HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින්ගේ කතා ඇතුළත් පස් වැනි පොත නිකුත්වෙයි!

මගේ නස්රුදින් කතා පොත් පෙළේ පස් වැන්න දැන් නිකුත් වෙලා තියෙනවා. ප්‍රකාශනය දොරට වැඩියේ කොළඹ සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ අනුග්‍රහයෙන්. මීට වසර පනහකට විතර ඉස්සර ලේක්හවුසියෙන් පළ කළ ‘නවයුගය’ සඟරාවට නවමුහුණුවරක් දෙන්න විවිධ විශේෂාංග රැසක් එක් කරන්න අපට සිදුවුණා. ඒකාලේ ‘නවයුගය’ කර්තෘ පදවිය දැරුවේ දිවංගත විමලසිරි පෙරේරා සූරීන්. එතුමා තමයි අපට මෙතෙක් හඳුන්වා නොදුන් විශේෂාංග ගෙන්න කියලා අපට කීවේ. ඒ වෙලාවෙ ‘සරසවිය’ පත්තරයේ ප්‍රධාන සංස්කාරක වුණෙත් එතුමායි. අපේ කට්ටිය වැඩ කළේ ‘සරසවිය’ පත්තරයටයි. අපේ කට්ටියේ උන් සරසවිය කලා සංස්කාරක නිමල් පෙරේරා මහතා තමයි, නස්රුදින් ගැන ලියන්න යෝජනා කළේ. ඒ කතා ලියන්න වඩාත් සුදුස්සා හැටියට මගේ නම යෝජනා කළෙත් ඒ මහතායි. 


අපි තවත් විශේෂාංග රැසක් යෝජනා කළා. ඒ හැම එකකින් ම වඩාත් ජනප්‍රිය වුණේ මේ නස්රුදින් කතායි. ඊට පස්සෙ 1983 දී මේ කතා පොතක් ලෙස පළ කළා දිවංගත ලේඛකයකු හා ප්‍රකාශකයකු වු මා හිතවත් කරුණාරත්න සපුතන්ත්‍රී සහෘදයාගේ සමනල ප්‍රකාශනයක් ලෙස. එයා ලේක්හවුසියෙන් වෙන් වී යද්දී කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ කරන්න බලා උන් මේ පොත මම එයාට දුන්නේ මේ පොත එයා අලුතින් අරඹපු සමනල ප්‍රකාශන ආයතනයේ මුල් ම ප්‍රකාශනය ලෙස දොරට වැඩීම පිණිසයි. එත් මට පසුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘ධර්මිෂ්ඨ රාජ්‍යය’ පොත මුලින් දොරට වඩම්මන්න ඔහු තීරණය කළා. ඒ නිසා මගේ ‘නස්රුදින්’ පොත දෙකට වැටුණා. ඔහුගේ ඒ තීරණය වඩා හරි බව තේරුණේ ‍’ධර්මිෂ්ඨ රාජ්‍යය’ නොකඩවා මුද්‍රණ කීපයක් ම ඔහුට නිකුත් කිරීමට සිදු වූ නිසයි. මගේ නස්රුදින් කෘතියෙනුත් මුද්‍රණ තුනක්ම ඔහු නිකුත් කළා. ඊට වසර ගණනාවකට පස්සෙ අපි දෙන්නටම ආයිත් ලේක්හවුසියේ රස්සාවට යන්න සිදු වුණා. එහි දී තමයි ඔහු කිව්වෙ මට කලින් පොත්වලට කර්තෘ භාගය දෙන්න බැරි වුණ නිසා මේ පොත ප්‍රකාශකයකුට දීලා එකපාර සල්ලි ටිකක් ගන්න. එයා නැවත මෙය ගහන්නෙ නැහැ කියලා. 

එවකට ගුණසේන ප්‍රකාශක ආයතනයේ සිටි රංජිත් අදිකාරම් මහතා තමයි, මගෙන් ඉල්ලීමක් කළේ ගුණසේන ප්‍රකාශනයක් ලෙස පළ කරන්න මගේ කෘතියක් ඉල්ලලා. ඒ අනුව කරුණාරත්න සපුතන්ත්‍රී මිත්‍රයාගෙන් ලබා ගත් ‘නස්රුදින්’ පොත වසර 18කට පසු ගුණසේන ප්‍රකාශනයක් ලෙස පළ කරන්න දුන්නා. ඒ මුල්ම 'නස්රුදින්' පොත ගුණසේන ප්‍රකාශනයක් ලෙස මුද්‍රණ 22ක් පසුගිය වසර 20 තුළ පළ වුණා. මා ‘නස්රුදින්’ එක පොතයි, පළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒත් නස්රුදින්ට එයාගේ කාල‍ෙ අත්දකින්න සිදුවෙච්ච දෙයක් මටත් සිදුවුණා. 

නස්රුදින් පුංචි කාලේ ඔහුගේ අපූරු කතා නිසා ගුරුවරුන්ට වඩා ළමයින් අතර ජනප්‍රිය වෙලා හිටියලු. ඉතින් නස්රුදින්ගෙ එක් ගුරුවරයෙක් එයාට සාපයක් කළාලු, ‘නස්රුදින්, ඔහෙ එක කතාවක් කීවාම කතන්දර හතක් කියන්න සිද්ධ වෙන්න කියලා’. මටත් ඒ සාපය වැදුණු නිසා මට පොත් පහක් ම මට ලියන්න පළ කළා. මේ වන විට නස්රුදින්ගේ කතා පන්සියයකට වැඩි ගණනක් මම ලියලා තියෙනවා. ‘නස්රුදින්’, ‘නස්රුදින් සහ නෑදෑයෝ’, ‘නස්රුදින්ගේ අපූරු කතා’, ‘නස්රුදින්ගේ අලුත් කතා’ සහ ‘නස්රුදින්ගේ අමුතු කතා’ නමින් මේ පොත් පහ ම පළ වෙලා තියෙන්නෙ ගුණසේන ප්‍රකාශන ලෙසයි. මේ පහත පළ කරන්නේ මගේ අලුත් නස්රුදින් පොතේ එන කතාවකි. 

ගැහැනු පිරිමි බව හොයන හැටි! 

දවසක් නස්රුදින් කඩමණ්ඩියෙ සිටිද්දී, පිරිසක් ලොකු වාදයකට පැටලිලා හිටියා. වාදය ටිකක් උණුසුම්ව වැඩි වෙලාවක් ගිය හින්දා නස්රුදිනුත් ඔවුන්ට ළං වෙලා අහගෙන හිටියා. 

වාදයට මාතෘකාව වෙලා තිබුණේ ලෝක අවසානයේ දී ගලවාගෙන යන්න ආ නෝවාගේ නැව වෙතට ඔලිව් ඉත්තක් අරන් ආ පරවියා ගැහැනුද පිරිමිද කියන එකයි. 

වාදයට හොඳට සවන් දී ගෙන හිටපු නස්රුදින් කටහඬ අවදි කළා. මෙහෙම උත්තරයක් දුන්නා: “ඇත්තට ම මෙතැන ගැටලුවක් නැහැ, මේක එච්චර අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ පරවියා පිරිමි සතෙක්. මට ඒ ගැන හොඳටම විශ්වාසයි!” නස්රුදින් කිව්වා. 

“කොහොමද ඔහෙ ඒ තරම් විශ්වාසෙකින් කියන්නෙ?” පිරිස එක හඬින් ඇහුවා. 

“ඒක හරිම සරලයි. ඒ තරම් දිගු වෙලාවක් කට පියාගෙන ඉන්න කිසිම ගැහැනු සතකුට බැහැ.” 

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්ගේ අමුතු කතා’ කෘතියෙනි.)

Post a Comment

0 Comments