HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තුතන්කාමන් අධිරාජයා ගැන කළ විස්මිත හෙළිදරවුව!

මීට වසර 3,350කට පෙර විසූ මිසර පාරාවෝ අධිරාජයකු පිළිබඳ අපූරු හෙළිදරවුවක් පසුගියදා අපට දැන ගන්න ලැබුණා. ඒ අන් කිසිවකු නොව ක්‍රි. පූ. 1335-1323ත් අතර විසුවේ යැයි සැලකෙන 18 වන මිසර පාරාවෝ රාජ වංශයට අයත් තුතන්කාමන් අධිරාජයා ගැනයි. මිසරවේදිනියක වන සොෆියා අසීස් තමයි, මේ හෙළිදරවුව කළේ. ඇය කියන්නේ මේ ගැටවර වියේ අධිරාජයකු වූ තුතන්කාමන් මිය ගියේ අධික ලෙස බීමත්ව රිය පැදවීමට ගොස් සිදු වූ දරුණු අනතුරකින් කියලයි. 

තුතන්කාමන්ගේ මමිය වසා තිබුණු රනින් කළ මුහුණු ආවරණය

19 වැනි වියේ දී ඔහු මෙසේ පදවා ඇත්තේ අසුන් බැඳි චැරියට් රියක්; යුද්ධ රථයක්. ඔහු අනතුරට ලක්ව ඇත්තේ අධික වේගයෙන් ඒ රිය පදවාගෙන යද්දීයි. එහිදී ඔහුගේ පාදයක් බිඳී ගිය අතර එහි ඇති වූ දරුණු ආසාදන තත්වයක් නිසා කලක් දුක්විඳීමෙන් පසු ඔහුගේ මරණය සිදුවන්නට ඇතැයි ඇය කියයි. බීබීසී සේවයේ ‘සයන්ස් ෆෝකස්’ වැඩ සටහනට අදහස් දක්වමින් ඇය කීවේ, “බීමත්ව සිටි තරුණ අධිරාජයා තමන්ට පාලනය කර ගත නොහැකි වේගයකින් චැරියට් රථය පදවාගෙන යන්නට ඇති. අන්තිමේ දී යානය පෙරළී ඔහුගේ දණහිස චැරියට් රියේ ඉදිරි කොටසෙහි වැදී බිඳී යන්නට ඇති.” කියායි. 

2010 දී විකිරණ ආධාරයෙන් මේ තුතන්කාමන් පාරාවෝගේ මමිය පරීක්ෂා කර බැලූ මිසරවේදීන් කණ්ඩායමක් ඔහුගේ මරණයට හේතුව හැටියට වෙනස් අදහසක් තමයි, ඉදිරිපත් කළේ. ඒ අධිරාජයා 19 හැවිරිදි වියේ දී මිය ගියේ මැලේරියාවෙන් පමණක් නොව තවත් රෝගී සංකූලතා රැසක් හේතු කොට ගෙන බවයි. 

කලින් කළ අධ්‍යයනයන්ගෙන් හෙළිවී තිබුණේ ඔහු වේදනාකාරී මස්පිඬු ආබාධයක් නිසා ඇවිදීමට ආධාරකයක් ලෙස සැරයටියක් භාවිත කළ බවයි. ඔහුගේ දකුණු පයේ ඇඟිලිවල තිබූ උත්පත්ති විකෘතියක් හා වම් පාමුල බරවාවක් නිසා දුක් විඳි බවයි. ඒ පර්යේෂකයන් ගේ අවසාන නිගමනය වූයේ ඔහුගේ මරණය සිදු වූ පාදයේ අස්ථිබිඳීමක් නිසා බවයි. අස්ථිබිඳීමට ‍හේතුව ඔවුන්ට නිගමනය කිරීමට නොහැකි වුණා. 

තුතන්කාමන්ගේ මමියෙහි මුහුණු පැවතියේ මෙසේය.

සොෆියා අසීස් මෙණෙවිය මේ විශේෂඥ නිගමනයන් සියල්ල බැහැර කරනවා. ඇය කියන්නේ ඔහු සමඟ ඔහුගේ සොහොන තුළ තැන්පත් කර ඇති දේ ගැන සලකන විට ඒ නිගමන සියල්ල පිළිගත නො හැකි බවයි. 

තුතන්කාමන්ගේ මමිය ඇසුරෙන් ගත් දත්ත 
මත පදනම්ව පරිගණකය නිර්මාණය කළ මුහුණ.

පුරාණ මිසර ජාතිකයන් දිගු කලක් තිස්සේ විශ්වාස කළේ මරණින් මතු ජීවිතයට පාවිච්චි කළ හැකි එදිනෙදා භාවිත කළ දේවල් සොහොනෙහි තැන් කරන බවයි. විශේෂඥයන් කලින් කියා තිබුණේ තුතන්කාමන්ගේ සොහොනෙහි තැන්පත් කර තිබී හමු වූ ඇට වර්ග හා පලතුරු වර්ග ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගත් ඒවා බවයි. 

අසීස් මෙණෙවිය කියන්නේ එහි තැන්පත් කර ඇති චැරියට් යානා හයත්, සන්නාහ සන්නද්ධ ඇඳුම් හා එහි සඟවා තිබූ වයින් බඳුන එතැනට ඇවිත් වෙනත් කතාවක් කියන බවයි. මේ දේවල් නිසා ඇය කියන්නේ ඔහු ආබාධිත අයකු නොවූ බවයි. ඔහු රණකාමී අධිරාජයකු ලෙස චැරියට් යුද්ධ රථ පදවා ගෙන ගිය බවයි. 

එසේ අධි වේගයෙන් යුද්ධ රථයක් පදවද්දී සිදු වූ අනතුරකින් ඔහුගේ සිරුර යුද්ධ රථයේ ඉදිරිපස කොටසෙහි ගැටීමෙන් ජීවිත හානියට හේතු වූ ඒ බරපතල තුවාලය සිදුවන්නට ඇති බවයි, ඇය කියන්නේ. ඇය කියන්නේ වම් පාමුල බරවාවක් ලෙස පෙනෙන්නේ මමිය සැකසීමේ ක්‍රියාවලියේ දී සිදු වූ විකෘතියක් නිසා ඇති වූ දෙයක් බවයි. අසීස් මෙණෙවිය කියන්නේ මමිය රෙදි පටිවලින් ඔතද්දී හා රේසින් මැලියම් යෙදීමේ දී සිදු වූ දෙයක් බවයි. 

“මගේ නිරීක්ෂණයට අනුව ඔහු සමග සැරයටියක් තිබුණේ රාජකීයත්වයේ ලක්ෂණයක් ලෙස මිස ආබාධිත අයකුට ඇවිදීමට ආධාරකයක් ලෙස නොවන බවයි. අනික් අතට, ඔහුගේ දෙපා එක දිගට බවත් ඒ අස්ථිවල කිසිසේත් එවැනි ආබාධිත තත්වයක් නොවූ බවත්. මා පැහැදිලිව ම දුටුවා.” යයි අසීස් මෙණෙවිය කියනවා. 

“ඔහු යුද්ධ රථ පදවන්නට බැරි තරම් ආබාධිත නම් එතැන චැරියට් රථ හයක් ම තැන්පත් කරන්න හේතුවක් නැහැ. තරුණ අධිරාජයකු හැටියට ඔහු ඒවා ඉතා වේගයෙන් මෙහෙයවන්නට ඇති. ඒ සොහොනෙහි සඟවා තිබූ වයින් බඳුනෙන් කියන්නේ ඔහු මධුවිතට ඇබ්බැහිව සිටි බවයි. සමහර විට ඔහු බොහෝ සේ බීමත්ව යුද්ධ රථයක් අධිවේගයෙන් පදවා අනතුරට පත් වෙන්න ඇති. මේ සොහොන සොයා ගත් කාලයේ අවිධිමත් පරීක්ෂාවන් නිසා සොහොන තුළ වූ සාක්ෂි බොහොමයක් විනාශ වී ගොස් ඇති නිසා ඉතා නිවැරදි නිරීක්ෂණයක් කළ නොහැකි බවයි අනිත් විශේෂඥයන් කියන්නේ. 

හොවාඩ් කාටර් සොයා ගත් තුතන්කාමන් මමිය එදා පරීක්ෂා කළ අයුරු.

මේ තුතන්කාමන්ගේ සොහොන මුලින් ම සොයා ගත්තේ 1907දී මිසරයේ රජුන්ගේ නිම්නයේ කළ කැනීම්වලදියි. ඒ කටයුත්ත ඉංග්‍රිසි ජාතික පුරාවිද්‍යාඥයකු මෙන් ම මිසරවේදියකු වූ හොවාඩ් කාටර් විසින් කළ දෙයක්. ඒ සඳහා ඔහුව මෙහෙයවුයේ ජෝර්ජ් හර්බට් කානවන් සාමිවරයායි. 1922 නොවැම්බර් 4 වැනිදා කාටර්ගේ කණ්ඩායම තුතන්කාමන්ගේ සොහොන් ගැබ දෙසට විහිදුණු පඩි පෙළක් සොයා ගත්තා. ඒ සොහොන් ගැබෙහි ඇතුළත වූ දෑ පරීක්ෂාකර ලැයිස්තු ගත කරන්නට ඔහු වසර ගණනක් ගත කළා. ඒ තරම් වස්තු කන්දරාවක් එහි තැන්පත් කර තිබුණා. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments