HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැනට ලොව තිදෙනකු පමණක් කතා කරන අභාවයට යන භාෂාවක්

මානවයාගේ විශිෂ්ටතම නිර්මාණය කුමක්දැයි ඔබ මගෙන් ඇසුවොත් මා එක්වරම දෙන පිළිතුර ‘භාෂාව’ යන්නයි. මානවයා අද සිටින තත්වයට පත් වූයේ ඔහුගේ මේ අපූරු මෙවලම නිසයි. මිනිසා ශිෂ්ට සම්පන්න කර, හික්මවා, සංස්කෘතික මිනිසෙක් කළේ භාෂාවයි. ඒ වාගේ ම මිනිසා ලොව දිනූ ජාත්‍යන්තරයෙක් කළේත් භාෂාවයි. ගණනින් දැක්විය නොහැකි භාෂා ප්‍රමාණයක් ලොව පුරා තිබුණා. ඒවා කතා කරන භාෂායි. ලියන්නට අකාරාදිය තිබුණේ ටිකයි. ඒ අකාරාදිය යොදා ගෙන ලියන්නට පටන් ගත් නිසයි, භාෂා දිගු කලක් සුරැකුණේ. කටවහරේ පමණක් පැවති භාෂා වෙනත් භාෂාවල ආක්‍රමණය නිසා කෙමෙන් ලොවෙන් තුරන් වුණා. එවැනි අතුරුදන් වන බසක් ගැන අපූරු ලිපියක් අප මිත්‍ර ප්‍රවීණ පත්‍රකලාවේදී ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාගේ මුහුණේ පළ කර තිබුණා. ‘මල් කැකුළු’ පාඨකයන් වෙනුවෙන් එය මෙහි උපුටා පළ කරන්නේ ඔහුට කෘතවේදිත්වය පළ කරමිනි.

දැනට ලොව තිදෙනකු පමණක් කතා කරන අභාවයට යන බදේෂි

ලොව බදේෂි බස වහරන එකම මිනිසුන් තිදෙනා - 
සායිඩ් ගුල්, අලි ෂේර් සහ රහිම් ගුල්

අප සියලු දෙනා අදහස් ප්‍රකාශ කිරීම සඳහා උපයෝගී කර ගන්නේ භාෂාවයි. වර්තමානයේ ලොව භාවිත කෙරෙන භාෂා සංඛ්‍යාව 7000ට අධික යැයි පැවසෙනවා. ඒ අතුරින් භාෂා 2000ක් පමණ භාවිත කරන්නේ දහසකටත් වඩා අඩු පිරිසක්. ලොව වැඩිම පිරිසක් භාවිත කරන බස වන්නේ චීන මැන්ඩරින් බසයි. ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, ආරාබි, හින්දි, බෙංගාලි, පෘතුගීසි, රුසියන් හා ජපන් භාෂා පිළිවෙළින් වැඩිම පිරිසක් භාවිත කරන භාෂා ලෙස සැලකෙනවා. මෙම භාෂා අතුරින් භාෂා 577 නුදුරු අනාගතයේ මළ භාෂා බවට පත්විය හැකියැයි යුනෙස්කෝ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. නූතන පරපුර අතර භාවිතයක් නොමැති එහෙත් පැරණි පරපුර පමණක් භාවිත කරන භාෂා 527ක් තිබෙනවා. 

අද වන විට මළ භාෂා බවට පත් සමස්ත භාෂා සංඛ්‍යාව 576ක් පමණ වනවා. ආසියානු භාෂා 106ක්, අප්‍රිකානු භාෂා 52ක්, මධ්යම ඇමෙරිකානු හා කැරිබියානු භාෂා 10ක්, යුරෝපියානු භාෂා 120ක්, උතුරු ඇමෙරිකානු භාෂා 109ක් හා දකුණු ඇමෙරිකානු භාෂා 179 එම සංඛ්‍යාවට ඇතුළත්. 2004 වසරේ කරන ලද සමීක්ෂණයක් අනුව තවත් භාෂා විශාල සංඛ්‍යාවක් 2050 වන විට මළ භාෂා බවට පත්විය හැකි බවට අනුමාන කෙරෙනවා. ක්‍රි. ව. 2000 න් පසු මළ භාෂා බවට පත් සංඛ්‍යාව 19ක්. 

අවසාන වරට මළ භාෂාවක් බවට පත් වූයේ කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාවේ භාවිත වූ වකාශාන් භාෂා පවුලට අයත් නු චා නුල්ත් නම් භාෂාවයි. ඒ 2016 පෙබරවාරියේදී. ඒ එම බස භාවිත කළ අවසාන පුද්ගලයා මිය යාම නිසා. මළ භාෂා බවට පත් වූ බොහෝ භාෂා ගෝත්‍රික භාෂා. 

ශ්‍රී ලංකාවේ භාවිත කෙරුණු භාෂාවක්ද මේ වන විට මළ භාෂා බවට පත්ව තිබෙනවා. ලංකා පෘතුගීසි ක්‍රියොල් බස එම වඳවී ගිය භාෂාවයි. දැනට මඩකලපුව, පුත්තලම හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ජීවත් වන ලංකා කැෆර් නොහොත් කාපිරි ජනයාගේ පැරැන්නන් මෙම බස භාවිතද වර්තමාන පිරිස සිංහල හෝ දෙමළ බසට හුරුවීම නිසා එම බස මළ භාෂාවක් බවට පත් වුණා. එම බසින් ලියැවුණු පැරණි ගීත පමණක් තවමත් මේ පිරිස අතර ඉතිරිව තිබෙනවා. 

නුදුරේදීම මළ භාෂාවක් බවට පත්වීමට නියමිත තවත් බසක් වන්නේ බදේෂි භාෂාවයි. බදේෂි බස ඉන්දු-ඉරානියානු භාෂාවක්. ලොව දැනට එම බස භාවිත කරන්නන් සිටින්නේ තිදෙනෙක් පමණයි. ඔවුන් ජීවත්වන්නේ උතුරු පාකිස්තානයේ බිෂිග්‍රම් නිම්නයේ. එය පාකිස්තානු හා ඇෆ්ඝනිස්තානු මායිමේ පිහිටි කයිබර් පක්තුන්කාවා ප්‍රදේශයේ පිහිටා ඇති, අති දුෂ්කර කඳුකර ගම්මානයක්. සායිඞ් ගුල්, අලි ෂේර් සහ රහිම් ගුල් නමැති මෙම පුද්ගලයන් තිදෙනාගෙන් පසු බදේෂි භාෂාවත් ලොවින් සමුගැනීමට නියමිතව ඇත්තේ ඔවුන්ගෙන් පසු එම බස වහරන කිසිවකු නොමැති හෙයින්. 

70 විය ඉක්මවූ මෙම පුද්ගලයන් තිදෙනා ද ස්වැට් නිම්නයේ සංචාරක ප්‍රදේශයක වාසය කරන අතර ඔවුන්ද පාෂ්තෝ බස භාවිත කිරීමට හුරු වී සිටිනවා. අතීතයේ මෙම ගම්මානවල ප්‍රචලිතව පැවති මේ බදේෂි බස ඒ ප්‍රදේශයේ විසූ සියල්ලන්ම පාහේ වහරන්නට පුරුදුව සිටියද පසුකාලීනව එහි ආක්‍රමණය කළ තොර්වාලි බස නිසා එය අභාවයට ගියා. තොර්වාලි, ඉස්ලාමීය දාර්දික් ජනයාගේ බසයි. බොහෝ විට මෙම ගම්මානයේ ජනයා මනාලියන් සොයා ගත්තේ වෙනත් ගම්මානවලින්. ඔවුන්ගේ බස වූයේ තොර්වාලි. එය තම මව්වරුන්ගේ බස වූ හෙයින් දරුවන් කුඩා කළ සිටි හුරු වූයේ එම බසටයි. එහෙයින් පරම්පරා කිහිපයකට පසු බදේෂි බස භාවිත කරන පිරිස ඉතා විරල වුණා. 

තොර්වාලි හා පාෂ්තෝ බස් වහරන පිරිස බදේෂි බස වැහැරීම අවමානයක් ලෙස සැලකූ බව පාකිස්තානයේ අභාවයට යන භාෂා පිළිබඳ පර්යේෂණවල නිරත වාග්වේදියකු වන මුහම්මඞ් සාමන් සාගර් පවසනවා. වෙනත් ප්‍රදේශවලින් පැමිණ මෙම ගම්මානයේ තරුණයන් හා විවාහ වූ කතුන් ද බදේෂි බස පහත් කොට සැලකූ හෙයින් ඔවුන් තම දරුවන්ට ඉගැන්වූයේ තොර්වාලි බසයි. 

දැනට බදේෂි බස වහරන පුද්ගලයන් තිදෙනාගෙන් අයෙක් වන රහීම් ගුල්හට පුතෙකු සිටින අතර ඔහුට දරුවන් පස් දෙනෙක් සිටිනවා. ඒ කිසිවකුටත් බදේෂි බස කතා කළ නොහැකියි. “මගේ මව කතා කළේ තොර්වාලි බසයි. එහෙයින් මගේ මව හා පියා නිතරම භාවිත කළේ තොර්වාලි. අප නිවෙසේ කිසිදිනෙක බදේෂි බස කතා නොකළ හෙයින් කුඩා කාලයේ සිට එය භාවිතයෙන් ඈත් වුණා. දැන් මට වයස අවුරුදු 32ක්. අපේ භාෂාව ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. කොටින්ම මගේ පියාටත් මේ වන විට මතක වචන කීපයක් පමණයි. මගේ පියා හා අනෙක් දෙදෙනා මියගිය පසු එම භාෂාව ලෝකයෙන්ම නැතුව යාවි. ඒ ගැන මට කණගාටුයි” යනුවෙන් රහීම් ගුල්ගේ පුත්‍රයා සඳහන් කරනවා. 

දිගු කලක් බදේෂි බස භාවිත නොකළ හෙයින් තම මතකයෙන්ද එම බස ගිලිහී ඇතැයි පවසන රහීම් ගුල් තම මව් බස රැකගත නොහැකි වීම පිළිබඳව පසුතැවෙනවා. තොර්වාලි බසද නුදුරේ දී අභාවයට යා හැකි බසක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර තිබෙනවා. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා 

Post a Comment

0 Comments