වායු දූෂණය නිසා ලෙඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2023

වායු දූෂණය නිසා ලෙඩ

ඔළුව අවුල් වී මතකය ගිලිහී යාම , සිහි කල්පනාවක් නොමැතිව වැඩ කිරීම බරපතල මානසික ආබාධ තත්ත්වයකි. වැඩිහිටි වියේ දී ඇති වන ආබාධ අතරින් ‘ඩිමෙන්ෂියාව’ හෙවත් විස්මෘතිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. 

අතීතය අමතක වී යාම, යම් යම් කරුණු, එක්වරම මතකයට නොඒම මෙහිදී බොහෝ විට සිදුවෙයි. මෙය බොහෝ දෙනකුට වයස්ගත වීමේ එදිනෙදා කටයුතුවල දී මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයකි. මෙයට බොහෝ විට හේතුවන්නේ ‘ඇල්ෂයිමර්ගේ රෝගය’ යනුවෙන් හැඳින්වෙන නිශ්චිත රෝග තත්ත්වයයි.

‘ඇල්ෂයිමර්’ යනු මොළයේ සෛල කෙමෙන් මිය යාමයි. බොහෝ විට වයෝවෘද්ධ තත්ත්වයත් සමඟ ඇති වන ඇල්ෂයිමර් රෝගයේ ප්‍රධාන ලක්ෂණය ඩිමෙන්ෂියාව හෙවත් විස්මෘතියයි. එහෙත් ඩිමෙන්ෂියාව යනු ඇල්ෂයිමර් රෝගයට පරිබාහිරව ද ඇති විය හැකි ආබාධ තත්ත්වයකි. 

මෙම රෝග ලක්ෂණ බොහෝ විට පහළ වන්නේ 50 හෝ 60 ඉක්මවූවන්ටය. එහෙත්, ඇතැම් විට වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයස් කාණ්ඩයෙන් ද රෝගීන් වාර්තා වෙයි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය අමතක වීමය. පුද්ගලයන්ගේ නම් ගම්, විශේෂයෙන් ම තම ආදරණීයයන්ගේ නම්, බඩු මුට්ටු තැබූ තැන්, කාපු බීපු දේ ආදී පුංචි පුංචි කරුණු කාරණා අමතක වෙයි. 

මෙම රෝග ලක්ෂණ කාලයක් තිස්සේ පවතිද්දී, ඒවා ගණන් නොගෙන, රෝගය උත්සන්න වූ පසු ප්‍රතිකාර ලබා දීම අසීරුය. කරන්නේ කුමක්ද හෝ සිටින්නේ කොතැන ද කල්පනාවක් නොමැතිව, වැසිකිළි ගියේ යැයි සිතා සිටින තැනම මල මුත්‍ර කර ගැනීම, පිච්චෙනවා යැයි අවබෝධයක් නැතිව ගින්දර ඇල්ලීම, උයන පිහන වළං රත්වූ බව අමතක වී රස්නෙ පිටින්ම ස්පර්ශ කිරීම ආදිය මෙහි බරපතල තත්ත්වයන්ය. ‘ඇල්ෂයිමර්’ රෝගය නිසා ඇති වන ‘ඩිමෙන්ෂියා’ තත්ත්වයට හේතුව කුමක්ද? 

වෛද්‍යවරුන්ගෙන් මේ ප්‍රශ්නය ඇසුවොත්, ඔවුන් බොහෝ දෙනකු පිළිතුරු දෙන්නේ ‘එවැනි විශේෂ හේතුවක් නැහැ’ යනුවෙනි. එසේ නම් මෙය ජානගත රෝගී තත්ත්වයක ප්‍රතිඵලයක්ද? එය එසේ යැයි විද්‍යාත්මකව තහවුරු කිරීමක් ද කර නැත. එසේ වුවත් එක් පරම්පරාවක කීප දෙනකුට රෝගී තත්ත්වය තිබිය හැකිය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මෙයට බලපෑමක් කරනවාද? 

ඩිමෙන්ෂියා තත්ත්වයක් ඇති කිරීමට දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් හේතු සාධක වෙනවා යැයි සනාථ වී නැත. එසේ වුවත් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන බොහෝ දෙනා දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්වලින් පෙලෙන බව වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ. දශක ගණනක් තිස්සේ, මෙම ‘ඩිමෙන්ෂියා’ තත්ත්වය ඇති කරමින් ‘ඇල්ෂයිමර්’ රෝගය ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත කඳුළින් තෙත් කිරීමට සමත් වී ඇත. 

‘ඇල්ෂයිමර්’ රෝගය පිළිබඳව ඇති කර ගෙන ඇති සන්සදයට අනුව, අද වනවිට මිලියන 6.7 ක් ඇමෙරිකානුවෝ ‘ඇල්ෂයිමර්’ රෝගීන් වී සිටිති. 2050 වෙද්දී මෙම ගණන මිලියන 13 පසු කරනු ඇතැයි බිය පළ කෙරේ. බිය විය යුතු දෙයක් ඇත. එනම්, ඇල්ෂයිමර් සන්සදය පෙන්වා දෙන ආකාරයට, ​ඇමෙරිකාවේ හමුවී ඇති ‘ඇල්ෂයිමර්’ රෝගීන්ගෙන් ලක්ෂ දෙකක් 65 ට අඩු පුද්ගලයන්ය. 

මෙම පිරිස ‘ඩිමෙන්ෂියා’ තත්ත්වයෙන් පීඩා විදිති. ‘ඇල්ෂයිමර්’ සහ ‘ඩිමෙන්ෂියා’ ඇති කරන හේතු සාධක ගැන විද්‍යාඥයන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු වී ඇත. පසුගියදා ‘ඩිස්කවර්’ වෙබ් අඩවියේ පළ වුණු වාර්තාවක සඳහන් වූයේ තවත් ඇඟ කිළිපොළා යන කරුණු කාරණාය. විද්‍යාඥයන්ට ‘ඇල්ෂයිමර්’ රෝගය ඇති කරන නිශ්චිත හේතු සාධකයක් හමුවිය. එම හේතු සාධකය වායු දූෂණයයි. 

 ආහාර නොමැතිව අපට සති 3 ක් ජීවත් විය හැකිය. ජලය නොමැතිව දින 3 ක් ජීවත් විය හැකිය. එහෙත්, හුස්ම නැතිව අපට ජීවත් වීමට හැකි වන්නේ මිනිත්තු 3 ක් පමණි. හුස්ම විෂ වීම ‘ඇල්ෂයිමර්’වලට පමණක් නොව ‘ඩිමෙන්ෂියාව’ ඇති විය හැකි තවත් රෝග තත්ත්වයන් රැසකට හේතුව වී ඇති බවට දැන් නිගමනය කර ඇත. මීට පෙර වායු දූෂණය ගැන අපට අසන්න ලැබුණේ චීනයෙනි; නැතිනම් ඉන්දියාවෙනි. 

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර යනු වායු දූෂණය ඉහවහා යන නගරයකි. අද වායු දූෂණය බරපතල පාරිසරික ගැටළුවක් වී අවසන්ය. ගෝලීය වශයෙන්, සෑම රටකටම මෙහි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. පෘථිවි වායුගෝලයේ ස්වාභාවිකවම පවතින වායු වර්ගවලට අමතරව, වායුගෝලීය සංයුතිය අහිතකර ආකාරයට වෙනස් වීම, වායු දූෂණය ලෙස විද්‍යාඥයන්ගේ නිර්වචනයයි. 

වායුගෝලයට එකතුවන වායු නොවන ද්‍රව්‍ය සහ අහිතකර වායු වර්ග කාණ්ඩ 35 කින් පමණ වායුගෝලය දූෂණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ජල බිංදු, බැක්ටීරියා, ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් වැනි බැර ලෝහ, දුම්, දූවිලි, දැලි ආදිය ද ඊට අයත් වෙයි. මේවා අතර වායු නොවන ද්‍රව්‍යමය අංශු ක්ෂුද්‍ර වායුගෝලයට ඇතුළු වීම, සැලකිය යුතු වායු දූෂණ ක්‍රමයක් ලෙස විද්‍යාඥයන් හඳුනාගෙන අවසන්ය. 

 පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ අහස වලාකුළුවලින් බර විය. සූර්යාලෝකය දවස පුරාම නොලැබී අඳුරු ස්වභාවයක් පෙන්නුම් කළේය. සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නට වූයේ වායු දූෂණය වීමක් සිදුවී ඇති බවත්, නිවසින් බැහැරව යද්දී මාස්ක් පලඳින ලෙසත්ය. ශ්‍රී ලංකාවේ අප මුහුණ දුන්නේ ඉහත සඳහන් කළ ක්ෂුද්‍ර ද්‍රව්‍යමය අංශු වායුගෝලයට ඇතුළු වීම යැයි ද පැවැසිණි. වායු දූෂණය හැඳින්විය හැක්කේ වායුගෝලය වලාකුළක් ලෙස සකස් වීම සඳහා වායුගෝලයට එක් වන ක්ෂුද්‍ර ද්‍රව්‍යමය හෙවත් අංශුමය දූෂණය (Micro Particle Air Pollution) ලෙසය.

වායුගෝලයට මුසුවන මේ ක්ෂුද්‍ර අංශු, පියවි ඇසට නොපෙනෙයි. මෙවැනි අංශුවක විශාලත්වය මයික්‍රො මීටර් දශම ගණනක සිට මයික්‍රො මීටර් 50ක් පමණය. මයික්‍රො මීටර් එකක් යනු මීටරයෙන් දසලක්ෂයෙන් පංගුවක් හෝ මිලිමීටරයකින් 1/1000ක ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් අපගේ කෙස් ගසක පළල දළ වශයෙන් මයික්‍රො මීටර 70ක් පමණ වෙයි. එබැවින් මයික්‍රො මීටර 2.5 -10.0 යන විශාලත්වයෙන්, විෂ්කම්භයෙන් යුතු ද්‍රව්‍යමය අංශූන් පියවි ඇසට නොපෙනෙයි. එසේ වුවත් මෙහි අංශු කෝටි ගණනක් වායුගෝලයට ඇතුළු වීමෙන් පසු, වලාකුළු ලෙස දැකිය හැකිය. ස්වාභාවිකව සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු දූෂණය ඇතිවෙයි. 

ස්වාභාවිකව වායු දූෂණය සිදුවන්නේ ගිනිකඳු පිපිරීමෙන් සමුද්‍ර තරංග බිඳීම ආශ්‍රිතව ලුණු අංශු වායුගෝලයට එකතු වීමෙන් සහ ළැව් ගිනි හේතුවෙන් දූවිලි සහ දුම වාතයට එකතු වීමෙනි. ඊට අමතරව, ශාක සහ සතුන්ගේ ස්වාභාවික ක්‍රියාවලීන් මඟින්, අපද්‍රව්‍ය වායුගෝලයට ඇතුළු වීමට හැකියාවක් ඇත. මිනිසා සිදු කරන වනාන්තර ගිනි තැබීම්, දර භාවිතයෙන් ආහාර පිසීම, ගල් අඟුරු භාවිතයෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම, පොසිල ඉන්ධන භාවිතය සහ අධික ලෙස දුම් පිටවන වාහන භාවිතය, යන්ත්‍රසූත්‍ර ක්‍රියාත්මක කිරීම, ඉදිකිරීම්, සුවඳ විලවුන්, විවිධ තීන්ත වර්ග භාවිත කිරීම මඟින් ද වායු නොවන ද්‍රව්‍යමය අංශු වායුගෝලයට එක් වෙයි. 

භෞතික සංවර්ධන කටයුතු සඳහා වන වනාන්තර ගිනි තැබීම්, බලශක්ති නිෂ්පාදනය, ඉදිකිරීම්, කෘෂිකාර්මික කටයුතු සහ ගොඩබිම, සාගරයෙන් සහ ගුවනින් ප්‍රවාහන කටයුතු සිදු කිරීම මඟින් නිරන්තරයෙන්ම ද්‍රව්‍යමය වායු දූෂණය ප්‍රධාන වශයෙන් සිදු වෙයි. එමෙන්ම කර්මාන්තශාලාවල සිදු කරන කටයුතුවලින් ද්‍රව්‍යමය අංශු වායුගෝලයට එකතු වීමත් සිදුවෙයි. වර්තමානයේ අවධානයට යොමු වී තිබෙන ද්‍රව්‍යමය වායු දූෂණය (Micro Particle Air Polution) ඇති වන්නේ වායුගෝලයට දරා ගත හැකි ද්‍රව්‍යමය අංශු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළු වීමෙනි. 

සාමාන්‍යයෙන් වායු ඝන මීටරයකට මයික්‍රො මීටර් 0.1 සිට 1.00 දක්වා වූ ද්‍රව්‍යමය අංශු මයික්‍රො ග්‍රෑම් 50ක් පමණ හෝ මයික්‍රො මීටර් 2 - 50 දක්වා විශාලත්වයෙන් යුක්ත ඒවා ඝන මීටරයට මයික්‍රො ග්‍රෑම් 60ක් පමණ ඇතුළු වීම පාරිසරික හෝ සෞඛ්‍යමය හෝ ගැටළු තත්ත්වයක් ඇති නොවන තත්වයක් ලෙස හඳුනාගෙන තිබේ. වර්තමානයේ මේ අගය ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ 200-300 දක්වා ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ විවිධ පාරිසරික ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටළු ඇති වීම ඇස්පනාපිට සිදුවෙමින් පවතී. 

 පාරිසරික ගැටලු ලෙස දිවා කාලයේදී සූර්යාලෝකය ප්‍රමාණවත් අයුරින් නොලැබීම, අධික සීතල තත්ත්වයක් පැවැතීම, ශාක ක්‍රියාකාරිත්වය දුර්වල වීම, ශාකවල ඵල හට ගැනීම මෙන්ම ඵල වර්ධනය සීමා වීම, අස්වැන්න අඩුවීම, ශාකවලට ඇති වන දිලීර රෝග, කෘමි උවදුර හා ශාක විනාශ වී යෑම ආදිය පෙන්වා දිය හැකිය. හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ වාස භූමි සහ ජීවන චක්‍රය අඩාල වීමෙන් සෙසු පාරිසරික චක්‍ර අකර්මණ්‍ය වීම මඟින් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන පාරිසරික අසමතුලිතතාවක් ද ඇති වෙයි. ඒ මඟින් ජෛව නිෂ්පාදනය හා ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති වෙයි. වායුගෝලයේ ඇති ද්‍රව්‍යමය අංශු ආශ්වාස කිරීමෙන් ඒවා පෙණහලුවලට ඇතුළු වීම හා පෙණහලුවලින් රුධිරවාහිනී පද්ධතියට ඇතුළු වීම සිදුවෙයි. 

මේ තත්ත්වය ශ්වසන රෝග වැලඳී ඇති රෝගීන්ට, කුඩා දරුවන්ට, වයෝවෘද්ධ පුද්ගලයන්ට, වෙනත් රෝගවලින් පෙළෙන අයට දැඩි ලෙස බලපෑම් ඇති කරන බව වෛද්‍යවරු අනතුරු අඟවති. ඊට අමතරව‍ ශ්වසන රෝග ඇති අයගේ රෝගී තත්ත්වයන් උත්සන්න කිරීමටත් වායු දූෂණය හේතුවක් වෙයි. භයානකම දේ එය නොවෙයි, වායු දූෂණය හේතුවෙන් වසරක් පාසා ලොව පුරා නොමේරු දරුවන් විසි එක් ලක්ෂයක් (මිලියන 2.1ක්) මිය යෑමය. මෙවැනි පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු ඇති වීම මඟින් ආර්ථිකයට ඇති වන ප්‍රධාන ගැටළු රැසකි. 

ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩු වීම, ආහාර සුරක්ෂිතතාවට අහිතකර ලෙස බලපෑම් ඇති කිරීම, මිනිසාගේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඩු වීම කැපී පෙනෙයි. එමඟින් භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය අඩාල වීමෙන්, රටේ වත්මන් හා අනාගත සංවර්ධනයට අහිතකර ලෙස බලපෑම් එල්ල වෙයි. එසේම ද්‍රව්‍යමය අංශු, යකඩ වැනි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවලට හානි කිරීමටත් බලපායි. එමඟින් ගොඩනැගිලි හා වෙනත් ඉදිකිරීම්, වාහන හා යන්ත්‍ර සූත්‍ර යනාදියේ ආයු කාලය අඩු වීමටත් විවිධ ආකාරයෙන් බලපෑම් ඇති කරයි.

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom