HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වයසට නොයන අපේ පත්තර සිත්තරා - තලන්ගමට අදට 88යි!

මගේ ජීවිතයේ 78 වසරක කාලය තුළ මා පත්‍රකලාවේදීන් ලෙස කර්තෘවරුන්, වාර්තාකරුවන්, ලේඛකයන්, ඡායාරූප ශිල්පීන්, පත්තර සිත්තරුන් සිය ගණනක් ඇසුරු කර තියෙනවා. ඒත් සැබෑවටම පත්‍රකලාවට ආදරය කළ, ජනතාවට ඉටු කළ යුතු මෙහෙවර සත්‍යවාදීව, අවංකව ඉටු කළ අය ඇත්තේ දෑතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. ඒ අය අතරත් කොන්ද කෙළින් තියා ගෙන වැඩ කළ අය ඇත්තේ ද ඊටත් අඩු ගණනකි. තලන්ගමට හිමි වන්නේ එහි ඉහළම තැනකි. ඔහු කිසිදාක පත්තර අයිතිකරුවන්ටවත්, කර්තෘලාටවත්, දේශපාලනඥයන්ටවත්, ධනවතුන්ටවත්, ඔහුගේම හිතවතුන් වෙනුවෙන්වත්, ‘කඩේ ගියේ’ නැත. ඔහු ‘කඩේ ගියේ’ සමස්ත පාඨක ජනතාව වෙනුවෙන් පමණය. 

අද 88 වන වියට පා තබන තලන්ගම 

ලේක්හවුසියේ සේවය කළ කාලයේ ඔහු දැඩි නිදහස් මතධාරියකු වුණා. ලොකු ලොක්කන්ට පන්දම් ඇල්ලූ කර්තෘලාට ඕනෑ විධියට ඔහු තෙලිතුඩවත්, පෑනවත් හැසිරෙව්වේ නැහැ. ඒ නිසා අලුතින් ලේක්හවුසියට ආ අප වැනි අංකුර පත්‍රකලාවේදීන්ට පරමාදර්ශයක් වුණා.‍ නිදහස් ලේඛකයකු වශයෙන් ‘සරසවිය’ට බැඳුණු පසු, මා නිතරම තලන්ගම සොයා ‘ජනතා’ කර්තෘ මණ්ඩලයට ගියා. ඒ ගියේ අතින් චිත්‍රයක් නිමවෙනු දකින රිසියෙන්. චිත්‍රශිල්පීන් නම් කීප දෙනකු ම පුවත්පත්වල සිටියා. ඒත් මට හැඟුණු විදියට එදවස ලේක්හවුසියේ සිටි එකම මැවුම්කරුවා තලන්ගම පමණයි. ඔහු චිත්‍රයක් නිම කරන අයුරු දකින්නට මා ආසා කළා. මා ප්‍රිය කළ තවත් ප්‍රවීණ සිත්තරකුගේ සේවය ලේක්හවුසියට ලැබුණුත් ඔහු චිත්‍රයක් නිමවන අයුරු මා කිසිදාක දැක තිබුණේ නැහැ. ඒ ඔහු විශ්‍රාම ගෙන නිවසේ සිට වැඩ කළ නිසයි. ඔහු ජී. ඇල්. ගෞතමදාසයි. 

සිංහල පුවත්පත්වලට හා පොත් කවරවලට මුල් යුගයේ චිත්‍ර ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දුත්, ජී. ඇල් ගෞතමදාසත් තමයි. ඒ දෙදෙනාටත් වඩා ප්‍රවීණ තවත් චිත්‍රශිල්පියකු සිටියා. ඒ ඇම්. සාර්ලිස් මාස්ටර්. සන්නිදර්ශන චිත්‍රකලාවේ ප්‍රමුඛයන් වූ ඔවුන්ගෙන් පසු පරම්පරාවටයි, තලන්ගම අයත් වන්නේ. කලින් පරම්පරාවේ අයට අපේ බිතුසිතුවම් කලාවේ ආභාසය තදින් බලපෑවත්, තලන්ගමට එහෙම වුණේ නෑ. මා දකින විදියට ඔහු, අපේ පුවත් කලාවට උචිත නව ආරකට, පැතලි තලයක, ‘ද්විමාන’ චිත්‍ර මවන්න හැකියාව ඇති කර ගත් ප්‍රමුඛ චිත්‍රශිල්පියායි. ඔහු ඒ ‘ද්විමාන’ හැඩතල ගන්නේ රේඛාව අවශ්‍ය තැන්වලින් මහත්වීමට හා සිහින් වීමට සලස්වමින්. ඒ මගින් ඔහු තමන් අඳින රූපය පැතලි ගතියෙන් මුදවා පණ දෙනවා. මා ඔහුගේ චිත්‍රවලට ආසා කරන්නේ ඒ නිසයි. 

“මං මේ දැන් මහරගම හිටියට උපන්නෙ තලන්ගමයි. මං උපන් ගමට හරිම ආදරෙයි. ඒ හින්දයි මං ගමේ නම මගේ කර ගත්තෙ. දැන් මං මගේ ගමේ නම යන යන තැන අරන් යනවා!” ඔහු දැන් ‘තලන්ගම’ මහරගමින් අතුරුගිරියට අරන් ගිහින්. 

ඔහු මට ඔහුගේ පුංචි කාලෙ විස්තර මුලින් ම කීවේ ඉදුණු පොල් අඹ මල්ලකුත් අරන් මීට වසර පනහකට විතර ඉස්සර සති අන්තයක ඔහු දකින්නට මහරගම විද්‍යාකර මාවතේ පිහිටි නිවහනට ගිය අවස්ථාවේ දියි. “ අද වාගේ නෙවෙයි ඒ කාලේ ඒ පරිසරයෙ තිබුණු නිස්කලංක කමට මං හරි ආසයි. අපි පුංචි කාලේ දියවන්නා ඔයේ ඉවුරු අතර එහා මෙහා පීනමින් විනෝද වුණු හැටි මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට සහෝදරියන් තුන් දෙනයි, සහෝදරයන් දෙන්නයි හිටියෙ. මං අවුරුදු තුනේදී ඉස්කෝල ගමන ඇරඹුවේ, ඒ පැලවත්තේ දකුණු තලන්ගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසැලෙන්.” තලන්ගම තම කුඩා කාලය මතකයට නැඟුවේ එහෙමයි. 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජාතික චිත්‍රකලා පදනමෙහි ඇරයුමෙන් කළ ‘චිත්‍රකතාවේ වංශ කතාව’ නම් රූපාලේඛයෙහි තලන්ගම ගැන ලියූ සටහනෙහි ඔහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙහි ඉගෙන ගෙන සාමාන්‍ය පෙළ සමත් වූ බවක් කියා තිබුණත් තලන්ගම කීවේ තමා පාසල් වියේ කිසිදිනක මහනුවර ගොස් නොතිබුණු බවකි. ඒ තොරතුරු කෙසේ එතුමාට ලැබුණේ ද යන්න ගැන තමන් ද මවිත වන බවකි. මහාචාර්යතුමා ඒ කෘතිය කළේ තම බිරිඳගේ සහෝදරයා‍ වූ ගුණසිරි කොළඹගේ සමග එක්ව බැවින්, ඔහුගෙන් විමසුවා නම් ඒ තොරතුර නිවැරදි කර ගැනීමට මහාචාර්යතුමාට පහසුවෙන් හැකියාව තිබුණු බවයි. 

තලන්ගම උපන්නේ තලන්ගමදියි. ඒ 1936 ජූලි 5 වැනිදා, ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ යන නමිනුයි. ඒ යටත් විජිත යුගයයි. ඔහුගේ තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහ, එසේ නම තිබ්බේ ඒ සුද්දාගේ පාලන කාලයට ගැළපෙන්නයි. ඒත් ඒ නමට පුතා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒත් තාත්තා මිය යනතුරු ඔහු ඒ නම පාවිචිචි කළා. 1955 දී පියාගේ ඇවෑමෙන් පසු ඔහු ඒ නම හළලා ගමේ නම අරන් ‘තලන්ගම ජයසිංහ’ වුණා. 

තලන්ගම පුංචි කාලේ ඉඳලම කවියට දක්ෂයි. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් එක්කයි. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැව්වා. ඒ හැම එකක් ම පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්න ලියන්න දිරිමත් වුණා. ඒ කාලේ ඒවා පළ වූයේ ‘තලන්ගම තිලක ජයසිංහ’ කියලයි. පස්සේ ඒ ‘තිලකය’ත් හළලා තමයි, ‘තලන්ගම ජයසිංහ’ වුණේ. අද මුළු ලංකාවමත් ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයනුත් ඔහුව හඳුන්වන්නේ ඔහුම ඔහුගේ කාටුනයට යොදා ගන්නා ‘තලන්’ කියන ආදර නාමයෙනුයි. 

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔප මට්ටම් කර ගන්නයි. ඒ 1951 දී. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරුන් ඔහු දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්නා. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළා. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්‍රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තා. ඒ සමගම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියා චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්න. 

ඉගෙන ගන්නා අතරම ඔහු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බර පැන සොයන්නයි. “ඒ වෙන කොට මගේ නංගිලා දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඒ අයගේ කටයුතු ගැන බලන්න වුණෙත් මට. මුලින් ම වැඩ කරපු තැන පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ විදියට ඉගෙන ගන්න ගමන් මං දැන්වීම් ආයතන පහකට වැඩ කළා.” ඔහු අතීතය මෙනෙහි කළේ එහෙමයි. 

ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියා. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතායි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළා. විලේගොඩ මහතා නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා බාර ගත්තා. ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල්ම චිත්‍රකතාව එයයි. 1954දී. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙක්. (ලංකාවේ පුවත්පතක පළ වූ මුල්ම චිත්‍ර කතාව 1951 ඉරිදා ලංකාදීපයේ ‘නීලා’ යි. ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දුයි.) 

චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම වෙනම නමක් තියාගෙන ඉන්නවා. සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ ‘ඇටසැකිල්ල’ අඳින කාලේ ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ මණ්ඩලයට එක්වීමට මටත් අවස්ථාව ලැබුණා. එහිදී ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාවට කතාවෙන් දායක වීමට මටත් හැකි වුණා. 

තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට ආවේ 1956දි චිත්‍ර ශිල්පියෙකු හැටියටයි. ඒ අවුරුදු 19දියි. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්‍රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළා. 1998න් ඉන් විශ්‍රාම ගත් පසුත් දිගටම 2005 වනතුරු චිත්‍රකතා ඇන්දා. ඒ වන විට ඔහු චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කරලා තියෙනවා. 

තලන්ගමගේ පත්‍රකලා ජීවිතයේ ස්වර්ණමය කාල‍ය එළඹී ඇත්තේ දැන් යැයි මට හිතෙනවා. බැඳීම්වලින් මිදී ඔහු තමන්ට කියන්න කැමති දේ කැමති විදියට කියන්න දැන් ඔහුට අවස්ථාව සැලසී තියෙනවා. ඒ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’ හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේයි. ඒ වගේම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගන්න අපට පුලුවන්. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරණ දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, ඔබට දැන් දැක ගන්න පුලුවන්. පුවත්පත් නොබැලුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනී නාලිකාවලිනුත් ඔබට හැමදාම උදේට ඒවා දැක ගන්නත්, රස විඳින්නත්, පුලුවන්. 

ඔහු ‘ලංකාදීපය’ට අඳින තීරු කාටූන

අපේ බොහෝ දේශපාලන කාටූන්කරුවන් චිත්‍රශිල්පය ප්‍රගුණ කළ අය නොව‍ෙයි. ඒ නිසා තලන්ගමගේ චිත්‍ර වෙන්වෙලා කැපිලා පේනවා. ඔහුගේ විකට චිත්‍රවල උපහාසය හා හාස්‍යය නොඅඩුව තියෙනවා. ඒ වගේම ඒ චිත්‍රවල ද්විමාන ගතියකුත්, පරිපූර්ණත්වයකුත් දැක ගන්න පුලුවන්. ඔහු නිර්මාණය කරන චරිතවල ප්‍රාණවත් භාවයත් උපහාසය තරම්ම හොඳට මතු කරනවා. 1931 ජී. එස්. ප්‍රනාන්දුගෙන් ආරම්භ වුණු දේශීය පුවත්පත්වල දේශපාලන කාටූන් කලාවේ කූටප්‍රාප්තිය සලකුණු කරන තලන්ගම අද 88 වන වියට පා තබනවා. එසේ වුවත්, මා දකින විදියට, ඔහු අඳින චිත්‍ර හා රේඛා ඉන් මැවෙන රූප, 18 වියේදී ඔහු ඇඳි රූප තරම්ම තරුණයි. ඔහුට තව තවත් මේ සද් කාර්යයෙහි නිරත වීමට හේතු වාසනා වේවා. අපටත් ඒවා රස විඳින්නට වාසනාව උදා වේවා! 

‘සරසවිය’ ඇරඹූ මුල් කාලයේ ම වාගේ ඒ කාර්ය මණ්ඩලයට එක්වූ මා ලේක්හවුසියේ මුලින්ම හඳුනාගත්තේ ඒ මුල් ගමනේ අතර මගදී හමුවූ එඩ්වින් ආරියදාස මහතාය. ඊළඟට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාය. ඊළඟට මා සොයා ගෙන ගොස් කතාබහ කර හඳුනාබව බවකි. ගත්තේ තලන්ගමවයි. අද ඒ මුල්ම මිතුරන් දෙදෙනා අප අතර නැතත් තලන්ගම අපේ හා ජාතියේ වාසනාවට ඔහුගේ දිවියේ 88 වැනි වසර පසු කරමින් පාඨක ජනතාවට නිර්මාණ දායකත්වය සපයමින් ගමනක යෙදී සිටිනවා. අප ඔහුට දීර්ඝායු පතනවා. 

 - පර්සි ජයමාන්න 

සැ. යු: මීට වසර දෙකකට පෙර 2021 ජූලි 10 වැනිදා ‘මල් කැකුළු’ තුළින් ගෙන ආ ලිපිය පහත යොමුවෙන් කියවිය හැකිය. http://www.malkakulu.com/2021/07/85.html 

Post a Comment

2 Comments

  1. ඔබතුමන්ගේ ප්‍රාර්ථනාව මා ද ඉතසිතින් අනුමත කර සිටිනවා!

    ReplyDelete