HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මහාවංශය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි!

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තියෙනවා. යුනෙස්කෝ සංවිධානය 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක වාර්තාමය ජාත්‍යන්තර ලේඛනයෙහි ඇති නව ලේඛන උරුම 64ට මහාවංශයත් ඇතුළත් කර තියෙනවා. 

ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික අඛණ්ඩ ඉතිහාසය 
පිළිබඳ තොරතුරු රැගත් මහාවංශය

ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිග ම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය හඳුනාගෙන තියෙනවා. 

“ලංකාවේ සහ ඉන්දියාවේ කළ පුරාවිද්‍යා පර්යේෂණවලින් සොයාගත් ලේඛනවල දක්වා ඇති පරිදි ‘මහාවංශයේ’ කරුණුවල සත්‍යතාව තහවුරු වී තිබෙන බවත් එය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ වැඳගත් තොරතුරු ඇතුළත් දකුණු ආසියාවට අතිවිශේෂ ඓතිහාසික මූලාශ්‍රයක්” බවත් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරනවා. 

මහාවංශය අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදු දහමේ නැගීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් කරුණු එහි අන්තර්ගත වෙනවා. 

මහාවංශයේ ඇති ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරන බවත්, රටවල් කිහිපයකම මහාවංශයේ අත්පිටපත් කීපයක් තිබීම මෙන් ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කර තිබීමත් සුවිශේෂත්වයක්” ලෙස යුනෙස්කෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා. 

මෙසේ ලෝක උරුමයක් ලෙස යුන‍ෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ප්‍රධාන පුස්තකාලයේ ඇති මහාවංශය පුස්කොළ පොතයි. ශ්‍රී ලංකාවේ වසර 2500කට අධික අඛණ්ඩ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැගත් මහාවංශය සැලකෙන්නේ ලොව පැරණිම මෙන්ම දීර්ඝම ලිඛිත ඉතිහාස ග්‍රන්ථය ලෙසයි. 

පරිච්ඡේද 99 කින් යුත් මහාවංශය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට යටත්වන තෙක්ම ලියා තිබෙන බවත් තිබ්බටුවාවේ මහානාහිමියන්ගෙන් පසු ඉදිරියට එය ලියන ලද භික්ෂූන් වහන්සේගේ නම පිළිබඳ සඳහනක් නොමැති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දිසානායක පවසනවා. 

මහාවංශය පැරණිම මෙන්ම අංග සම්පූර්ණ පුස්කොළ එකතුව

පුස්කොළ පොතේ ඇති මහනුවර රාජධානි සමයේ අවසාන භාගයේ කොටසක් මල්වතු පාර්ශ්වයේ හිටපු මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියා තිබෙන බවත් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ මහාවංශය පුස්කොළ පොත පතිතිරු 237 කින් සමන්විත බවත් ඒ මහතා පැවසුවා. 

යුනෙස්කෝ සංවිධානයේ නිල වෙබ් අඩවිය 2023 ජුනි 24 වැනි දින ප්‍රකාශයට පත් කළ ලෝක උරුම ලැයිස්තුවට මහාවංශය ඇතුළත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති ආචාර්ය ආර්.මහේෂ්වරන් මහතා පවසනවා. 

යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ ප්‍රකාශයට පත් කළ ලෝක වාර්තාමය උරුම ලැයිස්තුවට අයිතම 64 ක් ඇතුළත් වන අතර ඒ අනුව ලැයිස්තුවේ සමස්ත අයිතම සංඛ්‍යාව 494ක්. 

යුනෙස්කෝ ලෝක උරුමය - ලාංඡනය

මහාවංශය පිටපත් දිවයිනේ ස්ථාන කිහිපයක දක්නට ලැබෙන බවත් ඒවා සියල්ල නිරීක්ෂණය කර වාර්තාවක් සකස් කිරීම සඳහා රජය කමිටුවක් පත්කරන ලද බවත් ඒ අනුව මහාවංශය පැරණිම මෙන්ම අංග සම්පූර්ණ පුස්කොළ එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු බවට කමිටුව මගින් සනාථ කළ බවද මහේෂ්වරන් මහතා පැවසුවා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාල පරිශ්‍රයෙහි ඉතා සුරක්ෂිතව තැන්පත්කොට ඇති වසර සිය ගණනාවක් ඉපැරණි මහාවංශය පුස්තකය ලෝක උරුමයක් වශයෙන් නම් කළ බවට ලිඛිතව රැගෙන යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතයෙක් ඉදිරි දින කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණීමට නියමිතයි.

Post a Comment

0 Comments