පොසිල මත්ස්‍යයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2023

පොසිල මත්ස්‍යයා

“ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවකු දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගැනීමට හැකි වී තිබුණේ කුල්මන් අවට මුහුදෙන්. මාළුවාගේ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. හරියට සන්නාහයකින් සැරසිලා වගෙයි. වරල් ගාත්‍රා වගෙයි. වරල් වගේ නෙවෙයි” 

මේ ලිපිය ලියුවේ, 1938 වසරේ දෙසැම්බර් 23 වැනිදා, එවකට දකුණු අප්‍රිකාවේ ස්ථාපිත කර තිබුණු නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයට අයත් ශාඛාවේ, සේවය කළ එකම නිලධාරිනියයි. ඇය මාජරී කෝට්නි ලැටිමෝර්ය. ඇය ලිපිය යැව්වේ ආචාර්ය ජේම්ස් ලෙනාඩ් ස්මිත්ට ය. ආචාර්ය ස්මිත්, රෝඩ්ස් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා කථිකාචාර්යවරයකු වගේම මත්ස්‍යයන් පිළිබඳ විශේෂඥයෙකි. 

අබිරහස විසඳයි
ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳීමට සමත් වූවා පමණක් නොව, ඔහු එක රැයින් ලොව ප්‍රසිද්ධියටත් පත් විය. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම ලෙස එම මාළුවා සැලකෙයි. මේ අපූරු සත්වයා හැඳින්වෙන්නේ සීලාකාන්ත් යනුවෙනි. ආචාර්ය ස්මිත්, සීලකාන්ත් ගැන ලොවට හෙළි කිරීමට පෙර, වසර මිලියන 60 ක් තිස්සේ සීලකාන්ත් මත්ස්‍යා වඳ වී ගිය සත්වයකු ලෙස විද්‍යාඥයෝ විශ්වාස කළහ. ඒ වන තෙක්ම නූතන විද්‍යාව, මේ මාළුවා ගැන දැන සිටියේ පොසිල සාක්ෂිවලින් පමණි. ධීවරයන් කණ්ඩායමකට මුහුදේ ජීවත් වූ සීලාකාන්ත් මාළුවකු හමුවීම නිධානයක් හමුවූවාටත් වඩා වටින දෙයකි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සීලාකාන්ත්, ඩයිනසෝරයන්ටත් පෙර ජීවත් වූ බවය. ආචාර්ය ස්මිත්ගේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙස නම් කෙරුණි. මත්ස්‍යන් පරිණාමය වී, පසුතාලීනව ගොඩබිම ඇවිදීමට පටන් ගත්තේ සීලාකාන්ත් වැනි මත්ස්‍යයන්ගෙන් යැයි විද්‍යාඥයන්ගේ මතයයි. 

පොසිල මත්ස්‍යයා
පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සත්වයන්ගේ අත් පා ලෙස පරිණාමය වූයේ සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල්ය. දෙවැනි ලෝක යුද්ධය අවහිරයක් වුනත් ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සොයන්න විය. සීලාකාන්ත්ගේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පත්‍රිකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුම්වත් කළේය. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැත. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවිය. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනෙකුම හමුවිය. සාගරජීව විද්‍යාඥයන් හිතුවේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වුණා කියාය. 

නිගමනය බොරුවක්
1997 වසරේ ඒ නිගමනය බොරු විය. ඇමෙරිකා සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන් සහ ඔහුගේ අලුත් බිරිඳ අර්නාස් මේතා ට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක මාළු කරත්තයක සීලාකාන්ත් මාළුවකු දකින්න ලැබුණි. ස්මිත් අවුරුදු 50 ක් තිස්සේ කළා වගේම සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් ආරම්භ කළේය. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගන්න හැකිවිය. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයාගේ දකුණු අප්‍රිකානු මූදට පමණක් සීමා වී නැති බව එයින් හෙළි විය. 

සීලාකාන්ත්  ‍
සීලාකාන්ත් ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයෙකි. හොඳින් වැඩුණු සීලාකාන්ත් මත්ස්‍යයකුගේ දිග අඩි 5 ක් පමණ වන අතර බර රාත්තල් 200 ක් පමණ වෙයි. යමහල්වලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ උන් ජීවත් වූ බව පැවැසෙයි. රාත්‍රී කාලයේ ආහාර සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට උන් ගමන් කරන බවට ද විහ්වාස කෙරේ. 

තවත් තිදෙනෙක්
සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙයි. මොවුන් පෘථිවියේ බහුල ව ජීවත් වූයේ ඩෙවෝනියානු යුගයේ යැයි පැවැසෙයි. (මිලියන 400 ක් ඈත අතීතයේ) මේ මත්ස්‍යයන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියාය. සාගරයේ සිට ගොඩබිමට පැමිණ ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලා විද්‍යාඥයන් පැහැදිලි කරයි. සාගරයේ ජීවත් වන සීලාකාන්ත් මත්ස්‍ය ගහණය හේතු ගණනාවක් නිසා සීඝ්‍රයෙන් අඩුවී යයි. නීති විරෝධීව සීලාකාන්ත් මසුන් ඇල්ලීම හා විකිණීම ඒ අතරින් ප්‍රධාන වෙයි. සීලාකාන්ත් මසුන්ගේ යුෂ හොඳ ඔසුවක් ලෙස සාම්ප්‍රදායික ආසියානුවන් අතරේ ප්‍රකටය. 

තවත් තොරතුරු
මීට සිවු වසරකට පෙර, යළිත් වරක් සීලාකාන්ත් මාළුවකු ගැන තොරතුරු හෙළි විය. මේ මාළුවා සොයා ගත්තේ ජපන් සාගර විද්‍යාඥ කණ්ඩායමක් විසිනි. ඔවුන්ට මාළුවා හමුවූයේ ඉන්දුනීසියාව අසළ ගැඹුරු මූදු පතුළෙනි. විද්‍යාඥයන් මාළුවාගේ දසුන් රූගත කළා පමණක් නොව පසුව ඒවා මාධ්‍ය හරහා විකාශය කිරීමට ද පියවර ගත් බව වාර්තා වේ. ඒ අනුව, ‘පොසිල මාළුවා’ ගේ දෙවැනි පුනරාගමනය ලෙස මෙම පුවත ප්‍රසිද්ධියට පත් විය. අලුතින් සොයා ගත් සීලාකාන්ත් මාළුවා ජීවත් වන්නේ අඩි 528 ක් (මීටර 161 ක්) සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් ගැඹුරු මුහුදු පතුළේය. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයෝ මතක් කර දෙති. රූ ගත කිරීම් සිදු කර ඇත්තේ, ස්වයංක්‍රීයව පාලනය කළ රොබෝ කැමරාවක ආධාරයෙනි. 

ජීවන රටාව
රූගත කළ වීඩියෝ දසුන් අනුව මේ අලුත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබේ. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබේ. “අප දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගැනුණු පළමු අවස්ථාව මෙයයි. මේ සත්ත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” යැයි ජපානයේ ෆුකුෂියා මින්මැඳුරේ, පර්යේෂක මසාමිත්සූ අවාටා කියයි. මේ නව සොයා ගැනීමත් සමඟ, සීලාකාන්ක් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වූ බව ද වාර්තා වේ. විද්‍යාඥයන් අනුමාන කරන්නේ, සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස්, පැටවුන් වැඩුණු පසු එළියට පැමිණෙන බවය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom