නිලධාරියාට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා එල්ල වෙද්දී, එම පොලිස් නිලධාරියා වෙනුවෙන් ද ප්‍රංශ වැසියෝ පෙනී සිටියහ. පොලිස් නිලධාරියා වරදක් නොකළ බව පෙන්වා දෙමින්, ඔහු වෙනුවෙන් අරමුදල් පවා රැස් කෙරුණි. 

නහේල් මෙර්සූක් කඩාකප්පල්කාරී ක්‍රියාවන් රැසකට සම්බන්ධ අයකු බවත්, පොලිස් නිලධාරියා වෙඩි තබන අවස්ථාවේදී පවා ඔහු පදවමින් සිටියේ කුලියට ගත් මෝටර් රථයක් නොව, සොරකම් කළ මෝටර් රථයක් යැයි ද පැවැසිණි. 
ප්‍රංශයේ වෙසෙන බොහෝ ඇල්ජීරියානුවෝ, සංක්‍රමණිකයන් ලෙස ප්‍රංශයට පැමිණ පුරවැසිභාවය ලැබූ අය වෙති. ඔවුන් අතරේ සිටින අන්තවාදී පිරිස් රට අස්ථාවර කරන බවටත්, සරණාගතයන්ට රැකවරණය දීමට ප්‍රංශ දේශපාලනඥයන් ගත් තීරණ හේතුවෙන් සාමයට කැමැති ප්‍රංශ වැසියන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බවටත් මේ වනවිට චෝදනා නැගෙමින් පවතී. 

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සිදුවුණු ගැටුම්වලදී 5,000 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ. විරෝධතා මැද දේපල හානි පමණක් නොව, මංකොල්ලකෑමේ ද සිදුවිය. 

ප්‍රංශ ජනාධිපති මැක්රොන් එරට ආරක්ෂක මණ්ඩලය රැස්කර හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළේය. මාධ්‍ය වාර්තා කළේ මැක්රොන්, නගර සභා 220 ක නගරාධිපතිවරුන් සහ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත් වූ බවය. 

විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ද සහාය මැක්රොන්ගේ තීත්දු තීරණවලට නොඅඩුව හිමිවූ බව ද පැවැසෙයි. කලහකාරී තත්ත්වය පාලනයට ජනාධිපති මැක්රොන්, රටේ අන්තර්ජාල සේවා සහ සමාජ මාධ්‍ය සේවා තාවකාලිකව නවතා දැමීමට උපදෙස් දුන්නේය. ඒ, ප්‍රචණ්ඩකාරී පිරිස් ඒකරාශීවීම වළක්වා ගැනීමටය. 

෴ ලුසිත ජයමාන්න 

Classified_Ad

Classified_Ad_News_Bottom