බර වැඩිවෙලා ගිලෙන නගර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2023

බර වැඩිවෙලා ගිලෙන නගර

ඇමෙරිකාවේ නිව්යෝක් යනු ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයයි. නිව්යෝක් නගරය ගැන කී සැණින්, සිහියට නැගෙන්නේ නගරයේ අහස සූරන මැඳුරුය. වර්ග කිලෝ මීටර් 778.2 පුරා පැතිර පවතී. නිව්යෝක් නගරයේ ජනගහනය 8,800,000 ඉක්මවයි. නිව්යෝක් නගරය ඇත්තේ, නිව්යෝක් ප්‍රාන්තයේ දකුණු කෙළවරය.

නිව්යෝක් නගරය ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි. විනෝදාස්වාදය, ආහාර, විලාසිතා කේන්ද්‍රස්ථානයයි. අධි තාක්ෂණික පුරවරයයි. කෙටියෙන් කීවොත්, ලොව ප්‍රධානතම නගර අතර කැපී පෙනෙන නගරයයි. පසුගිය දා නිව්යෝක් නගරය සම්බන්ධයෙන් බියජනක පුවතක් අසන්න ලැබුණි. ඒ නිව්යෝක් නගරය, බර දරාගත නොහැකිව ගිලා බැසීමට පටන්ගෙන ඇති බවය. 

අහස සූරන දැවැන්ත ගොඩනැගිලිවල බර, නිව්යෝක් නගරය පිහිටි භූමියට දරාගත නොහැකි වීම හේතුවය. ඇමෙරිකන් භූ විද්‍යාඥයන් පසුගිය මැයි මාසයේ සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගියේ, නිව්යෝක් නගරය සෑම වසරකට මිලිමීටර් 1-2 (අඟල් 0.04-0.08) කින් ගිලා බසිමින් පවතින බවය. ඒත් නගරයේ ඇතැම් ස්ථාන ගිලා බසින ප්‍රමාණය මිලිමීටර 4.5 කි. මෙය බිහිසුණු තත්ත්වයකි. 

මෙම ගිලා බැසීමට හේතුව නගරයේ ගොඩනැගිලිවලින් භූමියට එල්ල වන පීඩනයයි. ඇමෙරිකන් විද්‍යාඥයන් ඔවුන්ගේ අධ්‍යයන වාර්තා එළිදක්වා ඇත්තේ, පරිගණක අනුරුවක් ද සමඟිනි. එම පරිගණක අනුරුව සැකැසීමට චන්ද්‍රිකා දත්ත පාදක කරගෙන තිබේ. 

ඒ අනුව, නගරය සෙමින් ගලා බසින ආකාරය සහ අවසානයේ ඊට සිදුවන විපත්තිය නැරැඹිය හැකිය. නගරය ගිලා බසින ප්‍රමාණය පවා මෙම පරිගණක අනුරුව මගින් ගණනය කර බැලිය හැකිය. භූ විද්‍යාඥයන් නිව්යෝක් නගරය පුරා ඇති දැවැන්ත ගොඩනැගිලි 1,084,954 ක ස්කන්ධය මැන තිබේ. 

විද්‍යාඥයෝ නිව්යෝක් නගරය පුරා ඇති ගොඩනැගිලිවල සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් බිලියන 762 ක් යැයි නිගමනය කළහ. එම බර, සම්පූර්ණයෙන් බර පැටවූ බෝයිං 747-400 එස් වර්ගයේ ගුවන් යානා මිලියන 1.9 ක බරට සමාන යැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති. 

ඊට අමතරව, නිව්යෝක් නගර ගිලා බසිද්දී, නගරය වට කරගත් සාගර මට්ටම ඉහළ යන වේගයට වඩා දෙගුණයකින් ඉහළ යනු ඇතැයි ද පැවැසෙයි.‍ වසර 2050 වන විට නිව්යෝක් වටා සාගර මට්ටම අඟල් 8 ත් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට ද විද්‍යාඥයන් පුරෝකථනය කර අවසන්ය. 

නගරයේ ගොඩනැගිලිවල බර පොළොවට උසුලන්නේ නැති බව ඇත්ත. නමුත් ගිලා බැසීම වේගවත් කරන තවත් කරුණක් ද ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, සිදුවන දේශගුණික විපර්යාසයි. අන් කවරදාටත් වඩා දේශගුණික විපර්යාස එසේත් නැතිනම් විපරිත කාලගුණික පෙරැළි නිර්මාණය වීමට පටන්ගෙන ඇත. 

සරලව කීවොත් පායන කාලයට වැස්සත්, වැසි කාලයට පෑවිල්ලත් ඇතිවන්නේ මෙම විපරිත කාලගුණික පෙරැළි හේතුවෙනි. ලෝකයේ විපරිත කාලගුණික පෙරැළි හේතුවෙන් ඉකුත් වසර 50 තුළ මිලියන දෙකකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් මේ කාලයේ දී සිදුව ඇති ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4 කට වැඩිය. 

1970 සිට 2021 දක්වා කාලයේ දී කාලගුණික, දේශගුණික සහ ජල ආශ්‍රිත අනතුරු සහ උපද්‍රව නිසා ව්‍යවසන 12,000කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇතැයි ද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරයි. මෙම ව්‍යවසනවලින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් තිබෙන රටවලට වන අතර, මරණ 10 කින් 9 ක්ම සිදුවී ඇත්තේ මෙම ව්‍යසන නිසා ය. 

ආර්ථික පාඩුවලින් සියයට 60 ක්ම සිදුව ඇත්තේ විපරිත කාලගුණික තත්ත්ව සහ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. ගෝලීය උණුසුම ඉහළ ගොස් සාගර ජල මට්ටම වැඩිවීමෙන් හෙට අනිද්දා ගිලී යෑමේ අවදානමක් පවතින නගරයක් ලෙස අප හඳුනාගෙන ඇත්තේ මාලදිවයින දූපත් රාජ්‍යයයි. සාගර ජල මට්ටම දිනෙන් දින ඉහළ යෑම මාලදිවයිනෙහි වැසියන්ට තර්ජනයකි. 

ලෝකයේත්, ඇමෙරිකාවේත් ප්‍රධාන නගරයක් වන නිව්යෝක් ගිලා බැසීම සම්බන්ධයෙන් වාර්තාව කරළියට එද්දී, එවැනි තවත් නගර තිබේදැයි යන්න ප්‍රශ්නයක් විය. ඔව්. ගිලා බැසීම ආරම්භ වුණු තවත් නගරයක් ගැන ජගත් භූ විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කර තිබේ. ඒ, ලොව ප්‍රධාන නගර 99 ක් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් පසුවය. 

ගිලා බැසීමට පටන්ගෙන ඇති තවත් ලොව ප්‍රධාන නගරයක් ලෙස සැලකෙන්නේ ඉන්දුනීසියාවේ ජකර්තාය. ජකර්තා ගිලා බසිමින් පවතින බව ඉන්දුනීසියානු භූ විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ අද ඊයේ නොවෙයි. එම අනතුරු ඇඟවීමේ බිහිසුණු බව ඉන්දුනීසියානු රජයට මෙන්ම ජනතාවට හොඳින් අවබෝධ විය. 

ජකර්තා අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යෑම දැනටමත් ආරම්භ වී අවසන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. භූ විද්‍යාඥයන් සිදු කළ තවත් අධ්‍යයන රැසකින් අනාවරණය වී ඇත්තේ, ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන වෙරළබඩ නගර 48 න් 44 ක්ම, සාගර මට්ටම ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ගිලා බසිනු ඇති බවය. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom