HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

2023 ග්‍රේෂන් සාහිත්‍ය සම්මානය තරුණ ලේඛක දෙපළකට.

ඉංග්‍රීසි බසින් රචනා කරන ශ්‍රී ලාංකික ලේඛක ලේඛිකාවන්ට සම්මාන පිරි නැමෙන විශිෂ්ටතම සම්මානයක් සේ සැලකෙන ග්‍රේෂන් සම්මාන උළෙල මෙවර පැවත්වුණේ 30 වන වරටයි. මෙවර ග්‍රේෂන් සම්මාන උළෙලේදී 2023 වසරේ ලද විශිෂ්ටතම සාහිත්‍ය කෘතියට හිමි සම්මානය කෙටිකතා සංග්‍රහයකට හා නවකතාවකට වශයෙන් කෘති දෙකකට හිමි වුණා. මෙසේ සම්මානයට පාත්‍ර වූයේ තරුණ දන්ත වෛද්‍යවරියක් හා තරුණ පරිගණක ඉංජිනේරුවෙක්. 

සම්මානයට පාත්‍ර වූ තරුණ දන්ත වෛද්‍යවරිය හා තරුණ පරිගණක ඉංජිනේරුවා

සම්මානයට පාත්‍ර වූ කෙටිකතා සංග්‍රහය චිරන්ති රාජපක්ෂ විසින් රචනා කරන ලද, Keeping Time and Other Stories නමැති කෘතියයි. සම්මාන ලත් නවකතාව යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති කෘතියයි. 

ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් රචනා කරන ලද කෘති 4ක් මෙවර අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණා. ඒවා මෙසේයි: ඉසුරුණී මල්ලවආරච්චිගේ Flowers Teach Me To Let Go නමැති කාව්‍ය සංග්‍රහය, ශිරන්ති රාජපක්ෂගේ Keeping Time and Other Stories නම් කෙටිකතා සංග්‍රහය, ශිරාණි රාජපක්ෂගේ Samsara නම් පද්‍ය සංග්‍රහය සහ යුධන්ජය විජේරත්නගේ The Wretched and the Damned නමැති නවකතාවයි. 

මෙවර ග්‍රේෂන් සම්මානයේ විනිශ්චය මණ්ඩලයට කීර්තිමත් ශ්‍රී ලාංකික ලේඛකයින් වන රොමේෂ් ගුණසේකර (සභාපති), කෞෂල්‍යා පෙරේරා සහ සුකන්‍යා විග්නරාජා ඇතුළත් වුණා. ඒ පිළිබඳ අදහස් දක්වමින් ජූරියේ සභාපති ධූරය දැරූ රොමේෂ් ගුණසේකර පැවසුවේ, "විශිෂ්ටතම කෘතිය තෝරා ගැනීම අතිශය දුෂ්කර වූ බවය. කෙසේ වෙතත්, භාෂා භාවිතය, කතා වින්‍යාසය ආදී තාක්ෂණික කරුණු සහ පාඨකයින්ට ලෝකය සහ අවට පරිසරය පිළිබඳව ලබා ඥත හැකි අත්දැකීම් ආදී කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන විශිෂ්ටතම කෘතිය තෝරා ගැනීමට උත්සහ කළ බව”යි. 

සම්මානනීය ලේඛිකාවක වූ දන්ත වෛද්‍ය නීතිඥවරිය, ශිරන්ති 

ශිරන්ති රාජපක්ෂ

‍‍‍‍‍සම්මාන ලද ක‍ෙටිකතා සංග්‍රහය වූ Keeping Time and Other Stories කෘතියේ රචිකාව ශිරන්ති රාජපක්ෂ කීවේ, තමන්ගේ පවුලේ ලේඛක පසුබිමක් නැතත් තමන් දිගු කලක් තිස්සේ නිර්මාණකරණයේ නිරත වෙමින් සිටි බවයි. 2017 වසරේදී ඇය පළ කළ Names & Numbers නමැති පළමු කෙටිකතා එකතුව ඒ වසරේ ග්‍රේෂන් සම්මානයට නිර්දේශ වුණා. 

මාතර උපන් ඇය ද්විතියික අධ්‍යාපනය ලැබුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්. පසුව ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍යවරියක ලෙස උපාධියක් හිමි කර ගත්තා. අනතුරුව, ඇය ස්වයං අධ්‍යයනයෙන් නීතිය හදාරා නීතිඥවරියකද වුණා. දැනට ඇය ලර්න් ඒෂියා ආයතනයේ පර්යේෂිකාවක ලෙස කටයුතු කරනවා. 

"මම මගේ කෙටිකතා හරහා කියන්න උත්සහ කළේ, එදිනෙදා අප මුහුණ දෙන අත්දැකීම් කිහිපයක් ගැනයි. මගේ මුල්ම කෙටිකතා එකතුව ග්‍රේෂන් සම්මානයට නිර්දේශ වීම මට ලොකු ධෛර්යයක් වුණා. එයින් දිරිමත්ව තවත් ලියන්න පටන් ගත්තා. මෙවර සම්මානය හිමි වීම ලේඛිකාවක ලෙස මට ලොකු ඉදිරි පිම්මක්. අපි ලියන්නේ, පාඨකයින් සමග අත්දැකීම් බෙදාගැනීමට, ඔවුන් දැනුවත් කිරීමට සහ ඔවුන්ට රස වින්දනයක් ලබා දීමට. එතැනදී ලේඛකයෙකුට අගැයීම කියන දේ ඉතා වැදගත් වෙනවා," ශිරන්ති රාජපක්ෂ කියනවා. 

ඇය වැඩිදුරටත් කියන්නේ දැන් ඉංග්‍රීසි බසින් රචනයේ යෙදෙන ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. "ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ නිරත වෙන ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනයක් දකින්න පුළුවන්. ඒක ඉතා හොඳ දෙයක්. ෂෙහාන් කරුණාතිලක වගේ ශ්‍රී ලාංකික ලේඛකයන් ලෝකයේ අවධානයට ලක් වී තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවක්. මේ නිසා ශ්‍රී ලාංකික සාහිත්‍යයේ හෙට දවස ගැන අපට සතුටු වෙන්න පුළුවන්." 

සම්මානනීය ලේඛකයෙකු වූ මෘදුකාංග නිර්මාණකරු - යුධන්ජය

 

යුධන්ජය විජේරත්න

මෙවර ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ නවකතාව වූ The Wretched and the Damned රචනා කළ ලේඛක යුධන්ජය විජේරත්න උසස් පෙළ හදාරමින් සිටියදී පාසල හැර ගිය අයෙක්. ඔහු මුලින් ම ගියේ බම්බලපිටියේ ‘මැජෙස්ටික් සිටි’හි පරිගණක වෙළෙඳ සලක රැකියාවකටයි. ඒ අතරතුර ඔහු වෙබ් අඩවි සහ බ්ලොග් සඳහා තොරතුරු තාක්ෂණයට අදාළ ප්‍රවෘත්ති සම්බන්ධ ලිපි සැපයුවා. පසුකාලීනව මෘදුකාංග නිර්මාණකරණයේ නිරත වන ආයතනවල සේවය කළ යුධන්ජය, ලේඛන කටයුතු අත්හැරියේ නැත. 

"ලියන එක හැර අනික් සියල්ලටම මගේ ජීවිතයේ හිමි වන්නේ දෙවන තැනයි. ඒ නිසා ලියන එක මම දිගට ම කරගෙන ගියා. දැනටත් මම අලුත් නවකතා ලියමින් ඉන්නේ. මේ ලැබුණු සම්මානය මට ලොකු ශක්තියක්," ඔහු කියනවා. 

"මේ නවකතාවට පාදක වුණේ, ශ්‍රී ලාංකිකයින් ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දෙන නිරන්තර අරගලයයි. මේක මම ලිව්වේ 2021 වසරේදී, ඇත්තට ම සිදුවුණ අරගලයට කලින්." 

ඔහු ඓන්ද්‍රජාලික යථාර්ථවාදය අනුගමනය කරමින් ආර්ථික අර්බුදය, මුදල් අච්චු ගැසීම, අවසන් නොවන අරගල ආදී සිද්ධි කේන්ද්‍ර කර නවකතාව ගොඩ නගා තියෙනවා. 

"මේ සම්මානය ලැබුණේ මගේ නවකතා අතුරෙන් පස් වන කෘතියටයි. ලියන එක තමයි මගේ ජීවිතයේ වැදගත් ම දේ. ඉදිරියටත් මම දිගටම ලියනවා. මේ සම්මානය ලැබුණාට පස්සේ මට ලැබුණු දුරකථන ඇමතුම්වලින් මට තේරුණා, මේ රටේ මිනිස්සු කොයිතරම් සාහිත්‍යයට ලැදි ද කියලා." ඔහු අවසන් වශයෙන් කීවා. ‍‍

(බීබීසී සිංහල සේවය ඇසුරෙනි. රූප මූලාශ්‍රය,THE GRATIAEN TRUST)

Post a Comment

0 Comments